The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

ජයග්‍රහණය රටට හිමි කර පරාජය ගෙදර ගෙන යන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

September 27, 2024 • 11:24 AM

ජයග්‍රහණය රටට හිමි කර පරාජය ගෙදර ගෙන යන්න - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප් 22 වෙනිදා රාත්‍රීයේ මැතිවරණ කොමිෂමේදී සභාවෙන් අවසරයි හෝ නො කියා අහෝසි කළ ඉළව් පළාත් සභා මැතිවරණයක් සිහි කරමින් කතාව පටන් ගත් ජවිපේ අනුරට වඩා ඛෙහෙවින් පරිනතව සිටියේය.
  • ඔහු දිවුරුම් දීමේ උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදි ශ්‍රී ලංකාවේ 2024දී සිදු වූ සුහද බල හුවමාරුව ගැන සිය පූර්වගාමි ජනාධිපති වරයාට ස්තුති කිරීම ධනාත්මක නැඹුරුවකි.
  • මැයි 13 වෙනිදා රටේ අගමැතිකම භාර ගන්නා විට රනිල් වික්‍රමසිංහට තිබුණේ 2.15%ක ජන පදනමකි.
  • ජනාධිපති අනුර කුමාරට හිමි වූ ජන වරම 42.31%කි.
අකුරු ප්‍රමාණය (Font Size):

සැප් 22 වෙනිදා රාත්‍රීයේ  මැතිවරණ කොමිෂමේදී සභාවෙන් අවසරයි හෝ නො කියා අහෝසි කළ ඉළව් පළාත් සභා මැතිවරණයක් සිහි කරමින් කතාව පටන් ගත් ජවිපේ අනුරට වඩා ඛෙහෙවින් පරිනතව සිටියේය.

ඔහු දිවුරුම් දීමේ උත්සවයේදී ප්‍රජාතන්ත්‍රවාදි ශ්‍රී ලංකාවේ 2024දී සිදු වූ සුහද බල හුවමාරුව ගැන සිය පූර්වගාමි ජනාධිපති වරයාට ස්තුති කිරීම ධනාත්මක නැඹුරුවකි. එය සම සමාජ කොමියුනිස්ට් දේශපාලනය නො ආ දුරකි. බැරක් ඔබාමාට පැරදුණ ජෝන් මැකේන් පරාජය පිළිගනිමින් පරාජය මගේය. ජයග්‍රහණය අමෙරිකාවේය කියා ගෙදර ගිය කතාව සමග ගලපන කල්හී අනුර කුමාර ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවට අයිතිකාර ගැනීමට ඉඩ දිය යුතුවේ.

 

2022 මැයි 13 වෙනිදා රටේ අගමැතිකම භාර ගන්නා විට රනිල් වික්‍රමසිංහට තිබුණේ  2.15%ක ජන පදනමකි. ජනාධිපති අනුර කුමාරට හිමි වූ ජන වරම 42.31%කි. රනිල් මෙන්ම අනුරද රටේ විධායක ජනාධිපති ලෙස පත්වී දෙ කෝටි විසි ලක්ෂයක් ජනතාව කැමති වුවද අකමැති වුවද, ඔවුන්ගේ අපේක්ෂාව සහ ආරක්ෂාව බවට පත්ව සිටී. 

මැතිවරණ ඉලක්කම් අනුව රටේ බහුතරය රනිල් අවතක්සේරු කළා මෙන් කිසිවෙකු අනුර කුමාරගේ ජයග්‍රහණය හෑල්ලූ කළ යුතු නැත. ජනගහනයෙන් 59.09%ක ජන බලයක් හිමිව සිටි ගෝඨා 2022දී බලයෙන් විසි වුණේ ඉලක්කම් සැලකිල්ලට ගෙන නොවේ. රටේ ආර්ථීකය දෙදරුම් කද්දී, ජනාධිපති ගෝඨාභය කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට අනුර කුමාර හා සජිත් දෙදෙනාම නො පැමිණියද, රනිල් වික්‍රමසිංහ ඊට සහභාගි වුණේ අගමැති හෝ ජනාධිපති වීමට නෙවේ.




