මගේ යෝජනාව වන්නේ මෙම දිස්ත්‍රික්ක හතරට අමතර හම්බන්තොට, මඩකළපුව, මුලතිව්, මොනරාගල, කිළිනොච්චි හා වව්නියාව යන දිස්ත්‍රික්ක හය ද ඇතුලත්ව සමස්ත දිස්ත්‍රික්ක දහයේ පමණක් වී වගාව කළ යුතු බව ය. එසේම උඩවලවේ වැනි විශේෂිත කලාප ඊට ඈදිය යුතු බව ය.

රටේ සමස්ත වී ඇස්වැන්නේ ඵලදායිතාව හෙක්ටාරයකට කිලෝගෑම් 4,500ක් පමණ වේ. එහෙත් උපරිම ඵලදායිතාව වන හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 6,250ක් ලබා දෙන්නේ උඩවලව කලාපයෙනි. දෙවැනියට වැඩිම ඵලදායිතාව ලබාදෙන්නේ මහවැලි එච් කලාපය වන අතර එය හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 6,000ක් පමණ වේ. එහෙත් හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සමහර ප්‍රදේශ වල වී නිෂ්පාදන ඵලදායිතාව හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 6,000-10,000 අතර පවතී.
ප්‍රධාන ආහාරය බත් වූ රටක වී වගාව අත්හැරීම අගතිදායක ය
ලංකාවේ ඉහල ඵලදායිතාවක් පවත්වාගෙන යන්නේ සුළු හා මහ පරිමාණ වාරි ජලයෙන් වී වගා කරන ප්‍රදේශයන්හි වී වගාවයි. වැහි ජලයෙන් වී වගා කරන ප්‍රදේශයන්හි ඵලදායිතාව ඉතා අඩු ය. ඒ නිසා නිෂ්පාදන වියදම විශාලවීමෙන් සමස්ත සහල් නිෂ්පාදනය පවතින්නේ පාඩු ලබන තත්ත්වයක ය. මේ නිසා ලංකාවට ආධාර සපයන රටවල් හා මූල්‍ය ආයතන දිගින් දිගටම පවසන්නේ වී වගාව අත්හැරිය යුතු බවකි.
ප්‍රධාන ආහාරය බත් වූ රටක වී වගාව අත්හැරීම අගතිදායක ය. එනිසා කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට උපාය උපක්‍රම සකස් කර ගැනීමයි. තෝරා ගත් සුදුසු හා වාසිදායක ප්‍රදේශවල පමණක් වී වගාව කළ යුතු බව මා පවසන්නේ එබැවිනි. එහෙත් වසරේ හැමදාම තද වර්ෂාපතනයක් පවතින වී වගාව සදහා සුදුසු නොවන තත්ත්වයක් පවතින කළුතර දිස්ත්‍රික්කයේ ද වවන්නේ වී ය. එහි නිෂ්පාදන ඵලදායිතාව හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 3,200ක් තරම් අවමයකි. එනම් උපරිම ඵලදාවක් තියෙන මහවැලි එච් කලාපයේ ඵලදාවට වඩා අඩකින් අඩු ය.
විශාල වගා ඒකකවල වාණිජ්‍ය ඉලක්කයකින් යුතුව වී වගා කිරීමෙන් නිෂ්පාදන වියදම අඩු කරගෙන ඉහළම වී නිෂ්පාදන ඵලදාවක් ලබා ගත හැකි බව නො අනුමානය.
සමස්ත වී වගා වපසරියෙන් 40%ක් පමණ අක්කර දෙකකට වඩා අඩු ඒකකයන් ය. අක්කර පහකට වඩා වැඩි ඉඩම් ඒකක පවතින්නේ සමස්ත වී වගා වපසරියෙන් 15%කි. නිෂ්පාදන වියදම අවම කර ගැනීම සදහා කළ යුතු සාර්ථකම උපක්‍රමය වන්නේ කුඩා කැබැලිකරණයට පත්වන වී වගා ඉඩම් ප්‍රමාණය අවම කර විශාල ඒකක වලින් යුතු තත්ත්වයට පත් කිරීමයි. ඒ සදහා විශාල ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට රට ගමන් කළ යුතු ය. ඒ අනුව විශාල වගා ඒකකවල වාණිජ්‍ය ඉලක්කයකින් යුතුව වී වගා කිරීමෙන් නිෂ්පාදන වියදම අඩු කරගෙන ඉහළම වී නිෂ්පාදන ඵලදාවක් ලබා ගත හැකි බව නො අනුමානය. එම ඉලක්කයට යෑම සදහා තෝරා ගත් සුදුසු දිස්ත්‍රික්කයන්හි ගොවීන්ට උපරිම සහන සැලසීම රජයේ වගකීමයි.
වී වගාවේ නිෂ්පාදන වියදම ඉහළ මට්ටමක පවතින නිසා බොහෝ ප්‍රදේශවල ගොවියන් පාඩු ලැබුවත් යන්තම් ඇදගෙන යෑමට හැකිවී ඇත්තේ වගාවට අවශ්‍ය ශ්‍රමය පවුලෙන් පිරිමසා ගන්නා නිසා ය. නැත්නම් ශ්‍රම හවුල්කාරීත්වයකට බොහෝ ගොවීන් කටයුතු කරන නිසා ය. රජයෙන් ලැබෙන පොහොර සහනධාරය හා පාලන මිලක් වී වලට ලබාදීම වැනි රජයේ මැදිහත්වීම් නිසා වී වගාව යන්තමට කරගෙන යෑමට හැකිව තිබේ. එසේම වී වගාව ලාංකිකයාගේ සංස්කෘතික කටයුත්තක් නිසා ද එය පවත්වාගෙන යෑම සිදු වේ. නමුත් ප්‍රශ්නය වන්නේ ලාංකික ග්‍රාමීය දරිද්‍රතාව සමග සහෝදරාත්මක බැදීමක් වී වගාවට තිබීමයි.

