මෙම යුග පෙරළිය නිශ්චිතවම දේශපාලනික බල සබඳතා ක්‍ෂේත්‍රයට අයත් වූවකි. දැනට එය සමාජයීය හෝ ආර්ථිකමය සබඳතා ක්‍ෂේත්‍රයෙහි පෙරළියක් බවට පරිවර්තනය වී නොමැත. නමුත්, දේශපාලනික සබඳතා ක්‍ෂේත්‍රය තුළ සිදුවෙමින් පවතින සමකාලීන බල පෙරළිය සමාජ විමුක්ති දේශපාලනයෙහි පර්යාලෝකයක් තුළ ගත් කළ ඉතාම සාධනීය ඇඟවීම් සහිත වූවක්ය යන්න අපගේ අදහසයි. මෙකී බල පෙරළිය පිළිබඳව අපේක්ෂා සහගතව පසුගිය ජනාධිපතිවරණයට පෙර නිකුත් කරන ලද ප්‍රකාශනයක අපි මෙලෙස සඳහන් කළෙමු:

" ඇතැම් රැඩිකල් වාමාංශික නායකත්වයන් දකින්නට පෙළඹී ඇති පරිදි ජාජබ ජයග්‍රහණයක් යනු ‘ක්‍රම වෙනසක්’ සඳහා වූ දේශපාලනය නැතහොත් සමාජය වෙනස් කිරීම ඉලක්ක කරගත් දේශපාලනය සඳහා ඇති අවකාශය අවහිර කරන්නක්ය යන්න අප පිළිගන්නේ නැත. ඒ වෙනුවට මේ මොහොතේදී මෙරට ගතානුගතික පාලක මාෆියා/ප්‍රභූ තන්ත්‍රයේත්, අන්ත-ජාතිකවාදී ධාරාවලත් බලය බිඳ වැටීම විසින් දේශපාලන, සමාජයීය, සංස්කෘතික සහ බුද්ධිමය තලයන්හි පරිවර්තනීය දේශපාලන ප්‍රවණතාවල පැනනැගීම සඳහා වාසි සහගත වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. රැඩිකල් වාමාංශය විසින් ගත යුතුව තිබූ වඩා පරිණත හා බුද්ධි ගෝචර තෝරාගැනීම විය යුතුව තිබුණේ තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවට ජාජබ තුළ නියෝජනය වන ප්‍රජාතාන්ත්‍රික ජනතා අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කරන්නා වූත් ජාජබහි සීමාවන්ගෙන් ඔබ්බට එම අපේක්ෂා රැගෙන යන්නා වූ, නැතහොත් ඒවා රැඩිකල්කරණය කරන්නා වූත් මගක් ගැනීමය යන්න අපගේ අවබෝධයයි. ඒ මග ගත්තේ නම් ඉදිරියේ එන මැතිවරණවලදී ස්වකීය රැඩිකල් වාමාංශික ඉදිරි දැක්ම පවත්වා ගන්නා අතරම වඩා පුළුල් ජනතා ආකර්ෂණයක් දිනාගන්නට එය සමත් වන්නට ඉඩ තිබුණි."
('වාමාංශික ජනතාවාදය, සහශ්‍රක සමාජවාදය සහ 2024 ජනාධිපතිවරණ නිමේෂය ගැන', සුමිත් චාමින්ද, විදර්ශන කන්නන්ගර)
ඉහත උපුටනය තුළ අප පෙරදුටු පරිදි ලාංකේය මාෆියා-ප්‍රභූ තන්ත්‍රයේ දේශපාලන නියෝජනයන් මේ වනවිට අතිශය දුර්වල අඩියකට වැටී ඇති අතර දක්ෂිණාංශික කඳවුර කැබලි කිහිපයකට කැඩී ඇත. නව-ලිබරල් සම්මුතිකවාදයේ ජය ඝෝෂාව මධ්‍යයේ 1990 දශකයේදී දක්ෂිණාංශිකයින් උද්දාමයෙන් කතා කළේ 'වමේ ඇමීබාකරණයක්' ගැන වූයේ යම් සේද, දැන් අපට 'දකුණේ ඇමීබාකරණයක්' ගැන කතා කළ හැකි යුගයක් උදාව තිබේ.
