ඒ සංචාරයන් සමහර ඒවා රාජකාරී අවශ්‍යතාවන් ය. සමහර ඒවා පෞද්ගලික රස්තියාදු ගැසීම් ය. ඒ සෑම අවස්ථාවකදීම මගේ නිරීක්ෂණය වූයේ විශාල ඉඩම් කට්ටි පවතින බවත් ඒවා ඌන උපඋපයෝගීතාවාදී ලෙස ද හෝ හිස් ඉඩම් ලෙස හෝ පවතින බවත් ය. පූර්ණ ඵලදායිතාවකින් නිෂ්පාදනයට සම්බන්ධ විශාල ඉඩමක් මා තවම දැක නැත.
![]()
මා දුටු බොහොමයක් ඉඩම් ප්‍රමාණයෙ අක්කර පහට වඩා එහා පැත්තේ වපසරියකින් යුක්ත වේ. බොහෝ ඉඩම් අක්කර දහයේ, විස්සේ හෝ ඉඩම් ය. ඒවායේ අයිතිකරුවන් එක්කෝ කොළඹ හෝ විදෙස් ගතව හෝ ජීවත් වේ. සමහර ඉඩම් අලුත් අයිතිකරුවන්ගේ ය. නමුත් නිරීක්ෂණයට ලක්වූ සියළු ඉඩම්වල කණාටු පොල් වගාවක්, තැනින් තැනින් වැවූ ගම්මිරිස් ගස් ටිකක්, එහෙත් නැත්නම් වෙනත් බෝගයක අවිධිමත් වගාවක් විය.

බැලූ බැල්මට අවබෝධ වන්නේ එම ඉඩම් වලින් පූර්ණ ඵදායිතාවක් ලබාගෙන නිෂ්පාදන ක්‍රියාවලියට එක්වන්නට එම ඉඩම් අයිතිකරුවන්ට අවශ්‍යතාවක් නැති බවය. ඊට හේතුව විය හැක්කේ මේ ඉඩම් වල අයිතිකරුවන් දේපළක් ලෙස මිස නිෂ්පාදනයට යොදා ගැනීම සදහා ඒවා පවත්වාගෙන නොයන නිසා විය හැකිය.
සමහර ඉඩම් අයිතිකරුවන් සම්ප්‍රදායික ධනය ඇති පවුල් වල අය වන අතර ඔවුහු තම ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටී. ඔවුන්ගේ දරුවෝ ආර්ථිකයේ නව හැඩතල වලට යොමුවී මෙරට හෝ පිටරට ජීවත් වෙති. ඒ නිසා මේ ඉඩම් සංවර්ධනය කරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් ද හැකියාවක් ද නොමැත. සමහර ඉඩම්හිමියෝ වෙනත් නවීන ආදායම් මාර්ගයන් තුළ සිරවී සිටිති. තවත් අය යැපුම් අවශ්‍යතා සදහා හා විනෝදය සදහා ඉඩම් භාවිතා කරති.

