The Leader News
BREAKING
Top Ad
Opinion

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලූත් මාධ්‍ය සංස්කෘතියක ඉඟියක්? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

October 4, 2024 • 5:39 AM

ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. ප්‍රවෘත්ති විකාශය: අලූත් මාධ්‍ය සංස්කෘතියක ඉඟියක්? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලූතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැඛෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන් තිස්සේ රට පුරා පවතින උත්සවශ්‍රීයයි.
  • නාලිකාවකින් ඇති වැඩේ මොකක්ද වැනි හැඟීමක්, අලූත පත්වූ ජනාධිපතිවරයාට/වරියට ඇති වෙයි.
  • නාලිකාවේ සභාපතිවරුන් වශයෙන් පත්කර ඇති අය ගැන වැඩි වැටහීමක් මේ ලියුම්කරුට නැත.
  • එහෙත්, අහම්බයකින් පසුගිය දවසක (30) ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශයේ මුල් මිනිත්තු 15 නැරඹීමට අවස්ථාවක් ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අලූතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැඛෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන් තිස්සේ රට පුරා පවතින උත්සවශ්‍රීයයි. එහිදී, ජයග්‍රාහකයෝ වීදි බසිති. කැවුම් කිරිබත් කති. විරුද්ධවාදීන්ට අඩන්තේට්ටම් කරති. පරිභව කරති. ඒ සියල්ලටමත් වඩා, ජයග්‍රාහී කඳවුරේ ප්‍රධානීන් මෙන්ම ප්‍රධානීන් යැයි පෙනී සිටීමට ලෝලී සොක්කෝද තමන්ගේ දේශපාලන හයිය උපරිමයෙන් රටට ප්‍රදර්ශනය කරති. ඒ කිසිවක්, මේ සති දෙක තුළ දකින්ට ලැබුණේ නැත.

itn rupawahini

 

අලූත ලැබුණු බලය අභ්‍යාස කිරීම සඳහා විවිධ මාර්ග යොදාගැනීම සිරිතයි. ඉන් ප්‍රධානතම වන්නේ, විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාධ්‍යයන් හරහා අලූත් පාලකයන් රට සමග ගොඩනඟා ගැනීමට බලන කතිකාවයි. කොටින්ම, ජනාධිපතිවරයෙකු වශයෙන් පත්වූ විටවත් පාවිච්චියට ගත නොහැකි ජාතික රූපවාහිනියකින් හෝ අයි.ටී.එන්. නාලිකාවකින් ඇති වැඩේ මොකක්ද වැනි හැඟීමක්, අලූත පත්වූ ජනාධිපතිවරයාට/වරියට ඇති වෙයි. ඔහුට/ඇයට නැතත්, එම කඳවුර වෙනුවෙන් පෙනී සිටින පරිවාරිකයන්ගේ සිත් තුළ ඒ හැඟීම නලියයි. ඉතිං, තමන්ට ඉතාම විශ්වාසවන්ත සහ තමන් කියන විදිහට වැඩේ කරතියි වැඩියත්ම විශ්වාසය තැබිය හැකි කෙනෙකු එවැනි ආයතනයක සභාපති ධුරයට පත්කිරීම සාමාන්‍ය ක්‍රමයයි.  

මෙවර ජාතික රූපවාහිනියේ හෝ අයි.ටී.එන්. නාලිකාවේ සභාපතිවරුන් වශයෙන් පත්කර ඇති අය ගැන වැඩි වැටහීමක් මේ ලියුම්කරුට නැත. එහෙත්, අහම්බයකින් පසුගිය දවසක (30) ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.00 ප්‍රවෘත්ති විකාශයේ මුල් මිනිත්තු 15 නැරඹීමට අවස්ථාවක් ලැබුණි. එහිදී තිරයේ දිස් වුණේ, එක්තරා වියළි ගතියකි. කිසි ප්‍රභාවක් නැති ගතියකි. ප්‍රවෘත්ති ප්‍රකාශකයා පවා පෙන්නුම් කෙළේ, තමාට නුහුරු යමක් කියවන ඕලාරික විලාසයකි.

