මම ඉගැන්නුවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School). මම ඉගැන්නුවේ ජීව විද්‍යාව. මගේ වයසේම ප්‍රංශ ගුරුවරයෙක් මාත් එක්කම එකතු වුණා ඒ වසරේ. අප දෙදෙනා තමයි CIS එකේ එතෙක් ඉතිහාසයට ඉගැන්වූ තරුණම ගුරුවරුන්. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපට බොහෝ කැමති වුණා. ඔවුන්ගේ වයසට ආසන්න ගුරුවරුන් සමග තරුණ සිසුන් පහසුවෙන් සම්බන්ධ වෙනවා. ඒ දරුවන්ගේ ලෝකයේ තිබෙන ප්‍රශ්න ගැන මම හොඳට දන්නවා. ඒ දරුවන් ඔවුන්ගේ ප්‍රශ්න මට කියලා තිබෙනවා. ඒක අමුතු ලෝකයක්.
ඒ පාසලේ හිටියේ ලංකාවේ ධනවත්ම පවුල්වල දරුවන්. නමුත් එතන ප්‍රධාන කුලක දෙකක් තිබුණා. එකක් තමයි පරම්පරාවෙන් ප්‍රභූ ධනපති පවුල්වල දරුවන්. අනෙක තමයි මෑතකදී පොහොසත් වුණු උන්නතිකාමී ඉහළ මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්. මේ දෙපිරිස අතර වෙනසක් තිබුණා. ඒක හරියට අමරසූරිය වලව්වේ හරිනි හාමු නෝනා සහ තඹුත්තේගම අනුර සහෝදරයා අතර තිබෙන වෙනසට සමානයි. හොරගොල්ල වලව්වේ චන්ද්‍රිකා මැඩම් සහ මැදමුලන මහින්ද අතර තිබෙන වෙනසට සමානයි. රොස්මිඩ් ප්ලේස් එකේ වික්‍රමසිංහ සහ කෙහෙල්වත්තේ ප්‍රේමදාස අතර තිබෙන වෙනසට සමානයි.
එක කැබිනට් එකේ හිටියට ඒ දෙගොල්ලෝ අතර ලොකු පන්ති පරතරයක් තිබෙනවා. ඒක ලෝකයෙන් වසන් කරන්න බැහැ. ඇමරිකන් තානාපතිනිය හරිනි මැඩම්ට කතා කරන විදිහට නොවෙයි, අනුර සහෝදරයාට කතා කරන්නේ. ඒ ගොල්ලෝ කතා කරන ඉංග්‍රීසි, ඒ ගොල්ලෝ කියා ගෙන හිනා වෙන ඉංග්‍රීසි විහිළු, ඒ ගොල්ලෝ ගන්න ඉංග්‍රීසි සාහිත්‍ය උදාහරණ අනුරට තේරෙන්නේ නැහැ. ඒ දෙගොල්ලෝ ඉන්න තැනක අනුර සහෝදරයට වැඩිය හරිනි මැඩම් ආයාසයකින් තොරව උඩට එනවා. ජාත්‍යන්තරය චන්ද්‍රිකාට සලකන විදිහට නොවෙයි මහින්දට සලකන්නේ. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව රනිල්ට සලකන විදිහට නොවෙයි සජිත්ට සලකන්නේ. රාජ්‍ය තන්ත්‍රය හරිනිට සලකන විදිහට නොවෙයි අනුරට සලකන්නේ. ඒක තමයි යථාර්ථය.
