The Leader News
BREAKING
Top Ad
Opinion

පොරොන්දු අමතක දේශපාලනය - (මහින්ද පතිරණ)

T

The Leader Desk

October 18, 2024 • 9:19 AM

පොරොන්දු අමතක දේශපාලනය - (මහින්ද පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙපෙත්ත යනු බීජය පලාගෙන එන කුඩා පත්‍ර දෙකයි.
  • එහි දී පොලීසියේ කාර්යභාරය දැඩි ප්‍රශ්න කිරීමට ලක්වූ බව රහසක් නොවේ.
  • විශේෂයෙන්ම පොලීසිය දේශපාලනීකරණය කර තිබෙන බවට වත්මන් ආණ්ඩුව හිමි දේශපාලන කඳවුර මගින් විශාල මතයක් රටපුරා ගොඩනගනු ලැබුණි.
  • ඔවුන්ගේ මතයට අනුව රට විනාශ වීමට එක් හේතුවක් වී ඇත්තේ මේ කාරණයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපෙත්ත යනු බීජය පලාගෙන එන කුඩා පත්‍ර දෙකයි. එම පත්‍ර දෙක මගින් අනාගත ගසේ වර්ධනය ගැන සිතාගත හැකි ය.

වර්තමාන ආණ්ඩුව පත් වී තාමත් මාසයක් ගත වී නැත. එහෙත් එහි අනාගත පරිණාමය ගැන අදහසක් ගැනීමට පසුගිය සති තුන හොඳටම ප්‍රමාණවත් ය. එම සති තුන තුළ ගත් ක්‍රියාමාර්ග අනුර කුමාර ආණ්ඩුවේ දේශපාලන ගමන් මග හා එම ගමන යෑමට තෝරාගත් මාවත මොනවට හෙළි පෙහෙළි කරයි.

මෙම ආණ්ඩුවේ ප්‍රමුඛතම සටන් පාඨයක් වූයේ නීතිය හා සාධාරණත්වය පිළිබඳ කාරණයයි. එහි දී පොලීසියේ කාර්යභාරය දැඩි ප්‍රශ්න කිරීමට ලක්වූ බව රහසක් නොවේ. විශේෂයෙන්ම පොලීසිය දේශපාලනීකරණය කර තිබෙන බවට වත්මන් ආණ්ඩුව හිමි දේශපාලන කඳවුර මගින් විශාල මතයක් රටපුරා ගොඩනගනු ලැබුණි. ඔවුන්ගේ මතයට අනුව රට විනාශ වීමට එක් හේතුවක් වී ඇත්තේ මේ කාරණයයි. කෙසේ වෙතත් එවන් මත ඉදිරිපත් කරමින් පැමිණි වත්මන් ආණ්ඩුව පත් වූ විගස පොලීසිය මෙහෙයවීම සඳහා පත් කළ නිලධාරීන් අනුව බලන විට 76 වසරේ ඊනියා සාපය ගෙනා ආණ්ඩුවල ක්‍රියාකාරිත්වයට සමාන නොව, ඊටත් වඩා අන්ත ලෙස පරිහානිකර බව පෙනේ.


උදාහරණයක් ලෙස පසුගිය අන් කිසිදු ආණ්ඩුවක් තමන්ගේ දේශපාලන වේදිකාවේ සිටි පුද්ගලයන් පොලිස් අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්කර නැත. පත් කළ අයට ආදළ ආණ්ඩුව පිළිබඳ පක්ෂපාතිත්වයක් තිබෙන්නට ඇත. එහෙත් ඔවුහු දේශපාලන වේදිකාවේ සිටි අය නොවෙති. කිසියම් වෘත්තීමය විභවතාවක් සහිත පුද්ගලයන් ය. එහෙත් ජනපති අනුර කුමාර මහතා පැමිණි සැණින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළේ ප්‍රසිද්ධියේ මාලිමා දේශපාලන වේදිකාවේ සිටි අයෙකි. එවැනි නිලධාරියකු විසින් පොලීසිය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු ස්වාධීනව ගනිතැයි කිසිවකුට කිව හැකි ද? ඉහළම තැනැත්තා දේශපාලනික නම් එතනින් පහළ ගැන කතා කිරීමේ හෝ තේරුමක් නැත. ඒ අනුව පොලීසිය දේශපාලනීකරණය කිරීම පිළිබඳ වත්මන් ආණ්ඩුවේ දේශපාලන චෝදනාව දැන් ඔවුන්ටම එල්ල කරගෙන ඇත.

