The Leader News
BREAKING
Top Ad
Opinion

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකි ද? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

October 6, 2024 • 8:24 AM

හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකි ද? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි.
  • ඒත් දෙහි ගෙඩියක් ඇතුළෙන් ලේ මතුවෙන එක නම් මටත් ලොකු ප්‍රශ්නයක්.” ඉන්පසුව ඇය ඒ සම්බන්ධයෙන් හෙළිකරන ලද්දේ ඊට වඩා අතිශය බරපතල කරුණකි.
  • මෙම විපරීතය කොතෙක්ද යත් මෙම විෂය මුල්කොට 2018 වසරේදී “ඇස්වහ-කටවහ-වහ දොස් පිළිබඳ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක්” යනුවෙන් වෙනම කෘතියක් සම්පාදනය කිරීමට පවා මට සිදුවිය.
  • තරුණියන්ගේ නම් රූමත් බව අඩුවීම, කුඩා දරුවන්ගෙ නම් ඇස්වහ බිබිලි යනුවෙන් හැඳින්වෙන කුඩා බිබිලි ඇතිවීම ආදිය සිදුවන බව සාම්ප්‍රදායික ජන විශ්වාසයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි.

“අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට ඇස්වහ-කටවහ තියෙනවද? බලන්න දෙහි කපන තැනකට යනවා. එතැන දෙහි කපන මනුස්සයා තමන්ගෙ අතේ ඇඟිලි දෙකක් ගිරයක්වගේ පාවිච්චි කරලා දෙහි ගෙඩිය දෙපලු කරනවලු. ඒත්, පුදුමේ කියන්නේ ඒ මනුස්සයා දෙහි ගෙඩියට මතුරලා දරුවෙකුගේ ඔළුවට ගිරේ තියලා දෙහි කපනකොට ඒ දරුවට බරපතළ විදිහට ඇස්වහ-කටවහ තියෙනවා නම් ඒ දෙහි ගෙඩියෙන් ලේ මතුවෙනවලු. මම නම් ඕව ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. ඒත් දෙහි ගෙඩියක් ඇතුළෙන් ලේ මතුවෙන එක නම් මටත් ලොකු ප්‍රශ්නයක්.”

ඉන්පසුව ඇය ඒ සම්බන්ධයෙන් හෙළිකරන ලද්දේ ඊට වඩා අතිශය බරපතල කරුණකි.

 

Screenshot 2024 10 06 at 13.22.30 copy

“(ගම්පහ නගරයේ ජනප්‍රිය පාසලක්) දරුවෙකුගේ අම්මා කෙනෙක් පහුගිය සාමාන්‍ය පෙළ විභාගයට සති දෙකකට විතර කලින් ඔය කියන තැනට ගිහින්. ඒ වෙලාවේ කපපු දෙහි ගෙඩි වලින් පුදුම විදිහට ලේ මතුවෙලා තිබුණා. ඒ එක්කම ඒ දෙහි කපපු මනුස්සයා කිව්වලු මේ වගේ ඇස්වහ-කටවහ දෝෂ තියෙන දරුවෙක් විභාගෙට යනවට වඩා හොඳයි ගෙදර තියාගන්න එක කියලා. මේ ඇස්වහ-කටවහ දෙහි කපලා දුරු කරගන්න පුළුවන් ඒවා නෙවෙයි කිව්වලු. කැමති නම් ඒ දෝෂ දූරිභූත කරලා පෙන්නන්නම්, මට මේ වැඩේට සල්ලි එපා හැබැයි පූජා භාණ්ඩවලට නම් රුපියල් තිස් දාහක් විතර යනවා කිව්වලු. කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ ඒ දරුවගෙයි අම්මගෙයි මානසිකත්වය බින්දුවටම වැටිලා. ඒ විතරක් නෙවෙයි ගෙදර ගිහින් සිද්දිය කිව්වට පස්සේ දරුවගෙ අත්තම්මා ප්‍රෙෂර් වැඩිවෙලා ඉස්පිරිතාලෙට අරගෙන පහුවෙනිදා මැරිලා. ඒ අය හිතනවලු ඒ මරණයට හේතුවත් දරුවගේ ඇස්වහ-කටවහ කියලා.”

