The Leader News
BREAKING
Top Ad
Opinion

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

October 10, 2024 • 5:16 PM

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති දිසානායකගේ දැක්ම, තවමත් වීදි සටන් ගායෙන් පෙළෙන වසන්ත සමරසිංහට වඩා ඛෙහෙවින් ධානාත්මක බව පැහැදිලි ය.
  • එදා ඒ සිද්ධිය දුටු කෙනෙකු කීවේ, නාමල් කරුණාරත්න එහි දී ජවිපෙට ආවේනික ගල් කටස් තුවක්කුව හැර අනෙක් සියළු ක්‍රමවේද භාවිතා කළ බව ය.
  • නාමල් කරුණාරත්න ගෙන් මෙන්ම, වාහන සංදර්ශනයේදී වසන්ත සමරසිංහ ප්‍රදර්ශනය කළේත්, දසක තුනක් පමණ කාලයක් බහුතර ජනාව ප්‍රතික්ෂේප කළ ජවිපෙයට ආවේනික තර්ජනය සහ නො දන්නාකම මිස රටේ 42.31%ක් ජනතාව මාලිමාවෙන් අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
  • ජනාධිපති මැතිවරණය අතර, අනුර කුමාර දිසානායක දිනුවොත් රට ලේ විලක් වේ යයි සමහරු සැක පහළ කළේත් ඔවුන්ට සහාය දුන් ජන මතය 50%ක් තරම් ඉහළ නො ගියේත් මේ දෙ පරාදුව නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනාධිපති දිසානායකගේ දැක්ම, තවමත් වීදි සටන් ගායෙන් පෙළෙන වසන්ත සමරසිංහට වඩා ඛෙහෙවින් ධානාත්මක බව පැහැදිලි ය.

dftet
ජනාධිපති දිසානායක, වසන්ත සමරසිංහලා මෙන් ආවේස වී සිටියා නම් මේ වනවිට මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හිර බාරයේය. මහ බැංකු අධිපති නන්ද ලාල් වීරසිංහ ගෙදරය. අයිඑම්එෆ් කණ්ඩායම කටුනායකින් හරවා යවා හමාරය. රටේ බහුතර ජනතාව, සෞභාග්‍ය මිට මොලවා සිටි ගෝඨාභය වැනි වැඩ්ඩෙක් හෝ අරගල මානසිකත්වයට ඉඩ දී බලා සිටින මොහොමඩ් යූනුස් කෙනෙක් විධායක ජනාධිපති දිසානායක ගෙන් අපේක්ෂා කරන්නේ නැත.

රටේ ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(1) යටතේ පැවරුණ බලය අනුව පත් කළ අයවළුන් විසින් භාවිතා කළ රජයේ එකී වාහන ගෝල්පේස් පිට්ටනියේ ගාල් කළේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉඩකඩ නැති නිසා (මිස වසන්ත සමරසිංහලාට සංදර්ශණ පැවැත්වීමට නොවන බව) නිල නිවේදනයකින් රට දැනුවත් කිරීම යනු ජනාධිපති අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහලා මෙන් රටට පෙනෙන්නට ඩිංගි ගහන්නෙක් නොවන බව පැහැදිලි ය.

50%ක ජන බලයක් නො ලැබුණද රටේ බහුතරය දැඩි විශ්වාසයකින් ජනාධිපති දිසානායක දෙස බලා සිටින පසුබිමක වසන්ත සමරසිංහලා මර්වින් සිල්වාලාට ආවේස වීම රට ආපසු ගමන් කිරීමකි.
 
xrtert

ගාල් කළ රජයේ වාහන කවුරුන් හෝ අව භාවිතා කළා නම්, වග කිවයුත්තන් පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට ගෙන මහාධිකරණයෙන් ඇප ලබා ගන්නා තෙක් මාස ගණන් රක්ෂිත බන්ධනාගාර ගත කරන තැනට කටයුතු කළ හැකි වුවද වසන්ත සමරසිංහ එහිදී අසමත් විය. ඊට සාපේක්ෂව ප්‍රකට ජාජබ ක්‍රියාකාරි නාමල් කරුණාරත්න තුන් හාර සීයක් පිරිවරා ගොස් වරක් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් වරියකගේ නිල කාමරයට කඩා පැන, නියං සහනාධාර අහිමි කිරීමක් ගැන ප්‍රශ්න කළ සිද්ධිය සිහිපත් වේ.

