ඊළග දවසේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ඇමති මණ්ඩලයට පත් කරලා හරිනිව අගමැතිනි ලෙසත් පත් කෙරුවා.

එතැන් සිට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයෙහි සහ මැතිවරණ වේදිකා මත ජ.වි.පෙ හා මාලිමා නායකයින් ජනතාවට දුන් පොරොන්දු අනුරගෙ වර්තමාන වැඩ බලන ආණ්ඩුව ඉටු කරන හැටි කතා කළොත් :-
1. පත්වීම් දීමේදී ඥාති, හිතමිතුරු හා පුද්ගල සම්බන්ධකම් මත පත්වීම් නොදීමේ පොරොන්දුව, පළමු පත්වීමේ සිට මෙතෙක් කළ ප්‍රධාන පත්වීම් සියල්ලෙන්ම කඩලා තියෙන්නේ. ඇතැම් ප්‍රධාන තනතුරු සඳහා සුදුසුකම් පමණක් නෙවෙයි, අපරාධ චෝදනාද නොතකා පත්වීම් ලබා දීලා.
2. “දුප්පත් හා අසරණභාවයට පත්කර ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා” ජා.මූ.අරමුදල සමග වික්‍රමසිංහ පාලනය ඇති කරගත් ගිවිසුම සංශෝධනය කිරීමට නැවත සාකච්ඡා කරනවා යැයි වූ පොරොන්දුව, දැන් සම්පූර්ණයෙන් අත හැරලා.
3. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ජා.මූ.අරමුදල විසින් සකස් කරනු ලැබූ “ණය තිරසරකරණ විශ්ලේෂණය” (DSA) ප්‍රතික්ෂේප කර, නව විශ්ලේෂණයක් කරන බවට වූ පොරොන්දුව අතහැර, දැන් විදේශ ණය සම්බන්ධ සියල්ල කෙරෙන්නේ ජා.මූ.අරමුදලේ “ණය තිරසරකරණ විශ්ලේෂණය” අනුවයි.
4. ජීවන අරගලයට හසුව ඉන්නා මේ සමාජයේ බහුතරයට සුභසාධන පහසුකම් තහවුරු කිරීමට හැම වේදිකාවකම පොරොන්දු වූ මාලිමා නායකයින් අනාථ කරමින්, ජ.වි.පෙ ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව, ඔක්තෝම්බර 14 වන දින සිට පාරිභෝගික භාණ්ඩ ගණනාවක මිල වැඩි කෙරෙන, බදු අය කිරීමක් ගැසට් කෙරුවා. ඊට පරිප්පු, උම්බලකඩ, ශීතකරණය කෙරුණු මාළු, ඇතුළු භාණ්ඩ කිහිපයක් අයත් වෙනවා.

5. නාස්තිකාර වියදම් කපා හරින්න දුන් පොරොන්දු යට ගසමින් ඔක්තෝම්බර 24 - 26 දිනවල සැමෝවාහි පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට, විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකුට අමතරව, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලන්ඩනයේ සිට සැමෝවාවට යවනු ලැබුවේ, ඇයට වඩා ජ්‍යෙෂ්ඨ, විදේශ කටයුතු අමාත්‍යාංශයේද ලේකම් ලෙස කටයුතු කළ, අත්දැකීම් බහුල චිත්‍රාංගනී වාගිස්වර අල්ලපු වැටේ, ඕස්ත්‍රේලියාවේ මහ කොමසාරිස්වරිය බව අමතක කරලයි. ලන්ඩනයේ සිට පැය 34 ක ගුවන් ගමන් කාලයක් ගතවන සැමෝවාව, පැය 08 ක කාලයක් ගතවන කැන්බරාවට වඩා කිට්ටු වූයේ, මාලිමා වේදිකාවල ගී ගැයූ ප්‍රවීන සංගීතඥ නදීක ගුරුගේ ගේ සම්බන්ධයයි.

