The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 5, 2024 • 11:08 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි.
  • මෙය පැහැදිලි කර දිය හැකි හොඳම උදාහරණය නම් 2022 වසරේ අරගල සමයයි.
  • දේශපාලන අදහස් හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත් වූහ.
  • මේ වන විට විශේෂ ලේකම් නම් තනතුරක් හදාගෙන තම හිතවතියක එම තනතුරට පත්කරගැනීමට තරම් එඩිතර වී සිටින ඇය නොබෝ දිනකින් මේ රටේ ජනාධිපති ධුරයට ද පත් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත් එහාය. සජිත් ප්‍රේමදාස, කාදිනල් කුරේ, නීතීඥ සංගමය, ජිනීවා වැනි තවත් බලවේග රැසක් ද රාජ්‍ය අස්ථාවරත්වය දිරිගන්වති

ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන පරමාදර්ශයකි. පරමාදර්ශයක් යනු උසස් ප්‍රමිතියකි. අප කෙතරම් දුරට එම ප්‍රමිතියට අනුකූලව කටයුතු කරනවාද යන්න තීරණය වන්නේ ප්‍රායෝගික තත්වයන් තුළය.

aragalaya 2022.7.14

මෙය පැහැදිලි කර දිය හැකි හොඳම උදාහරණය නම් 2022 වසරේ අරගල සමයයි. ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරනු ලැබූ සංදර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පැවතියේ ශක්තිවන්තයාගේ පාලනයකි. තෙල් පෝලිම්වල රජ කළේ මැර බලයයි. දේශපාලන අදහස් හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත් වූහ. ගෙවල් ගිනි තැබීම් පමණක් නොව මහමග පොලුවලින් ගසා මිනිසුන් මරා දැමීම ද සිදු විය.


ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් ඇරඹුණු බංග්ලාදේශ කැරැල්ල අවසානයේදී එම රටට උදා කර දුන්නේ කණගාටුදායක තත්වයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය යළි ස්ථාපිත කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙනි. ඒ සඳහා මුලදී දැඩිව බලය පාවිච්චි කිරීමට සිදු විය. කෙසේ වෙතත්, ලේ හැලීමකින් තොරව එය කිරීමට රනිල් වික්‍රමසිංහ සමත් විය. කඩාකප්පල්කාරී කැරැල්ල මැතිවරණ දේශපාලනයක් වෙත පසුබැස්වීමට හැකි විය. බලය දියවන්නාවෙන් එතෙරට ගෙන යාමට උද්ඝෝෂණ කළවුන් පූස් පැටවුන් මෙන් දියවන්නාව වටා පුරු පුරු ගාන තත්වයක් නිර්මාණය විය.

 

MG 9833 copyශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය යළි ස්ථාපිත කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙනි.

දැන් සිදු වී තිබෙන්නේ නැවත ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් විකාර පාලනයක් ක්‍රියාත්මක වීම ආරම්භ වීමයි. එහි ප්‍රධාන සංකේතාත්මක ලක්ෂණයක් වන්නේ දේශපාලනයේ අත්දැකීම් සහිත, පළපුරුදු, කැපවීම් සිදුකළ ජවිපෙ සහෝදර සහෝදරියන් පසෙක සිටියදී, එතරම් අත්දැකීමක්, ප්‍රතිභාවක් නැති, කැපකිරීමක් නොකළ ඉහළ මධ්‍යම පන්තික කාන්තාවක් සයිටම් විරෝධී කතා කීපයකින් එක පාරට ඉනිමග නැග ජවිපෙ ආණ්ඩුවක් යටතේ අගමැති ධුරයට පත්වීමයි. මේ වන විට විශේෂ ලේකම් නම් තනතුරක් හදාගෙන තම හිතවතියක එම තනතුරට පත්කරගැනීමට තරම් එඩිතර වී සිටින ඇය නොබෝ දිනකින් මේ රටේ ජනාධිපති ධුරයට ද පත් වනු ඇත.

ඉහළ මධ්‍යම පන්තික ඊනියා බුද්ධිමතුන් මෙම කාරණය කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් බවට පත් කරන්නට උත්සාහ කරති. මේ වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියයි.