එදා ඒ සිද්ධිය දුටු කෙනෙකු කීවේ, නාමල් කරුණාරත්න එහි දී ජවිපෙට ආවේනික ගල් කටස් තුවක්කුව හැර අනෙක් සියළු ක්‍රමවේද භාවිතා කළ බව ය. එකී නියං සහනාධාර ගැටලුව ගැන විමසූ මාධ්‍ය වේදියෙකුට එවකට කුරුණෑගල  දිස්ත්‍රීක් ලේකම් ගාමිණි ඉලංගරත්න කීවේ, නියං සහනාධාර වැඩ සටහන අනුව, නියං ආලාපාළු තුනී වෙමින් ජීවන තත්වය යළි යහපත් වන ගැමි පවුල් හඳුනා ගෙන සහනාධාර ලේඛණයෙන් නම් ඉවත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන විරෝධතා කරුවන් දැනුවත්ව සිටියා නම් යහපත් බවය.
 
ertwert

නාමල් කරුණාරත්න ගෙන් මෙන්ම, වාහන සංදර්ශනයේදී වසන්ත සමරසිංහ ප්‍රදර්ශනය කළේත්, දසක තුනක් පමණ කාලයක් බහුතර ජනාව ප්‍රතික්ෂේප කළ ජවිපෙයට ආවේනික තර්ජනය සහ නො දන්නාකම මිස රටේ 42.31%ක් ජනතාව මාලිමාවෙන් අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ජනාධිපති මැතිවරණය අතර, අනුර කුමාර දිසානායක දිනුවොත් රට ලේ විලක් වේ යයි සමහරු සැක පහළ කළේත් ඔවුන්ට සහාය දුන් ජන මතය 50%ක් තරම් ඉහළ නො ගියේත් මේ දෙ පරාදුව නිසාය.

 ගෝල්පේස් හී ගාල් කළ වාහන සංදර්ශණය අවසන් කරමින් නිකුත් කළ ජනාධිපති කාර්යාලයේ නිවේදනය උපුටා දැක්වූ දිනපතා ජාතික පුවත් පතක දේශපාලන ඕපදූප තීරයක, මාධ්‍ය වේදියෙකු මේ ගැන මාලිමාවේ ප්‍රබලයෙකු ගෙන් විමසූ විට ''වසන්ත සහෝරදයා ඉක්මන් වුණා වැඩියි '' යනුවෙන් කී බවක්ද එහි සඳහන් විය.

ගෙවී ගිය සතියේ රට හිනැස්සූ අනෙක් ඩිංගි ගැහිල්ල මැතිවරණ කොමිෂමේය, වික්‍රමසිංහ පාලනය වැඩි කළ රුපියල් 25000ක පොහොර සහනාධාරය, ගොවීන්ට නිකුත් කිරීමට ජනාධිපති දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිෂම අත් හිටුවීම නිසා ගොවි ජනතාව කලබල විය. හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරත් පොහොර සහනාධාරය මාස් කන්න සඳහා කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේ රුපියල් 25000ක පොහොර සහනාධාරය සැප් 20 වෙනිදා සිට ගොවි ජනතාවට බැංකු පද්ධතිය හරහා නිදහස් කිරීමට ජනාධිපති දිසානායක උපදෙස් දුන්  බව කෘෂිකර්ම ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ නිවේදනය කළේය.
 
trt
මේ ආකාරයට ඉන්ධන සහනාධාරය ලබා ගැනීමට ධීවරයන් පාරට බසින තෙක් මැතිවරණ කොමිෂම බලා සිටිනවා විය හැකිය. කන්න රැස්වීමේ සිට වී අස්වැන්න විකුණා ගැනීම තෙක් ගොවි ගැටළු ගැන අවබෝධයක් ඇති පාසල් දරුවන් පවා මැතිවරණයක් කල් දැමුවත්, යළ මහ ගොවිතැන නීතියෙන් කල් දැමීමට හෝ ධීවරයන් මුහුදු යාම නතර කළ නො හැකි බව දනිතත් මැතිවරණ කොමිසමට එවැනි විඥානයක් නැති බව පෙනේ.