මා අවධාරණය කරන්නේ රට තවමත් ශක්තිමත්ව නැති නිසා එදා විපක්ෂය, ගෝඨා හා රනිල් තනි කළා මෙන්, ඡන්ද දායකයන් 57.69% ප්‍රතික්ෂේප කළ ජනාධිපති අනුර කුමාර තනි නො කළ යුතු බවය. කොට්ඨාශ ක්‍රමය පැවති 1960 මාර්තු මැතිවරණයේදී තෙල්දෙණිය මන්ත්‍රී හැටියට තිස්ස කපුකොටුව දෙ වැන්නාට වඩා වැඩි ඡන්ද 11කින් තේරී පත්වන විට ඡන්ද දායකයන් අට දහස් පන්සිය ගණනක් තිස්ස කපුකොටුව ප්‍රතික්ෂේප කර තිබිණ.1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය මෙන්ම 1971 කැරැල්ල යන තීරණාත්මක අවස්තා දෙකේදීම පී. ද එස්. කුලරත්න සහ ජේ.ආර්.ජයවර්ධන යන එජාප දේශපාලනඥයන් දෙදෙනා පැවති පාලකයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළහ.

 

2024 සැප්තැම්බර් 22 දිනට රටේ මූල්‍ය සංචිතය ඇමෙරිකානු ඩොලර් 6000කි. පැට්‍රල් ලීටරය රුපියල් 332කි. ඩීසල් ලිටරය රුපියල් 307කි. අමෙරිකන් ඩොලරයක්  රුපියල් 304කි. රටේ උද්ධමනය 2.5කි. පසුගිය වසර දෙකක කාලය පුරා මෙම දර්ශකය ධනාත්මක ප්‍රතිචාර දක්වන විට, විපක්ෂයට පැවතියේ කාලකන්නි සතුටකි. රනිල් රට භාර ගත් ජූලි 22 දා ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේ, රට දුවන්නේ දවස් 55ක් විතරයි කියාය. ඒ රට දවස් 630ක් නො වැටී ගමන් කළ පසුබිමක ඒ පාලකයා ඡන්ද ලැයිස්තුවේ 3 වෙනි තැනට ඇද දමා රටේ ජනතාව අනුර කුමාර දිසානායක තෝරා ගන්නා විට, ඔහුට එරෙහිව විසිරී සිටි 57.69%ක් දෙනාම ප්‍රජාතන්ත්‍රවාදීව සන්සුන් විය යුතුවේ.

තවමත් අවදානමෙන් නො මිදුණ රටේ වගකීම භාර ගත් නව පාලකයාට කිසිවෙකු ඊට අකුල් හෙළිය යුතු  නොවේ. අද රනිල් සජිත් කණ්ඩායම් එකතු වුණා නම් දිනන්න තිබුණා කියන්නේ ඕනැ අවස්ථාවේ එක් නොවී හතුරා පරාජය කිරිමේ අරමුණින් මිස රටේ යහපත පිණිස නොවේ. නාමල් තරග කළේ රනිල් ඔහුට අගමැතිකම නො දුන් නිසාය. සජිත් රනිල් එකතු නොවූයේ උනුන් කෙරෙහි පැවති වෛරය නිසා මිස ප්‍රතිපත්ති ගැටුමක් නිසා නොවේ. 

රනිල්ගේ 'ථෙරවාද ආර්ථිකය' පොතේ පිටකවරය ගලවලා අනුර ඉතිරි ටික අරගෙන - (කුසල්  පෙරේරා) මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන
ඉතිහාසය පුරා අප කවුරුත් දේශපාලනිකව බොහෝ කැප කිරිම් මෙන්ම හානිකර දේද කර තිබේ. නිවෙස්වලට පැන වෙඩි තබා මරා දැමූ මිනිසුන්ගේ විලාප අසා සිටිය නොහැකි රටේ පාලකයෝ නඩු නො අසා ත්‍රස්තවාදින්ට එරෙහිව රාජ්‍ය බලය පාවිච්චි කළහ. ගෙවුණ මැතිවරණ සමයේ  88-89 අවලාදයට පිළිතුර බටලන්ද පිළිතුර විය. බටලන්ද නම් අනෛතික කඳවුරු පවත්වා ගෙන යාමත්, ඝාතනය කළ විජේවීරගේ අඹු දරුවන් ආරක්ෂා කිරීමත් යන ප්‍රතික්ෂේප කළ නො හැකි අතීත සිද්ධින් හරහා රටක රාජ්‍යය යන්න කුමක්දැයි වටහා ගත හැකිය. අද ඒ රාජ්‍ය  වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මැනවින් තේරුම් ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සමග වැඩ ආරම්භ කිරිමෙන් අප තේරුම් ගත යුතුවේ. එබැවින් අනුර කුමාර දිසානායක යනු විධායක ජනාධිපති මිස ගරිල්ලා නායකයෙකු ලෙස තවදුරටත් සැලකිය යුතු නැත. 