මේ කතාව දෙහි කැපීම මුල්කොටගෙන එදා මෙදා තුර අප රටේ සිදුවූ එකම ඛේදවාචකය යැයි මම නම් කෙසේවත් නොසිතමි. මීට දශක කිහිපයක් තෙක් ග්‍රාමීය සමාජය තුළ කේන්ද්‍රගතව තිබූ මෙම ඇස්වහ-කටවහ පිළිබඳ ගුප්ත විශ්වාස අද වන විට ශ්‍රී ලංකාවේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ මුල්කොටගෙන ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මෙම විපරීතය කොතෙක්ද යත් මෙම විෂය මුල්කොට 2018 වසරේදී “ඇස්වහ-කටවහ-වහ දොස් පිළිබඳ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක්” යනුවෙන් වෙනම කෘතියක් සම්පාදනය කිරීමට පවා මට සිදුවිය.

 

Screenshot 2024 10 06 at 13.22.50 copy
අප ජන සමාජයේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව අණ-වින, හදි-හූනියම් මෙන් ඇස්වහ-කටවහ කිසිසේත් ප්‍රතිඵල උදාකරන ගුප්ත දෝෂයක් නොවේ. එමගින් සිදුවනුයේ යම් පුද්ගලයෙකුගේ සුබ සිද්ධිය,දියුණුව අඩාල වීම, අලසභාවය, නිදිමත ආදිය මුල්කොටගත් නිරන්තරව පවත්නාසුළු මනෝ කායික ආබාධ කිහිපයකි. තරුණියන්ගේ නම් රූමත් බව අඩුවීම, කුඩා දරුවන්ගෙ නම් ඇස්වහ බිබිලි යනුවෙන් හැඳින්වෙන කුඩා බිබිලි ඇතිවීම ආදිය සිදුවන බව සාම්ප්‍රදායික ජන විශ්වාසයයි. පුද්ගලයන්ට අමතරව නවීන ගේ දොර, ගොඩනැගිලි, යානවාහන ආදියද ඇස්වහ-කටවහ දෝෂවලට ලක්වන බවට ගුප්ත විශ්වාසයක් අප සමාජයේ පැතිර තිබේ.

නවීන සමාජය තුළ නිසි දැනුමක් නොමැති වුවද වතුර මැතිරීම (දකුණු පළාතේ නම් අත්ත ගහ මැතිරීම)සහ දෙහි කැපීම් ආදී වශයෙන් සිදුකෙරෙන මූලික ශාන්තිකර්ම ගෘහස්ථ ශාන්තිකර්ම ගණයට අයත් වේ.

 

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි -(තිලක් සේනාසිංහ)
මෙවන් ගෘහස්ථ ශාන්තිකර්ම පිළිබඳ සාම්ප්‍රදායික දැනුම් සම්භාරකින් යුතු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පදිංචිව සිට නැසී ගිය පියදාස විද්‍යාරත්න (විපුලසේන) මහතා කී අන්දමට වතුර මැතිරීම්, දෙහි කැපීම් ආදිය බුදු ගුණ ශාන්තිය නමින් හැඳින්වෙන ශාන්තිකර්ම වන අතර, එය සිදුකරන තැනැත්තාගේ සිල්වත්, ගුණවත් බව අනුව එම ශාන්තිකර්මවල ප්‍රතිඵල ද විශිෂ්ඨත්වයට පත්වෙයි.

හත් අඩියේ දෙහි කැපීම නම් වන ශාන්තිකර්මය සිදුහත් කුමරුන්ගේ පියුම් පිට වැඩීම සංකේතනය කරන්නකි. සාමාන්‍ය දේවාල කපුවන් හෝ යක් ඇදුරන් නොවන ගිහි පිරිත් ආදියට සම්බන්ධ වන නිර්මාංශාහාරික පුද්ගලයන් මෙම වතුර මැතිරීම්, දෙහි කැපීම් සඳහා වඩාත් සුදුසු බව අප සමාජයේ සාම්ප්‍රදායික ජන විඥානයේ පවතින බවට විද්‍යාරත්න මහතා කළ එම ප්‍රකාශය ද මගේ ඇස්වහ-කටවහ කෘතියට ඇතුළත්ව තිබේ.

