The Leader News
BREAKING
Top Ad
Opinion

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 17, 2024 • 11:21 AM

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.
  • එහි කථකයා දැඩි අනුකම්පාවක් පෙන්නමින් අම්බිකා බඳින්නට හිතෙන බව කියයි.
  • ඇය උපකාරක පන්ති ගුරුවරියක ද ලෙස සේවය කර ඇත.
  • එසේම, සමාජ ක්‍රියාකාරීත්වයේ පළපුරුදු කාන්තාවක බව ද දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි. එය කෙතරම් සීමාව ඉක්මවා ගියාද යත්, සිංහල පිරිමින්ගේ ෆැන්ටසියට ඔබින පරිදි ඇගේ රූපය සුදු කර සකසා භක්ෂණය කරනු දක්නට ලැබිණි.

 


කුමාර හෙට්ටිආරච්චි ලියූ කවියක් ද මේ අතර වයිරල් විය. එය පහත පළ වේ. එය නම් ජනවාර්ගික ප්‍රශ්නය නැවත මුලට ගෙන යන මට්ටමේ ප්‍රතිගාමී කවියකි. එහි කථකයා දැඩි අනුකම්පාවක් පෙන්නමින් අම්බිකා බඳින්නට හිතෙන බව කියයි. දෙමළ ගැහැණිය සමග ලිංගික සම්භෝගය මුල් කරගෙන පවුලක් ගොඩනගාගන්නට තරම් කැප කිරීමක් කරන්නට තමන් සූදානම් යයි වැඩිහිටි සිංහල පිරිමියකු කීම තුළ තිබෙන ජඩ ස්වෝත්තමවාදය කොයි තරම්ද? එය ඒ අදහස විහිළුවට නංවන උපහාස කවියක් වූවා නම් පිළිගත හැකිය.

මෙම පසුබිම හේතුවෙන් අම්බිකා පිළිබඳ තොරතුරු සොයා බැලීමි. තිස් පස් හැවිරිදි අම්බිකා මඳක් දෙමළ ඌරුව සහිතව ඉතා හොඳින් සිංහල භාෂාව ද කතා කරන, උගත්, දක්ෂ කාන්තාවකි. ඇය උපකාරක පන්ති ගුරුවරියක ද ලෙස සේවය කර ඇත. එසේම, සමාජ ක්‍රියාකාරීත්වයේ පළපුරුදු කාන්තාවක බව ද දක්නට ලැබේ. ඇය වතු කම්කරු කාන්තාවක නොවේ.

“හිතන්න එපා වතුකරයෙ ඉන්නෙ දළු කඩන අය විතරක් කියලා. අපි නැගිටලා ඉවරයි. අප අතර උගත්, බුද්ධිමත් අය ඉන්නවා,” යි ඇය කියයි.

 

464196291 953377300165589 6801838450345787091 n
ඇය වැනි දෙමළ කාන්තාවන් බොහෝ දෙනෙකු අප දැක ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා හැසිරවිය හැකි ඇය වැනි කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන ආදියේ අවස්ථා තිබේ. ඇගේ ප්‍රජාව අතර බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් තිබේ. කඳුරට දෙමළ ප්‍රජාව මේ වන විට ආර්ථිකයේ ඉතා වැදගත් ශ්‍රම බලකායකි.

මේ අතර බොහෝ ගැටලු ද තිබේ. බොහෝ අය දකින්නේ සංවර්ධන ගැටලුය. එහෙත් දේශපාලන ගැටලුව වඩා ප්‍රමුඛය. දෙමළ ප්‍රභූන් වතුකරයේ දෙමළ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද කුට්ටිය විකුණා තනතුරු, වරප්‍රසාද හා වාසි ලබාගැනීම එයින් එකකි. අම්බිකා ද ප්‍රභූ ස්ථරයට එකතු වෙමින් සිටින නායිකාවකි. ඇය එයින් කෙතරම් දුරට වෙනස් වනු ඇද්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

