ජනාධිපති අනුර කුමාර දිසානායක පත් වීමත් සමග අප දුටු ලක්ෂණයක් වූයේ ක්‍රමයෙන් ලංකාව පක්ෂ රාජ්‍යයක් බවට පත්වෙන අයුරු ය. මෙය ලංකාවට නුපුරුදු තත්ත්වයකි. ජනාධිපතිවරණ අවස්ථාවේ යම් යම් දේශපාලන විචාරකයින් ලංකාව පක්ෂ රාජ්‍යයක් බවට පත්වෙන බව කියා සිටියත් මහජනතාව එය තේරුම් ගෙන නැත. පක්ෂ රාජ්‍යයක මූලික ලක්ෂණය වනුයේ රටේ නිලබල තන්ත්‍රය පවතින නිලබල රාමුවෙන් බැහැරව බලයට සිටින පක්ෂයේ හිතවත්කම් මත නිලධාරින් පත් කිරිම ය.
උදාහරණයක් ලෙස පක්ෂ රාජ්‍යයක් ඇති චීනයේ නිලබල තන්ත්‍රයෙන් බහුතරය අයිති වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයටයි. එහිදී නිලයක් ලබා දීමේ දී සලකා බලනුයේ දේශපාලන පක්ෂයට ඇති සබැඳියාව සහ විශ්වාසය යි. අපේ රටේ මේ දක්වා පවතින්නේ ‘විබේරියානු නිලබල ක්‍රමය’ යි. එම නිලබල ක්‍රමය දේශපාලනිකව නිශ්ක්‍රීය ය. ඔවුන් කරනුයේ බලයට පත්වන ආණ්ඩුවේ රාජ්‍ය ප්‍රතිපත්තිය ව්‍යවස්ථාපිත නීතියට එකඟව ක්‍රියාත්මක කිරීම ය. පවතින රාජ්‍ය සේවය දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිහිටුවා ඇත.
පහළ නිලයකට යට වූ ඉහළ නිලධාරි තන්ත්‍රය

ලංකාව පක්ෂ රාජ්‍යයක් පත්වන බවට සලකණු කළ මුල්ම පත්වීම වුයේ ජනාධිපති ලේකම් ය. ඔහු ජනාධිපතිගේ හිතවතෙකි. වෘත්තියෙන් ඔහු ඉතා කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකි. ඔහු අයත් වන්නේ සංවෘත දෙපාර්තමේන්තුවකට ය. ඔහුට වඩා විශාල රාජ්‍ය නිලධාරින් ගණනාවක් ඉහළින් සිටියහ. අද ඒ ඉහළින් සිටි නිලධාරින් සිටින්නේ ඔහු යටතේ ය. නව ජනාධිපති ලේකම්ට යම් විනය පරීක්ෂණයක් ගොනු කරන නිලධාරියෙක් සිටියා නම් අද ඒම නිලධාරියා සිටින්නේ ජනාධිපති ලේකම් යටතේය. ජනාධිපති ලේකම් යනු රටේ සිටින ප්‍රධානම රාජ්‍ය නිලධාරියා ය. ඔහු පත් කිරීමේ දී සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ රටේ සිටින ජ්‍යේෂ්ඨතම පරිපාලන නිලධාරින්ගෙන් තෝරා ගැනීම ය. මේ සම්ප්‍රදාය මහින්ද රාජපක්ෂවත් උල්ලංඝණය නොකළේ ය.
අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් වු පුද්ගලයා පරිපාලන සේවයට අයත් වුවත් ඔහු එම සේවයේ කනිෂ්ඨ නිලධාරියෙකි. මීට පෙර ඔහුට ඉහළින් සිටි නිලධාරින් දැන් ඔහුගේ යටත් නිලධාරින් ය. ඒ අනුව, රාජ්‍ය සේවයේ ප්‍රධාන නිලධාරින් දෙදෙනො ම පක්ෂයේ හිතවතුන් ය. ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තම හිතවතුන් පෞද්ගලික කාර්ය මණ්ඩලයට බඳවා ගත හැකිය. ඒ සඳහා පක්ෂයෙන් බඳවා ගැනීමට හානියක් නොකර.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළ රවී සෙනෙවිරත්න විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. ඔහු සක්‍රීය සේවයෙන් ඉවත්ව සම්පූර්ණයෙන්ම මාලිමාවේ දේශපාලනය ප්‍රවර්ධනය කරමින් සිටි දේශපාලනඥයෙකි. ඔහු ද රටේ පරිපාලන සේවය පිළිබඳ කිසිදු අත්දැකිමක් නැති පුද්ගලයෙකි. එකම සුදුසුකම ජනාධිපතිගේ හිතවතෙකු වීම පමණි.
සපුරාම ගැටලු සහිත පත්වීම් වැලක්
ආරක්ෂක ලේකම් ලෙස පත් වු තුයියකොන්තා මහතා ද මාලිමාවේ පසුගිය අවුරුදු දෙක තුළ සිටි දේශපාලනඥයෙකි. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ය. ඔහු සම්බන්ධව විනය පරීක්ෂණ කළ හැකි පුද්ගලයන් අද සිටින්නේ ඔහු යටතේය. රවී සෙනෙවිරත්න පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ව පරීක්ෂණයේ චූදිතයෙකි. ඔහු සම්බන්ධව විනය පරික්ෂණ කිරීමට සිටින අය සිටින්නේද ඔහු යටතේ ය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්විම ඇමතීමට යන්නේ මාලිමාවේ සාමාජිකයෙකු වු නදීක ගුරුගේ බිරිඳ වූ මනෝරී ය. මනෝරි විදේශ සේවයේ කනිෂ්ඨ නිලධාරිනියකි. පොදු රාජ්‍ය මණ්ඩලීය රැස්වීමක් ඇමතිය යුත්තේ විදේශ සේවයේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ය. මේ දක්වා පැවති සම්ප්‍රදාය වුයේ එය යි.
මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති ඉවත් කිරීමේ ගැටලුකාරි තත්ත්වයක් ඇති වූ බව පුවත්පත්වල වාර්තා වී තිබුණි. ජනාධිපතිට අවශ්‍ය වුයේ තම හිතවතෙක් පත් කිරීමය. ඒ අනුව, සභාපති ලෙස ජනාධිපතිගේ හිතවතෙක් පත් කළේ ය.
සිම්බාබ්වේ බවට හැරෙන ලංකාව

මේ සිදුවන ක්‍රමයෙන් පෙනී යන්නේ රට ගමන් කරමින් සිටින්නේ සිම්බාබ්වේ රොබට් මුගාබේ පාලනය කර ආකාරයට ය. රොබට් මුගාබේ ද කළේ රටේ තනතුරුවලට ජ්‍යේෂ්ඨත්වය නොසලකා පළපුරුද තමන්ගේ හිතවතුන් පත් කිරීම ය. ඒ නිසා ලංකාව ක්‍රමයෙන් සිම්බාබ්වේ බවට පත් වෙමින් යනවා දෝ කියා අපිට සැකයක් ඇති විය.
(කෙෂාල් ජයසිංහ)
අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ



