The Leader News
BREAKING
Top Ad
Opinion

පළිගැනීමේ කොමිෂන් සභා සහ පළිගැනීමේ විමර්ශන කමිටු - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

October 25, 2024 • 5:41 AM

පළිගැනීමේ කොමිෂන් සභා සහ පළිගැනීමේ විමර්ශන කමිටු - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා බොහොමයක්, පටු දේශපාලන ආකල්ප පෙරදැරිව සිදු කෙරෙන බව පෙනේ.
  • ආණ්ඩුවේ තීරණාත්මක ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් කිරීමට තරම් සාධාරණ කාලයක් තවම ගතව නැත. ඇත්ත වශයෙන්ම නම් කෙනෙකු බලා සිටිය යුත්තේ, මේ ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්ති යොමු වන දිසාව කෙරෙහි ය.
  • අනෙක් අංශවලින් අප මහා සාර්ථකත්වයක් ලබා ඇතැයි ඉන් අදහස් නොවේ.
  • එහෙත් එකී අංශවලින් ප්‍රශස්ත වර්ධනයක් ඇති කරගැනීමට හැත්තෑහය වසරක කාලය තුළ අප බොහෝදුරට සමත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවා බොහොමයක්, පටු දේශපාලන ආකල්ප පෙරදැරිව සිදු කෙරෙන බව පෙනේ. ආණ්ඩුවේ තීරණාත්මක ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් කිරීමට තරම් සාධාරණ කාලයක් තවම ගතව නැත. 

ඇත්ත වශයෙන්ම නම් කෙනෙකු බලා සිටිය යුත්තේ, මේ ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්ති යොමු වන දිසාව කෙරෙහි ය. නිදහසෙන් පසු ලංකාවේ අසාර්ථකත්වය සමාජ දේහයට තදින්ම දැනුණේ ආර්ථීක අංශයෙනි. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ එකී සත්‍යය මුළු රටම දෑහින් දැක්කේය.

 

අනෙක් අංශවලින් අප මහා සාර්ථකත්වයක් ලබා ඇතැයි ඉන් අදහස් නොවේ. එහෙත් එකී අංශවලින් ප්‍රශස්ත වර්ධනයක් ඇති කරගැනීමට හැත්තෑහය වසරක කාලය තුළ අප බොහෝදුරට සමත්ව ඇත. එබැවින් මෙම ආණ්ඩුව කෙරෙහි සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමේ අවකාශයක් වෙතොත්, එය දිගහැරෙනු ඇත්තේ ඉහත කී ආර්ථීක දිසාව ඔස්සේ බව කෙනෙකුට අනුමාන කළ හැකිය. විශේෂයෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජගත් මූල්‍ය ආයතන සමග ඇති කරගන්නා සම්බන්ධතාවයේ ස්වභාවය මෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග දේශීය ආර්ථීකය ස්ථානගත කෙරෙන ස්වභාවය සහ ආකෘතිය තරම්, මේ ආණ්ඩුවේ හොඳ-නරක සහ අඩුපාඩු කිරාබැලීමට සුදුසු වෙනත් අංශයක් ඇති වෙතැයි සිතිය නොහේ.

එහෙත්, තමන් ලද පරාජයක එදිරිය පිරිමසාගැනීම අරමුණු කරගෙන පමණක් කටයුතු කරන කොටස්වලට, එතෙක් ඉවසා සිටීමේ ඉස්පාසුවක් නැති සෙයකි. එසේ හෙයින් 'හොස්ස ළඟින් මැස්සා ගියත්' ඇවිස්සෙන ආකල්පයකින් එම පිරිස් කටයුතු කරන බව ගත වූ සති කිහිපය තුළ දකින්ට ලැබුණි.

 

 

ආණ්ඩුවක් පත්වූ සැනින් කරන පළමු කාර්යය වන්නේ, විවිධ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමයි. එකී සමහර පත්කිරීම් මතභේදාත්මක විය හැකිය. මේ කෙටි කාලය තුළ එවැනි පත්කිරීම් කිහිපයක් ආපස්සට හැරවීමටත් අලූත් ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ අතරේ, එක්තරා විශේෂ පත්කිරීමක් මේ මොහොතේ යම් ආන්දෝලනයකට තුඩු දී ඇත. එනම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පත්කිරීම සම්බන්ධයෙනි. ඒ විවේචනය මතු කෙරුණේ, පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගැනීමට අසමත් වීම කෙරෙහි යම් වගකීමක් ඔහු වෙතටත් ආරෝපණය කිරීම තුළිනි. චෝදකයා වුණේ, උදය ගම්මන්පිල ය. සිය චෝදනාව සඳහා ඔහු මූලාශ්‍ර කරගෙන ඇත්තේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද විමර්ශන කමිටුවක වාර්තාවකි. ඒ විමර්ශන කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් වන ඒ.එන්.ජේ. ද අල්විස් ය.

