The Leader News
BREAKING
Top Ad
Opinion

දොරකඩ දේශපාලනයේ හිතවත්කම් - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 11, 2024 • 11:39 AM

දොරකඩ දේශපාලනයේ හිතවත්කම් - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු පසුගිය සිකුරාදා මෙරටට පැමිණ අනුර කුමාර දිසානායකට සම්පූර්ණ සහාය පළ කළ අතර ඉන්දීය සංචාරයකට පැමිණෙන්නැයි ද ආරාධනා කළේ ය.
  • ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා ඉක්මනින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙනු ඇත.
  • එම සාකච්ඡාවන්හි ඉලක්කයන් හෙළිදරව් නොවූව ද ඉන්දියාවේ අභිලාශයන් කෙරෙහි ශ්‍රී ලංකාවේ අනාගත නායකයාගේ ප්‍රවේශය සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී සොයා බැලීමක් එහිදී කරන්නට ඇත.
  • අවසානයේ දී දෙමළ විමුක්ති ව්‍යාපාරය සුණුවිසුණු කර දැමීම සදහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය විය ශ්‍රී ලංකාව ඉන්දියාව හා ආකර්ශනීය සබදතාවක් ඉතිහාසයේ පටන් පවත්වාගෙන ආ අතර දෙමළ විමුක්තිකාමීන්ට ඉන්දීය භූමිය හව්හරණක් වූ පසුව දෙරට අතර නොහොද නෝක්කඩු ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු පසුගිය සිකුරාදා මෙරටට පැමිණ අනුර කුමාර දිසානායකට සම්පූර්ණ සහාය පළ කළ අතර ඉන්දීය සංචාරයකට පැමිණෙන්නැයි ද ආරාධනා කළේ ය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතා ඉක්මනින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙනු ඇත.

 

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයකු තම ප්‍රථම විදේශ සංචාරය සිදු කරන්නේ ඉන්දියාවට ය. ඒ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සංචාරය කිරීම ද අලුත් දේශපාලන කාරණාවක් නොවේ. ඊට හේතුව දෙරට අතර පවතින සමීප මිත්‍රත්වයයි. එහෙත් මෙවර ශ්‍රී ලංකාවේ අලුතෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක නිසා දෙරට අතර පවතින සමීප සබදතාවල නව ප්‍රවනතා දේශපාලනිකව වැදගත් වන්නේ ය.

මාධ්‍ය වාර්තා කළ අන්දමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති සමග පැවැත්වූ සාකච්ඡාවල මූලික ඉලක්කය වී ඇත්තේ ඉන්දීය ආරක්ෂක අභිලාශයන්, ජාතික ප්‍රශ්නයට කල්පවත්නා විසදුමක් සෙවීම හා ඉන්දීය-ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය විසදා ගැනීම වැනි කාරණාවන් ය. 

 

පසුගිය පෙබරවාරි මාසයේ දී විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදුණ අනුර කුමාර දිසානායක
පසුගිය පෙබරවාරි මාසයේ දී විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදුණ අනුර කුමාර දිසානායක සමග ඉන්දීය ආණ්ඩුවේ හා රජයේ ඉහළ පෙළේ නියෝජිතවරු සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡාවන්හි ඉලක්කයන් හෙළිදරව් නොවූව ද ඉන්දියාවේ අභිලාශයන් කෙරෙහි ශ්‍රී ලංකාවේ අනාගත නායකයාගේ ප්‍රවේශය සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී සොයා බැලීමක් එහිදී කරන්නට ඇත. ඊට හේතුව ඕනෑම ප්‍රබල රටක් තමන් ආසන්නයේ පිහිටි රටවල දේශපාලන අභිලාශයන් ගැන උනන්දුවන බැවිනි.

 

දශක පහක අරගල ගැන සංවාදයක්අවසානයේ දී දෙමළ විමුක්ති ව්‍යාපාරය සුණුවිසුණු කර දැමීම සදහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය විය

ශ්‍රී ලංකාව ඉන්දියාව හා ආකර්ශනීය සබදතාවක් ඉතිහාසයේ පටන් පවත්වාගෙන ආ අතර දෙමළ විමුක්තිකාමීන්ට ඉන්දීය භූමිය හව්හරණක් වූ පසුව දෙරට අතර නොහොද නෝක්කඩු ඇති විය. ඊට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ මූලික පදනම වූ නොබැදි පිළිවෙතින් ඈත්වීම බරපතල ලෙස බලපෑවේ ය. ඉන්දියාව ද එය මූලික කරගෙන සිදු කළ අත්තනෝමතික ක්‍රියාවන් නිසා බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේ ය. අවසානයේ දී දෙමළ විමුක්ති ව්‍යාපාරය සුණුවිසුණු කර දැමීම සදහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය විය.

