සමාජය ගමන් කළේ වෙළෙද පළ වෙනස් වෙමින්. වෙළෙද පළ එහෙම ඉබේ වෙනස් වෙන්නෙ නෑ මිනිසුන්ගෙ අරගලයත් එක්ක තමයි සමාජය සංවර්ධනය වෙන්නෙ. අරගලය කියන්නෙ පාරට බැහැල හූ කියන එකට නෙවෙයි. දැනුම බුද්ධිය හා සංස්කෘතිය එක්ක සිදුවන විශාල පරිවර්තනයකට තමයි සමාජ පෙරලියක් කියන්නෙ.
පවතින වෙළෙද පළ එකතැන පල්වෙන්නෙ ඒක වෙනස් කරන්න ඕන දැනුම, බුද්ධිය හා සංස්කෘතිය මදිකම නිසා කියලයි මට හිතෙන්නෙ. වෙනස් කරන්න තියා වෙළෙද පළ කියන්නෙ මොකක්ද කියල විග්‍රහ කර ගන්නවත් බොහෝ අයට බැහැ. එයාල කරන්නෙම වෙළෙද පළ කිව්ව ගමන් භය වෙන එක. කළ යුත්තේ වෙළෙද පළට භයවීම නෙවෙයි. ඒක විග්‍රහ කර ගන්න උත්සාහ දරන එකයි ඒක වෙනස් කර ගන්න එකයි. ඒ දෙකටම දැනුම හා බුද්ධිය ඕන.

අද පවතින වෙළෙද පළ වැඩවසම් සමාජ ක්‍රමයේ තිබූ වෙළෙද පළට වඩා ඉදිරිගාමීයි. ඒත් අපි දන්නව මේ වෙළෙද පළ තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා සාධාරණභාවය කියන එක නැත්තටම නැහැ කියල. ඒක නිසා තමයි ලංකාවෙ පොහොසත්ම 30% දළ ජාතික ආදායමෙන් 62%කට හිමිකම් කියන්නෙත් දුප්පත්ම 30% දළ ජාතික ආදායමෙන් 9%කට හිමිකම් කියන්නෙත්. ඒ කියන්නෙ ඇති නැති පරතරය විශාල වශයෙන් අපේ සමාජය තුළ තියෙනව. දරිද්‍රතාව ඉහළ යෑමට වඩා ඇති නැති පරතරය වැඩිවීම වඩා භයානකයි. සමාජ පුපුරා යෑමකට නිමිත්ත වෙන්නෙ අන්න ඒකයි.
මේ ආදී වූ අසාධාරණ වෙළෙද පළ සමාජ ව්‍යාකූලතාව හා නොසන්සුන්තාව ඉහළ නංවනව. ඒ නිසා අසාධාරණය ඉහළ ගොස් වෙළෙද පළ තිරසාර බව අහිමි කරනව. මේකට ධනපති බුද්ධිමතුන් කරන්නෙ ප්‍රතිසංස්කරණ හදුන්වලදීම. විශිෂ්ඨ ධනපති ආර්ථික විද්‍යාඥයකු වූ කේන්ස් විසින් හදුන්වල දුන්න ක්‍රමය තමයිසමාජ සුභසාධනය මූලික කර ගැනීම. ඒ නිසා තමයි 1977 වෙනකම් ජාතික රාජ්‍ය මූලික කරගත්ත සුබසාධන ක්‍රමයක් ලංකාවෙ පැවතුනෙ.
කේන්සියානුවාදය අතාර්කික වුනේ ගෝලීය මට්ටමෙන්
කේන්සියානුවාදය අතාර්කික වුනේ ගෝලීය මට්ටමෙන්. මහා බ්‍රිතාන්‍යයේ තැචර්වාදයට සමාන්තරව ලංකාවෙත් විශාල ආර්ථික ලිබරල්කරණයක් හදුන්වල දුන්න. එහෙම වුනේ නැත්නම් වෙළෙද පළ බිද වැටෙන්න තිබුණ. ඒත් ඔවුන් අර්බූදය කල් දා ගත්තෙ පීඩිතයන්ට වෙළෙද පළ සීමා පනවමින්. ඒ නිසා මේ වෙළෙද පළ නිදහස් වෙළෙද පළක් යැයි කීම අමූලික බොරුවක්. මේ වෙළෙද පළ නිදහස් වෙන්නෙ ධනපතියන්ට. පීඩිතයන් කරන්න ඕන ඒකෙන් කුණුවෙන අත පල්ලෙන් වැටෙන දෙයක් කාල නිකම් ඉන්න එක.
