The Leader News
BREAKING
Top Ad
Opinion

මේ රටේ දැවැන්තම දූෂණයට සම්බන්ධ සියල්ලන්ට නඩු පැවරීම - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 13, 2024 • 3:09 PM

මේ රටේ දැවැන්තම දූෂණයට සම්බන්ධ සියල්ලන්ට නඩු පැවරීම - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රටේ අභාග්‍ය වන්නේ දසක ගණනාවක් තිස්සේ අඛණ්ඩව කෙරෙන දැවැන්තම දූෂණය මොකක්ද කියලා ඇහුවම, දූෂණයට එරෙහිව වේදිකා පතුරු ගසන අය, ඒ ගැන දන්නේ නැහැ.
  • දරුවෙකුගේ පාසල් වැඩකට කාර්යාලයෙන් හාෆ් ෂීට් කොල ටිකක් අරගෙන යන කාර්යාල සේවකයින්ගේ වැඩ තහනම් කරන රටේ, රුපියල් කෝටි ගණන් වන දූෂණය, මැදපංතිකයින් අතර සාමාන්‍ය කාර්යක් බවට පත්ව තිබෙනවා.
  • මේ රටේ දැවැන්තම දූෂණය, විශේෂයෙන් කොළඹ නගර සීමාව ඇතුළත තිබෙන අති ජනප්‍රිය පාසල් 12 ක් පමණ පාසල්වල පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දූෂණයයි.
  • පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට පාසලට ඇති දුර ප්‍රමාණය සැතපුම් 02 ට නොවැඩි විය යුතුයි කියලා තීන්දු කෙරුවේ, බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවෙන්, 1963 දී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ රටේ අභාග්‍ය වන්නේ දසක ගණනාවක් තිස්සේ අඛණ්ඩව කෙරෙන දැවැන්තම දූෂණය මොකක්ද කියලා ඇහුවම, දූෂණයට එරෙහිව වේදිකා පතුරු ගසන අය, ඒ ගැන දන්නේ නැහැ. දරුවෙකුගේ පාසල් වැඩකට කාර්යාලයෙන් හාෆ් ෂීට් කොල ටිකක් අරගෙන යන කාර්යාල සේවකයින්ගේ වැඩ තහනම් කරන රටේ, රුපියල් කෝටි ගණන් වන දූෂණය, මැදපංතිකයින් අතර සාමාන්‍ය කාර්යක් බවට පත්ව තිබෙනවා.


මේ රටේ දැවැන්තම දූෂණය, විශේෂයෙන් කොළඹ නගර සීමාව ඇතුළත තිබෙන අති ජනප්‍රිය පාසල් 12 ක් පමණ පාසල්වල පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දූෂණයයි. පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී දූෂණ සිදු නොවේ යැයි කවුරුන් හරි කියනවා නම්, මට කියන්න ඇත්තේ “කරුණාකර කොළඹ නගර සභා සීමාව තුල තිබෙන, අති ජනප්‍රිය ප්‍රධාන පෙළේ රජයේ පාසල් සඳහා අලුත්ගමින්, අගලවත්තෙන්, හොරණින්, ඇහැළියගොඩින්, වරකාපොලින්, මිනුවන්ගොඩින්, මීගමුවෙන් වගේ වෙනත් දිස්ත්‍රික්ක වලින්, වෙනත් පළාත් වලින් පාසල් ප්‍රවාහන සේවා වාහන එන්නේ ඇයිදැයි මට කියන්න” කියලා පමණයි.