නව-ලිබරල් සම්මුතිකවාදය

මේ පරිවර්තනය සිදු වූයේ කවර නම් ඓතිහාසික තත්ත්වයන් යටතේදීදැයි කෙටියෙන් හෝ විමසා බැලීම මේ මොහොතේදී ප්‍රයෝජනවත්ය. ලාංකේය දක්ෂිණාංශික දේශපාලනයේ සම්මුතිකවාදී දශකය ලෙස හඳුනාගත හැකි 1994 සිට 2004 දක්වා වූ කාල පරිච්ජේදය තුළදී ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික නායකත්වයන් දෙකම (එනම් චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රීලනිප සන්ධානය සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප සන්ධානය) එක් අතකින් නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද අනෙක් අතින් ජාතික ප්‍රශ්නයට අදාළව 'ලිබරල් සාම' වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද සමාන ප්‍රතිපත්ති රාමුවක් තුළට අවතීර්ණ වූහ. මෙය සීතල යුද්ධයේ නිමාවත් සමග යුරෝපයේත් ලොව තවත් බොහෝ තැන්වලත් ප්‍රවණතාත්මකව වර්ධනය වූ නව-ලිබරල් සම්මුතිකවාදයේ ලාංකේය සදෘශ්‍යය ලෙස සැලකිය හැකිය. අනූව දශකය ඉතිහාසයේ අවසානයේ දශකයත්, නව-ලිබරල් ජයෝන්මාදයේ දශකයත්, එක්සත් ජනපද ඒක-කේන්ද්‍රීය ලෝක පර්යායේ දශකයත්, ටෝනි බ්ලෙයාර්ගේ තුන්වන මාවතෙහි දශකයත්, පශ්චාත්-නූතන නිර්-දේශපාලනයේ දශකයත්, (ශන්තාල් මූෆ්ගේ වචනයෙන් කිව හොත්) පශ්චාත්-දේශපාලනයෙහි දශකයත් විය. ලෝකයේ අප ජීවත් වන කලාපයේ නව-ලිබරල් සම්මුතිකවාදයේ සමාන්තර වර්ධනයන් කිහිපයක් අනූව දශකයේදී සිදු විය. 1991 දී නරසිංහ රාවෝ සහ මන්මෝහන් සිං දෙපළ විසින් ඉන්දීය කොංග්‍රසය නේරුවියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ සිට නව-ලිබරල්වාදය වෙතට හරවන ලදී; වසර තුනකට පසු එනම් 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රීලනිපය සම්බන්ධයෙන් ඒ දෙයම කළාය; ඊට සමගාමීව 1993-94 කාලයේදී පාකිස්ථානයේ බෙනාසීර් භුට්ටෝ ඇයගේ පාකිස්ථාන ජනතා පක්ෂයේ ආර්ථික ජාතිකවාදී ප්‍රතිපත්ති ප්‍රවේශය ආපස්සට හැරෙව්වාය.
මෙම සම්මුතිකවාදයෙහි කලාපීය හා ප්‍රාදේශික සුවිශේෂතා කොතරම් පැවතියද ඒ විසින් ජනිත කෙරුණු දේශපාලනික ගම්‍යතාවන්හි කිසියම් පොදු රටාවක් හඳුනාගත හැකිය. එනම්, ප්‍රධාන ධාරාවේ දේශපාලන කඳවුරු අතර ඇතිවන ප්‍රතිපත්තිමය සාම්‍යභාවය හමුවේ එම ප්‍රතිපත්තීන් කෙරෙහි කළකිරෙන සමාජ කොටස් නව දේශපාලන ධාරාවන් වෙත ආකර්ෂණය වීමයි. නිදසුන් ලෙස, යුරෝපයේ නව-ලිබරල් සම්මුතිකවාදය විසින් 2008 ආර්ථික අර්බුදයට පසුකාලීනව අන්ත-දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාර වෙතට මාවත විවෘත කෙරිණ. ඉන්දියාවේ එය රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංග් සහ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ හින්දූත්ව ව්‍යාපාරයේ නැගීම කරාද, පාකිස්ථානයේ ඉම්රාන් ඛාන්ගේ සුවිශේෂී පුද්ගල-කේන්ද්‍රීය ජනතාවාදය කරාද මාර්ගය සැකසීය. ශ්‍රී ලංකාව තුළ නව-ලිබරල් සම්මුතිකවාදය විසින් මාර්ගය සකසන ලද්දේ රාජපක්ෂ ව්‍යාපෘතිය වෙතටය.
රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය

ලාංකේය සන්දර්භය තුළ දක්ෂිණාංශික සම්මුතිකවාදයේ දශකය තුළ අසම්ප්‍රදායික දේශපාලන ධාරාවන්හි නැග ඒම මනාව ප්‍රදර්ශනය කෙරෙනුයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික හෙළ උරුමයේ ජන්ද පදනමෙහි ක්‍රමානුකුල වර්ධනය විසිනි (1994, 2000, 2001 සහ 2004 මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කරන්න). ජනවාර්ගික යුද්ධයෙහි සුවිශේෂී පසුබිම තුළ එකල පැවති දේශපාලන සංස්ථාපිතයට එරෙහි බහුජන පැන නැගීම් සාර්ථකව සංවිධානය කළ හැකි වූයේ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදී කතිකාවක් වටාය. එම කතිකාව ගොඩ නංවන ලද්දේ 1980 දශකයේ ඇරඹි ජාතික චින්තනවාදී ව්‍යාපාරය ඔස්සේ පරිණාමය වෙමින් ආ නව දක්ෂිණාංශික ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් විසින් වූ අතර සිංහල බෞද්ධ ගතානුගතික බුද්ධිමතුන් බහුතරයක් තම දෘෂ්ටිවාදී නායකත්වය යටතේ සංවිධානය කරන්නටද ඔවුන් සමත් විය. එම ව්‍යාපාරයෙහි ඇතැම් සංඝටක 1960 දශකයේ'වාමාංශික ජාතිකවාදී' සම්ප්‍රදාය කෙරෙන් පැන නැගුණු අතර ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ ශේෂයන්ද, වාසුදේව නානායක්කාර වැනි 1980 දශකයේ රැඩිකල් වාම නායකත්වයන්ද, සුමනසිරි ලියනගේ වැනි මාක්ස්වාදී බුද්ධිමතුන්ද රාජපක්ෂ ව්‍යාපෘතියේ බුද්ධිමය හා සදාචාරමය නායකත්වය තුළ නියෝජනය වීමෙන් ගම්‍ය වන්නේ එයයි.
