ප්‍රාදේශීය දේශපාලනය රැල්ල මගින් පමණක් නොව පුද්ගල චරිතවල මහජන ආකර්ශනය මතින් ද තීරණය වන බවට හොදම නිදර්ශනය වන්නේ මෙම ප්‍රාදේශීය සභා මැතිවරණය යි.
කොට්ඨාශ දාහතකින් යුතු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පිටුවල හා අවිත්තාව යන කොට්ඨාශ දෙක පමණක් ජාතික ජන බලවේගය පරාජයට පත්විය. පිටුවල කොට්ඨාශයට තරඟ කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා හිටපු පොලිස් පරීක්ෂකවරයෙකි. මහජන ගෞරවය දිනා ගත් පවුලක සාමාජිකයකු වුවද අහිංසක හා සමාජශීලී නොවන චරිතයකි. ඊට වෙනස්ව ජයග්‍රහණය කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මුළු ඇල්පිටියේම මහජන ගෞරවයට, විශ්වාසයට හා ආකර්ශනයට ලක්වූ ලේකම්වසම් පරම්පරාවේ සාමාජිකයෙකි. ඔහුගේ බාප්පා හිටපු මහාධිකරණ විනිශ්චයකාර සුසන්ත ලේකම්වසම් ය. ඥාති සහෝදරයා හිටපු ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නය. 2019 ගෝටාභය රැල්ල විසින් ඔහුව පරාජය කළ ද 2024 මාළිමා රැල්ලට ඔහුව පරාජය කරන්නට නොහැකිවිය.

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළ අනෙක් කොට්ඨාශය වන්නේ අවිත්තාවයි. සමඟි ජනබලවේගයෙන් එම කොට්ඨාශයට තරඟ කළේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා දුර්වල මෙන්ම මුදල් බලය නොතිබූ අයෙකි. අවිත්තාව කොට්ඨාශයේ දී ජාතික ජන බලවේගය පරාජය කිරීමට සජබෙ අපේක්ෂකයාට පහසු කරුණක් විය.
හාස්‍යජනක හා කණගාටුදායක සිද්ධිය වන්නේ හිටපු සභාපතිවරයකු වූ සුගත් දේවප්‍රිය ඕමත්ත කොට්ඨාශයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කළ ද පස්වැනි ස්ථානයට පත්වීමයි. එම කොට්ඨාශයේ දි දෙවැනි, තුන්වැනි හා හතරවැනි ස්ථානයන්ට පත්වූයේ රනිල් වික්‍රමසිංහට සහාය දුන් කණ්ඩායමේ පක්ෂ දෙකක් හා ස්වාධීන කණ්ඩායමකි. ඔවුන්ගේ අපේක්ෂකයන් ද ආකර්ශනීය චරිත වූහ.
අමුගොඩ කොට්ඨාශයෙන් ද සමඟි ජනබලවේගයේ අපේක්ෂකයා ඇද වැටුනේ හතරවැනි ස්ථානයට ය. එහිදී පොහොට්ටු පක්ෂයේ හිටපු සභාපතිවරයකු වූ නලින් ප්‍රියදර්ශන තුන්වැනි ස්ථානයට පත්විය. තවත් හිටපු සභාපතිවරයකු වූ අමිල කාරිවසම්ගේ සහෝදරයා දෙවැනි ස්ථානයට පත්විය. එම අපේක්ෂකයන් දෙදෙනාම පුද්ගල චරිත වශයෙන් තම කොට්ඨාශය තුළ ආකර්ශනීය වූහ.

සමඟි ජන බලවේගයේ අපේක්ෂයන්ට අවම වශයෙන් දෙවැනි ස්ථානයට පත්වීමට නොහැකි වූ කොට්ඨාශයන් වන්නේ මැටිව්ලිය, ඉදිපළේගොඩ හා අම්බන-කහදූවයි. මෙම කොට්ඨාශ තුනේදීම එම අපේක්ෂකයන් තුන්වන ස්ථානවලට තල්ලු විය. එවැනි කොට්ඨාශ දෙකක දී දෙවැනි ස්ථානයන්ට පත්වූයේ ස්වාධීන කණ්ඩායමකි.
මෙම ස්වාධීන කණ්ඩායම ඕමත්ත හා ඉදිපලේගොඩ යන කොට්ඨාශ දෙකේදී දෙවැනි ස්ථානයන්ට පත්වූ අතර මැටිවිලිය හා අවිත්තාව යන කොට්ඨාශ දෙකෙන් ද විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තේය. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ඉපැරණි සම සමාජ පක්ෂ ප්‍රාදේශීය නායකයකු වූ එවකට පැවැති ගොළුවාමුල්ල - ඕමත්ත ගම් සභාවේ සභාපතිවරයකු වූ සුරසේන කහවිතානගේ පුත්‍රයෙකි. ඔහු හිටපු හමුදා නිලධාරියෙකි.
ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වූ සුගත් දේවප්‍රිය (එජාප) ඕමත්ත, රංජිත් ජයසිංහ (බුලත් කොලය) ඇල්පිටිය, නලින් ප්‍රියදර්ශන (පොහොට්ටුව) අමුගොඩ යන කොට්ඨාශවලින් පරාජයට පත්වූ අතර හිටපු උප සභාපතිවරුන් වූ පත්ම භාතිය ලියනාරච්චි (එජාප) වල්ලඹගල හා ජයසේන නාගොඩවිතාන (පොහොට්ටුව) කුඩාගල-කදිරන්දොල කොට්ඨාශවලින් පරාජයට පත්විය. රංජිත් ජයසිංහ හා ජයසේන නාගොඩවිතාන මෙවර තරඟ කළේ පක්ෂය මාරු කරමින් සමඟි ජන බලවේගයෙනි.

රෝහණ විජේවීරගේ පුත්‍රයා වූ උවිඳු විජේවීරගේ දෙවැනි පරපුර පක්ෂයේ ලැයිස්තුවට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලැබී ඇත්තේ ඡන්ද 388ක්වීම තවත් විශේෂ සිදුවීමකි. එම පක්ෂය ප්‍රථමවරට මැතිවරණයකට තරඟ කළ අවස්ථාව මෙයයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ 17න් ජාතික ජන බලවේගයට වලංගු සංඛ්‍යාවෙන් 50%කට වඩා ලබා ගැනීමට හැකිවූයේ කොට්ඨාශ හයක පමණි. ජනතා විමුක්ති පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායකවරයා වන නිශාන්ත පෙරේරා තරඟ කළ අම්බන-කහදූව කොට්ඨාශයෙන් ද ජාතික ජන බලවේගයට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
මැතිවරණ දේශපාලනය ගැන මොහොතක් නතර වී සිතන්නට ජාතික ජන බලවේගයට කාලය පැමිණ ඇත.
(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com



