The Leader News
BREAKING
Top Ad
Opinion

ඇල්පිටියෙ ප්‍රාදේශීය සභාවේ පාලනය අස්ථාවර ද? - (පිලිප් ශාන්ත)

T

The Leader Desk

October 28, 2024 • 12:20 PM

ඇල්පිටියෙ ප්‍රාදේශීය සභාවේ පාලනය අස්ථාවර ද? - (පිලිප් ශාන්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොට්ඨාශ මට්ටමෙන් කොට්ඨාශ පාලහක් දිනා ආසන පාලහක් ජාතික ජන බලවේගය දිනා ගන්නා විට සමඟි ජන බලවේගය දිනූ කොට්ඨාශ දෙකට අදාළ ආසන දෙක ද සමඟ ඒකාබද්ධ විපක්ෂයට සම්පූර්ණ ආසන පාලහක් හිමිවූයේ සමානුපාතික ක්‍රමය නිසා ය.
  • ඒ නිසා සභාවේ සංයුතිය 15:15ක් ලෙස බෙදී යන අතර බැලූ බැල්මට එය අස්ථාවර බව යමෙකුට පෙනී යා හැකිය.
  • කලින් පැවැති සභා පාලනයට 2024 වර්ෂය සදහා අයවැය සම්මත කර ගැනීමට නොහැකිව සභාව විසුරුවා හැරුණේ ඒ අනුව ය.
  • ඒ අනුව සභාපති ධූරයට පත්වූ කරුණාසේන පොන්නම්පෙරුම 2024 අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ විට එය පරාජය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොට්ඨාශ මට්ටමෙන් කොට්ඨාශ පාලහක් දිනා ආසන පාලහක් ජාතික ජන බලවේගය දිනා ගන්නා විට සමඟි ජන බලවේගය දිනූ කොට්ඨාශ දෙකට අදාළ ආසන දෙක ද සමඟ ඒකාබද්ධ විපක්ෂයට සම්පූර්ණ ආසන පාලහක් හිමිවූයේ සමානුපාතික ක්‍රමය නිසා ය. ඒ නිසා සභාවේ සංයුතිය 15:15ක් ලෙස බෙදී යන අතර බැලූ බැල්මට එය අස්ථාවර බව යමෙකුට පෙනී යා හැකිය.

 

ඇල්පිටියේ බලයත් මාලිමාවට

නමුත් යම්කිසි පළාත් පාලන ආයතනයක තනි පක්ෂයක් වැඩිම ආසන ජයග්‍රහණය කර පාලන බලය ලබාගෙන සභාපතිත්වය හිමිවූ පසුව එම පාලනය බිඳ දැමීම පහසු කරුණක් නොවේ. ඊට හේතුව ජනවරමකට එරෙහිව යාමට විපක්ෂය වුවද ඉක්මනින් නොපෙළඹෙන බැවිනි. එහෙත් කල් යල් බලා පොදු හා සාධාරණ විරෝධතා අවස්ථාවක දී පාලනය බිඳ දැමීමේ හැකියාවක් අනාගතයේ දී උද්ගතවිය හැකිය. එහෙත් එවැන්නක් විශාල බහුතර බලයකින් පත්වන පාලනයකට වුවද සිදුවිය හැකිය. කලින් පැවැති සභා පාලනයට 2024 වර්ෂය සදහා අයවැය සම්මත කර ගැනීමට නොහැකිව සභාව විසුරුවා හැරුණේ ඒ අනුව ය.

 

2019 වර්ෂයේ දී පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ ය. ඒ අනුව සභාපති ධූරයට පත්වූ කරුණාසේන පොන්නම්පෙරුම 2024 අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ විට එය පරාජය විය. ඊට පසුව නලින් ප්‍රියදර්ශන සභාපති ධූරයට පත් කළ අතර ඔහු ඉදිරිපත් කළ අයවැය ලේඛනය ද පරාජයට පත්විය. ඒ නිසා සභාව විසුරුවා හැරීමට සිදුවිය. අයවැය පරාජයවීමට හේතුවූයේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ම අතර වූ මත ගැටුමකි. බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ස්ථාවර පාලනයක් ස්ථාපිත වූ පසුව ද පාලනය බිඳ වැටීමක් වූවා නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් විපක්ෂයට හිමිව තිබිය දී එවැනි අනතුරක් නොතිබෙන්නට නොහැක.