 

448061715 779694697668293 141480366897558244 n
මේ අතර, එම වේදිකාවේම සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ද ඔහුගේ විශ්‍රාම ජීවිතයෙන් නැවත කැඳවා කොන්ත්‍රාත් පදනමින් පොලීසියේ ඉහළ තනතුරක රැකියාව ලබා දී ඇත. ඇත්ත වශයෙන්ම මේවා මාලිමාව විසින් කී ‘76 සාපයේ ආණ්ඩු’ විසින්වත් නොකළ තරමේ මජර වැඩ ය. මෙම කොන්ත්‍රාත් පදනමින් රැකියාගත කළ හිටපු පොලිස් නිලධාරියා ද ඍජුවම වත්මන් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි අයෙකි. ඔහු විශ්‍රාමයෙන් අවදිකොට නැවත රැකියාව ලබා දී ඇත්තේ ද එම දේශපාලන පක්ෂපාතිත්වය නැත්නම් ‘කඩේයාම’ නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. මෙම කාරණය තවත් බරපතළ වන්නේ අදාළ නිලධාරියා යහපාලන ආණ්ඩු සමයේ එවක විවිධ දේශපාලකයන් සමග සදාචාර විරෝධී ලෙස සම්බන්ධතා පවත්වමින් දේශපාලකයන්ගේ “නිවෙස්වල වළං හේදීමට පවා” සූදානම් ව සිටි අයකු වීමයි. රහස් පොලීසිය විසින් විවිධ අපරාධ ගැන පවත්වන පරීක්ෂණවල තොරතුරු දේශපාලකයන් සමග බෙදාහදා ගනිමින්, පසුව එම තොරතුරු බාහිර පාර්ශ්වවලට පවා යන ලෙස කටයුතු කළ අයෙකි. එවැන්නක් කළ අයකු නීතිය හමුවට කැඳවනු වෙනුවට වත්මන් ආණ්ඩුව විසින් කර ඇත්තේ, ඔහු තමාට දේශපාලනිකව සහාය වීම නිසා ත්‍යාගයක් ලෙස රැකියාවක් ලබා දීමයි. එවන් නිලධාරීන් විසින් සාධාරණ හා දේශපාලන බලපෑමෙන් තොර පරීක්ෂණ පවත්වනු ඇතැයි කෙසේ සිතිය හැකි ද?

 