අතීතයේ කන්න රැස්වීමකදී මහ හඬින් අදහස් දක්වමින් හැසිරුණ ගොවියෙකු ඇමතූ රැස්වීම මෙහෙය වූ දිසාපති වරයා, ''මට දැන් තමුන්ව රැස්වීමෙන් එළියට දාන්න සිද්ධ වේවි'' යනුවෙන් කළ තරවට්ටුවෙන් කිපුණ අර ගොවියා ''මං එළියට දාන්න තමුන්නාන්සෙ කවුද? මේක අපේ කන්න රැස්වීම. ගොවිතැන් කරන අපි එළියට දාලා තීරණ ගත්තොත්  කන්න වෙන්නේ බත් නොවෙයි පිදුරු.'' යනුවෙන් ආවේගයෙන් කියා රැස්වීමෙන් නැගිට යන්ට ගියේය. අන්දමන්දවූ දිසාපති, ආණ්ඩුවේ ඒජන්තකම  හකුළා නිහඬ වූ අතර කෘෂිකර්ම නිලධාරින් අර ගොවියා නැවත කැඳවා අසුන් ගන්වා කන්න රැස්වීම යළි ආරම්භ කළහ.

පක්ෂ භේදයෙන් තොරව පොදුවේ ලැඛෙන පොහොර සහනාධාරයෙන් දේශපාලන වාසි ගන්නේ කෙසේදැයි සැප් 9 වෙනිදා මව්බිම පත්‍රය හරහා බුත්තල කෘෂිකර්ම කමිටු ලේකම් එච්.එම්. අමරරත්න මුළු  රටෙන්ම අසා සිටියේ අතීතයේ දවසක අපි එළියට දාලා තීරණ ගත්තොත්  කන්න වෙන්නේ බත් නොවෙයි පිදුරු යනුවෙන් අතීතයේ දවසක අර ගොවියා දිසාපති ගෙන් ඇසූ ප්‍රශ්නයම නො වේද?

පොහොර ජලය සහ කාලය යන ගැටළු සමග නිතර පොර බදන ශ්‍රී ලාංකේය ගොවීන් ධීවරයන් පමණක් නොව, වීදියේ ජීවත්වන යාචකයන් පවා ශ්‍රී ලංකා සමාජවාදි ප්‍රජාතාන්ත්‍රීක රාජ්‍යය සමග බැඳි අනම්‍ය ගිවිසුම මැතිවරණ කොමිෂමට මැදිහත් විය හැකි නම්, මැතිවරණ සමයේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමත් වරදක් විය හැකිය. මැතිවරණ වේදිකාවල, බැංකු පද්ධතින් නො විමසා ගොවි ණය කපා හරිනවා යනුවෙන් පොරොන්දු දීමත් අල්ලසකි.

කෘෂිකර්ම අමාත්‍යංංශයේදී ජනාධිපති දිසානායක, ජනතාවාදි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙනී සිටින නිලධාරින් ආරක්ෂා කිරීමට ආණ්ඩුව සූදානම් බවට කළ ප්‍රකාශය, රට ප්‍රාර්ථනා කරන වෙනස කඩිනම් කරගත හැකි සාර්ථක කෙටි මාර්ගයකි. පසුගිය ලිපියෙහිද සඳහන් ආකාරයට, මේ රටට ඔබින රාජ්‍ය සේවයක් 1972 තෙක් සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ක්‍රියාත්මක විය. එකී 24 වසර තුළ රාජ්‍ය සේවයට සුදුස්සන් බඳවා ගත්තේ තරග විභාග වලින් පමණකි. දේශපාලනඥයන් රස්සා දීමට තබා රාජ්‍ය සේවකයෙකු මාරු කිරීමට හෝ බලයක් නො වීය. රජයේ කාර්යාලයකින් පුරවැසියන්ට නිකුත් කරන හැම ලිපියක් අවසානයේම නිලධාරියාගේ අත්සනට ඉහළන් මෙයට ඔබේ යටහත් සේවක යනුවෙන් දැක්වූ ව්‍යවස්ථා නියමයෙන් අදහස්  කළේ රාජ්‍ය නිලධාරින් ජනතාවගේ මිස ඡන්දෙන් වසර පහකට තේරී පත් වන දේශපාලනඥයන්ගේ ඉත්තන් නොවන බවය.

ඒ යුගයේ හැම රාජ්‍ය සේවකයාම මහත් අභිමානයෙන් යුක්තව කිසිවෙකුට ගැති නො වී සිය වගකීම් ඉටු කළහ. විෂය භාර ලිපිකරුවෙකු මුදල් හා පරිපාලන රෙගුලාසි අංක වශයෙන් යෙදූ නිර්දේශයකට ආයතන ප්‍රධානියාට හෝ බලපෑම් කළේ නැත. නියමිත කාලයට වඩා එක් දිනක් හෝ එක් සේවා ස්ථානයක රැඳී සිටීමට කිසිදු රාජ්‍ය සේවා සාමාජිකයෙකු උත්සාහ කළේ නැත. 1972 ජනරජ ව්‍යවස්ථා පෙරළිය නිසා වර්තමානයේ රාජ්‍ය සේවය පිරිහි දේශපාලන අතකොළු බවට පත් වී හෑල්ලූ වී තිබේ. 1990 තරුණ අසහන කොමිෂන් නිර්දේශ අනුව යළි තරග විභාග වලින් පමණක් බඳවා ගැනීම් ආරම්භ කළද චන්ද්‍රිකා පාලනය විසින් එය අත්හිටුවීය.

