The Leader News
BREAKING
Top Ad
Opinion

ඩෙංගු පාලනයට බරවා රෝගය සඳහා බෙහෙත් ඉල්ලන්න එපා - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 8, 2024 • 12:18 PM

ඩෙංගු පාලනයට බරවා රෝගය සඳහා බෙහෙත් ඉල්ලන්න එපා - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ජනතා අප්‍රසාදයට” පත් වුන, “ජනතාව ප්‍රතික්ෂේප කරන” පුද්ගලයින් සඳහා නාම යෝජනා දෙන්න එපා කියලා.
  • ඒවායේ අරමුදල් සමාජයට ප්‍රකාශ කෙරෙනවද?
  • මේ රටේ ලොකු ජාවාරම්කාරයින් කලු සල්ලි අපුල්ලන්නේ පක්ෂ අරමුදල් වලටයි නායක නඩත්තුවටයි කියලා නාගරික සමාජයේ තියෙන විවෘත කතාවක්.
  • ඉවක් බවක් නැතිව මාධ්‍ය මේවා උස්සගත්තම සාමාන්‍ය මිනිසුන් හිතන්නේ බරවා රෝගයට දෙන බෙහෙත් ඩෙංගු උණටත් හරි කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

“ජනතා අප්‍රසාදයට” පත් වුන, “ජනතාව ප්‍රතික්ෂේප කරන” පුද්ගලයින් සඳහා නාම යෝජනා දෙන්න එපා කියලා.

මාධ්‍යයත් ලොකු වැඩක් වගේ මේ මෝඩ කතා උස්සගෙන යනවා. උගත් කියන නාගරික මැදපංතියේ සමහරු ඒ ඉල්ලීමට සිංහලෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශස්ති ලියනවා. ඒවටත් මාධ්‍යයේ ලොකු ඉඩක් දෙනවා.

 



කාටද අයිතියක් තියෙන්නේ තවත් පුද්ගලයෙකු මේ සමාජයේ අප්‍රසාදයට ලක් වුන, ප්‍රතික්ෂේප වුන පුද්ගලයෙකු කියලා තීන්දු කරන්න? මම කවුරු හරි පුද්ගලයෙක්ව ප්‍රතික්ෂේප කළ පමණින් අනෙක් අයත් ඔහුව හෝ ඇයව ප්‍රතික්ෂේප කළ යුතුද? කොහොමද පුද්ගලයෙක් ජනතා අප්‍රසාදයට පත් වුන, ජනතාව ප්‍රතික්ෂේප කරන්නෙක් කියලා ගණන් හදන්නේ? මොකද්ද පදනම? මොනවද නිර්ණායක? ජනතා අප්‍රසාදයට කියන්නේ කොහේ ඉන්න ජනතාවකගේ අප්‍රසාදයටද? මාධ්‍යවල මේවා ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට මාධ්‍යවල මේවා ලොකු අකුරින් ලිව්වම, මහ හයියෙන් කිව්වම සාමාන්‍ය ජනතාවත් හිතනවා එහෙම තමයි “පිරිසිදු” ආණ්ඩු හදන්න පුළුවන් කියලා.

ජනතා අප්‍රසාදයට පත් වුන, ජනතාව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් වෙනුවට “පිරිසිදු” පුද්ගලයින්ට නාම යෝජනා දෙන්න කියලා මේ පක්ෂ වලින් කරන ඉල්ලීම, මෑත කාලෙක මම අහපු මැටි මෝල්ම ඉල්ලීමයි. කාගෙන්ද මේ ඉල්ලීම කරන්නේ? දේශපාලන පක්ෂ වලින්. දේශපාලන පක්ෂ පිරිසිදු ද? ඒවා නඩත්තු වෙන්නේ “සුදු සල්ලි” වලින්ද? ඒවායේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? ඒවායේ අරමුදල් සමාජයට ප්‍රකාශ කෙරෙනවද? ඒවායේ නායකයින්ගේ පෞද්ගලික හා පවුලේ ආදායම් මොනවද, කොහෙන්ද එන්නේ, කියලා අහලා තියෙනවද? මේ දූෂිත ජාතිවාදී දේශපාලන පක්ෂ “ජනතා අප්‍රසාදයට” පත් වුන, “ජනතාව ප්‍රතික්ෂේප කරන” පුද්ගලයින් කියන්නේ ඔවුන්ගේ වර්ගවාදී ජාතිවාදී දේශපාලනය අභියෝග කරන පුද්ගලයින්ට මිසක්, පගා ගන්න, කප්පම් ගන්න, බැංකු වලට ලොකු පොලු තියන, කලු සල්ලි හම්බ කරන ජාවාරම්කාරයින්ට නෙවෙයි.