රාජපක්ෂගේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීම සිදුවන්නේ 1994-2004 දශකය තුළ දකුණේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකෙහිම ගතානුගතික නායකත්වයන් කෙරෙන් ක්‍රමානුකුලව පරාරෝපණය වූද, එනයින් ජවිපෙ සහ ජාතික හෙළ උරුමය වෙතට ආකර්ෂණය වෙමින් පැවතියා වූද සමාජ කණ්ඩායම්වල සක්‍රීය සහයෝගය දිනාගැනීම මගිනි. මෙය ග්‍රාම්ස්චියානු අරුතින් ගත් කල විපාක්ෂික අවකාශයක් තුළින් මතුවන දේශපාලන පැන නැගීම් තම හෙජමොනික ව්‍යාපෘතිය තුළට අවශෝෂණය කර ගැනීමක් නොහොත් රූපාන්තරණවාදයක් (transformism) ලෙස තේරුම් කළ හැකිය. (1954-56 වසරවලදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ උපායික ප්‍රවේශයත් 1987-88 වසරවලදී රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රවේශයත් මේ සඳහා තවත් ලාංකේය නිදසුන්ය).
2004-2024 දක්ෂිණාංශික පසමිතුරුතා අක්ෂය
ඉන්පසුව 2004 සිට 2024 දක්වා වූ දශක දෙකක කාල පරිච්ජේදය තුළ ලාංකේය ප්‍රධාන ධාරාවේ දේශපාලනය දෝලනය වූයේ එක් පසෙකින් නිදහස් වෙළඳපල මූලධර්මවාදය පිළිගන්නා අතර සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ සහයෝගය දිනාගත් ආර්ථික දක්ෂිණාංශයේ සාම්ප්‍රදායික කඳවුරත් අනෙක් අතින් සිංහල-බෞද්ධ රණකාමී ජාතිකවාදය නියෝජනය කළ දේශපාලන අන්ත-දක්ෂිණාංශයේ ජනතාවාදී කඳවුරත් අතරය. රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග පළමු කඳවුරට නායකත්වය දෙනවිට 'රාජපක්ෂ කවය' දෙවන කඳවුර නියෝජනය කළේය. විමල් වීරවංශ සහ චම්පික රණවක රාජපක්ෂ කඳවුරේ ජනප්‍රිය ඓන්ද්‍රීය බුද්ධිමතුන් වූ අතර පසුකාලීනව රණවක ලිබරල් කඳවුරේ ජාතිකත්ව නියෝජනය බවට පත්වීමට අසාර්ථක ප්‍රයත්නයක නිරත විය. සැබවින්ම ලිබරල් කඳවුරටද එහිම ඓන්ද්‍රීය බුද්ධිමය සහ සදාචාර නායකත්වයක් තිබිණ. එනම්, 1980 දශකයේ පටන් විශේෂයෙන්ම විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන සහ ලිබරල් සාම ව්‍යාපෘතිය ඇසුරු කරමින් ක්‍රමානුකුලව ගොඩනැගුණු ජාතිකවාදී නොවන සිවිල් සමාජ නියෝජනයන්ය.
ජවිපෙ හෙජමොනික දේශපාලනය 1994න් පසු

ජනතා විමුක්ති පෙරමුණෙහි සාර්ථක ප්‍රති-හෙජමොනික ව්‍යාපෘතියේ විකාශනය වටහාගත යුත්තේ ඉහත විශ්ලේෂණය කළ ඓතිහාසික චිත්‍රය තුළ එය ස්ථානගත කරමින්ය. 1994 දී ජවිපෙ මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇතුල් වන විට එය ලාංකේය ඓතිහාසික වාමාංශයේ උරුමයක් වූ වාම-ජාතිකවාදය අනන්‍ය කරගෙන සිටියේය. 1980 දශකයේදී ක්‍රියාත්මක කරන ලද සිංහල දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයේ ආසන්න අත්දැකීම්වල පසුබිම තුළ එය අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. ජවිපෙ 1994-2004 දශකය තුළ ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික සම්මුතිකවාදයේ පසුබිමෙහි රණකාමී ජාතිකවාදී කතිකාවෙහි කේන්ද්‍රීය නියෝජනයක් බවට පත් වීමද ඉනික්බිති රාජපක්ෂ බල ව්‍යාපෘතියේ පුරෝගාමී කොටස්කරුවෙකු බවට පත් වීමද මේ අනුව පුදුමයට කරුණු නොවේ.