6. “ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්ම වලට අනුකූලව” කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැතිවරණ ප්‍රකාශනයෙන් ලබා දී ඇති පොරොන්දුව, මේ වනවිට සහමුලින් මකා දමලා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතියට අනුව 1994 සිට පිහිටුවා තිබුණු “ජාතික කම්කරු උපදේශක සභාව” හිටපු කම්කරු ඇමති විසින් අකර්මන්‍ය කිරීම ගැන විස්තර දක්වා, එය වහා යළි ස්ථාපිත කිරීමට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මූලික අයිතියක් වන වෘත්තීය සමිති පිහිටුවීම හා ඒවායේ සාමාජිකත්වය ලබා ගැනීම පෞද්ගලික අංශයේ විශේෂයෙන් අපනයන නිෂ්පාදනවල යෙදෙන සේවක සේවිකාවන්ට අහිමිකර ඇති නිසා, ඒ අයිතිය සහතික කරන්න වහා පියවර ගන්න කියලා වෘත්තීය සමිති එකතුවක් ජනාධිපතිට සහ අගමැතිනියට යොමු කළ ලිපි වලට මාසයක් ගිහිල්ලත් තාම “ලැබුණා” කියලවත් උත්තර නැහැ.
7. දූෂණයෙන් තොර අති පිරිසිදු, මානුෂීය ජනතා පාලනයක් මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වෙලා තිබියදී, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” ප්‍රජාතන්ත්‍ර විරෝධී මෘග පනතක් යැයි වහා අහෝසි කරන්න කියලා පසුගිය ආණ්ඩු වලට විපක්ෂයේ සිටියදී බලපෑම් කෙරුව අනුර කුමාර, නව ජනාධිපති ලෙස දිවුරුම් දීලා මාසයක් යනකොටම, ඒක අහෝසි කරන්නේ නැහැ කියනවා.

8. “පුද්ගලයින් සඳහාවන වාර්ෂික බදු නිදහස් සීමාව, රුපියල් ලක්ෂ 12 සිට 24 දක්වා වැඩි කිරීමට සහ බදු කාණ්ඩ හා බදු අනුපාත සාධාරණ ලෙස සංශෝධනය කිරීම” මැතිවරණ ප්‍රකාශනයේ තියෙන පොරොන්දුවක්. ජනාධිපතිවරණය අවසන් වුනු වහා ඒවා ක්‍රියාත්මක කරන බවට ජනතාව අතර විශ්වාසයක්ද මාලිමා නායකයින් හැදුවා. නමුත් ඉකුත් 24 වන දින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග අගමැතිනිය කළ සාකච්ඡාවෙහිදී ඇය කියා තියෙන්නේ ඒ සම්බන්ධව ජා.මූ.අරමුදල සමග සාකච්ඡා කරනවා කියලයි. ඒ ගැන යම් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කියලා අගමැතිනි කියලා තියෙනවා. ඒ බලාපොරොත්තුවත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙනකම් විතරයි කියලා දැන් මතයක් හැදෙනවා.

මේ ටිකයි. අරලිය ගහ මන්දිරයේ තාප්ප කඩලා මහජන ප්‍රදර්ශනයට තියෙනවා කිව්ව කතා, ‘94 දී අගමැති චන්ද්‍රිකා සහ 2015 ජනවාරියේ ජනාධිපති සිරිසේන කෙරුවා වගේම, වාහන තොග පිටින් ගාලු මුවදොර පිටියේ පෝලිම් ගහලා පසුගිය ආණ්ඩුවේ මුදල් විනාස කිරීම් ගැන කියු කතා වලින් පසු ඒවට මොනවද වුනේ කියලා දන්නේ නැති රටක, තව ඒ වගේ “ෂෝ වැඩ” තියෙනවා ලියන්න.
ඒත් ඕවා කියවන්නෙත් කොවිඩ්-19 වසංගතයට ධම්මික පැණිය ගත්ත බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත වෛද්‍යවරුන්නෙ. ධම්මික පැණිය ගත්ත තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත්ත නීතිවේදීන්නෙ. තමන්ගේ දරුවා විභාගයට යන්න කලින් බෝධි පූජා තියන, සෙත් කවි කියවා ගන්න ගුරුවරුන්නෙ. අලුත් වාහනයක් ගත්ත ගමන් අඹ කොළ, දෙහි ගෙඩි වාහනයේ එල්ලා ගෙන කතරගම යන ආචාර්ය මහාචාර්යවරුන්නෙ. මැතිවරණයේදී වැදගත් බුද්ධිමත් තීන්දු ගන්න කියන ඒ ජාතියේම දේශපාලන උපදේශකයින්නෙ. එහෙම ප්‍රබුද්ධයින් ඉන්න රටකට මේ කතා කිසි වැඩක් නැහැ කියලා හිතුන නිසා මෙතනින් නතර කරනවා.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ඔක්තෝම්බර 30