මේ වෙළෙද පළ නොසන්සුන්තාව ධනපති බුද්ධිමතුන් තේරුම් අරන් ඉන්නෙ. නමුත් එයාලට කරන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැහැ. විසදුමක් නැහැ. ඊට හේතුව ලෝක පරිමාණයෙන් ධනපති ක්‍රමය මුහුණ දුන්න බිද වැටීම්. බරපතලම පසුබෑම උනේ 2008 දි. ඒකෙන් යන්තම් ඔළුව උස්සන් එනකොට කොවිඩ් 19 ව්‍යසනය. තවමත් ලෝක ආර්ථික අර්බුදය සමනයට පත්වෙලා නැහැ. මොකෙන් මොකක් වෙයිද දන්නෙ නැහැ.
මාක්ස්වාදී බුද්ධිමතුන් වෙනදට වඩා මහන්සියෙන් වැඩ කරන්න ඕනය කියන්නෙ ඔන්න ඕකයි. මේ වෙළෙද පළ ගැන පර්යේෂණ කරල සමාජ සංවර්ධනයේ ඊලග පිම්මට සමාජය රැගෙන යන්න මාක්ස්වාදී බුද්ධිමතුන් සූදානම් වෙන්න ඕන. පවතින වෙළෙද පළට මේ විදිහට කොහෙත්ම ඉදිරියට යන්න බැහැ. එහෙනම් අලුත් වෙළෙද පළක් නිර්මාණය කර ගන්න ඕන. ඒක අනිවාර්යෙන්ම නිර්මාණය වෙන්නෙ මාක්ස්වාදය මතින්. ඊට හේතුව ඒ සදහා දැනුමක් තියෙන්නෙ මාක්ස්වාදයට නිසයි.

මෙතැනදි තව කතාවක් මතක් කරන්න ඕන. ලංකාවේ වම්මු පවතින වෙළෙද පළට විකල්පය විදිහට දැක්කෙ ධනේශ්වර කේන්සියානුවාදයේ සමාජ සුබසාධනය. ඔවුන් දේශපාලනය කරන්නෙ ධනපති රාමුව ආරක්ෂා කර ගනිමින් සමාජ සුබසාධනය ශක්තිමත් කර ගන්න. නමුත් සමාජ සුබසාධනය කියන්නෙ මාක්ස්වාදයට අයත් සමාජ ක්‍රමයක් නෙවෙයි. ඒක හදා ගත්තෙ ක්‍රමය පවත්වාගෙන යනන් ධනපතියන්. ඒකෙ වම්මු එල්ලුනාට ඒක එහෙම පිටින්ම අතාර්කික ක්‍රමයක්. ඒකයි අපි එයාලට ව්‍යාජ වම්මු කියන්නෙ.
මම ආයෙත් කියන්නෙ මාක්ස්වාදීන්ගෙ මහන්සිය වෙන්න ඕන අලුත් වෙළෙද පළකට පරිවර්තනයවීමට අවශ්‍ය දැනුම හා බුද්ධිය ශක්තිමත් කර ගැනීම. ඒ සමගම අලුත් වෙළෙද පළක් නිර්මාණය කර ගැනීම. ඒක තුළ සමාජ අසාධාරණය පවතින්න බැහැ. තිරසාරත්වය තහවුරු වෙන්න ඕන. ගහ කොළ පරිසරය රැකෙන්න ඕන. සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා වෙන්න ඕන.
සමාජ සාධාරණත්වය පවතින තිරසාර අලුත් වෙළද පළක තිඹිරි ගේ වෙන්නෙ මාක්ස්වාදය මිසක් ව්‍යාජ වාමවාදී අදහස් නම් නෙවෙයි.
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com