නමුත්, සරදම්ජනක ලෙස, ජවිපෙ පසුකාලීනව සාර්ථකව වාම-ජනතාවාදී ව්‍යාපාරයක් සංවිධානය කොට රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ ගමනෙහි ආරම්භක පියවර වූයේ අන් කිසිවක් නොව පක්ෂ නායකත්වය රාජපක්ෂ යුද ව්‍යාපෘතියෙහි අවසන් භාගයේදී එයින් වෙන්වීමට ගත් ජනප්‍රිය නොවන තීරණය බව අපගේ අදහසයි. එය විමල් වීරවංශ ප්‍රමුඛ සිංහල ජාතිකවාදී ධාරාව විසින් යෝජනා කරන ලද උපායික ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමක්ද පක්ෂ කාඩරය තුළ රැඩිකල් වාමාංශික ධාරාවේ බලපෑම ක්‍රියාත්මක වීමක්ද විය. පක්ෂය හුදෙක් අන්ත-දක්ෂිණාංශික රාජපක්ෂ හෙජමොනියෙහි කොටස්කරුවෙකු බවට පරිවර්තනය වීම වෙනුවට ස්වකීය ප්‍රති-හෙජමොනික ව්‍යාපෘතියක් ගොඩ නැගීමේ ගමන ආරම්භ වී ඇත්තේ ඇතැම්විට යමෙකු ගතානුගතික වාමාංශික ස්ථාවරය වෙතට ආපසු හැරීමක් ලෙසින් දකින්නට ඉඩ තිබෙන මෙකී තීරණය සමගිනි. අප එසේ කියන්නේ මන්ද? පසුකාලීනව ජවිපෙ මූලිකත්වයෙන් ජාතික ජන බලවේගය ගොඩ නැගීම ඔස්සේ වාම-ලිබරල් බුද්ධිමය ශ්‍රේණියක් ආකර්ෂණය කරගැනීමේද, එනයින් සම්ප්‍රදායිකව තමන් හට සහාය නොදුන් සමාජ කණ්ඩායම් වෙතට හෙජමොනික ආමන්ත්‍රණයක් කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමේද වියහැකියාව නිර්මාණය වූයේ පක්ෂය රාජපක්ෂ ව්‍යාපෘතියෙන් ඛණ්ඩනය වීමත් රණකාමී සිංහල ජාතිකවාදයෙන් දුරස් වීමත් පසුබිම් කොටගෙන බැවිනි.
අප දෙදෙන ජවිපෙ දේශපාලනය කෙරෙහි කිසියම් දෘෂ්ටිවාදීමය මැදිහත්වීමක් කරන්නට ප්‍රයත්න දැරුවේ මෙම සුවිශේෂී මොහොත තුළය. ඒ වන විට අපද කොටස්කරුවන් වූ 'පශ්චාත්-එක්ස්' සමූහය ඇතුළු වාම-ලිබරල් ධාරාවේ පොදු ප්‍රවේශය වී තිබුණේ ජවිපෙ යනු සිංහල ජාතිකවාදය ඇතුළු අධිපති දේශපාලන කතිකාවට අනුගත වෙමින් පැවති ව්‍යාපාරයක්ය යන්නයි. නමුත්, ජවිපෙ කේඩරය තුළ තවමත් සමාජ විමුක්තිය පිළිබඳ වාමාංශික පරිකල්පනයක් පවතින බැවින් ඇතැම්විට පිටත සිට එයට ආමන්ත්‍රණය කිරීමේ කිසියම් හැකියාවක් පවතීය යන්න අපගේ අදහස විය. මෙම හඳුනාගැනීමේ ප්‍රතිපලය වූයේ අප දෙදෙනාගේ දායකත්වයෙන් එකල ජවිපෙට අයත්ව තිබූ 'ලංකා' පුවත්පතේ කොටස් ගණනාවක් ලෙස පළ වූ 'ජනතා විමුක්ති කතිකාව' පිළිබඳ ලිපි මාලාවයි. එය එකල ජවිපෙ අධ්‍යාපන ලේකම්වරයාව සිටි පුබුදු ජයගොඩ සහෝදරයාගේද දායකත්වය සහිත පුළුල් සංවාදයක් බවට පරිවර්තනය වූ අතර කොළඹ මහජන පුස්තකාල ශාලාව තුළ අප දෙපිරිස අතර ප්‍රසිද්ධ විවාදයක්ද සිදු විය. ජවිපෙ අභ්‍යන්තරයෙහි නිර්මාණය වෙමින් පැවති විසම්මුතික ධාරාව සමග විධිමත් සම්බන්ධයක් නිර්මාණය කරගන්නට අපට අවස්ථාව නිර්මාණය වූයේ ඉන්පසුවය. එය නව-ලිබරල් හෙජමොනිය පිළිබඳ තවත් සංවාදයක් කරා මග විවර කළ අතර දෙපිරිසම සහභාගී වූ කෙටිකාලීන අධ්‍යයන කවයක ආරම්භයද සලකුණු විය. එකල අපගේ පාර්ශවයෙන් දෘෂ්ටිවාදීමය සහ දේශපාලනික මැදිහත්වීම් සිදු කරන ලද්දේ 'ප්‍රැක්සිස් සාමූහිකය' යන එකතුව යටතේය.

කෙසේ වුවද, ජවිපෙ අභ්‍යන්තරික ඉරි තැලීම් අප දැන සිටියාට වඩා තියුණු ඒවා වූ අතර අප අපේක්ෂා නොකළ පරිදි පක්ෂය යළිත් දෙකඩ විය. අප ආරම්භයේදී අපේක්ෂා කළේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුව තුළ එතෙක් යටපත් වී පැවති සමාජ විමුක්තිවාදී අන්තර්ගතයන්ට ආමන්ත්‍රණය කරමින් පක්ෂය තුළට ක්‍රමික දෘෂ්ටිවාදීමය මැදිහත්වීමක් කරන්නට වුවත්, පක්ෂයේ බිඳී යාම හමුවේ අපට තෝරා ගැනීමක් කරන්නට සිදු විය. නිසැකවම අපගේ තෝරාගැනීම වූයේ රැඩිකල් වාමාංශික කණ්ඩායමය (එය පළමුව 'ජන අරගල ව්‍යාපාරය' ලෙසත් පසුව 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' ලෙසත් සංවිධානය විය). මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් නම් පසුකාලීනව ජවිපෙ කරා ආකර්ෂණය වූ වාම-ලිබරල් බුද්ධිමය ශ්‍රේණියෙහි විශාල පිරිසක් ආරම්භයේදී වැඩි සමීප බවක් දැක්වූයේ පෙසප ප්‍රමුඛ රැඩිකල් වාමාංශය වෙතටය යන්නයි. රැඩිකල් වාමාංශයේ ක්‍රියාකාරී සාමාජිකයින් අතර රමිඳු පෙරේරා, ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික යන සොයුරු සොයුරියන්ද වූහ.