 

ඒ ගැන ටිකක් කල්පනා කරන විට මට හැඟී ගියේ, අපේ ඇසට හුරු එක්තරා ආකර්ශනයක් එකී තිරයෙන් අතුරුදහන් වී ඇති බවයි. එනම්, සර්වබලධාරී දේශපාලනඥයා ය. මේ කියන මිනිත්තු 15 අවසානයේ දේශපාලනඥයෙකු දකින්ට ලැබුණේ, කුමාර වෙල්ගම මහතාගේ අවමංගල්‍යය පිළිබඳ වාර්තාවක ඇතුළත් වූ ඔහුගේ මෘතදේහයයි. එය මොන තරම් සංකේතීය අර්ථයක් දැනවූ රූපකයක්ද යන්න එක විටම මගේ සිතට කාවැදුණි කුඩා තිරය මත එතෙක් වැජඹුණු අසහාය දේශපාලනඥයා (කුමාර් වෙල්ගම නොවේ) මියගොස් ඇති බවට එය ඉඟියක්ද යන්න මට සිතුණි.

 

ජාතික රූපවාහිනියේ දුටු ප්‍රවෘත්ති ප්‍රකාශය ගැන හිතේ ඇති වූ හැඟීම තවදුරටත් සහතික කරගැනීම සඳහා ඊයේ (2) රාත්‍රී අයි.ටී.එන්. නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසුවෙමි. නැරඹුවෙමි. අර සර්වබලධාරී දෙවිවරු ඒ තිරය මත පෙනී සිටියේද නැත. එහිදීත්, අර කියන වියළි ගතියත්, පොට්ට ගතියත් දිස් වුණි. දේශපාලනඥයා නැති වීමෙන් 'පාළුවට ගිය' එකී තිරය, ඇසට ආකර්ශනීය වෙනත් ආකාරයකින් පවත්වාගන්නේ කෙසේද යන්න, ඉදිරියේදී රූපවාහිනී බලධාරීන් සැලකිල්ලට ගත යුතු කාරණයක් යැයි සිතේ. උදාහරණයක් විදිහට, යම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම, තිරයේ ලියැවෙන අමු අකුරු පේළියක් ආකාරයෙන් නොව, සජීවී රූපාවලියක් වශයෙන් තිරය මතට ගෙන එන්නේ කෙසේද යන්න එහිදී වැදගත් වෙයි. 

රටේ සෑම පළාතක් සහ සෑම වැදගත් සිද්ධියක් හෝ අවස්ථාවක්ම ආවරණය කිරීමට ප්‍රමාණවත් භෞතික සම්පත්වල ඇති අඩුවක් නිසා එවැනි රූපාවලියක් හදිසියේ නිර්මාණය කරගැනීමේ යම් අපහසුතාවක් තිඛෙන්ට පුළුවන. එසේ නම්, අඩු වශයෙන්, තිරය මත අකුරු වැලක් පමණක් දිස් වීමට සැලැස්වීම වෙනුවට, ප්‍රවෘත්ති නිවේදකයා හෝ නිවේදිකාව තිරයේ සිට කථනයේ යෙදෙන රූපයක් වුව, දැනට ප්‍රමාණවත් විය හැකිය.

 

senesh itn

කෙසේ වෙතත්, මේ ආයතන දෙකටම අලූතින් පත්වී ඇති සභාපතිවරුන් දෙන්නා, ඔවුන්ගේ අවබෝධයෙන් හෝ දේශපාලන අධිකාරයෙන් නියම කෙරී ඇති ප්‍රමිතියක් යටතේ හෝ මෙසේ අලූත් ප්‍රවේශයක් ප්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. 

 127978234 gettyimages 1245286979

 

මීට වසර කිහිපයකට කලින්, රටවල් දෙකක දින කිහිපයක් තුළ විකාශය වූ රාත්‍රී ප්‍රවෘත්ති වැඩසටහන් පිළිබඳ සන්සන්දනයක්, මේ කොලමේ මා ලියා ඇත. මෙය ලියන මොහොතේ එම ලිපිය සොයාගැනීමට මට නොහැකි විය. එහෙත්, එකී සන්සන්දනයේ සාරාංශය මගේ මතකයේ තිබේ. එය මෙසේ ය: ප්‍රංශයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා අතරේ, රජයට අයත් නාලිකා දෙකක් තිබේ. ඒ නාලිකා දෙකේම, මේ කියන දින කිහිපය තුළ, එනම් මගේ සමීක්ෂණයට භාජනය වූ දින කිහිපය තුළ විකාශය වූ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයන්හි, දේශපාලනඥයන් පෙනී සිටියේ ප්‍රවෘත්ති විකාශය අවසානයේ මිනිත්තු දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් පමණි. ඒවා පවා, ඉතා වැදගත් ජාතික නිමිති මුල් කරගෙන ය. එම විකාශයන්හි මුල් මිනිත්තු 35 කට ආසන්න කාලයක් තුළ තිබුණේ, දේශපාලනඥයන්ගෙන් තොර ප්‍රවෘත්ති ය. මේ දින කිහිපය තුළ, ලංකාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙකේම මුල් මිනිත්තු 20 ට ආසන්න කාලයක් දකින්නට ලැබුණේ දේශපාලනඥයන්වමයි. 