 


ලංකාවේ රාජ්‍ය නායකයන් සහ විවිධ ආණ්ඩු විවිධ කාරණා අරභයා පත්කර ඇති විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු රාශියක් තිබේ. යම් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වූ විට, එම සිද්ධියේ සැබෑ මූලය සහ ඊට වගකිවයුත්තන් හඳුනාගැනීම මෙවන් විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු පිහිටුවීමේ අරමුණ වුණත්, එවැනි විමර්ශන තුළින් අදාළ ප්‍රස්තුතයේ සුලමුලක් පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීම හෝ ඒ අවබෝධය ජනතාවගේ දැනගැනීම සඳහා සමාජගත කළ අවස්ථා සොයාගැනීමට ඇතොත් ඒ ඉතා කලාතුරකිනි. ඇත්තෙන්ම, අපේ පාලකයන් එවැනි විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු පිහිටුවා ඇත්තේම අදාළ සිද්ධිය පිළිබඳ යථාවබෝධයක් ලබාගැනීමට නොව. එකී ප්‍රශ්නයට විසඳුම් සෙවීම හැකිතාක් කල්දැමීම මගින්, අවසානයේ සමාජ මතකයෙන් පවා එම ප්‍රශ්නය අතුගා දැමීමටයි. එවැනි කොමිෂන් සභා වාර්තා, අදාළ සිද්ධිය පිළිබඳ ඉදිරි නඩු කටයුතු සඳහා පාවිච්චි කිරීමටවත්, අඩු වශයෙන් ජනතාවගේ දැනගැනීම සඳහා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමටවත් රාජ්‍ය නායකයන් කටයුතු කර නැත්තේ එබැවිනි.

 

ගෝඨාගේ පළිගැනීමේ කොමිසමේ' නිර්දේශ අහෝසියි

මේවාට අමතරව, තවත් විමර්ශන කොමිෂන් සභා සහ විමර්ශන කමිටු වර්ගයක් තිබේ. රාජ්‍ය නායකයෙකු විසින් එවැනි කොමිසමක් හෝ විමර්ශන කමිටුවක් පත්කරනු ලබන්නේ, ජනතාවට කෙසේ වෙතත් තමන්ටවත් සැබෑ සත්‍යය දැනගැනීම සඳහා නොවේ. වෙනත් දේශපාලනික අභිමතාර්ථයක් සාධනය කරගනු පිණිස ය. බොහෝවිට එවැන්නක් මගින්, තමාගේ හතුරු පාර්ශ්වයක වගකීම වැඩි කර හුවාදක්වමින් එම පුද්ගලයන් පීඩාවට පත්කිරීමටත්, සැබෑ වරදකරුවන් වී සිටින තමාගේ මිතුරු කඳවුරේ පිරිස් ඉන් නිදහස් කරගැනීමටත් යොදාගැනේ. යහපාලන ආණ්ඩු කාලයේ සිදු විණැයි කියූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ උපාලි අබේරත්න කොමිසම එවැන්නකි. අවසානයේදී, ගෝඨාභය රාජපක්ෂ කඳවුරට අවශ්‍ය කළ සියලූ හිතමිත්‍රාදීන් ඔවුන්ට එරෙහිව තිබූ නඩු කටයුතුවලින් සහ චෝදනාවලින් නිදහස් කිරීමට මේ කොමිසම කටයුතු කෙළේය. ඒ සමගම, රාජපක්ෂ කඳවුරේ ඇතැම් ප්‍රතිවාදීන් වැරදිකරුවන් කිරීමටත්, ඒ  කොමිසම උත්සුක විය. එය මොන තරම් කුප්‍රකට සහ පිළිකුල් සහගත විමර්ශන කොමිසමක් වීද යත්, එහි සමස්ත වාර්තාව අවසානයේ කුණු කූඩයට වැටුණි.