වර්ෂ 2009න් පසුව දෙරට අතර දේශපාලන පරස්පරතා අවම විය. යම්තරමකට හෝ සිත් රිදවා ගැනීමට හේතුවූයේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ අනවසරයෙන් මසුන් මැරීමයි.

 

 126333093 whatsappimage2022 08 16at09.48.38හජන චීනය වැනි විශාල රටක් ඉන්දීය සාගර කලාපයේ "රස්තියාදුවීම" ඉන්දියාව සුළුවෙන් නොතකන බව පුදුමයට හේතුවක් නොවේ.
ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය භූ දේශපාලනික අභිලාශයන් සලකා බලන විට ධීවර ප්‍රශ්නය ඉතා සුළු හා නොසලකා හැරිය හැකි ගැටළුවකි. ඉන්දියාව ඊට වඩා විශාල අර්බූදයක ගිලී සිටී. එනම් ඉන්දීය සාගර කලාපය තුළට මහජන චීනය ප්‍රවේශවෙමින් ඉන්දීය දේශපාලන අභිලාශයන් තැති ගැන්වීමයි. මහජන චීනය වැනි විශාල රටක් ඉන්දීය සාගර කලාපයේ "රස්තියාදුවීම" ඉන්දියාව සුළුවෙන් නොතකන බව පුදුමයට හේතුවක් නොවේ. මේවනවිට ඉන්දීය මහා රාජ්‍යය නැගී එමින් පවතින සුවිශාල රාජ්‍යයකි. ඊට ආවේනික භූ දේශපාලනික අභිලාශයන් පවතී. එනිසා තම සාගර කලාපය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දුවක් ඉන්දියාව පවත්වාගෙන යයි.

ඉන්දීය සාගර කලාපය තුළ මහා ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්ට හානිකරවන රාජ්‍යයක් පිහිටීම නොවිය යුක්තකි. එය එම රාජ්‍යයේ සෛවරීත්වය පිළිබද ප්‍රශ්නයක් නොවේ. එවැනි කුඩා රාජ්‍යයන්හි සෛවරීත්වය අර්ථ දැක්වෙන්නේ ද මහා ඉන්දියානු රාජ්‍යයේ පැවැත්මට පිටින් නොවිය යුතුය. නො එසේනම් කුඩා රාජ්‍යයන්ගේ සෛවරීත්වයේ නාමයෙන් විශාල රාජ්‍යය කැඩී බිදී යා හැකිය. එය නොවිය යුත්තකි.

ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)ඉන්දීය සාගර කලාපය තුළ මේ අන්දමෙන් සිදුවන මහජන චීනයේ හැසිරීම ඉන්දියාව දකින්නේ තමන්ට හානිකර වූවක් ලෙස ය.

 

ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය භූ දේශපාලනික පස මිතුරා මහජන චීනයයි. මහජන චීනයට තමන්ටම ආවේනික වූ අභිලාශයන් පවතී. එය බොහෝදුරට පදනම් වී ඇත්තේ ආර්ථික සාධක මත ය. ඉපැරැණි "සේද මාවත" ඔස්සේ රටවල් කරා යන මහජන චීනය තම ආර්ථික අභිලාශයන් සම්පූර්ණ කර ගැනීමට වෙර දරයි. එහිදී දේශපාලන අභිලාශයන් ද ඒ අනුව නිර්මාණය වේ. ඉන්දීය සාගර කලාපය තුළ මේ අන්දමෙන් සිදුවන මහජන චීනයේ හැසිරීම ඉන්දියාව දකින්නේ තමන්ට හානිකර වූවක් ලෙස ය. 

රාජපක්ෂ ආණ්ඩු විශාල පොළී රේට්ටුවකට ණය ගනිමින් මහජන චීනය සමග සමීප සබදතාවක් පවත්වාගෙන ගියේ ය. එහෙත් "ත්‍රස්තවාදය වැළැක්වීමේ ගෝලීය අභිලාශය" නිසා සියළු රටවල් යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දුන්හ. එනිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ හා මහජන චීනයේ ගැටුම ඉස්මත්තට නාවේ ය.