මේ රටේ ලොකු ජාවාරම්කාරයින් කලු සල්ලි අපුල්ලන්නේ පක්ෂ අරමුදල් වලටයි නායක නඩත්තුවටයි කියලා නාගරික සමාජයේ තියෙන විවෘත කතාවක්. නමුත් දෙසතියකට කලින් විසිරුවා හැරිය පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධ පරස්පර, අවුල් සමග කෝප් කමිටුවල කෙරුණු ප්‍රශ්න කිරීම් වලින් හෙළදරුව් වුනේ, ජාවාරම්කාරයින් සමග මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගහලා තියෙන්නේ දේශපාලකයින් විතරක් නෙවෙයි කියලා. රජයේ ඉහළ තනතුරුවල ඉන්න ලොකු නිලධාරීනුත් ඒ වගේම නැතිනම් ඊටත් වැඩියෙන් මහජන මුදල් පිල්ලි ගහලා.

 

ආණ්ඩුවේ දූෂිත සුදු අලි රුපියල් කෝටි ලක්ෂයක් ගිලිති!

කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ දේශපලන පක්ෂ අඩු වැඩි වශයෙන් හැම එකක්ම දූෂිතයි. ඒ කිසිවක ප්‍රජාතන්ත්‍රවාදයක් ගෑවිලාවත් නැහැ. හැම පක්ෂයක්ම ජාතිවාදී ආගම්වාදී පක්ෂ. මේ පක්ෂ නායකයින් දෛනිකව වැය කරන මුදල් ගැනද කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් කොහේවත් කෙරෙන්නේ නැහැ. ඒ වගේම, දේශපාලනයට එනකම් බොහෝ දෙනා “පිරිසිදු” පුද්ගලයින්. නැතිනම් හැකි ඉක්මණින් මුදල් හොයන්න හිතාගෙන එන අය. මේ අය මඩ නාන්නේ, අපිරිසිදු වෙන්නේ දේශපාලනයට ආවට පස්සේ. කාටද කියන්න පුළුවන් ජාවාරම්කාරයින් හැරුණම, පාර්ලිමේන්තුවට පත් කෙරුණ ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් දේශපාලනයට එන්නත් කලින් හොරු, වංචනිකයින් දූෂිතයින් කියලා?

පිරිසිදු පුද්ගලයින් ඉදිරිපත් කරලා මේ රටේ පිරිසිදු දේශපාලනයක් හදන්න බැහැ. දේශපාලනයට ගෙනැල්ලා පිරිසිදු පුද්ගලයින් දූෂිතයින් කරන්න නම් පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ ජාවාරම්කාර දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයේ දේශපාලන පක්ෂ හා රාජ්‍ය සේවය ජාවාරම්කාරයින්ගෙන් නඩත්තු වීමයි. ඒ ප්‍රශ්නයට විසඳුම් කතා නොකර, මේ දේශපාලන පක්ෂ වලින් පිරිසිදු අපේක්ෂකයින් ඉල්ලීම, ඩෙංගු පාලනයට බරවා රෝගය සඳහා බෙහෙත් ඉල්ලීම වගේ වැඩක්. ඉවක් බවක් නැතිව මාධ්‍ය මේවා උස්සගත්තම සාමාන්‍ය මිනිසුන් හිතන්නේ බරවා රෝගයට දෙන බෙහෙත් ඩෙංගු උණටත් හරි කියලා.

මෝඩිගේ හින්දුත්වා 'පූරිය' - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 ඔක්තෝම්බර 08 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...