පාස්කු ප්‍රහාරය' සම්බන්ධයෙන් චෝදනා ඇති නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස  ජනාධිපතිගෙන් ඉල්ලයි
ඊට අමතරව මෙම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලයන් දරන අවස්ථාවේදීයි 2019 පාස්කුදා ප්‍රහාරය සිදුවන්නේ. මේ වන විට ඉතා විස්වසනීය ලෙස තහවුරු වී ඇත්තේ පාස්කුදා ප්‍රහාරයට පෙර සිදුවූ සිදුවීම් විශේෂයෙන්ම වවුනියාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම හා වනාතවිල්ලු‍ව ලැක්ටෝවත්තේ ආයුධ ගබඩාව පාස්කුදා ප්‍රහාරයෙන් චූදිත සහරාන්ගේ අනුදැනුම මත සිදු කළ ඒවා බවයි. ඒ සියල්ල ගැන පරීක්ෂණ පවත්වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හෙබ වූයේ ඉහත කොන්ත්‍රාත් පදනම මත රැකියාව ලබාදුන් නිලධාරියා ය. ඒ අනුව ඔවුන් සතුව සියලු‍ තොරතුරු තිබිය දී හා මාස තුනක පමණ කාලයක් ඉහත සිදුවීම්වලින් ප්‍රහාරයට පෙර ඉතිරිව තිබියදීත් සහරාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඒ අනුව, අවාසනාවන්ත ප්‍රහාරය සිදුවන්නේ එවන් වෘත්තීමය නොසලකා හැරීම් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ප්‍රහාරයෙන් පසුව ද ඔවුන්ට මෙම ඛේදවාචකය ගැන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි විය. අප්‍රේල් සිට යහපාලන ආණ්ඩුව පරාජයට පත්වන නොවැම්බර් දක්වා මාස 9ක් පමණ මෙම නිලධාරීහුම අදාළ පරීක්ෂණ කටයුතු බාරව සිටියහ. එසේ නම් මෙම නිලධාරීහු ඇත්ත වශයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් පමණක් සලකා බැලු‍ව ද අසමත් නිලධාරීහු ය. එසේ තිබියදීයි, වත්මන් ජනාධිපතිවරයා විසින් ඔවුන් කොන්ත්‍රාත් පදනමින් මහජන බදු මුදල් වැය කර රැකියාගත කරන්නේ.

ඇත්ත වශයෙන්ම අපට මෙම නිලධාරීන් සමග පෞද්ගලික ප්‍රශ්නයක් නැත. ඔවුන් පෞද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුණින් දේශපාලනය කරන්නට ඇත. එය ඔවුන්ගේ අයිතියකි. එහෙත් එසේ වූ පමණින් වත්මන් ආණ්ඩුවට එවැනි අය දේශපාලන හිතවත්කම මත ඉහළ තනතුරුවලට පත්කිරීම ඔවුන්ගේ ජනවරමට පැහැදිලිවම එරෙහි වීමකි. පොලීසිය පිළිබඳ පොදු මහජන විස්වාසය බරපතළ ලෙස කඩ කිරීමකි.

 


මේ අතර වත්මන් ජනාධිපතිවරයා විසින් රටේ ප්‍රධාන පළාතක ආණ්ඩුකාර ධුරයට පත් කර ඇත්තේ විවාදාපන්න ලෙස ලංකාවේ ඩොලර් පිටරට බැංකුවල තැන්පත් කළැයි කියන චෝදනා ප්‍රශ්නයේ මුලින්ම සිටින බව කියන ප්‍රකට අපනයන ව්‍යාපාරිකයෙකි. ඇත්ත වශයෙන්ම ඩොලර් පිටරට තැන්පත් කිරීම පිළිබඳ මුළු කතාවම ගේන්නේ ද මාලිමා හා ඒ ආශ්‍රිත දේශපාලන ව්‍යාපාරය විසින් ය. ඔවුන් අවධාරණය කළේ ලංකාවේ අපනයන ආදායමින් උපයන ඩොලර් විශාල ප්‍රමාණයක් මෙරරට නොගෙන්වා විදෙස් රටවල තැන්පත් කරන බවයි. එසේ කරනු ලබන්නේ තීරුබදු ලේඛනවල නියමිත මිලට වඩා අඩු මිලක් සඳහන් කොට ලියකියවිලි සකස් කිරීමෙන් බවටද එහි දී චෝදනා කෙරුණි. මේ සඳහා ඔවුන් ගෝලීය මූල්‍ය ඒකාග්‍රතා සංවිධානය විසින් ඉදිරිපත් කරන  ලද දත්ත පවා හෙළි කර තිබුණි. එපමණක් නොව 2009-2017 අතර කාලයේ ඩොලර් බිලියන 36ක් පමණ මෙරට ඩොලර් අනීතික ලෙස පිටරට රඳවාගෙන සිටින බවට චෝදනා කෙරුණි. ලංකාවේ ඩොලර් හිඟයට මෙවැනි අනීතික ක්‍රියා බලපා තිබෙන බවත්, ඒවාට අනුග්‍රහය දක්වන්නේ දේශපාලන තන්ත්‍රය විසින් බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර මහතාම විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතද චෝදනා එල්ල කළේ ය. ඒ අනුව, තම පාලනයක් තුළ එවන් දේ සිදු නොවන බවත්, ඒවා සිදු කළ පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් උස් හඬින් කියා සිටියේ ය. එහෙත් ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා බලයට පත්වූ සැණින් කළේ එසේ චෝදනාවට ලක්වන ව්‍යාපාරිකයන් අතරින් ප්‍රමුඛයකුට ආණ්ඩුකාර තනතුරක් ලබා දී ඔහුට “දැඩි දඬුවම්” පැමිණවීමයි.