 

අප කලින් කී වර්ගයේ විමර්ශන කොමිෂන් සභාවලට පත්කෙරෙන්නේ සම්භාවනීය පුද්ගලයන් ය. එහෙත් එවැනි කොමිෂන් සභා වාර්තාවලින් පවා සේවයක් වී නැත. මන්ද යත්, ජනාධිපතිවරු එවැනි වාර්තා සමාජයට නිරාවරණය නොකර තමන්ගේ රහස් ලාච්චුවල දමාගෙන සිටීම නිසා ය. කෙසේ වෙතත්, එවැනි කොමිෂන් සභාවල විමර්ශන කාර්යාවලිය, සාධාරණ යුක්ති ධර්මයේ පදනම මත තබා සමාප්ත කිරීමට එවැනි සම්භාවනීය පුද්ගලයන් සමත්ව ඇති බවට සාක්ෂි තිබේ.

ඊට ප්‍රතිපක්ෂව, මේ අවසානයට කී විමර්ශන කොමිෂන් සභාවලට පත්කෙරෙන්නේ පාලක පක්ෂයේ නොම්මර එකේ හෙංචයියන් ය. ඒ හෙංචයියන් කාටත් ඉතා කුප්‍රකට ඉතිහාසයක් තිබීම විශේෂත්වයකි. උපාලි අබේරත්න ඊට හොඳම උදාහරණයකි. එවැනි දූෂිත චරිතයක් වීම, මෙවැනි කොමිෂන් සභාවකින් අපේක්ෂා කරන දේශපාලනික අභිමතාර්ථ සාධනය කරදීම සඳහා විශේෂ සුදුසුකමක් වශයෙන් පාලකයෝ සලකති.

 

රවි සෙනෙවිරත්න ගැන මේ 'හෙළිදරව්ව' කරන උදය ගම්මන්පිල, අරගල කාලයෙන් ආරම්භ වී, පසුගිය 21 වැනිදා අර්ධ අවසානයකටත්, ලබන 14 වැනිදා පූර්ණ අවසානයකටත් පත්වීමට නියමිත, එක්තරා වඳ වීගෙන යන දේශපාලන කුලකයකට අයත් දේශපාලනඥයෙකි. ඉන් බොහෝ දෙනා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තරම්වත් රටට මුහුණදී ගත නොහැකිව මේ වන විට පස්ස ගසා තිබේ. නියත පරාජය හමුවේ වියරු වැටෙන සමහරු, එසේ පස්ස ගැසීම වෙනුවට, වෙනත් ආන්දෝලනාත්මක මාර්ගවලින් යළිත් ඉස්මතු වීමට බලති. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත්ව ඇති මෙවන් අවදියක එවැනි පුද්ගලයන්ට සුහුරු වේදිකා නිතැතින් හමු වෙයි. ගම්මන්පිල විසින් අතහරින ලද මහා 'බෝම්බයකි' යි ඇතැම් මාධ්‍ය ආයතන ඔහුගේ 'හෙළිදරව්ව' උත්කර්ෂයට නංවන්නේ එබැවිනි. 

ප්‍රහාරයක් ඇති වීමට නියමිත බව රාජ්‍ය බුද්ධි අංශය වෙතින් දන්වා එවා තිබූ ලිපියක් යම් කාලයක් තිස්සේ රවි සෙනෙවිරත්නගේ මේසය මත විවෘත නොවී පැවතියේය යන්න ඔහුට විරුද්ධව මතු කෙරෙන චෝදනාවයි. එම ලිපිය ලියා ඇත්තේ 2019 අප්‍රේල් 09 වැනිදා ය. මේ කියන කාලයේ රවි සෙනෙවිරත්න සිටියේ විදේශගතවයි. ඒ නිවාඩුවක් ගත කිරීමට නොව, 'ජාත්‍යන්තර පොලිස් සංවිධානයේ' හෙවත් ඉන්ටපෝල් සංවිධානයේ රාජකාරි කටයුත්තකට ප්‍රංශයට ගොසිනි. එහෙත් ඔහු කාර්යාලයේ නැති අවස්ථාවක ඔහුගේ රාජකාරි ආවරණය කරන ඊළඟ නිලධාරියාද එම ලිපිය විවෘත කර නැත. ඊට හේතුව වශයෙන් චෝදනාව තුළ දැක්වෙන්නේ, 'අති රහස්‍යයි' යන මුද්‍රාව යටතේ තමාට එන ලිපි කිසිවක් විවෘත නොකරන ලෙස රවි සෙනෙවිරත්න විසින් සෙසු නිලධාරීන්ට දී තිබිණැයි කියන නියෝගයකි.