2011 ඛණ්ඩනයෙන් පසුව එක් පසෙකින් ජවිපෙ සහ අනෙක් පසින් පෙසප අනුගමනය කළේ එකිනෙකට වෙනස් උපාය මාර්ගික ප්‍රවේශයන් දෙකකි. ජවිපෙ ආණ්ඩු බලය අරමුණු කොටගත් මැතිවරණ දේශපාලන මගෙහි දිගටම ගමන් කළ අතර එහිදී දෘෂ්ටිවාදීමය ලෙස වාම-ජාතිකවාදයේ සිට වාම-ලිබරල්වාදය දෙසට දෝලනය වීම කැපී පෙනෙන පරිවර්තනයකි. එම උපායමාර්ගික ප්‍රවේශය තුළ සාමාන්‍යයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයක් වන්නේ බහුතර ජන කැමැත්ත දිනා ගැනීම සඳහා කිසියම් දුරකට සිය සමාරම්භක දේශපාලන ස්ථාවරයන් සම්මුතිගත කරන්නට සිදු වීමයි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1960 මැතිවරණ පරාජයෙන් පසුව ජාතික ප්‍රශ්නය අරභයා වූ ස්වකීය මූලධාර්මික ස්ථාවරයන් ක්‍රමක්‍රමයෙන් සම්මුතිගත කිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස වාම-ජාතිකවාදයේ කතෘකයන් බවට පත් වීම මේ සඳහා කදිම නිදසුනකි. වත්මන් ජවිපෙ සම්බන්ධයෙන් ගත් කල සම්මුතිකවාදී නැඹුරුව පවතින්නේ ජාතික ප්‍රශ්නයට අදාළව නොව ආර්ථික ලිබරල්වාදයට අදාළවය. මෙම සම්මුතික නැඹුරුවට එරෙහිව පෙසප තෝරා ගත් ප්‍රවේශය වන්නේ ආර්ථිකමය සහ සෙසු සමාජ පීඩනයන්ට එරෙහි බහු-විධ ජන අරගල සංවිධානය කිරීමත් පාර්ලිමේන්තුව ඇතුළු නිල නියෝජන ආයතනයන්ට පිටතින් මහජන බලය සෘජුවඅභ්‍යාස කළ හැකි කල් පවතින ව්‍යුහයන් නිර්මාණය කිරීමත්ය. මෙම ප්‍රවේශය සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේ දෘෂ්ටියෙන් ගත් කල ප්‍රශස්ත එකක් වුවත් රාජ්‍ය බලය පිළිබඳ ගැටලුවත් පොදුවේ හෙජමොනික දේශපාලනයේ අවශ්‍යතාවත් ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් එකක් නොවේය යන්න මුල පටන්ම අපගේ අවධාරණය විය. 2011 ඛණ්ඩනයෙන් පසුව අප දිගින් දිගටම යෝජනා කරමින් සිටියේ ජවිපෙ වමට හැරිය යුතු බවත්, පෙසප හෙජමොනික දේශපාලනය දෙසට හැරිය යුතු බවත්, බෙදුණු වමෙහි දෙපාර්ශවය අතර අඩු තරමින් සහයෝගීතාවක් ගොඩ නගා ගත යුතු බවත්ය.
අපගේ ක්‍රියාකාරී සම්බන්ධයක් පැවති පෙරටුගාමී නොහොත් ජන අරගල වාමාංශයෙහි ආරම්භයේ පටන් අප අවධාරණය කරමින් සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී උපාය මාර්ගික ප්‍රවේශයෙහි වලංගුතාවයි. එම අවධාරණය ජවිපෙ ඛණ්ඩනය සිදු වූ දිනවල 'රාවය' පුවත්පතේ පළ වූ 'ගුඩ්බායි විජේවීර?" ලිපි පෙළ තුළ පවා නිරීක්ෂණය කළ හැකිය. ලාංකේය නව-ලිබරල් මාෆියා ප්‍රභූ තන්ත්‍රයේ එක් පාර්ශවයක බලය යළි තහවුරු කරගැනීම සඳහා පෙරට ගෙන එන ලද 2015 යහපාලන ව්‍යාපෘතිය සමග අනුගත නොවීමේ පෙසප තීරණය අප පිළිගත්තද, 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවට එරෙහි උද්ඝෝෂණයට සක්‍රීයව සහාය දිය යුතුය යන්න අපගේ ස්ථාවරය විය. ලිබරල්-වාම බුද්ධිමය ශ්‍රේණියේ සැලකිය යුතු පිරිසක් පෙසපෙන් දුරස් වීම තීරණාත්මකව සලකුණු වූයේ 2015 මැතිවරණ තෝරා ගැනීම නිසා නොව 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආශ්‍රිත තෝරා ගැනීම නිසාය යන්න අපගේ අදහසයි. 2015 ඊනියා 'ජනවාරි විප්ලවය' ඉක්මනින්ම විහිළුවක් බවට පත් වූ බැවින් රැඩිකල් වම එය සමග අනුගත නොවීම බුද්ධි ගෝචර තීරණයක් බැව් ඒ වනවිටත් සනාථ වී තිබිණ. නමුත්, 2018 සිද්ධිය ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය සම්බන්ධයෙන් රැඩිකල් වමේ උනන්දුව ප්‍රකාශ කිරීමේත්, එමගින් වාම-ලිබරල් ශ්‍රේණීන් වෙත ආමන්ත්‍රණය කිරීමේත් අවස්ථාවක් බවට පරිවර්තනය කරගත හැකිව තිබිණ.

