The Leader News
BREAKING
Top Ad
Opinion

ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

October 31, 2024 • 12:21 PM

ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සාධනීය සේම නිශේධනීය අරමුණු වෙනුවෙන් ද ජනතාව එලෙස සාමූහිකව ඒකරාශී වෙති.
  • එලෙස පිබිදෙන ජනතා රැලි මගින් රට තුළ සමාජ දේශපාලන ව්‍යුහයන් පවා වෙනස් කළ හැකි බවට පොදු පිළිගැනීමක් තිබේ.
  • නිදසුනක් ලෙස කිසියම් ප්‍රජාවකට අත් විඳීමට සිදුවන අපහසුවක් මත පදනම්ව ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහි විරෝධාත්මක හඬ නැගීම් සිදුවීම ඉතා ස්වභාවික ය.
  • එහි දී එම ජනතා විරෝධත්ව නියාමනය කෙරෙමින් ඔවුන් ගේ එම අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින නායකයන් ද බිහි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සාධනීය සේම නිශේධනීය අරමුණු වෙනුවෙන් ද ජනතාව එලෙස සාමූහිකව ඒකරාශී වෙති. නිමිත්ත සාධනීය හෝ නිශේධනීය වුව පොදුවේ ඒවා හැඳින්වෙනුයේ ජනතා ආකල්පමය පිබිදීම් මත හට ගන්නා සිදුවීම් වශයෙනි.

 

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අශ්වයාට පෙර කරත්තය ඉදිරියට දැමීම - ජෙහාන්  පෙරේරා

සාමාන්‍ය ව්‍යවහාරයේ දී ජන රැල්ල, ජනතා රැල්ල ආදී වශයෙන් හැඳින්වෙනුයේ ද මෙම තත්වයම ය. එලෙස පිබිදෙන ජනතා රැලි මගින් රට තුළ සමාජ දේශපාලන ව්‍යුහයන් පවා වෙනස් කළ හැකි බවට පොදු පිළිගැනීමක් තිබේ. එමෙන්ම පොදුවේ ගත් කළ ඒවා සාධනීය වශයෙන් ද පිළිගනු ලැබේ. එහෙත්, ජනතාවගේ ආකල්ප පිබිදීම මත සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජ මානව විද්‍යාත්මක ද්‍රෘෂ්ටි කෝණයෙන් බලන විට එවැනි ඒකීය නිගමනයකට පිවිසීම අපහසු ය. ඊට හේතුව විවිධ කරුණු හා හේතු සාධක මත ඉස්මතු වන ජන රැලි සමාජයේ යහපතට සේම අපගමනයට පවා හේතු විය හැකි බැවිනි.

ප්‍රවේසමෙන්... ආණ්ඩුව 'අනෙකා' නිර්මාණය කරමින් සිටියි - (ජයසිරි)

 

පවුල් ප්‍රජා යන සංයුතීන් ගෙන් යුතු සමාජ ඒකක තුළින් යම් යම් කරුණු මත චින්තන, සන්නිවේදන, චර්යා යන සාධක එක්ව ‘පොදු හඬක්’ ඉස්මතු විය හැක. නිදසුනක් ලෙස කිසියම් ප්‍රජාවකට අත් විඳීමට සිදුවන අපහසුවක් මත පදනම්ව ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහි විරෝධාත්මක හඬ නැගීම් සිදුවීම ඉතා ස්වභාවික ය. ඒ අනුව එම හඬනැගීම් සමාජය පුරා පැතිර යත්ම එය ව්‍යුහාත්මක පදනමක් තුළින් ඉස්මතු වීම ද සිදුවන්නකි. එහි දී එම ජනතා විරෝධත්ව නියාමනය කෙරෙමින් ඔවුන් ගේ එම අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින නායකයන් ද බිහි වනු ඇත. අප සමාජයේ බොහෝ විට මෙය දේශපාලනික ස්වරූපයක් ගනු දක්නට ලැබේ.

