වෙනදාට නම් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල දරුවෙකුට පොතක් පාඩමක් කර ගන්නටවත් බැරිව තිබිණි. නොසන්ඩාල මධ්‍යම පාන්තික ගැහැණු සහ පිරිමි කාර්වලින් පැමිණ හෝටල් යැයි කියා ගන්නා ගුබ්බෑයම් අස්සට රිංගා ගෙන මහා සද්දයෙන් සංගීත සාජ්ජ දමා ගෙන කුඩු ගහපු උන් මෙන් පාන්දර වෙන තෙක් හූ කියමින් නටමින් හතර වටේ නිවෙස්වල ජීවත් වන්නන්ට කරදර කරයි.
ඒ ගැන පොලිසියට කීවාට කිසිදු ඵලක් නැත. නේවාසික පෙදෙසක එවැනි හෝටල් හැදීමට අවසර ගත්තේ පැවැති ආණ්ඩුවලට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ පිහිටෙන් විය හැකිය. ඒවාට විරුද්ධව කතා කරන්නට ගිය විට අපට බැනුම් අහන්නට වේ. නමුත් අනුර කුමාර ජනාධිපති වූ දින පටන් අඩුම තරමින් ඒ මළ කරදරය නැවතී ඇත.

මාලබේ කැම්පස් එකත් එවැනි මහා කරදරකාරී ස්ථානයකි. සතියට වරක් එහි සංගීත රාත්‍රියක් පවත්වයි. එය හතර ගම් පළාතටම අහෙන්න දමා ගෙන එහි කොල්ලන් සහ කෙල්ලන් ඩෙඟා නටන්නේ ගොඩේ ගැමියන් අලුතෙන් රේඩියෝවක් ගෙනා විට පාරටත් ඇහෙන්න සද්දෙන් අහන්නා වාගේය. එහි ඉගෙන ගන්නේ අලුතෙන් මධ්‍යම පාන්තිකයන් වූ ගැමියන්ගේ දරුවන්ය. JVP නායකයා ජනාධිපති වූ දින සිට ඒ නාඩගමත් නැවතී ඇති සැටියකි. බලපුළුවන්කාරකමට නුවර පාර බදු ගෙන සිටින එකත් නැවැත්තුවා නම් උදේට හවසට මග යන එන මිනිසුන්ට මහත් පහසුවකි.
මෙය නම් හොඳ ප්‍රවණතාවයකි. කල්පනා කර බලන විට උතුරු නැගෙනහිරට පොලිස් බලතල දෙනවද නැද්ද වැනි කාරණා ගැන මා වැන්නවුන් වද වුණාට රටේ අතිමහත් බහුතරයට එයින් වැඩක් නැති බව ඔප්පු විය. එක අතකට බලන විට ලංකාවේ ජාතික පොලිසියක් තිබුණා කියාත් වැඩක් නැත. උදාහරණයක් ලෙස ඉහත ප්‍රශ්නවලදී පොලිසිය ගන්නේ එම හෝටල් හිමිකරුවාගේ පැත්තයි. එයම බෙදුම්වාදයකි. පොලිසියෙන් බැට කන්න උතුරට යා යුතු නැත… අඩුම තරමින් දැන් අපට නිදහසේ කන් කරච්චලයක් නැතිව නිදා ගත හැකිය. නිදහසේ මගේ පතපොත කියවිය ලිවිය හැකිය.

මධ්‍යම පාන්තික අහංකාර ගොඩයන්ගේ නාස්තිකාර සාදය හමාර කරන්නට JVP ආණ්ඩුවට හැකි නම් එයම ලංකාවේ හැරවුම් ලක්ෂයකි. ඊනියා සංවර්ධන සිහිනය කුඩු පට්ටම් කර අයිෆෝන් සිඟිත්තන් මට්ටු කරන්නට පුළුවන් නම් තවත් අගනේය. මේ ණය ගන්න හැටියට සහ IMF සරණ යන හැටියට නම් ඒ ගැන විශ්වාසයක් නැත. කෙසේ වෙතත් මහා මැතිවරණය තෙක් හෝ මේ ආකාරයට ලංකාවේ අශිෂ්ට සමාජය බියෙන් හික්මවා තබන්නනට හැකිද කියා බලමු.
ධර්මය අපට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ඔක්තෝබර් 9