අපගේ තවත් අවධාරණයක් වූයේ සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ජන අරගල ප්‍රවේශය අතිශයින්ම වැදගත් වුවත්, රාජ්‍යයේ නිල නියෝජන ආයතනවල සහ පොදුවේ රාජ්‍ය බලයේ වැදගත්කම අඩුවෙන් තක්සේරු කිරීමට එය හේතුවක් නොවිය යුතුය යන්නයි. 2022 ජනතා අරගලයෙන් පසුව ජන අරගල වාමාංශය විසින් ගොඩ නගන ලද 'මහජන කවුන්සිල' අඩු තරමින් පළාත් පාලන ආයතනවලට අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කළ හැකි මට්ටමට රැගෙන 'විත් රාජ්‍යයේ නියෝජන ආයතන සමග සම්බන්ධ කළයුතුය යන්න අපගේ තවත් යෝජනාවක් විය. ඉනික්බිති 2023 වසරේ ආරම්භයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් ජවිපෙ/ජාජබ විසින් පවත්වන ලද මහජන රැස්වීම් සඳහා විශාල ජන සහභාගීත්වයක් සිදුවන විට ඒ කෙරෙහි විවේචනාත්මක වනු වෙනුවට එය සාධනීය දේශපාලන පරිවර්තනයක් ලෙස භාරගත යුතු බැව් අපි පෙන්වා දුනිමු. පහත උපුටනය 2023 පෙබරවාරි 11 දින 'colombo telegraph' වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියකිනි.
"දැන් ජවිපෙ/ජාජබ මැතිවරණ ජනතාවාදය තුළ ලබමින් සිටින සාර්ථකත්වය පෙරටුගාමී වාමාංශය විසින්ද සාධනීය වර්ධනයක් ලෙස භාරගත යුතුය යන්න මගේ අදහසයි. මන්ද යත්, මා මින් පෙරද තර්ක කොට ඇති පරිදි ජවිපෙ/ජාජබ පවත්නා සංස්ථාපිතය සමග ක්‍රමිකව සම්මුතිගත වීමේ නැඹුරුවක් දැක්වුවද, මෙරට කාලාන්තරයක් තිස්සේ පැල පදියම් වී තිබෙන දේශපාලන ප්‍රභූජාලයට පරිබාහිරින් මතුවන ව්‍යාපාරයක් ලෙස වත්මනෙහි පවත්නා දේශපාලන සමතුලිතතාව වෙනසකට ලක් කරන්නට එය සමත්වනු ඇත. එසේ නිර්මාණය වන නව සමතුලිතතාව 'සිස්ටම් චේන්ජ්' දේශපාලනය සඳහා වමෙන් ඉන්නක් ගැසිය යුතු යැයි විශ්වාස කරන අප සැමට සුබවාදීව භාර ගත හැකි වර්ධනයකි." (සුමිත් චාමින්ද)
ලාංකේය වාමාංශික ජනතාවාදී නිමේෂය
පසුගිය දශකය තුළ යුරෝපයේ, ලතින් ඇමෙරිකාවේ සහ ලොව තවත් තැන්වල ප්‍රවනතාත්මක ලෙස ව්‍යාප්ත වූ වාමාංශික ජනතාවාදී දේශපාලනයේ ලාංකේය සදෘශ්‍යයක් පිළිබඳ පෙරදැක්මක් අඩු තරමින් කොරෝනා වසංගතය පැවති සමයේදී අපට ඉදිරිපත් කළ හැකි විය. 2021 අගෝස්තු 28 දින 'අනිද්දා' පුවත්පතේ පළවූ ලිපියක අප මෙසේ සඳහන් කොට ඇත.
"මේ වසංගතය අවසන් වූ පසුව වුවත් ඒ සමග එන ආර්ථික හා දේශපාලන අර්බුදය තවත් වසර කිහිපයක් දිගට ඇදෙනු ඇත. එසේ වුවද, අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය අපට පවසන්නේ කිසියම් දිනෙක අප යළිත් සමාජයක් ලෙස නැගී සිටින බවයි. අපේක්ෂාභංගත්වයට ඇද වැටුණු ජන සමාජය ඉදිරියේදී ඉල්ලා සිටිනු ඇත්තේ අලුත් බලාපොරොත්තුවකි. එම බලාපොරොත්තුව සැබෑවක් කරන්නට අවංකව කැප වූ අලුත් දේශපාලන, සමාජමය හා බුද්ධිමය නායකත්වයකි. ඒ සමාජ ඇරයුම මූර්තිමත් කරන්නට සමත්වන ප්‍රතිජනනාත්මක වාමාංශයක් වටා නිසැකවම දස දහස් ගණනින් ජනයා රොද බඳිනු ඇත. එසේ වුව හොත්, දිනෙක අප යළිත් සමාජයක් ලෙස නැගී සිටිනු ඇත්තේ එවන් නව වමක සුවිසල් ජයග්‍රහණයක්ද සමගය." (සුමිත් චාමින්ද)

ඉහත උපුටනයෙන් පැහැදිලිව දැක්වෙන පරිදි වසංගතය පැවති සමයේ අපගේ පුරෝකථනය වූයේ වසංගතයෙන් ඉක්බිතිව වසර කිහිපයක් දිවෙන ආර්ථික අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත්, එම නව සන්දර්භය තුළ වාමාංශයේ සුවිසල් ජයග්‍රහණයක් අපේක්ෂා කළ හැකි බවත්ය. එම අපේක්ෂාව යථාර්තයක් කරගැනීම සඳහා අපගේ උපාය මාර්ගික යෝජනාව වූයේ අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් විසින් සූත්‍රගත කරන ලද වාමාංශික ජනතාවාදයයි. එය පැහැදිලි කරමින් ලියන ලද ලිපි පෙළක් 2020 වසරේදී කොටස් වශයෙන් පළ කෙරුණු අතර දැනට වසරකට පමණ පෙර එය කෘතියක් වශයෙන් එළි දැක්විණ.