කඳුකරයේ දෙමළ ජනයාට ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ දේශපාලන බලයයි. මෙතෙක් දේශපාලනයේ සිටි අය ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු නොකළ බව ද, කඳුකරයේ දෙමළ ජනයා වහල්භාවයේ තබාගනිමින් තම බලය රැකගත් බව ද අම්බිකා නගන චෝදනාවයි. අලුතෙන් බලයට එන සියලු දෙනා මෙවැනි දේ කියා ඇත. එය වෙනස් කිරීමට ඇයට හැකි විය යුතුය.

464238296 953377053498947 2494870006816947936 n

 

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙවර නුවරඑළියෙන් තේරී පත් වී ඇත. ඇය ජවිපෙ ක්‍රියාකාරිනියක් විය හැකිය. කෙසේ වෙතත්, ඔහු ගැන අම්බිකා ගැන තරම් සිංහල සමාජයේ උනන්දුවක් නැති වීම ද විශේෂයකි.

පහත දැක්වෙන්නේ අම්බිකා ගැන කුමාර හෙට්ටිආරච්චි ලියූ කවියයි.

අම්බිගා

මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ……


කොකු මගරා නළල දිලෙන දාඩිය මුතු අහුරූ
ඇට පෑදුණ ළය මඬලට සෝගිනි නැත නුහුරූ
දික්ඔය දික්විජය කරන දේදුනු බිම ඇහිරූ
දුක් ළතැවුල් සාගිනි ම ය ලද සේසත මහරූ

තේ පඳුරේ නහර පුරා දුවනා රතු ලෙයිනී
ලේ රස තේ රසට පෙරී සුපතල රස ගිහිණී
දාඩිය ලේ කඳුළු නටන ජීවිත අනුහසිනී
කෑ මොර දෙන මහ පොළොව ම කකියා නුඹ උපනී

අම්බිගා

මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ……


දලු කඩනා නියපොතු කළු දැලි කුණු දූවිල්ලේ
බඩ අඬනා රෑ මැදියම රොටි පලුවකි ගිල්ලේ
පොඩි ලැයිමක කඩතොළු උඩ නිදියන ඕවිල්ලේ
කකියන කඳුරට කඳුළු ම බල දුන්හිඳ ඇල්ලේ

සීතා එළියට රාමා සීතා ආ දවසේ
පීදුණ වනමල් තාමත් සුවඳ යි වන සිරසේ
වීදා අරුණක හසරැලි පෑබර නිල් අහසේ
පාවඩ එලනා මේකුළු සුබ නැකතට සැරසේ

අම්බිගා

මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ……

පාක්කුඩම් ලෙසින් අපට හග්ගල මදි නැතුවා
පිදුරුතලාගල කන්ද ම බරට තෑගි එතුවා
වැලිමඩ සානුවේ පින්න මීදුම් සළු ගෙතුවා
පෝරුව සැරසිලි බඳින්න ලස්සපාන ඇතුවා

තේ දල්ලෙන් දල්ල නටන හීතල මුදු පින්නේ
කෝවිල කොත් කැරලි උඩින් සඳදිය වෑහෙන්නේ
නිදිකුම්බා මල් අතුරා මඟ දිග සරසන්නේ
සිලෝ නාද කිංකිණි රැව්දෙයි හෝටන් තැන්නේ

ගණ දෙවියෝ කන්ද කුමරු කෝවිල ළඟ ඉන්න
රාධා ක්‍රිෂ්ණා එදාට ලැයිම ළඟට එන්න
ඊශ්වර යි පාර්වති යි දෑත බදාගන්න
ඩිමෝ බට්ටෙකුගෙ නැඟලා මංගල්ලෙට එන්න

අම්බිගා

මට උඹ ව බඳින්න හිතෙනවා කෙල්ලෙ……


කුමාර හෙට්ටිආරච්චි

 

අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...