මුදල් අපේක්ෂාවෙන් විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම, දරුවන් පාසලට ඇතුළු කිරීමට ලක්ෂ ගණන් ගැනීම අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රකට දූෂණයන් බව රට තුළ පවත්නා සාමාන්‍ය අවබෝධය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සිද්ධියට සැක පිට අධ්‍යාපන අධ්‍යක්ෂයෙකුද අත් අඩංගුවට පත් වීමෙන් යළිත් තහවුරු විය. ලක්ෂ ගණන් ගෙවා ප්‍රශ්න පත්‍ර පිට කර ගන්නේ දරුවන්ට ආදරෙන් නොවේ. මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුවට ලබා දුන් සරල සහ සාධාරණ විසඳුමට එරෙහිව විභාගය අවලංගු කිරීමට සටන් කරන්නන්ට පහ වසර සිසු දරුවන්ට ඇති වන පීඩනය ගැන හැඟීමක් නැත.

(අ) ප්‍රශ්න පත්‍ර විකිණීම, (ආ) ඊට එරෙහිව පාරට බැසීම, (ඇ) ලබාදෙන සාධාරණ තීරණවලට එරෙහිව යළි වීදි බැසීමත් එකිනෙකට බද්ධ සංවිධානාත්මක ව්‍යාපාරයක්ද යන්න මෙන්ම එකී වීදි සටන් කරුවන් සියලු දෙනා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් ද යන්නත් විමසිය යුතුවේ.
 
dftwe45

බිත්තර නිෂ්පාදකයන් රජයේ මිල පාලන ගැසෙට්ටුවට එරෙහිව ලබා ගත් අධිකරණ නියෝගය නිසා බිත්තරයක මිල රුපියල් හැත්තෑ ගණනට ඉහළ ගියේ ය. බිත්තර මිල ඉහළ යාමට හේතුව කුකුල් කෑම මිල ඉහළ යාම බව එදා කී අනුර කුමාර බිත්තරෙන් කවුරුත් ගසා කෑ බවක් කීවේ නැත. බිත්තර මිල රුපියලකින් පහත වැටුණ විට ඒ මුදල ගියේ කාගේ සාක්කුවටදැයි විමසූ ආණ්ඩුවේ ආර්ථීක උපදේශක ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටිගෙන් මේ සතියේ ඉහළ දැමූ මුදල යන්නේ  කාගේ සාක්කුවටදැයි සමාජ මාධ්‍ය ප්‍රශ්න කරති.

දේශපාලනයේදී ප්‍රදර්ශනය වන මෝඩකම ආබාධයක් නොවේය :(In politics, stupidity is not a handicap) යන නැපෝලියන්ගේ ප්‍රකාශය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සාකච්ඡාවට සහභාගි වූ රුහුණු සරසවියේ ආර්ථීක විද්‍යා ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටිට මිල උච්ඡාවචනය ඉල්ලූම සැපයුම ගැන කවුරුන් හෝ කියා දිය යුතුවේ. ජනතාව මත පැටවෙන බදු බර ඉවත් කර සහන දෙනවාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ නොවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත්  දේශීය බදු ආදායම් ඉලක්ක 15%ට සපුරා නො ගෙන, හදිසි වී සහන දෙන්ට ගියොත් තත්වය බරපතල බව පැහැදිලි කළ පීටර් බෘෘවර්ට, ''මචං අපි ණය ගෙවන්නේ නෑ..... '' කියා කිසිවෙක් කියා නැත. මූල්‍ය අරමුදල සමග ගිවිස ගත් කොන්දේසි සපුරා ගැනීමෙන් මිස, සටන් පාඨ වලින් ප්‍රශ්න විසඳීය නො හැකි බව ජනාධිපති දිසානායක තේරුම් ගෙන සිටීම රටේ ජයග්‍රහණයකි.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

[උපුටා ගැනීම - මව්බිම පුවත්පත]
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...