ජාතියක් ලෙස දේශපාලනික දැක්මෙන් අතීතයේ කළ කී දේ ගැන යළි විමසා බැලීමට කාලය අපට  බල කරමින් සිටියි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහ රටේ පාලකයා ලෙස පත් වී වසර දෙකක් තුළ මේ රට යළි යථා තත්වයට පත් කිරීමට සිදු කළ දැවැන්ත වැඩ කොටස නො සලකා ඒ මිනිසා තුනේ කොලයට දමා යළි ගෙදර යැවීමත් කාලයේ බලපෑමකි. ඡන්ද පොළට එන මුල් දස දෙනාට වෙඩි තැබීමට තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව නමින් නව  මාවතකට යොමු කළේද කාලය විසිනි. මේ සිදුවී ඇත්තේ දෙවන ලෝක යුද අවදානම හමුවේ මහා බ්‍රිතාන්‍යය හා මිත්‍ර ජාතින් ශක්තිමත් කළ කොන්සර්වේටිව් වින්ස්ටන් චර්චිල් වෙනුවට 1945දී කම්කරු පක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලි තොරා ගත්තා වැනි සංසිද්ධියකි. එදා බ්‍රිතාන්‍යය විශ්වාස කළේ යුද්ධයට චර්චිල් සාමයට ඇට්ලි සටන් පාඨයයි. අපට නිදහස ලැබුණේද ඇට්ලිගේ පාලන කාලයේය. චර්චිල් යළි 1951 බලයට පත් විය.

 

Screenshot 2024 09 27 at 16.45.30 copy

කාලයත් වියපත් භාවයත් කිසිවෙකුට අභියෝග කළ නො හැකි පැවැත්මකි. 1987 වසරේ නීතිගත කළ 13 වෙනි ආණ්ඩු ක්‍රම නීතිය අදටත් ක්‍රියාත්මකව නැත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන බවට ප්‍රතිඥා දි බලයට පත් කළ හැම පාලකයාම එහිදී අවංක නො වීය. එකී නීතිය සම්මත වී 37 වසරක් ගෙවී ගොස් ය. එහි ප්‍රතිලාභ උතුරු නැගෙනහිර ජීවත්වන සහෝදර ජනතාවට ලැබී ලැබිය යුතු යයි මම තරයේ විශ්වාස කරමි. 1982 මුල්ම ජනාධිපති මැතිවරණයට පසුව 2024 තෙක් කිසිදු අවස්ථාවක  උතුරේ දමිළ දේශපාලනඥයෙකු තරග වැදුණේ නැත. ඒ ඔවුන්ට ජයගත නො හැකි නිසාම නොවේ. විධායක ජනාධිපති උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටේ පාලකයා හෙයින් රටේ ජනාධිපති පිළිබඳව වාර්ගවාදීව කල්පනා කළේ නැත. හැම ජනාධිපති මැතිවරණයකදීම උතුරු නැගෙනහිර ජනතාවගෙන් 68-69%ක් දෙනාගේ කැමැත්ත දකුණෙන් තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඛෙදී ගියේ ඒ නිසාය. එහෙත්  2024දී උතුරෙන් තරග වැදී අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් ලබා ගත් 226,342 (1.70%)ත් අනුරට ලැබුණ තුන්වෙනි තැන සමග සලකන කළ අනුරට 51%ක් නො ලැබීමට එයද හේතු විය.

2010දී මහින්දට ඡන්ද, 44152ක් ද, පොන්සේකාට ඡන්ද 113,877ක් ද ලබා දෙමින් උතුරේ ජනතාව දකුණ එවූ පණිවිඩය අප තේරුම් ගෙන තිබුණා නම් මෙවර අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් කෙනෙක් ඉදිරිපත් වන්නේ නැත. 2024දී ඉන්දීය විරෝධය හකුළා ගැනීමට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායකට 13 ක්‍රියාත්මක කර උතුරු දකුණ එක් කිරීමේ වගකීම කාලය විසින් පවරා හමාරය. අප කාලය උපකරණයක් හැටියට මිස යහනක් ලෙස භාවිතා නො කළ යුතුවේ.  We must use the time as a tool. not as a couch.

සී සුන්දරලිංගම් නම් විශිෂ්ඨ දේශපාලනඥයා, 1983දී වව්නියාවේදී මට හමු වූ අවස්ථාවේ ''බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ සිවිල් සේවයටත් සම්බන්ධව සිටි ප්‍රාඥයෙකු වන ඔබ ජාතිවාදියෙකු වුණේ ඇයිදැයි ප්‍රශ්න කළ විට, ඔහු දුන් පිළිතුර කුමක්ද? ''සිංහල දේශපාලනඥයන් සිංහල පමණයි කියා දකුණේ මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු තාර ගා විකෘති කරද්දී, දෙමළ මව්බස කතා කරන ස්වකීය ජන කොට්ඨාශයේ ආත්ම ගෞරවය වෙනුවෙන් අප පෙනී සිටියා මිස කිසි විටෙකත් මාතෘ භූමියෙන් කොටසක් කඩා ඉල්ලූවේ නැත. දැන් පවත්නා තත්වයට දකුණ මිස උතුරේ අප වගකිව යුතු නැත.'' අදටත් උතුරේ ප්‍රශ්නය, දකුණට දේශපාලන සටන් පාඨයකට ලඝු කර තිබේ. දකුණ මාලිමාව ශක්තිමත් කළා සේ උතුර වර්ග වාදය ශක්තිමත් කළොත්....? විධායක  ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු තරමටම දකුණේ අප, තීරණාත්මක උතුරේ ප්‍රශ්නය විසඳීමටත් කඩිනමින් විසඳිය යුතු බව කාලයේ අභියෝගය අපට පල කරමින් සිටින්නාහ.

ඊළඟ පරම්පරාව ඒ කරුමයෙන් මුදවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් විය යුතු වේ

 

මාතලේ ඈත දුෂ්කර වියළි ගමක උපන් මේ ලේඛකයා, කැලණි සරසවියට ඇතුල් වන විට 19 හැවිරිදිය. මාතලේ ඉපිද, තඹුත්තේගම හැදී වැඩුණ අනුර කුමාර දිසානායක කැලණි සරසවියට යන විට 24 හැවිරිදිය. රටේ දරුවන්ගේ ජිවිත මෙසේ හැකිළි පැටලී බිඳ වැටුණේ කෙසේද? ඊළඟ පරම්පරාව ඒ කරුමයෙන් මුදවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් විය යුතු වේ. අනුර කුමාරලාගේ දැක්ම සහ රටේ බහුතරයක් අතර පරතරයක් ඇති කළ  පරස්පරතාවන් කාලය විසින් සමපාත කරමින් සිටියි. අනුර කුමාර රටේ ජනාධිපති මිස ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජනබල වේගයේ ජනාධිපති නොවේ. ඔහු තමන් උපන් දේශයේ මෙවැනි කෝටියක් ජාතික හා ජනතා  ප්‍රශ්න විවෘත මනසකින් දැකිය යුතුවේ. 

පරාජිත ජෝන් මැකේන් මෙන්, අනුරට රට භාර දී රනිල් වික්‍රමසිංහ ගෙදර ගොස් වරුවත් ගෙවීමටත් පළමුව සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකයෙකු අවශ්‍ය රටේ අගමැති වීමට සිතීමත් විකෘතියකි. 2015-2020 ජනාධිපති අගමැති දෙපරාදුව පාස්කු බෝම්බය තෙක් වර්ධනය වූ බව විශ්වාස කරන කිසිවෙකු ජනතාව තෝරා පත් කළ විධායක ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් ඇති කෙරෙන පාලනයක් සඳහා නොවැම්බර් 14 දිනට නියමිත මහ මැතිවරණයේදි කතිරය භාවිතා නො කළ යුතුවේ.  

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...