එහෙත් පාලක පක්ෂයට වඩා පොදු විපක්ෂය සතුවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව තුන හතරකින් පමණ වැඩිවූ වූ සභාවල ද පාලනය බිඳ වැටීමකින් තොරව මුළු පාලන කාලයම තිබූ අවස්ථා ඕනෑ තරම් තිබේ. හොදම උදාහරණ දෙකක් වන්නේ 2018 පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ හා කුරුණෑගල මහනගර සභා දෙකෙහි තත්ත්වයයි. සභා දෙකෙහිම පාලක පක්ෂය ලැබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාවට වඩා පොදු විපක්ෂය ලැබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩිය. නමුත් විසුරුවා හරින තෙක්ම පාලනය බිද වැටුනේ නැත. ඊට හේතුව එම සභා දෙකෙහිම පාලනයට විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සංධානය සහයෝගය දුන් බැවිනි. කුලියාපිටිය ප්‍රාදේශීය සභා පාලනය මේ අන්දමින් අස්ථාවර වූ නිසා විපක්ෂයේ පක්ෂයකට උප සභාපති ධූරය ලබාදී එම පක්ෂයේ සහාය ලබාගෙන තිබුණි.

 

වව්නියාව උතුර ප්‍රාදේශීය සභාවේ ද 2018 මැතිවරණ ප්‍රතිඵල වලින් ඇතිවූයේ මෙවැනිම තත්ත්වයකි. පාලන බලය දෙමළ ජාතික සංධානයට හිමිවූ අතර ඔවුන්ට වඩා විශාල ආසන සංඛ්‍යාවක් පොදු විපක්ෂයට හිමිවිය. පාලක පක්ෂය හා සම්මුති ගත වන්නට කිසිම විපක්ෂයේ පක්ෂයක් උනන්දු නොවුන ද පාලනය බිඳ වැටීමක් සිදුනොවීය. වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිවී පාලනය පිහිටවූ ජනවරම පොදු විපක්ෂය තේරුම් ගෙන තිබුණි. විසුරුවා හරින තෙක්ම පාලනය සාර්ථකව ගෙන යෑමට දෙමළ ජාතික සංධානයට හැකිවිය.

නමුත් යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් සංයුතිය සංකීර්ණ වූ නිසා පාලන කාලය තුළ පාලනය අවුල් ජාලාවක් විය.වැඩිම ආසන සංඛ්‍යාව දෙමළ ජාතික සංධානයට හිමිවී පාලනය ආරම්භ කළ ද විටින් විට බාධා එල්ල විය. පසු අවස්ථාවක වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයකු පවා නගරාධිපති ධූරයට තෝරා ගැණුනි. එම දේශපාලන නොසන්සුන්තාව නිසා සභාවේ පාලනය ද නොසන්සුන් විය.

 

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්
මෙම තත්ත්වයට හේතුව 2018 පළාත් පාලන මැතිවරණය සදහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන විට ඊට ඇතුලත් කළ අලුත් යෝජනායි. එහිදී කාන්තා නියෝජනය ස්ථාවර කිරීමට වෙහෙසුනා මිස සභා පාලනය ස්ථාවර කිරීමට ආණ්ඩුව උනන්දු නොවීය. ඒ අනුව මැතිවරණයක දී ඇතිවන මහජන බෙදීමේ සංයුතිය ඒ ආකාරයටම සභාව තුළ ඇති කිරීමට වෙහෙසුණි. නමුත් එවිට ඇතිවන සභා පාලනයේ අස්ථාවරත්වය සැලකිල්ලට නොගත්තේ ය. නමුත් පනත සංශෝධනය කරන්නට පෙර පැවැති මැතිවරණ ක්‍රමය තුළ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ බෝනස් ආසන දෙකක් හිමි විය. ඒ නිසා එකල කිසිම සභාවක් මේ අන්දමෙන් අස්ථාවර නොවීය. උදාහරණයකට යම් සභාවක ආසන දිනා ගැනීමට දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ දෙකක් පමණක් නම් එම කණ්ඩායම් දෙක ආසන්න ඡන්ද සංඛ්‍යාවක් දිනා ඇත්නම් සමාන ආසන සංඛ්‍යාවක් ද ලැබේ. එවිට සභාව අස්ථාවර වී පාලනය ක්‍රමවත්ව ගෙන යන්නට නොහැක. ඒ නිසා එකල නීතිය අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ ලැබෙන බෝනස්  ආසන දෙක නිසා පාලනයේ ව්‍යාකූලත්වයක් නිර්මාණය නොවීය.

