The Leader News
BREAKING
Top Ad
Opinion

මිනිස්සු හිරේ දැම්මට 'ජාතිවාදය' හිරේ දාන්න බැහැ -(කුසල් පෙරේරා)

T

The Leader Desk

December 4, 2024 • 4:28 PM

මිනිස්සු හිරේ දැම්මට 'ජාතිවාදය' හිරේ දාන්න බැහැ -(කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ජාතිවාදය ඇවිස්සීම” යැයි සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියන්නේ, උතුරේ ඇතැම් මහවිරු සැමරුම්වල ප්‍රදර්ශනය කෙරුණු ප්‍රභාකරන්ගේ සහ විමුක්ති කොටි සංවිධානයේ ධජ හා පෝස්ටර වල ඡායාරූප තම සමාජ මාධ්‍ය ජාලවල පළ කළේයැයි අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හත් අට දෙනෙකු ගැන ය.
  • මහවිරු සැමරීම් සංවිධානයකර පැවැත් වූවන් මේ රටේ අපරාධ නීතිය යටතේ හෝ වහා අහෝසි කළ යුතුයැයි පිළිගනු ලැබ ඇති “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ හෝ අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් කර නැත.
  • ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයෙහි බරපතලකම ඇත්තේ, “ජාතිවාදය” හෝ “ආගම්වාදය” අවුස්සන්නේ යැයි දැනට අත්අඩංගුවට ගෙන ඇප ලබා දී සිටිනවුන් අත්අඩංගුවට ගැනීමට තරම් නීතිමය වරදක් කර තිබේදැයි ප්‍රශ්න කෙරෙන හෙයින් ය.
  • එනිසා, මෙතැන් සිට මර්දනය කෙරෙන්නේ ආණ්ඩු විරෝධීන්දැයි සැකයක් ඇතිවන හෙයින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


“ජාතිවාදය ඇවිස්සීම” යැයි සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියන්නේ, උතුරේ ඇතැම් මහවිරු සැමරුම්වල ප්‍රදර්ශනය කෙරුණු ප්‍රභාකරන්ගේ සහ විමුක්ති කොටි සංවිධානයේ ධජ හා පෝස්ටර වල ඡායාරූප තම සමාජ මාධ්‍ය ජාලවල පළ කළේයැයි අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් හත් අට දෙනෙකු ගැන ය. ඔවුන්ගෙන් එක් අයෙකු චුන්නාකම්හි පදිංචි දෙමළ පුරවැසියෙකි. අනෙකුන් සිංහල පුරවැසියන් ය. ඉන් අයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට යැයි කොළඹ මහේස්ත්‍රාත් වෙත පොලීසිය විසින් ඉදිරිපත් කළ විට, අත්අඩංගුවට ගත යුත්තේ සැමරුම් පැවැත් වූවන්ද නැතිනම් ඒවායේ ඡායාරූප පළ කළවුන්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ඇසුවේ යැයි මාධ්‍ය වාර්තාකර තිබිණ.

මහවිරු සැමරීම් සංවිධානයකර පැවැත් වූවන් මේ රටේ අපරාධ නීතිය යටතේ හෝ වහා අහෝසි කළ යුතුයැයි පිළිගනු ලැබ ඇති “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ හෝ අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් කර නැත. එබැවින් ඒ සැමරුම්වල ඡායාරූප පළ කිරීම, ජයතිස්ස ඇමති කියන ආකාරයේ ජාතිවාදය ඇවිස්සීමක් වන්නේ නැත. එනිසාවෙන් “තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න” යන ජාතිවාදය කුමක්දැයි ඔහු කිව යුතුය. ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයෙහි බරපතලකම ඇත්තේ, “ජාතිවාදය” හෝ “ආගම්වාදය” අවුස්සන්නේ යැයි දැනට අත්අඩංගුවට ගෙන ඇප ලබා දී සිටිනවුන් අත්අඩංගුවට ගැනීමට තරම් නීතිමය වරදක් කර තිබේදැයි ප්‍රශ්න කෙරෙන හෙයින් ය. එනිසා, මෙතැන් සිට මර්දනය කෙරෙන්නේ ආණ්ඩු විරෝධීන්දැයි සැකයක් ඇතිවන හෙයින්ය.

