තාක්ෂණික කාරණයක් වුවත් අකුරට නීතියට වැඩ කරන්න පැමිණි ජනාධිපති සහෝදරයාට මෙය වස නින්දාවකි. මට නම් පෙනෙන්නේ එය කිසිවෙකු විසින් හිතාමතාම සිංහල බෞද්ධ නායකයා අපහසුතාවයකට පත් කිරීමට ගත් කූට උත්සාහයක් බවය.
ජනාධිපතිගේ එම කුළුඳුල් තීරණය වැරදි යැයි අධිකරණයෙන් ඔප්පු වුවහොත් වෙන්නේ මළ හත්ඉලව්වකි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු වේ. නැවත විසුරුවන දිනය දක්වා මන්ත්‍රිවරුන්ට පඩි ගෙවීමට සිදු වේ. ඒ ජනතා බදු මුදල් නාස්තිය ජනාධිපතිගේ වරදින් වන්නකි. නැත්නම් එය ගෙවන්නේ අනුර සහෝදරයාගේ අම්මගේ අප්පගේ බූදලයෙන්ද කියා ජනතාව ප්‍රශ්න කරනු ඇත. එය ලැජ්ජාවකි. ඊටත් වඩා බරපතල ප්‍රශ්නය වන්නේ මැතිවරණ දිනය කල් දැමීමට සිදු වීමය. මහා මැතිවරණයම නැවත ප්‍රකාශයට පත් කිරීමට සිදු වේ. නාම යෝජනා පවා අලුතෙන් දීමට සිදු විය හැකිය. මේ සා විශාල වරදක් සිදු වුණේ කොහොමද?

පාර්ලිමේන්තුව විසුරුවීම, මැතිවරණ කැඳවීම වැනි මූලික විධායක ක්‍රියා සුළුපටු ඒවා නොවේ. ඒ ක්‍රියාකාරකම්වලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුය. රාජ්‍ය පාලනයේ අත්දැකීම් බිංදුව වුවත් අඩුම තරමින් අදාළ ලේකම්ලා විසින් ජනාධිපති සහෝදරයාට මෙවැනි ලණු නොදී සිටිය යුතුය. කොළඹ ප්‍රභූ පැලැන්තිය සහ රාජ්‍ය නිලධාරී කල්ලිය තඹුත්තේගම අනුරව ජනතාව ඉදිරියේ ජෝක් එකක් කරන්නේ මෙන්න මේ ආකාරයටය. මෙය වහාම පාලනය කළ යුතුය. සිංහල බෞද්ධ නායකයා රැක ගත යුතුය.
දවසක් දෙකක් එහෙට මෙහෙට වුණාට මොකද කියා ඇසුවාට බැරිය. නීතිය නම් නීතියයි. අධිකරණයේ දවසක් පහු වුණොත් නඩුවක් ගොනු කිරීමටත් නොහැකිය. අධිකරණයට දේශපාලන බලපෑම් නොකළ යුතුය. ජනාධිපති සහෝදරයා වැටී තිබෙන්නේ අලි අමාරුවකය. තමන්ගේ අත්සනින් සිදු කර ගත් මේ වරද අනාගතය ගැන අසුබ නිමිත්තකි.

විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් නිසා කියා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට සිය ගජමිතුරන් පත් කර ගත් විට මෙවැනි අකරතැබ්බ සිදු වේ. රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් ඇති පරිණත නිලධාරීන් සුදුසුකම් මත පමණක් තනතුරුවලට පත් කර ගත යුත්තේ එබැවිණි. ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණා කියා වැඩක් නැත. දැන් ඔය කාලා තියෙන්නේ ගමම. ගෝඨාභයට හොඳටම කළේත් ඔහු ළඟම හිටි, ඔහු වැඩියෙන්ම විශ්වාස කළ අයයි. සිංහල බෞද්ධයන්ගේ අවසාන අපේක්ෂාව වන ජනාධිපති සහෝදරයා වැඩියෙන්ම ප්‍රවේශම් විය යුත්තේ තමන්ම පත් කර ගත් ළඟම සිටින අයගෙනි. අත්වැරදීම් වගේ පෙනුණාට ඒවා අත්වැරදීම් නොවේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ අගමැති පුටුවේ ඉඳගෙනය.
ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 ඔක්තෝබර් 15