2024 පරිවර්තනයේ සුවිශේෂතා

කෙසේ වුවත්, අරගලයෙන් පසු එළැඹි දෙවසරක කාල පරිච්ජේදය තුළ ලාංකේය දක්ෂිණාංශික දේශපාලනයේ කඳවුරු දෙක අතර විපරීත සම්මුතියක් ගොඩ නගන්නට රනිල් වික්‍රමසිංහ විසින් දරන ලද ප්‍රයත්නයේ ප්‍රතිඵලය වූයේ ඔහු අයත් සමාජ පන්තියෙන් රාජ්‍ය බලය තීරණාත්මකව ගිලිහී යන තරමට සියලු දකුණේ බලවේග පරමාණුකරණයට ලක් වීමයි. 2024 ජනාධිපතිවරණයෙන් දුරදක්නා තීක්ෂණ දක්ෂිණාංශික නායකයෙකු ලෙස වික්‍රමසිංහ පිළිබඳව ගොඩ නගා තිබූ මිත්‍යාමතික අදහසත් ඔහුගේ පැලැන්තියේ, එනම් රේන්දකාර, තැරැව්කාර සහ මාෆියා ප්‍රභූ පැලැන්තියේ පාලනයත් නිහඬවම බිඳ වැටිණ. මෙම බල පෙරළිය මාක්ස්වාදී අරුතින් සමාජ විප්ලවයක් නොවූවද, ඉතාම වැදගත් දේශපාලන බල පෙරළියකි. එම පෙරළියේ තීව්‍රතාව මනාව දැක ගත හැකිවනුයේ ඉදිරි මහා මැතිවරණයෙන්, පළාත් සභා මැතිවරණවලින් හා පළාත් පාලන මැතිවරණවලින් ජාතික සහ ප්‍රාදේශීය තලයේ මාෆියා-ප්‍රභූ බල ජාලයේ පුරුක් එකිනෙක ගැලවී වැටෙන්නට පටන් ගත් විටය.
නිදහසින් පසු ලාංකේය ඉතිහාසයේ පළමු වතාවට රේන්දකාර ධනේශ්වරයේ සහ මාෆියා ප්‍රභූ තන්ත්‍රයේ නියෝජනයකින් හෝ ආශීර්වාදයෙන් තොර ආණ්ඩුවක් ඉදිරියේදී දැක බලා ගන්නට හැකිවනු ඇත. රාජපක්ෂ කල්ලිය විසින් නායකත්වය දෙන ලද සිංහල-බෞද්ධ රණකාමී ජාතිකවාදයේ ප්‍රධාන පෙළේ නියෝජිතයින් ගණනාවක්ම නියෝජන ආයතනවලින් ඉවතට විසිවී යාමට නියමිතය. විමල් වීරවංශ සහ චම්පික රණවක මෙවර තරඟ නොවදින බව නිවේදනය කරන ලද්දේ එකම දිනකදීය. එජාපය, ශ්‍රීලංකා පොදුජන පක්ෂය, ශ්‍රීලනිපය ඇතුළු සාම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂ සහ ඒවායින් ගැලවී ගිය කැබලි නොවැදගත් සුළුතරයක් බවට පරිවර්තනය වනු ඇත. පාර්ලිමේන්තු විපාක්ෂික අවකාශය තුළ නියෝජනය වනු ඇති සමගි ජන බලවේගය සහ සුළුතර ජනවාර්ගික නියෝජනයන් අධිපති සිංහල බෞද්ධ ජාතිකවාදයේ ආන්තික නියෝජනයන්ගෙන් කිසියම් දුරක් පවත්වාගෙන සිටින බැවින් 1956න් පසු ප්‍රථම වරට ආණ්ඩුව සේම ප්‍රධාන විපක්ෂයද බහුතර ජාතිකවාදී දෘෂ්ටිවාදය මත පදනම් නොවන තත්ත්වයක් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත. ඇතැම්විට, සජබ තුළ නව-ලිබරල් මූලධර්මවාදයේ ප්‍රධාන ප්‍රකාශකයින් කිහිප දෙනෙකුගේ මන්ත්‍රී ධූර අහෝසි වී යාමටද ඉඩ තිබේ. දේශපාලන බල තුලනයේ මෙම නව හැඩ ගැසීමෙන් ගම්‍ය වන න්‍යායික කාරණය වන්නේ 1994 සිට 2024 දක්වා දශක තුනක කාල පරිච්ජේදය තුළ ලාංකීය ජාතික දේශපාලනය මධ්‍යයෙන් බෙදන ලද කේන්ද්‍රීය පසමිතුරුතා අක්ෂය (එනම් ලිබරල්වාදය එරෙහිව බහුතර ජාතිකවාදය) වෙනුවට නව පසමිතුරුතා අක්ෂයක් (ප්‍රභූ තන්ත්‍රය එරෙහිව ජනතාව) ආදේශ වී ඇති බවයි. ලාංකීය දේශපාලනයේ එක් යුගයක් නිශ්චිතවම අවසාන වී තිබේ යැයි අප පවසන්නේ මෙම න්‍යායික අරුතිනි.