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී නිවසේ සිට පාසලට ඇති දුර ප්‍රමාණය සැතපුම් 02 ට නොවැඩි විය යුතුයි කියලා තීන්දු කෙරුවේ, බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුවෙන්, 1963 දී. ඊට පස්සේ ලංකාව මෙට්රික් ක්‍රමයට හැරුණම, මං හිතන්නේ 1978 සිට, පාසලේ සිට නිවසට උපරිම දුර කි.මී.02 ක් කියලා තීන්දු කෙරුවා. දැන් අවුරුදු 30 ට වැඩි කාලයක් පළමු වසර සඳහා ළමුන් බාර ගන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව නිවේදනය කරන උපදෙස් මාලාවෙහි ඇති ආදර්ශ අයදුම්පත සමග වන විධිවිධාන හා උපදෙස් අනුවයි. ඒ අනුව මූලික තේරීම කෙරෙන්නේ “පාසලට ආසන්නයෙන්ම ඉන්නා” දෙමාපියන්ගේ දරුවන් ගෙනුයි.

zsdertw45
පළමු වසරට ළමුන් හරියට ඇතුළත්කර ගත්ත නම්, මේ වන විට කොළඹ ජනප්‍රිය පාසල්වල 13 වසර දක්වාම සියලු ළමුන් ඉන්න ඕනෙ පාසලට පයින් එන දුරකයි. මොනම හේතුවක් නිසා හෝ ඒවාට කි.මී. 60-70 දුර සිට දිනපතා පාසල් ප්‍රවාහන සේවා වාහන වලින් එන ළමුන් ඉන්න බැහැ. එහෙම එන ළමුන් දහස් ගණන් ඉන්නේ පළමු වසරට ඇතුළත් කිරීමට අවශ්‍ය සියලු ලියකියවිලි වංචනිකව සකසා ගෙන ඇති නිසයි. ඒවා නිවැරදි යැයි නිලධාරීන් සහතික කර ඇති නිසයි. ඒ වෙනුවෙන් මධ්‍යමපංතික තරුණ දෙමාපියන් බොහෝවිට විවාහවන විටම, ඔවුන් දරුවන් ඇතුළත් කරන්න බලාපොරොත්තුවන පාසල් සඳහා යොදා ගත හැකි ආකාරයට ලිපින හා ලිපිලේඛන හදන්න පටන් ගන්න නිසයි. එක සහතිකයකට, එක ලිපිනයකට රුපියල් ලක්ෂ ගණන් වියදම් කරන තරුණ දෙමාපියන් දහස් ගණනක් ඉන්න නිසයි.


අවුරුදු පතා රුපියල් කෝටි ගණනින් කෙරෙන මේ බොරුව, මේ වංචාව නොදැක්කා, නොදන්නා සේ ඇස් කන් පියා ගෙන ඉන්න මැදපංතික සමාජයෙන්, පිරිසිදු උගත් අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න කියන සමාජ ක්‍රියාධරයින්ගෙන් මම අහන්නේ, අපේක්ෂක ලැයිස්තුවල ඉන්න පළමු වසරට වංචනික ලෙස තම ළමුන් ඇතුළත් කළ දෙමාපියන් සැළකිය යුත්තේ සමාජයේ අප්‍රසාදයට පත් නොවුනු, දූෂණ චෝදනා නැති, පිරිසිදු උගත් අපේක්ෂකයින් කියලද?  

කවුරුන් නොකිව්වත් කොළඹ අති ජනප්‍රිය පාසල් දුසිමට පළමු වසර ළමුන් ඇතුළත් කිරීම මේ රටේ දැවැන්තම දූෂණයයි. එනිසා ඒ දූෂණයට හවුල් දෙමාපියන්ටත් ඔවුන් සමග ඒ දූෂණයට හවුල් රජයේ නිලධරයින්ටත් විදුහල්පතිවරුන්ටත් එරෙහිව වහා පරීක්ෂණ ආරම්භකර, අවශ්‍ය පරිදි නීති ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මම කියනවා. ඒ දූෂණ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ඕනෑම දේශපාලන පක්ෂයකට මම මගේ ඡන්දය මෙදා දෙනවා.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 ඔක්තෝම්බර 13 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ රටේ දැවැන්තම දූෂණයට සම්බන්ධ සියල්ලන්ට නඩු පැවරීම - (කුසල් පෙරේරා) | The Leader