දරිද්‍රතාව තුරන් කිරීම සදහා ග්‍රාමීය නිෂ්පාදන බලවේගයන් සකස් වී තිබෙන ආකාරය වෙනස් කළ යුතුව ඇත. ඒ සදහා වී වගාව කෙරෙමින් පවතින ආකෘතියේ ද වෙනසක් කළ යුතුව තිබේ. කුඩා කුඹුරු ඉඩමක, යැපුම් අරමුණක් සදහා මඩ මිරිකමින් සිටීම මෙන්ම ශ්‍රම ඌන උපයෝගිතාව ද ව්‍යුහාත්මකව වෙනස් නොකර ග්‍රාමීය දරිද්‍රතාව අහෝසි කිරීමට අඩිතාලම දැමිය නොහැක.
කුඩා ඉඩම් කැබැලිවල වගා කිරීම මෙන්ම ඒක පුද්ගල ඉඩම් පාරිභෝජනය ද මේ සදහා පරාජය කළ යුතු සාධක වේ. අන්තර්ජාතික මූල්‍ය ආයතන යෝජනා කරමින් සිටින්නේ සන්තකය අහිමි කරන උපාය උපක්‍රමයන් ක්‍රියාත්මක කිරීම ය. ඒ සදහා රජයට බල කරන්නේ ඉඩම් බලපත්‍ර, බදු ඉඩම් හා ඉඩම් ආරාවුල් විසදා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමයි. එවිට ඉඩම් වෙළෙද පළක් නිර්මාණය වන අතර ඒ වෙළෙද පළේ තම ඉඩම් විකිණීමට සුළු ගොවියා පෙළඹී මහ පරිමාණ ඉඩම් අයිතිකරුවකු නිර්මාණය වේ.
ගෝලීය ප්‍රාග්ධනය විසින් යෝජනා කරන මේ විසදුම නිසා එසේ ඉඩම් විකුණන ගොවියා, එසේ නැතහොත් ඒ ගොවියාගේ දුවා දරුවන් කොළඹට එති.
ගෝලීය ප්‍රාග්ධනය විසින් යෝජනා කරන මේ විසදුම නිසා එසේ ඉඩම් විකුණන ගොවියා, එසේ නැතහොත් ඒ ගොවියාගේ දුවා දරුවන් කොළඹට එති. එසේ අගනාගරිකයට රැස්වන ශ්‍රමය සේවා ආර්ථිකයට අවශ්‍ය ශ්‍රම බලවේගය නිර්මාණය කරයි. එවිට කෘෂිකර්මාන්තයෙන් විතැන් කරන ජනයා සේවා ආර්ථිකයට උරා ගනී. ලංකාව ක්‍රමවත් ලෙස ධනේශ්වරකරණය නොවීම එක ප්‍රශ්නයකි. එසේම පාදඩ ආර්ථිකයක් ශක්තිමත්වීම තවත් ප්‍රශ්නයකි. එනිසා තරුණ ශ්‍රමය ශක්තිමත් ලෙස පෝෂණය නොවීය. ආර්ථිකය ශක්තිමත් කරලීමට ඔවුන්ව භාවිතා නොවීය.
එසේම ගොවි බිම් වලට ප්‍රාග්ධනය ගලා නොයෑම නිසාත් පැරණි වැඩවසම් පන්නයේ නොදියුණු නිෂ්පාදන බලවේගයන් තුළ ඉඩම් කට්ටිවල අයිතිය ඒකරාශී වූ නිසාත් වී නිෂ්පාදනය දියුණු නොවීය. සිදුවූයේ ගමේ අතමිට සරු සුළු ව්‍යාපාරිකයාගේ ග්‍රහණයට කුඹුරු ඉඩම් සන්තකය හිමිවීම ය. ඔහු පැරණි නිෂ්පාදන සබදතා සමග ඒවා අමාරුවෙන් නඩත්තු කළා මිස නිෂ්පාදන ඵලදායිතාව හා වියදම පාලනය කර ගනිමින් දියුණු වී වගාවක් කරගෙන යන්නට දායක නොවීය. ඇත්තටම විය යුත්තේ විශාල පරිමාණ ගොවි සමාගම් ඇතිවීම ය. ඒවාට අක්කර පහක හෝ දහයක හෝ සීමාවෙන් එපිට වී ගොවීන් සම්බන්ධවීම ය.
විශාල ප්‍රතිව්‍යුහකරණයක් ඉඩම් ක්ෂේත්‍රයේ මෙන්ම වී වගා ක්ෂේත්‍රයේ ද ඇති කළ හැකි නම් නිෂ්පාදන වියදම අඩු කර නිෂ්පාදන ඵලදායිතාව අවම කරගත හැකිය.
ඒ අන්දමින් විශාල ප්‍රතිව්‍යුහකරණයක් ඉඩම් ක්ෂේත්‍රයේ මෙන්ම වී වගා ක්ෂේත්‍රයේ ද ඇති කළ හැකි නම් නිෂ්පාදන වියදම අඩු කර නිෂ්පාදන ඵලදායිතාව අවම කරගත හැකිය. එවිට වී වගාව ලාභ ජනනය කරන ක්‍රියාවක් වන අතර තරුණ පරපුර වී වගාව තුළ රදවා ගැනීමට ද පහසු වන්නේ ය.
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com