කිසියම් ශ්‍රමික පිරිසක් තමන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න, ගැටළු අර්බුද සඳහා වෘත්තීය සමිති මට්ටමින් හඬක් නැගීමේ දී පවා ඒ සඳහා දේශපාලනික නායකත්වයක් ආරෝපණය වී එම දේශපාලන නායකයන් එකී ශ්‍රමිකයන් ගේ ‘යහපත් ඒඬේරුන්’ බවට පත් වීමේ පැහැදිලි සම්භාවිතාවක් දක්නට ලැබේ. කම්කරු දිනය අප රට තුළ මුළුමනින්ම දේශපාලනික මුහුණු වරක් ගැනීමට හේතුව ද මෙයයි.

 

ගුරු සටනේ ජය පසුපස සුව සේවය වැටුප් වෙනුවෙන් වීදි බසී
පසුගිය කාලය තුළ රට පුරා ව්‍යාප්ත වූ එක්තරා වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් එම වෘත්තීය සමිතියේ ඇතැම් සමාජිකයන් අප හමුවේ පවසා සිටියේ තමන් මෙම වර්ජනය සඳහා එක් වනුයේ හුදෙක් තම වෘත්තීය සමිති එකඟතාවට ගරු කිරීමක් ලෙස මිස තම හෘද සාක්ෂියට එකඟව නොවන බව ය. අප සමාජයේ වරින් වර නැඟී බැස යන ජනතා රැලි සම්බන්ධ අභ්‍යන්තරයෙන් එවැනි දේ ද කොතෙකුත් උකහා ගත හැක.

මෙලෙස කවර හෝ හේතුවක් හෝ ජනතා ආකල්ප පිබිදීම මත ඇති වන රැලි සමාජය පුරා පැතිර ගොස් එය ව්‍යාකූලත්වයට පත්වන විට සමාජමය උන්මාදය (Social mania) නම් තත්වය බවට ප්‍රවර්ධනය වේ. මෙම සමාජමය උන්මාදයේ දී බොහෝ විට සිදුවනුයේ වැඩි පිරිසක ගේ මතයට තවත් පිරිසක් මානසිකව නතුවීමකි. මෙහිදී එක් එක් පුද්ගලයා සතු විචාරශීලීත්වය අව ප්‍රමාණ වී ඔවුන් ඊනියා අනුකරණයට යොමු වනු දක්නා ලැබේ. මෙය රංචු චර්යාව (Herd behavior ) ලෙස ද හඳුන්වනු ලැබේ. ඒ මෙය මූලික වශයෙන් සතුන් ගෙන් මිනිසුන්ට උරුම වූවක් බැවිනි.

z p43 better

 

කිසියම් සුනඛ රංචුවක් නිදා ගෙන සිටින විට ඉන් එක් සුනඛයකු නින්දෙන් පිබිද යම් දිසාවකට බුරන්නට වූ විට සෙසු සුනඛයන් නින්දෙන් පිබිදෙන්නේ ද බුරා ගෙනම ය. එහෙත්, තමන් එසේ බිරීමට නිසි හේතුව කුමක්ද? යන්න නොදත් ඒ සුනඛයන් කරනුයේ මුලින්ම බිරූ සුනඛයාගේ ඒ බිරීමට අවිචාරවත්ව එක්වීම පමණි. සතුන් අතර පවතින මෙම රංචු චර්යාව මිනිස් සමාජයෙන් ද එලෙසින්ම දක්නට ලැබෙන බව මුල් වරට විග්‍රහ කොට දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍ය, සමාජ විද්‍යාඥ විල්ෆ්‍රඩ් ට්‍රොටර් ( Wilfred Trotter 1872-1939) විසිනි.

සමාජමය දේශපාලන සේම ආර්ථිකමය වශයෙන් යමක් ජනප්‍රියත්වයට පත් වන තවත් විශාල පිරිසක් අවිචාරවත්ව ඒ වෙත යොමු වීමේ සමාජමය සංසිද්ධිය ජනප්‍රිය සංස්කෘතිය නම් සාධකය තුළින් පැහැදිලිවම දක්නට ලැබේ.

අප ගේ ජන සංස්කෘතියට අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පරම පූජනීයත්වයට පත් බෝධිය අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධියයි. නමුත් 1980 දශකයේ අග භාගයේ පමණ එම අනභිභවනීයත්වය උල්ලංඝනය කරමින් නිකවැරටියේ මීවැල්ලාවෙන් හාස්කම් බෝධිය නමින් හැඳින්වුණු කිසිදු ශාසනික හෝ ඓතිහාසික සුවිශේෂත්වයක් නොමැති බෝධියක් ජනප්‍රිය වූ අතර එවක ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ අනුරාධපුර වන්දනා ගමන “නිකවැරටිය දෙසට හැරෙන” තත්ත්වයක් ද පෙන්නුම් කරන ලදී.