එහිදී භාවිත වන සම්මත ධූරාවලියක්ද තිබේ. මුලින්ම එන්නේ ජනාධිපතිවරයා ය, ඔහු එදා කී දෙයක් හෝ සහභාගී වූ අවස්ථාවක් අපට එහිදී දකින්ට ලැබේ. ඔහු කියන දෙය හෝ සහභාගී වන එම අවස්ථාව, රටට හෝ ජනතාවට වැඩක් ඇති යමක්ද යන්න සැලකිල්ලට ගැනීමක් නොවුණි. උදාහරණයක් වශයෙන්, එදා ජනාධිපතිවරයා දළදා මාලිගාව වැඳපුදා ගත්තේ නම් හෝ යම් පන්සලකට/පල්ලියකට ගියේ නම්, රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශයේ මුල්ම ප්‍රවෘත්තිය වන්නේ එයයි. ඊළඟට එන්නේ, අගමැතිවරයා පිළිබඳ එවැනිම ප්‍රවෘත්තියකි. ඉන්පසුව, පිළිවෙලින්, මාධ්‍ය ඇමතිවරයා, වෙනත් ඇමතිවරුන් සහ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ පක්ෂයේ වෙනත් නායකකාරකාදීන් එදින කියූ යමක් ප්‍රකාශයට පත්වෙයි. විපක්ෂ නායක ඇතුළු පිරිසටත් යම් ඉඩක් දෙන නිසා, ප්‍රවෘත්ති 'සමබර' යැයි කියති. මේ සියල්ල එකට ගත් විට, අප 'ප්‍රවෘත්ති' යැයි කියන්නේ, දේශපාලනඥයන්ගේ දින චර්යාවට ය.

 

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

එහෙත්, අලූත් ආණ්ඩුව යටතේ පවතින රූපවාහිනී නාලිකා දෙක, මේ කියන දවස් දෙකේ ඒ කියන මිනිත්තු 15 තුළ, අනුර කුමාර දිසානායක ගැනවත්, හරිනී අමරසූරිය ගැනවත්, විජිත හේරත් ගැනවත් කිසිවක් නොකියැවුණි. අනෙක් දවස්වලත් මීට සමාන තත්වයක් පවතින බව දැනගන්ට තිබේ. ඇත්ත වශයෙන්ම නම්, වර්තමානයේ මුළු ආණ්ඩුවක්ම සමන්විත වන්නේ ඔවුන් තිදෙනාගෙන් පමණක් නිසා, ඔවුන්ට ජනතාව අමතා කියන්නට බොහෝ දේවල් ඇතිවාට සැකයක් නැත. එහෙත්, පෙනෙන විදිහට, පොදු සංඛ්‍යාත ස්වකීය දේශපාලනික අවශ්‍යතා සඳහා හෝ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීම සඳහා භාවිතයට ගත යුතු නැති බව, අලූත් පාලකයන් සිතතියි අපට අනුමාන කළ හැකිය.

එය එසේ නම් සහ දිගටම එසේ තිබුණොත්, එය යහපත් වෙනසකි. මේ ගැන, තව කිහිප දෙනෙකු මුහුණුපොතේ සටහන් කර තිබුණි.  ඒ  එක සටහනකට ප්‍රතිචාර දක්වන එක් තැනැත්තියක්, එවැනි වෙනසක වටිනාකම හෑල්ලූ කරමින් පෙරළා සෝපාහාසයෙන් ප්‍රශ්න කර තිබුණේ, ඔය කියන 'වෙනස' කුමක්ද යන්නයි. ඉස්සර සේම තවමත් ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන්. යනු රාජ්‍ය මාධ්‍ය ආයතනම නොවන්නේද යන හරසුන් ප්‍රශ්නය ඇය නඟා තිබුණි. 

 

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග
විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය, රාජ්‍ය අයිතියේ තිබිය යුතුද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. එය හරියට, රාජ්‍යයට ආගමක් තිබිය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි. එහෙත්, මුඛ්‍ය කාරණය වන්නේ, රාජ්‍ය අයිතියේම තිබියදී පවා, ජනතාවට අයත් පොදු සංඛ්‍යාත, වගකීමක් සහිතව සහ ජනතාවගේ බුද්ධියට නිගාවක් නොවන ආකාරයෙන් භාවිත කිරීමේ ශිෂ්ඨත්වයක් රාජ්‍ය පාලකයන්ට තිබිය යුතු නොවේද යන්නයි. එසේ හෙයින්, ජාතික රූපවාහිනිය සහ අයි.ටී.එන් නාලිකා, පාලකයන්ව අනවශ්‍ය පරිදි ඔසවා තැබීම හෙවත් පිම්බීම, ප්‍රතිපත්තියක් වශයෙන් මෙසේ දැනට හෝ පැත්තකින් තියා ඇත්නම්, එය අප අගේ කළ යුතුවා මිස හෑල්ලූවට ලක් කළ යුතු කාරණයක් නොවේ.

 

 

මීට සමාන තවත් සිද්ධියක් දැනගන්නට ලැබුණි. එනම්, ගිය ඉරිදා (29) උදේ ජාතික රූපවාහිනිය පුවත්පත් කියැවීමේදී සතිඅන්ත 'අනිද්දා' පුවත්පතත් කියවා ඇති බවයි. ජාතික පුවත්පතක් වශයෙන් 'අනිද්දා'  පුවත්පතට දැන් වයස අවුරුදු හතකට ආසන්නයි. ඒ කාලය තුළ, උදේට පත්තර කියවන කිසි නාලිකාවක් මෙම පත්තරය කියවා ඇතොත් ඒ ඉතා කලාතුරකිනි. පසුගිය අවුරුදු දෙකකට වැඩි කාලයක් අයි.ටී.එන්. නාලිකාවේ සභාපති ධුරය දැරුවේ මේ පුවත්පතේ සමීපතම මිතුරෙකි. ඔහු සභාපති වශයෙන් පත් වූ කාලයේ සති කිහිපයක් අයි.ටී.එන්. නාලිකාවේ පත්තර කියවන වැඩසටහන සඳහා 'අනිද්දා'  පුවත්පතත් ඇතුළත් කරගැනුණි. එහෙත් එය පැවතියේ සති කිහිපයක් පමණී. එවකට මාධ්‍ය ඇමතිවරයා වශයෙන් සිටි බන්දුල ගුණවර්ධන අසනීප වී රෝහල්ගතව සිටි එක්තරා දවසක, අයි.ටී.එන්. නාලිකාවේ මේ පුවත්පතේ යම් ශීර්ෂයක් කියැවෙනු රෝහල් කාමරයේ සිට දැක, ඒ වෙලාවේම සභාපතිවරයාට කතා කොට ඔහු සිය අප්‍රසාදය දක්වා තිබේ. එදා සිට, 'අනිද්දා' පුවත්පත තමන්ගේ පුවත්පත් කියැවීමේ වැඩසටහනෙන් පිටමං කර තැබීමට සභාපතිවරයා වගබලාගත්තේය. එහෙත්, 'පත්තරෙන් එහා' වැනි ගාම්භීර ශීර්ෂයක් යටතේ ඒ කාර්යය කරන බවක් පසුගිය කාලයේ රටට පෙන්වා සිටියේද එම නාලිකාවමයි !.

240119642 845089832855445 3119072171418515990 n

 

'අනිද්දා'  පුවත්පත සහ 'මාලිමාව' අතර විශේෂ මිත්‍රත්වයක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් ක්‍රියාකාරකම් සහ ප්‍රතිපත්ති මේ පුවත්පත හරහා නිර්දය විවේචනයටත් ලක්ව ඇත. එසේ තිබියදී, පුවත්පතේ කිසිවෙකුගේ ඉල්ලීමකින් හෝ දැනහැඳිනීමකින් තොරව, අනිත් ජාතික පුවත්පත්වලට දෙන ඉඩකඩම 'අනිද්දා' පුවත්පතටත් දීමට තරම් රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් විවෘත වීම, යහපත් මාධ්‍ය සදාචාරයක් පිළිබඳ හැඟීමක් ඔවුන් තුළ ඇති බවට දැක්වෙන ආරම්භක ඉඟියක් වශයෙන් සැලකීම වැරදි නැත.

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...