 


නමුත් මහජන චීන හිතවාදීත්වයට යොමු වූ ආණ්ඩු මාලදිවයින් රාජ්‍යයෙහි බලයට පත්වූ සෑමවිටම ඉන්දීය සාගර කලාපය නොසන්සුන් විය. ඊට හේතුව එවැනි ආණ්ඩු ඉන්දියාවේ තිගැස්මට හේතුවූ බැවිනි. පසුගිය සති අන්තයෙහි මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිෂු බලයට පත්වී සෑහෙන කාලයකට පසුව ඉන්දියාවේ නිල සංචාරයකට එක් විය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවේ සපථ කළේ මාලදිවයින් රාජ්‍යය කිසිදා ඉන්දියාවේ ආරක්ෂක අභිමතාර්ථයන්ට එරෙහිව නොයන බවයි.

මේ වාතාවරණය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතලම අභියෝගය වන්නේ මහජන චීනය හා ඉන්දියාව අභියස ගැටුම් නිර්මාණය කර නොගෙන ඉන්නේ කෙසේද යන්නයි. එය ඉතා සංකීර්ණ දේශපාලන භාවිතයකින් තේරුම් ගත යුත්තකි.

 

w45

ඉන්දියාව, මහජන චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියන් සාගර කලාපය තුළ තම භූ දේශපාලන අභිලාශයන් අනුව වැඩ කරමින් සිටී. ඒවා කොතෙක් හානිකර හෝ වාසිදායක හෝ වුවද මහබලවතුන්ගේ අභිලාශයන් තේරුම් ගැනීමටත් ඒ අනුව ක්‍රියා කිරීමටත් උත්සාහ ගැනීම කුඩා රටක විදේශ ප්‍රතිපත්තියේ පදනම විය යුතුය. කුඩා හා මහ යන්න අර්ථ දැක්වීම තේරුම් ගැනීමට අපේ ගමක ආර්ථීක අතින් බලවත් හා දුබල එසේම එක ලග පිහිටි නිවාස දෙකක කටයුතු අධ්‍යයනයෙන් තේරුම් ගත හැකිය. එවිට අපට නිරීක්ෂණය කළ හැක්කේ ගමේ වුවද මහ බලවතා කුඩා දුබලයාට විවිධ බල හැකියාවන් පෙන්වන බව ය. එහෙත් ඊට දුබලයා බුද්ධිමත්ව මුහුණදීමට සූදානම්වීමේ උපක්‍රමශීලීත්වය අතිශයෙන්ම වැදගත් වේ.

දුබලයා ගමේ පෞර්ෂයක් දිනා සිටින ගෞරවාන්විත චරිතයක් නම් ප්‍රබලයාගෙන් එල්ලවන අභියෝගය අවම වන්නේ ය. නිතරම ප්‍රබලයාට යම් අවස්ථාවක් ලැබී දුබලයාට හිරිහැර කරන්නට අවස්ථාවක් එන්නේ ගමේ සම්මත පිළිගැනීම තුළ දුබලයා මහජන විශ්වාසය අහිමි කර ගන්නා විට ය. තමාට සිදුවන හිරිහැර මධ්‍යයේ කට ගොන්නක් බීගෙන දුබලයා ප්‍රබලයාගේ නිවෙස ඉදිරියට ගොස් හවසට හවසට කෑ කොස්සන් දෙයි නම් එය වාසි සහගත වන්නේ ප්‍රබලයාට ය.

 

මේ අර්බුදයට ජා.මූ.අරමුදලේ කොන්දේසි හරි යනව ද? - (කුසල් පෙරේරා)

කලාපයක් තුළ ප්‍රබල රටවලින් එල්ල වන බලපෑම සමනය කර ගන්නට අපහසු වන්නේ ද දුබලයා නිතර කරන කටමැත දෙඩවීම් නිසා ය. ශ්‍රී ලංකාව තම විදේශ වෙළෙදාමේ දී තමන්ට විශාල ලෙස වාසි සහගත වෙළෙද හිගයක් තබාගෙන ගනුදෙනු කරන්නේ එක්සත් ජනපදය සමග ය. එසේම ළගම අසල්වැසියා වෙමින් ඉන්දියාව හා ඇති මිත්‍රත්වය වෙළෙද සබදතාවට එහා ගිය සංස්කෘතික බැදියාවකි. මහජන චීනය අපේ ප්‍රධාන ණයහිමියා ය. මේ තිදෙනා සමග කටමැත දොඩවන්නට යෑම ශ්‍රී ලංකාවේ උද්දච්ඡ හා මෝඩකම ය.