සමාජයේ මහජන කැමැත්ත සභාව තුළ දැන් අකුරටම නියෝජනය වුවත් සභාවේ පාලනයේ අස්ථාවරත්වයක් නිර්මාණයවීමට ශක්‍යතාවක් ඇතිවන නිසා බරපතල ප්‍රශ්න ඇතිවේ. මේ අස්ථාවරභාවය නිසා බොහෝවිට පක්ෂ දේශපාලන අභිලාශයන් තෘප්ත කර ගැනීමට දේශපාලන පක්ෂ පෙළඹෙනවා මිස යහපත් පාලනයක් ස්ථාපිත කර ගැනීමට එම තත්ත්වය යොදා නොගනී. පළාත් පාලන ආයතන වැනි කුඩා පාලන ඒකකයක දී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය මෙන්ම සභාවේ ස්ථාවර පාලනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. නමුත් දැනට පවතින මැතිවරණ ක්‍රමය තුළ පක්ෂ දේශපාලන පටු අරමුණු වලින් ජනවරම ලැබූ පාලනයට අභියෝග කිරීමේ හැකියාව ශක්තිමත් වේ. සභා පාලනයට එසේ අභියෝග කරන්නේ සත්භාවයෙන් නොවන නිසා සභා පාලනය වෙනස් කිරීමට ලබා දී ඇති හැකියාව මහජන හිතසුව පිණිස ඇතිවූවක් නොවේ.

තමන්ගේ දේශපාලන පෞර්ෂය යොදා ගනිමින් සභා පාලනය බිද නොවැටී රැකගෙන පාලනය ගෙන යා හැක්කේ එහෙමත් කෙනෙකුට පමණි. බහුතරය සභා පාලනය රැක ගන්නේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමෙනි. මන්ත්‍රීවරුන්ට වරදාන ලබාදීමෙන් හා කොන්ත්‍රාත් ලබාදීමෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පවා තමන්ට නම්මා ගන්නා සභාපතිවරු/නගරාධිපතිවරු සිටිති. නමුත් බොහෝතැන්වල කෑදර මන්ත්‍රීවරුන් තෘප්ත කර තබා ගැනීමට නොහැකිව සභාපතිවරු/නගරාධිපතිවරු සභා පාලනය අවුල් කර ගනී. එනිසා විසදුම වන්නේ යම් සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ බෝනස් ආසන දෙකක් ප්‍රදානය කිරීමයි.

 

 109200980 elpitiya
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵල අනුව එහි ආසනයක් දිනා ගැනීමට චන්ද 1,100ක් පමණ අවශ්‍ය වේ. නමුත් ආසන බෙදීමේ ගණිතමය ක්‍රමය අනුව ඡන්ද 522ක් ලැබූ ජාතික ජනතා පක්ෂයට ද ආසනයක් හිමි වී තිබේ. වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් සභාව පාලනය කිරීමේ ජනවරම ලැබූ පක්ෂය සභාව තුළ අස්ථාවර වෙද්දී ඡන්ද 522ක් ලැබූ පක්ෂයට ආසනයක් හිමිවීම විකෘති නියෝජනයකි. මැතිවරණ ක්‍රමය සකස් කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය මෙන්ම සභාවේ ස්ථාවර පාලනය ගැනත් උනන්දුවෙන් සලකා බැලුවා නම් මේ ආසනය හිමිවිය යුත්තේ වැඩිම ඡන්ද ලබා සභාවේ පාලනය ගෙනයෑමට ජනවරම ලැබූ පක්ෂය ස්ථාවර කිරීමට ය.

(පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික 
shan.info1978@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...