 

 dolu

එමෙන්ම ශ්‍රී ලාංකේය  බෞද්ධ සංස්කෘතික සන්දර්භයේ මුදුන් මල් කඩක් සේ සැලකෙන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත සමනල කන්දේ ඇති අද්විතීයත්වය සිඳ බිඳ ලමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොළුකන්ද කෙරෙහි 1990 දශකයේ අග භාගයේ අසාමාන්‍ය පූජනීයත්වයක් ආරෝණය වීම මත ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂ ආකල්පමය පෙරැලියක් සිදුවන ලදී. ඊට හේතු වූයේ එම ස්ථානයට පැමිණ එහි පැලපදියම් වූ ආගන්තුක භික්ෂුවක විසින් එහි තිබී හමු වූ රන් කොතක් රජයට පූජා කොට තෘෂ්ණාව අත්හල බවට සමාජය පුරා පැතිර වූ ගජබින්නයක් බව පසුව අනාවරණය විය. ඉහත සඳහන් ස්ථාන දෙක වෙනම ජනතාව ඇදී යාම කෙරෙහි ඉහත සඳහන් රංචු චර්යාව යනසාධකය ඉවහල් වූ බව නොරහසකි.

ජර්මානු සමාජ විද්‍යාඥ ජොර්ජ් සිමෙල් (George Simmel 1858-1918) අවධාරණය කරන අන්දමට මෙලෙස යම් යම් දේ සහ පුද්ගලයන් සම්බන්ධ ජන අවධානය හුදෙක් අවබෝධාත්මක දෙයක් නොවේ. ඒ සඳහා අනවබෝධමය ද එපරිද්දෙන්ම ඉවහල් වේ.ඒ අනුව යමක් මුල් කොට වැඩිම පිරිසකගේ ඒක රාශී වීම මත එය හොඳම දේ වශයෙන් අර්ථ දැක්විය නොහැක.

 

Sri Lanka 077 Tuk tuks waiting for fares in Kandy 1685043688

මේ වන විට අප රටේ ධාවනය වන ත්‍රිරෝද රථ වල ජනප්‍රිය ජැමයිකානු ගායක බොබ් මාලේ ගේ සහ කියුබානු විප්ලව නායක අර්නස්ටෝ චේ ගුවේරාගේ රූප සිත්තම්ව තිබෙනු ඔබත් දැක තිබෙන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් සමාජ විද්‍යාව හදාරන සරසවි සිසු කණ්ඩායමක් විසින් කරන ලද සමීක්ෂණයක දී තහවුරු වී ඇති අන්දමට එසේ තම ත්‍රිරෝද රථවල ඉහත සඳහන් දෙදෙනාගේ රූප සිත්තම් කොට තිබූ රියැදුරන් ගෙන් ඒ දෙදෙනා හැඳින්වීමට හැකියාව ලැබී තිබුණේ ඉතා සුළු පිරිසකට පමණි. තවත් පිරිසක් ඒ දෙදෙනා නම් වශයෙන් පැවසීමට දැන සිටි අතර එම රියැදුරන් ගෙන් සැළකිය යුතු පිරිසක් ඔවුන් නම් වශයෙන් වත් නොදැන සිටි බව එම සිසු පිරිසට අනාවරණය කර ගත හැකි විය. එහි දී ඔවුන් පවසා ඇත්තේ ත්‍රිරොද රථ වල එම රූප සිත්තම් කිරීම ජනප්‍රිය විලාසිතාවක් බැවින් තමන් ද එය අනුගමනය කළ බවකි.

ඒ අනුව විවිධ තත් කාලීන සමාජමය අවශ්‍යතා මත ජනතා අවශ්‍යතා මත මතු වන ජනතා රැලි ද විචාරවත් සේම අවිචාරවත් සමාජමය සුසංයෝගයෙන් මුහුදු රැලි සේ උස්ව නැඟී සිට යළි බැස යන ස්වරූපයක් දරන බව අප සිහි තබා ගත යුතු වේ.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...