Welimada19ඊනියා මව්පියන් නැවත විභාගයක් පවත්වන්නැයි ඉල්ලන්නේ තම දරුවන් ගැනවත් නොසලකමිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මාලිමාව විසින් ලිහා දමන ලද විනය විරෝධී මහජන බලවේග සිය සුපුරුදු කඩාකප්පල්කාරී චර්යාව නැවත අලුත් වටයකින් ආරම්භ කර තිබෙන බවට හොඳම උදාහරණය පහේ ශිෂ්‍යත්ව විකාරයයි. රජය මේ වන විට දිය හැකි ප්‍රශස්තම විසඳුම දී හමාරය. එහෙත්, මේ ඊනියා මව්පියන් නැවත විභාගයක් පවත්වන්නැයි ඉල්ලන්නේ තම දරුවන් ගැනවත් නොසලකමිනි. ඔවුන් පසුපස සිට බලමුළුගන්වන්නේ කවුරුද? ආණ්ඩුව බලයට පත් වූ සැණින් මෙවැනි සුළු කාරණයක් සම්බන්ධයෙන් මස් රාත්තලම ඉල්ලන්නට පිරිසක් පෙළඹුණේ කෙසේද?

 



මැතිවරණයේදී විශාල කැම්පේන් එකක් කිරීමෙන් පසුව පවා මුළු දිවයිනෙන්ම ඡන්ද 11,000ක් පමණක් ලබාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය මේ වන විට දැවැන්ත මානසික කඩාවැටීමකට ලක් වී පසුබා තිබෙන මුත්, ඔවුන්ගේ ගුරු සංගමය හා ජෝසප් ස්ටාලින් ද යළි පිබිදී තිබෙනු දක්නට ලැබිණි.

7034f7707a331468351045687429f48a XL

පොහොර සහනාධාරය රු. 25,000 දක්වා වැඩි කිරීමට තීරණය කළේ පසුගිය ආණ්ඩුවයි. වත්මන් ආණ්ඩුව එය කලින් තීරණය කළ පරිදි ඔක්තෝබර් 1දා සිට ලබාදීමට තීරණය කළේය. මැතිවරණ කාලේ පිස්සුවෙන් මෙන් කටයුතු කළ මැතිවරණ කොමිෂන් සභාව රැස්වීම්වලට එන ජනයාට කන්නට සූදානම් කර තිබූ කෑමවලට සීල් තැබුවේය. අති විශාල ආහාර ප්‍රමාණයක් නාස්ති කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වගකිව යුතුය. ඒ තර්කයෙන් බැලුවොත්, රැස්වීමකට පැමිණෙන අයට බස් දෙන්නට හෝ වතුර බෝතල් දෙන්නටවත් බැරිය.


පොහොර සහනාධාරයෙන් ආණ්ඩුව වාසි ගන්නා බවට පෝස්ටුවක් දෙකක් ෆේස්බුක්හි දැක්ක ගමන් මෙම ස්වාධීන කොමිෂන් සභාව කලබල වී දැන් පොහොර සහනාධාරය නවත්වා ඇත. ගොවීන් කියන්නේ දෙනවා නම් පොහොර සහනාධාරය දිය යුත්තේ දැන් බවයි.

 



මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන ලද මුග්ධ ක්‍රියාව නිසා දැන් පොහොර සහනාධාරයේ වාසිය යන්නේ කලින් ආණ්ඩුවේ සිටි අයටයි.

වත්මන් ආණ්ඩුව යනු 2022 අරගලයේ හෙවත් කැරැල්ලේ දිගුවකි. එය රනිල් වික්‍රමසිංහ විසින් ස්ථාපිත කරන ලද ස්ථාවරත්වයේ ප්‍රතිපක්ෂයයි. ජනප්‍රියවාදය එහි මූලධර්මයකි. එවැනි ආණ්ඩුවකට කළ හැකි සාධනීය කාර්යයන් අවමය. සතියක් යන්නටත් පෙර ආණ්ඩුව අර්බුදවලට මැදි වීම විස්මය ජනකය. අපි බලා සිටින්නෙමු.



AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

 


(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...