 

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි -(තිලක් සේනාසිංහ)

එවන් පසුබිමක් යටතේ ඉහත සඳහන් සාම්ප්‍රදායික විශ්වාස උඩු යටිකුරු කරමින් විවිධ කපටි කෛරාටිකයන් විසින් අටවා ගනු ලබන දේවාලවල සිදුකරනු ලබන මෙම ලේ වගුරන දෙහි කැපීම් යනු හුදෙක් එම සාම්ප්‍රදායික ශාන්තිකර්මය ගණිකා වෘත්තියේ යෙදවීමකි. මෙහිදී ඔවුන් සිදුකරනුයේ එලෙස තමන් වෙත පැමිණෙන්නවුන් තුළ ඇස්වහ-කටවහ ඇති බව සනාථ කෙරෙන ප්‍රෝඩාකාරී මවාපෑමකි. එමගින් එසේ පැමිණෙන්නවුන් බයට පත්කරන මනෝවිද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවකි.

මෙසේ දෙහි කැපීමේදී දෙහි ගෙඩි තුළින් ලේ මතු කරගැනීමේ ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එසේ දෙහි කැපීමට යොදාගනු ලබන ගිරයේ වදමල් ඉස්ම හෝ එවැනි රත් පැහැති යමක් ගල්වා ගිරය වියැළෙන්නට තැබීම ය. පසුව එම ගිරය යොදාගෙන කරනු ලබන දෙහි කැපීමක දී එහි අභ්‍යන්තරය රතු පැහැයෙන් දිස්වීම අරුමයක් නොවේ. මීට අමතරව ඖෂධ එන්නත් සඳහා යොදාගනු ලබන සිලින්ජරයක් දෙහි ගෙඩියක් තුළට රත් පැහැති දියරයක් විදීමෙන් ද කපන දෙහි ගෙඩිය තුළින් ලේ මතුකොට දැක්විය හැක. ඊට අමතරව දෙහි ගෙඩියක් ගෙන එය වටා එකි`නෙකට ගෑවෙන දුරින් කවාකාරව අල්පෙනිත්තියකින් සිහින් සිදුරු විද දෙහි ගෙඩිය අතින් පොඩිකළ විට සිදුරු වැසී යයි. පසුව එම දෙහි ගෙඩියක් ඇඟිලි දෙකක් අතරට සිර කරගෙන එම සිදුරු අනෙක් අතේ ඇඟිලිවලින් තෙරපීමට ලක්කළ විට ලෙල්ල ඉවත්වී දෙහි ගෙඩිය දෙපළු වෙයි. මෙය හරියට බිල් පොතකින් බිලක් වෙන්කරගැනීමක් වැනි සරල වැඩකි.

Screenshot 2024 10 06 at 13.23.07 copy

 

රූපවාහිනී නිළියක සහ නිරූපිකාවක වන නදී දර්ශනී ද ගුප්ත විද්‍යාවේ නමින් සිදුකෙරෙන මෙබඳු ඇස්බැන්දුම් පිළිබඳව පාරම්පරික ඥානය තුළින් දැන හිඳින්නියකි. නමුදු ඇය තුළ පවත්නා විශිෂ්ඨත්වය වනුයේ ඒවා හුදෙක් ඇස්බැන්දුම් මිස හාස්කම් නොවන බව ප්‍රසිද්ධියේ කියාපෑමට ඇය ඉත සිතින් කැමැත්ත පළකිරීම ය. ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජානක කඳනආරච්චි විසින් මා හට හඳුන්වා දෙනු ලැබූ නදී දර්ශනී විසින් අනාවරණය කරන ලද හාස්කම් මුවාවෙන් සිදුකරනු ලබන ඇස්බැන්දුම් ප්‍රසංගයක් ද සහිත දේශනයක් මීට වසර කිහිපයකට පෙර කොළඹ 8, කොටා රෝඩ්හි ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වීමට මට අවකාශ ලැබිණි. ඒ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඇරයුමකට අනුව ය. 

එහෙත්, ඉන් වසර කිහිපයකට පසුව ද මෙලෙස මිනිස් ජීවිත අකාලයේ වනසා දැමීමට ඉවහල් වන විශේෂයෙන්ම අපේ නූතන පරපුර නොමඟ යවන ලේ වගුරන දෙහි කැපීම් තවදුරටත් ප්‍රවර්ධනය වෙමින් තිබීම සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ කම්පාවකි. මෙවන් මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අප රට තුළ නීති ප්‍රතිපාදන සැකසීමේ ක්‍රියාවලියක් පේනතෙක් මානයකවත් නොතිබීම ඒ කම්පාව තවත් තීව්‍ර කිරීමට සමත්ව තිබේ.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...