 

ජනතා පීඩනය ලිහිල් කළ යුතුයි - ජනපති IMF නියෝජිතයින්ට පැහැදිලි කරයි

මේ අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත් වීම පිළිබඳ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර කළ වාගාලාප මේ වන විට සම්පූර්ණයෙන් ම ව්‍යාජයක් බවට පත් වී තිබේ. ඔවුන් ප්‍රකාශ කළේ තමා මූල්‍ය අරමුදල සමග ලංකාව ඇතුළු වී ඇති ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බවයි. එසේ කොට ජනතාවට සහන සැලසෙන ලෙස නව ගිවිසුමකට යන බව වත්මන් ජනාධිපතිවරයාම පුන පුනා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මේ වන විට අනාවරණය වී ඇත්තේ මූල්‍ය අරමුදල් ගිවිසුම වෙනස් කරනු මතු නොව ඒ ගැන සාකච්ඡාවක් හෝ කිරීමට පසුගිය දා පැවති හමුවේ දී කටයුතු නොකළ බවයි. ඇත්ත වශයෙන්ම මෙහි දී වැදගත් වන්නේ එසේ අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කිරීම නොවේ, එහෙත් තමන් විසින් වෙනස් කරන බවට නිර්මාණය කළ මතයයි. ජනතාව ඡන්දය දුන්නේ මාලිමා වේදිකාව විසින් මේවා තමන්ට කළ හැකි දේවල් බවට ශපථ කළ නිසා ය. “මේව පහුගිය ආණ්ඩුව කර තිබුණ දේවල්. දැන් අපට වෙනස් කරන්න බැහැ” වැනි මැසිවිලි දැන් වලංගු නැත. පහුගිය ආණ්ඩු පරාජය කළේ ද වත්මන් ආණ්ඩුව පිළිබඳ මහජනයා විස්වාසය කළ කළේ ද ඉහත කී පොරොන්දු මත ය. පහුගිය ආණ්ඩු කළ දෙයම කරගෙන යන්නේ නම් අලු‍තින් ආණ්ඩුවක් පත්කර ගත්තේ ඇයි ?

කතාව හා භාවිතාව පිළිබඳ මෙවැනි බරපතළ විශ්වාස කඩකිරීම්වලින් සිදුවන්නේ මහජනයා පොදුවේ දේශපාලනය පිළිබඳ කලකිරීමට පත්වීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරකි. පුරවැසියන් දේශපාලනයෙන් ඉවත්වී රටවල් අරාජික වන තැනට මේ වැනි සිදුවීම් ඔස්සේ රට දිගුකාලීනව ගමන් කරයි. වත්මන් ආණ්ඩුව කාලයක් තිස්සේ රට තුළ ගොඩනැගූ “පිරිසුදු දේශපාලනය පිළිබඳ අපේක්ෂාව” එම ආණ්ඩුව පත්වී යාන්තමින් තෙසතියක් යන විට බිඳහෙළන තැනට පත්වීම දේශපාලන භේදයකින් තොරව මහජනයාට කොතරම් කම්පනයක් ගෙන දෙනු ඇති ද?

Mahinda Pathirana(මහින්ද පතිරණ)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
mahindapp@gmail.com

(උපුටා ගැනීම :  ලංකාදීප 'කිවිදා දැක්ම' - ඔක්තෝම්බර් 18) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...