පළමුවෙන්ම ඔය පතරංග වාර්තා ලංකාවේ නූගත් වැසියන් කියවන්නේ නැත. කියෙව්වත් ඒවා තර්ක බුද්ධියෙන් ගලපා තේරුම් ගැනීමට ප්‍රමාණවත් දියුණු මනසක් ඔවුන්ට නොමැත. එබැවින් ඒවා ප්‍රසිද්ධ කළා හෝ නොකළා හෝ කියා වෙනසක් නැත. ජනතාව විශ්වාස කරන්නේ ඔවුන් ඇසීමට කැමති කුණු රස බොරුව පමණී.
අනෙක් කාරණය නම් එම වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් පාස්කු ප්‍රහාරය තවත් දීර්ඝ කාලයක් විකුණා ගෙන කෑමට නොහැකි වේ. වාර්තා තුළ ඇති නැති දේ ගැන ජනතාව තුළ කුතුහලය ඇති කරමින් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව නැවත නැවත පාරමින් තවත් වසර ගණනාවක් තිස්සේ එය ඇද ගෙන යා හැක්කේ එම වාර්තා සඟවා ගෙන සිටි විටය.

පාස්කු ප්‍රහාරය දැන් සිරස සුපර් ස්ටාර් වැනි රියැලිටි ෂෝ එකක් කර ගෙන හමාරය. එහි සම්පූර්ණ ගෞරවය මැල්කම් ඉන් ද මිඩල්ට හිමි වේ. “සුපර් ස්ටාර්” වෙනුවට මෙහි හොයන්නේ “මහා මොළකරුය”. NPP යෙන් ඡන්දය ඉල්ලීමට ගොස් අවස්ථාව නොලැබුණු කමල් අද්දරආරච්චි ඒ දවස්වල “අද තරගයෙන් ඉවත් වෙන්නේ… ඔබ නොවෙයි… නැහැ… ඔබ තමයි… නැහැ ඔබද කියා බලන්න මේ විරාමයෙන් අනතුරුව…” ආදී වශයෙන් මෝඩ ප්‍රේක්ෂකයන්ට ත්‍රාස විනෝදය දෙමින් කළ සිරස සුපර් ස්ටාර්වලට වඩා හොඳට මැල්කම් ආරච්චි එය කරයි. සතියෙන් සතිය එකිනෙකට පරස්පර අවිනිශ්චිත කතා කියමින් කතෝලිකයන් බැටළුවන්ට අන්දවමින් කරන ඒ රියැලිටි ෂෝ එක දැන් සීසන් කිහිපයක් අති සාර්ථකව පවත්වා මිලියන ගණන් ආදායම් උපයා තිබේ. තවත් සීසන් ගණනාවක් ඇද ගෙන යා යුතුය.
එබැවින් ජනාධිපති සහෝදරයා කරන්නේ ඉතාම දේශපාලනික ඇදිල්ලකි. බලයට ඒමට පෙර මොනවා කිව්වත් ජනාධිපති වූ පසු ඒවා කළ යුතු නැත. ගම්මන්පිල වැනි අවස්ථාවාදීන් මොන අභියෝගය කළත් ඔය වාර්තා නම් ප්‍රසිද්ධ නොකළ යුතුය. ගම්මන්පිල කරන්නේත් මේ සුපර් ස්ටාර් ෂෝ එකේම චරිතයකි.
මෙය කතෝලිකයන්ට අලුත් දෙයක් නොවේ. ජේසුස් වහන්සේව තක්කඩි හොරෙකු කර කුරුසයේ ඇණ ගසා මරා දැමූ පසු එම මරණය පිළිබඳ සියවස් ගණනාවක් තිස්සේ විවිධ ප්‍රබන්ධ ගෙතුවේ මේ ආකාරයටය. මැතිව්, මාර්ක්, ලූක්, ජෝන් ආදීන් එම සිදුවීම් වාර්තා කරන ආකාර එකිනෙකට වෙනස් වන්නේ ඒ නිසාය. සත්‍යය කුමක්ද කියා නිශ්චිතව දැන ගැනීමට නොහැකි කර තිබේ. ඒ පිළිබඳ අදටත් විශාල විවාදයක් පවතී. එය සුපිරි උපක්‍රමයකි. කිසිදාක සත්‍යය හෙළි නොකළ යුතුය. සත්‍යය වසන් කරන තරමට ගූඪ ආගම පත්තියම් වේ.
ඔබ කළ යුත්තේ පොරි ටිකක් බැදගෙන සෝපාවේ හරි බරි ගැහී මේ රියැලිටි ෂෝ එක නැරඹීමයි. රියැලිටි කිව්වාට ඒ කිසිදු ෂෝ එකක් රියල් නොවන බව දන්නෝ දනිති. ඒවා කිසිවෙකුගේ පිටපතකට අනුව රඟ දක්වන කෝලම් පමණක් බව මතකයේ තබා ගන්න. ජනාධිපති සහෝදරයා මේවා ගැන හොඳට දන්නා බව මට විශ්වාසය. ධර්මය ඔබට මග වේවා!
(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com