මේක ඒ පාසලේ අර මධ්‍යම පාන්තික දරුවන්ගේ මනසට ලොකු ආතතියක් දෙනවා. ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරනවා අර පාරම්පරික ප්‍රභූ සමාජයේ එකෙකු වෙන්න. ඒ විදිහට අඳිනවා. ඒ විදිහේ මිල අධික පාරිභෝගික භාණ්ඩ පළඳිනවා. ඒ විදිහට කනවා. විස්කි වයින් බොනවා. අර ළමයි යන එන ක්ලබ්වලට යනවා. නිවාඩුවට පිටරට යනවා. ඉතාම අනුකම්පා සහගත අනුකාරක ජීවියෙකු බවට ඔවුන් පත් වෙනවා. නමුත් කවදාවත් ඔවුන් ඒ පාරම්පරික ප්‍රභූ සමාජයේ ඓන්ද්‍රීය එකෙකු ලෙස පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. හරියට ගමෙන් පැමිණි රාජපක්ෂලාට කොළඹ සමාජයෙන් කවදාවත් පිළිගැනීමක් දෙන්නේ නැහැ වගේ තමයි. පාරම්පරික ප්‍රභූන්ට ඒ මධ්‍යම පන්තිය ගැන තියෙන්නේ විනෝදාත්මක කුහුළක්. අමරසූරිය වලව්වේ නෝනා හාමු අනුර ඇතුළු ජවිපෙ සහෝදරයන්ගෙන් ගන්නේ ඒ ප්‍රභූ විනෝදය.
නෙළුම් කුලුන හදන කොට ටිල්වින් සිල්වා සහෝදරයා ඇහුවා “පැනලා මැරෙන්නද?” කියලා. ඒක තමයි අර මධ්‍යම පාන්තිකයාගේ යටිහිතේ තිබෙන භය. ටිල්වින් දන්නවා ඔහුට හරිනිලා සමග කවදාවත් එකට වැඩ කරන්න බැහැ කියලා. ඔහු පාර්ලිමේන්තුවටවත් එන්නේ නැත්තේ ඒකයි. ඒක ඉතාම බුද්ධිමත් තීරණයක්. කවුරු කොහොම කිව්වත් මේ ආණ්ඩුව මෙහෙයවන්නේ අනුර සහෝදරයා නොවෙයි. මේක මෙහෙයවන්නේ හරිනි මැඩම් සහ කොළඹ ප්‍රභූ තන්ත්‍රය විසින්. ටිල්වින් හදනවා තිරය පිටුපස ඉඳගෙන ජවිපෙට ඕන විදිහට නූල්වලින් මේ හැදෙන ආණ්ඩුව මෙහෙයවන්න. නමුත් ඒක අනිවාර්යෙන්ම අසාර්ථක වෙන බව ටිල්වින් පවා දන්නවා.
මේකේ තියෙන වඩාත්ම සිත් ගන්නා සුලු දෙය තමයි ප්‍රභූන් විසින් නිර්ප්‍රභූන්ව කොටවලා උන් උන් මඩවලා ආතල් ගන්නා විදිහ. තඹුත්තේගම අනුර කියන්නෙත් මැදමුලන මහින්ද කියන්නෙත් එකම පන්තියේ මිනිස්සු. නමුත් ප්‍රභූන් විසින් අනුර ලවා මහින්දට ගහනවා. විශ්‍රාම වැටුප කපනවා. ආරක්ෂාව නැති කරනවා. ඒක ඒ ප්‍රභූ සමාජයට විශාල විනෝදයක් ගෙන දෙන සෙල්ලමක්. ඔය පාසලට තමන්ගේ දරුවන් යවන උන්නතිකාමී මධ්‍යම පාන්තිකයන් මෙන්න මේ සෙල්ලම තේරුම් ගත යුතුයි. ඒ සෙල්ලමේ ගොදුරක් නොවිය යුතුයි. පනින දරුවන් පව්. ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ඔක්තෝබර් 13
කුලුනෙන් පනින දරුවන් - (එරන්ද ගිනිගේ)
T
The Leader Desk
October 13, 2024 • 11:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මම ඉගැන්නුවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School).
- මේක ඒ පාසලේ අර මධ්‍යම පාන්තික දරුවන්ගේ මනසට ලොකු ආතතියක් දෙනවා.
- ඉතාම අනුකම්පා සහගත අනුකාරක ජීවියෙකු බවට ඔවුන් පත් වෙනවා.
- නමුත් කවදාවත් ඔවුන් ඒ පාරම්පරික ප්‍රභූ සමාජයේ ඓන්ද්‍රීය එකෙකු ලෙස පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