මහබලවතුන්ගේ භූ දේශපාලන අභිලාශයන් ගැන ඔවුන්ට පාඩම් කියාදෙන්නට තරම් හැකියාවක් අවශ්‍ය නම් අපට ගොඩනගා ගත හැකිය. ඒ විදේශ ප්‍රතිපත්තිය තුළ බුද්ධිමත් හා දක්ෂවීම මත ය. එවිට ලෝකයා අප කෙරෙහි ගෞරවයක් නිර්මාණය කර ගන්නා අතර ඒ ගෞරවය රට කෙතරම් දුබල වුවද වාසිසහගතව යොදා ගත හැකිය.

 

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනයඑහෙත් මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ නෝන්ජල් විදේශ ප්‍රතිපත්තිය තුළ අප වගා කරගත්තේ ගෞරවයක් නොව හාස්‍යයකි.
එහෙත් මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ නෝන්ජල් විදේශ ප්‍රතිපත්තිය තුළ අප වගා කරගත්තේ ගෞරවයක් නොව හාස්‍යයකි. ඒ හාස්‍යමය තත්ත්වය තුළ අප පවසන දෑ වලට ඇහුම්කන් දෙන්නට මාලදිවයින වැනි රටක්වත් ඉතුරු වන්නේ නැත. එවිට අප කියන දෑ එක්සත් ජනපදය, ඉන්දියාව හා මහජන චීනය වැනි අභ්‍යාවකාශ යුගයේ ප්‍රබල රටවල් කිසිම ආකාරයකින් පිළිගන්නේ නැත.

ඉන්දියානු කලාපය තුළ ප්‍රබල රටවල භූ දේශපාලනය තේරුම් ගැනීමටත් ඒ මත බුද්ධිමත්ව ක්‍රියා කිරීමටත් පාලක පන්තිය අසමත් වූයේ 1978 දේශපාලන හා ආර්ථීක ප්‍රතිසංස්කරණයන්ගෙන් පසුව ය. නමුත් අවාසනාව වන්නේ ප්‍රති ධනපති දේශපාලනයක් වෙනුවෙන් ක්‍රියාකාරීවන වාමාංශිකයන්ට ද ඉන්දියානු කලාපයේ භූ දේශපාලනය තේරුම් ගැනීමට අපහසුවීමයි.

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනයරෝහණ විජේවීර

 

ඉන්දියානු ව්‍යාප්තවාදය යැයි සංකල්පයක් රෝහණ විජේවීර විසින් නිර්මාණය කළේ මහජන චීනයේ උසි ගැන්වීම මත බව තේරුම් ගැනීම අපහසු නොමැත. ඉන්දියානු කලාපයේ භූ දේශපාලනය ඉන්දියානු ව්‍යාප්තවාදය හරහා විග්‍රහ කරන්නට යෑම අතිශයෙන් වැරදි දේශපාලන ප්‍රවේශයකි. එය එක් අතකින් මහජන චීනයේ කොන්ත්‍රාත් ඉටු කිරීමක් වන අතර අනෙක් අතින් අපේ අසල්වැසියා තරහ කර ගැනීමකි.

ව්‍යාප්තවාදය ලෝකයේ බොහෝ රටවලට පවතී. ශ්‍රී ලංකාව ද කෙතරම් දුබල වුවත් ඉතිහාසයේ දී රටවල් ආක්‍රමනයට ගොස් ඇත. අද ද බෞද්ධාගමික කටයුතු ව්‍යාප්ත කරමින් ලෝකය පුරා එක්තරා ආකාරයක ව්‍යාප්තවාදී අදහස් පතුවරමින් සිටී. ඒ අර්ථයෙන් කලාපයේ මහ බලවතෙකු වන ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය ව්‍යාප්තවාදයක් ලෙස තේරුම් ගැනීමට යෑම බුද්ධියෙන් තොර ක්‍රියාවකි.

ශ්‍රී ලංකාව කළ යුත්තේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනගා ගැනීම ය ඒ හරහා ආකර්ශනීය පෞර්ෂයක් ඇති කර ගැනීම ය. උදාහරණයකට ථෙරවාදී බෞද්ධ දර්ශනයේ දැනුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සක්‍රීය කළහොත් ඒ මත අපේ පෞර්ෂය ගොඩනගා ගත හැකිය.  එවිට ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස පවත්වා ගත යුතුය යන පැරණි‚ නොබැදුනු ජාතීන්ගේ සටන් පාඨයට යළි ජීවය පිඹිය හැකිය. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැත.


(පිලිප් ශාන්ත)
shan.info1978@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...