එක් අතකින් හෙට පැවැත්වෙන මහමැතිවරණය තුළ පෙසප මූලික ජනඅරගල සන්ධානයේ ප්‍රධාන සටන් පාඨයට ('විපක්ෂය වෙනස් කරමු') යම් පමණක හෝ ජන වරමක් හිමි වුවහොත් ඉදිරියේ ගොඩනැගෙන ව්‍යවස්ථාදායකය තුළත් එකී කාර්‍යභාරය සංකේතවත් කෙරෙණු ඇත. එපමණක් නොව යළි සංවිධානය වීමට තැත් දරන දක්ෂිණාංශයට ඉඩ අහුරන නව පාර්ලිමේන්තු ආදර්ශයක රූපාකාරයක් ද ඉන් යෝජනා කෙරෙනු ඇත.
"අලුත් වී ඇති දේශපාලන සංස්කෘතිය ප්‍රකාශමාන විය හැකි හොදම ආකාරය වන්නේ මධ්‍ය-වාම ජනතාවාදී නැඹුරුවක් සහිත ආණ්ඩුවක් සහ රැඩිකල්-වාම ජනතාවාදී නැඹුරුවක් සහිත විපක්ෂයකි. අරගලයෙන් පසු ලංකාවේ සිදු වූ තීරණාත්මක දේශපාලන පරිවර්තනය ආපසු හැරවීම සදහා කිසිදු දක්ෂිණාංශික ප්‍රවනතාවයකට ඉඩ නොතබනු පිණිස ඊළග පාර්ලිමේන්තුවට අදාළ ආදර්ශ යෝජනාව මෙය නොවන්නේද ?" (විදර්ශන කන්නන්ගර)

අනෙක් අතින් දේශපාලන බල පෙරළියෙන් ඔබ්බට ගිය අනාගත සමාජ පෙරළියක් හෝ දිගුකාලීන සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මේ එළැඹ ඇති අවස්ථාව වඩා වාසිදායක බවද එතරම්ම පැහැදිලිය. විශේෂයෙන්ම ඉදිරියේදී සමාජයීය අවකාශය තුළ රැඩිකල් විපාක්ෂික කඳවුර යළිත් වරක් ජාතිකවාදයේ විවිධ ප්‍රවණතාවලට හෝ නැවත සංවිධානය වන්නට අරඅඳින දක්ෂිණාංශයට ඉඩ නොදී එය වම විසින් අත්පත් කරගත යුතු බව අපගේ අවධාරණයයි. අරගලය ඇත්තේ නියෝජන ආයතනවල අවකාශය තුළ පමණක් නොවේ. සමාජයීය වාමාංශික බලය ගොඩ නගන අතරම නියෝජන ආයතන තුළ නියෝජනයක් සඳහාද රැඩිකල් වාමාංශය අරගල කළ යුතුය යන්න අපගේ යෝජනාවයි.
අනෙක් අතින් සමාජයීයව වාමාංශික හෙජමොනියක් ස්ථාපිත කිරීම සඳහා කරන්නා වූ එවන් දෘෂ්ටිවාදී අරගලයක් ජවිපෙ වාම ක්‍රියාධර න්‍යෂ්ටියටද අවශ්‍ය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මන්ද යත්, ඔවුනට රාජ්‍ය බලය ලැබී ඇත්තේ සමාජයීය තලයෙහි ගැඹුරු දෘෂ්ටිවාදී පරිවර්තනයකින් තොරව බැවිනි. ඔවුනට ජන්දය දෙන බහුතරයක් ජනයා අතර තවමත් අධිපතිව ඇත්තේ ඓතිහාසිකව ස්ථාපිත වූ ධනවාදී පුද්ගලවාදී පොදුජන අවබෝධයන් (common sense) ය. එකී ජන සමාජය පරිවර්තනයට ලක්කිරීම සඳහා දැන් පොදු අධ්‍යාපනය, රාජ්‍ය මාධ්‍ය, නිල සංස්කෘතික ආයතන, යෞවන සමාජ ජාලය ඇතුළු දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ජාලය විධිමත්ව භාවිත කිරීමේ හැකියාවක් ලැබී තිබේ. වාමාංශයේ විවිධ ධාරාවන් මෙම නව ප්‍රතිජනනාත්මක අවකාශය තුළ සක්‍රීය විය යුත්තේ මධ්‍ය-වාමාංශික ආණ්ඩුව කෙරෙහි වමෙන් විවේචනාත්මක තෙරපුමක් එල්ල කරන අතරම ජාතිකවාදී, නව-ලිබරල්වාදී සහ සෙසු ආකාරයේ දක්ෂිණාංශික පැන නැගීම්වලට අනුකම්පා විරහිතව දැඩිව පහර එල්ල කරමින් බව අපගේ අදහසයි.
සටහන :
- සුමිත් චාමින්ද
- විදර්ශන කන්නන්ගර සහශ්‍රක සමාජවාදය සඳහා කතිකාව වෙනුවෙන්
13/11/2024