 

මේ කතාවේ අග-මුල කුමක්ද? මුලින්ම, රාජ්‍ය බුද්ධි අංශය වෙතින් පැමිණි‚ මේ ලිපිය රවි සෙනෙවිරත්නට ආමන්ත්‍රණය කර ඇති ලිපියක් නොවන බව දත යුතුයි. එම ලිපිය යවා ඇත්තේ, පොලිස්පතිවරයාගේ නමටයි. රවි සෙනෙවිරත්නගේ මේසය මතට පැමිණියේ එම ලිපියේ පිටපතකි. යමෙකු වෙත මුඛ්‍ය ආමන්ත්‍රණය කොට යොමු කෙරෙන ලිපියක්, ඒ පුද්ගලයාට අමතරව තවත් පිරිසකගේ දැනගැනීම සඳහා පිටපත් වශයෙන් යොමු කරනු ලැබේ. අදාළ ලිපිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම පැවරෙන්නේ, ලිපියේ මුඛ්‍ය ග්‍රාහකයාට ය. එසේ හෙයින් මේ කියන බුද්ධි අංශයේ ලිපිය රවි සෙනෙවිරත්නට ආමන්ත්‍රණය කර යොමු කරන ලද්දකැයි කීම සාවද්‍යයි. එය, පොලිස්පතිවරයාට යැවූ ලිපියේ පිටපතක් පමණක් වන හෙයිනි.

පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ' - ගම්මන්පිල

 

කෙසේ වෙතත්, එක පැනයක් ඉතිරි වෙයි. එනම්, අප මේ කතා කරන්නේ මහා විනාශයක් වළක්වාගත හැකිව තිබිණැයි කියන මූලාශ්‍රයක් ගැන නිසා (එයද අසත්‍යයකි), එය මුඛ්‍ය වශයෙන් ආමන්ත්‍රණය කර තිබුණේ කාටද, නොතිබුණේ කාටද යන්න වැදගත් නැති බව කෙනෙකු පෙන්වා දිය හැකිය. රවි සෙනෙවිරත්නත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිසාම, ඔහු විසින් ඒ ලිපිය විවෘත නොකර තිබීම, යම් රාජකාරිමය පැහැරහැරීමක් වශයෙන් කෙනෙකු අර්ථගැන්වීමට ඉඩ තිබේ. එයත්, පාස්කු ප්‍රහාරය වළක්වාගත නොහැකි වීමට හේතුවක් විණැයි, ඒ අනුව කෙනෙකු කිව හැකිය.

ඒ කාරණයත් අප පැහැදිලි කරගත යුතුව තිබේ: රවි සෙනෙවිරත්න විදේශගතව සිට ආපසු කාර්යාලයට පැමිණෙන්නේ 2019 අප්‍රේල් 16 වැනිදා ය. එනම්, පාස්කු ප්‍රහාරයට දින පහකට කලිනි. ඒ ඔහු මේ කියන ලිපිය විවෘත කෙළේය. එහි තිඛෙන තොරතුර දැක ඔහු වහාම පොලිස්පතිවරයාට කතා කෙළේය. ඒ වන විට පොලිස්පතිවරයා වෙනත් නිලධාරීන් 4 දෙනෙකුට ඒ කර්තව්‍යය භාර දී ඇති බව පොලිස්පතිවරයා විසින් ඔහුට දන්වන ලදි. ඒ අනුව, මෙය තමන් වෙත කෙලින්ම ආමන්ත්‍රණය කර ඇති ලිපියක් නොවෙතත්, එය පවා යම් දින ගණනක් විවෘත නොකර මේසය මත තැබීමට අවකාශ සැලසී තිබීමත් යන කාරණා දෙකම, මේ සිද්ධිය වෙත ඔහුව වගවීමකින් බැඳ තැබිය හැකි කාරණා නොවන බව පැහැදිලි වෙයි.

පාස්කු ප්‍රහාරය ගැන තමාට තොරතුරු ලැබුණු හැටි මෛත්‍රී හෙළිකරයි

 

රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද ඒ.එන්.ජේ. ද අල්විස් විනිසුරුවරියගේ කමිටුව විසින් රවි සෙනෙවිරත්නව 'විත්තිකරුවෙකු' බවට නම් කිරීමට කලින්, පාස්කු ප්‍රහාරය ගැන ඊට වඩා ඉහළ පෙළේ වඩාත් පුළුල් පරීක්ෂණ ගණනාවක් සිදුකොට තිබුණි. මලල්ගොඩ පරීක්ෂණ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, මූලික අයිතිවාසිකම් නිමිති කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණු පෙත්සම් විභාගය ආදී අවස්ථා ගණනාවකදී මේ ප්‍රශ්නය මතු කෙරී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු, මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පතිවරයා ඇතුළු පුද්ගලයන් ගණනාවක් වැරදිකරුවන් බවට තීන්දු කළ පෙත්සම් නඩුවේද රවි සෙනෙවිරත්න වගඋත්තරකාරයෙකු කර තිබුණි. එහෙත්, ඒ කිසි අවස්ථාවක, පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකර ඔහු සිය රාජකාරිය පැහැරහැර ඇතැයි කිසිවෙකු විසින් කිසි ආකාරයකින් සඳහන් කර නැත. එසේ නම්, මේ කියන අල්විස් විනිසුරුවරියට පමණක් මෙය 'තීරණාත්මක' සිද්ධියක් වශයෙන් පෙනීගියේ ඇයි?