මේ විශාල ඉඩම් කට්ටි මේ අන්දමෙන් නිෂ්පාදන ක්‍රියාදාමයෙන් බැහැරව තිබීම අපරාධයකි. ඒවා උපයෝගීතාවන්ට ලක් කිරීම සදහා ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යය වේ. මේ ළගදී සටහනක් තබමින් මහාචාර්‍ය නිර්මාල් දේවසිරි පැවසුවේ ග්‍රාමීය ඉඩම් නිෂ්පාදන ක්‍රියාදාමයෙන් බැහැරව තැබීමට සිංහල ජාතිකවාදය මූලික වූ බවයි. නමුත් විශාල ඉඩම් කට්ටි කැබැලිකරණයට ලක්වීමට සමගි පෙරමුණු ආණ්ඩුවේ වාමවාදී ඉඩම් ප්‍රතිපත්තිය ද බලපෑවේ ය.
හෙක්ටර් කොබ්බෑකඩුව
70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමති වූ හෙක්ටර් කොබ්බෑකඩුව උත්තරීතර අවංක මිනිසෙකි. ඔහු එවකට පැවැති වාමවාදී දේශපාලන සංදර්භය තුළ අපූරු පනතක් ගෙනාවේ ය. එනම් ඉඩම් අයිතිය සීමා කරමින් එක් පුද්ගලයකුට ඉඩම් අක්කර 50කට වඩා සතු කර ගන්නට නොහැකි ලෙස නීති සම්පාදනය කිරීමයි. මේ නිසා කොබ්බැකඩුව පවුලේ ඉඩම් ද රජය සතුවූ අතර ඒ නිසා පවුලේ හා පන්තියේ වෛරයට හෙක්ටර් කොබ්බෑකඩුව ලක්විය.
ඉඩම් සීමා නීතියේ කාලානුරූප නොගැලපීම මා දහය වසරේ දී මට පැවසුවේ මගේ පාසැල් මිතුරෙකි. අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගිය අප සීටීබී බස් රථයක ඇල්පිටියට ඇවිත් සතොස හන්දියෙන් බැස ගෙදර ගියේ පොඩි කයියක් දමාගෙන ය. එසේ යන අතර දිනක් මේ කරුණ මට ඔහු කීවේය. සමහරවිට දැන් එය ඔහුට ද අමතකව තිබිය හැකිය. එකල ජාතිකවාදී වාම මනසක් තිබූ මා හිතින් මිතුරාට බැනවදිමින් ගෙදර ගියෙමි. එහෙත් ඔහුගේ කතාව ඉන්පසු කිහිප අවස්ථාවකම මට වද දුන්නේ ය.

ලාංකික වාමවාදී දේශපාලනය මාක්ස්වාදයට පටහැනි බව තේරුම් ගන්නා විට මට නැවත මිතුරාගේ කතාව මතක් විය. කොබ්බෑකඩුව කොයි තරම් අවංකයකු වුවත් ඔහුගේ ඉඩම් පනත නිසා ඉඩම් කැබැලිකරණය වී යැපුම් මානසිකත්වය වර්ධනය වී කාර්මීකරණයට බාධා වූ බව ඇත්ත කතාවයි. එනිසා පොඩි පොඩි ඉඩම් හිමිකාරීත්වයක් ඇතිවී මහා පරිමාණ කෘෂිකාර්මික දියුණුවක් ඇති නොවීම ලාංකික නිෂ්පාදන මාදිලියේ ප්‍රාථමික බවට හේතු විය.
ලාංකික ආර්ථිකයේ ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පුළුල්ව සිතිය යුතු අතර ඉඩම් උපයෝගීතාව ඵලදායි කිරීම සදහා ඉඩම් කට්ටිවල වපසරිය විශාල කළ යුතුය. එම විශාල ඉඩම් නිෂ්පාදනය සදහා යොදා ගැනීම කළ යුත්තේ විශාල ආයෝජනයකින් යුක්ත විශාල ව්‍යාපෘතියක් ලෙස ය. ග්‍රාමීය දරිද්‍රතාව අහෝසි කිරීමේ ව්‍යාපෘතිය ඊට ඈදුනු මූලික ඉලක්කය විය යුතුය.
ඉඩම් උපයෝගීතාව උපරිම කර ගනිමින් නිෂ්පාදනය ශක්තිමත් කර ග්‍රාමීය දරිද්‍රතාව අහෝසි කිරීමේ යෝධ වැඩපිළිවෙල රාජ්‍යයේ මූලිකත්වයෙන් විය යුත්තකි. ඒ සදහා කැබලිකරණයට ලක්ව ඇති ඉඩම් විශාල ඉඩම් ලෙස ස්ථාපනය කළ යුතුය. එසේ නැතිව නිෂ්පාදනය සදහා ඒවා යොදා ගත නොහැකිය.
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com