 

448061715 779694697668293 141480366897558244 n 
රනිල් වික්‍රමසිංහ විසින් මේ කමිටුව පත්කරනු ලබන්නේ, රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර, 'මාලිමාවේ' ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයට ගොඩවීමට දින හතරකට කලිනි. ඒ වන විට, රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකහමාරක් මේ රටේ ජනාධිපති වශයෙන් කටයුතු කර තිබුණි. පාස්කු ප්‍රහාරය ගැන ඊට කලින් කරන ලද මීට වඩා පුළුල් පරීක්ෂණ වාර්තා කිසිවක් පිළිබඳ මෙලෝ වගක් නැතිව සිටි වික්‍රමසිංහ හිටිහැටියේම තවත් විමර්ශන කමිටුවක් පත්කිරීමට තීරණය කෙළේම, රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර 'මාලිමාවට' ගොඩ වීම පිළිබඳව ඇති වූ කෝන්තරය පිරිමසාගැනීම සඳහාම බව තීරණය කළ හැක්කේ, ජනාධිපති වශයෙන් ගත කළ අවුරුදු දෙකකටත් වැඩි කාලයේ නිකං සිට මේ කියන මොහොතේම මෙවැනි කමිටුවක් පත්කිරීමට ඔහු තීරණය කළ නිසා ය.

ගෝඨාභය රාජපක්ෂ තමාගේ අභිමතාර්ථ සාධනය සඳහා උපාලි අබේරත්න නමැති කුප්‍රකට පුද්ගලයාව 'පළිගැනීම් පිළිබඳ සොයාබැලීම් සඳහා වන කොමිෂන් සභාවක්' සඳහා තෝරාගත් ආකාරයෙන්ම, රනිල් වික්‍රමසිංහත් තමාගේ පටු අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා ඒ. එන්.ජේ. ද අල්විස් නමැති හිටපු විනිසුරුවරියක් මේ කමිටුව සඳහා තෝරාගත්තේය. මැය, මහේස්ත්‍රාත්වරියක් වශයෙන් සේවයට බැඳී අවුරුදු දෙකක් ගතවීමටත් මත්තෙන්, එනම්, ඇගේ ආධුනිකත්ව කාලයේම විෂමාචාරය නමැති චෝදනාවට වැරදිකාරිය වී අධිකරණ සේවයෙන් පන්නා දමන ලද තැනැත්තියකි. අවසානයේ, ඇගේ සානුකම්පික ඉල්ලීමක් ප්‍රකාරව, 'සේවයෙන් පහකිරීම' වෙනුවට 'ඉල්ලා අස්වීමකට' ඈට ඉඩදීමට 'අධිකරණ සේවා කොමිසම' කටයුතු කර ඇත. වාර්තාගත තොරතුරු අනුව, ඉන් කාලයකට පසු, නැවත ඇය අධිකරණ සේවයට ඇතුළු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ය.

Udaya10

 

උදය ගම්මන්පිල වරනඟන්නේ එවන් පුද්ගලයෙකුගේ වාර්තාවකි. කෙසේ වෙතත්, දැනගන්නට ඇති පරිදි, මැයටත් මැගේ කමිටුවටත් එරෙහිව, රනිල් වික්‍රමසිංහද වගඋත්තරකරුවෙකු කරමින්, රවි සෙනෙවිරත්න නඩු මඟට බැසීමට සූදානම් වන බව සැළයි. මීට පෙර, උපාලි අබේරත්නගේ සියලූ කෙරුවාවල් අධිකරණය මඟින්ම ප්‍රතික්ෂේප කළ ආකාරයටම, මේ තැනැත්තිය සහ ඇගේ කමිටු වාර්තාවත් අනාගත අධිකරණයක් ඉදිරියේ ඒ ඉරණමටම මුහුණදුන්නොත් අප පුදුම විය යුතු නැත.  

(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...