set4w35

“ජාතිවාදය” යනු මතවාදයකි. කිසියම් ප්‍රජාවක් විසින් තමන්ගේ “ජාතිය” නැතිනම් ජන වර්ගය සම්බන්ධව ගොඩනගා ගන්නා පොදු සංස්කෘතික අනන්‍යතාව තහවුරු කෙරෙන ඓතිහාසික කතාව මතවාදයක් ලෙස ඉදිරිපත් කෙරෙන්නකි. එය ඇතැම්විට සෙසු ජාතීන්ට එරෙහිව අර්ථ දැක්වීමටද යොදා ගනු ලැබේ. “ජාතිවාදය” හෝ “ආගම්වාදය” වරදක් වන්නේ මතවාදයට එහා යන සමාජ විරෝධී ක්‍රියාවන් බවට පරිවර්තනය වනවිට පමණි. සමාජ විරෝධී යැයි කියනු ලබන්නේ වෙනත් ජාතීන්ට, ආගමිකයින්ට හිරිහැරයක් අවැඩක් වන, අපහාසයක් වන හෝ වෛරයක් ඇතිවන ක්‍රියාවන් වෙනුවෙන් ඒ මත ඉදිරිපත් කිරීම ය.

ජයතිස්ස ඇමතිවරයා කතා කරන “ජාතිවාදය ඇවිස්සීම” සමාජ විරෝධී යැයි තීන්දු වන්නේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරය අනුවය. බහුතරයේ වර්ගවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් ආණ්ඩු පෙනී සිටින තාක් කල් ඒ “ජාතිවාදය” සමාජ විරෝධී යැයි වර්ගීකරණය වන්නේ නැත. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිගේ පැමිණීමත් සමග “හින්දුත්වා” මතවාදයට දේශපාලන අනුග්‍රහයක් ලැබෙන්නේය. ඒ සමග එය රාජ්‍ය මතවාදය බවට පත් කෙරෙන්නේ හින්දු බහුතරයේ අයිතියක් වශයෙනි. එනිසා රාජ්‍ය අනුග්‍රහය ඇති හින්දුත්වා මතවාදය කෙතරම් ම්ලේච්ඡ වූවත් බහුතර සමාජයෙහි එය අන්තවාදයක් නොවන්නකි.

ftr4534
අපේ රටේද “සිංහල-බෞද්ධ” මතවාදය නිදහසට පෙර සිට ගෙනෙනු ලැබූවකි. ඒ සිංහල-බෞද්ධ මතවාදී ඉතිහාසය තුල ඊට විවෘත දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ 1956 න් පසුවය. එතැන් සිට දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඔවුන්ගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් සාමකාමී සාකච්ඡා ඔස්සේ ප්‍රශ්න විසඳහා ගැනීමට දකුණේ සිංහල-බෞද්ධ මතවාදය ඉඩක් තැබුවේ නැත. උතුරු-නැගෙනහිර දෙමළ ජාතිකවාදී සන්නද්ධ ඊළාම්වාදය 70 දසකයෙහි ගොඩ නැගෙන්නේ එනිසා ය. එතෙක් ඉතිහාසයෙහි එල්.ටී.ටී.ඊයක් හෝ සන්නද්ධ දෙමළ දේශපාලනයක් නොවුනි.

දෙමළ ඊළමක් වෙනුවෙන් උතුරු-නැගනෙහිර ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වයට හේතු වුනු දකුණේ සිංහල-බෞද්ධ සමාජ මතවාදය වෙනුවෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් හවුල්ව ඇත. දායකවී ඇත. සාම්ප්‍රදායික වමේ පක්ෂ වූ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂද ඊට හවුල්ව ඇත. ජ.වි.පෙද ඔවුන්ගේ අවුරුදු 60 ට ආසන්න ඉතිහාසය පුරා සිංහල-බෞද්ධ සමාජ මතවාදය තහවුරු කිරීමට හවුල් විය. දෙමළ ජනතාව උතුරු-නැගෙනහිර ප්‍රදේශයේ පාලන බලතල වෙනුවෙන් සාකච්ඡා කිරීමට සූදානම් වන විට, ඊට එරෙහිව සිංහල-බෞද්ධ “ඒකීය රාජ්‍ය” වෙනුවෙන් ජ.වි.පෙ පෙනී සිටියේය.

එල්.ටී.ටී.ඊය සමග 2002 දී වූ සටන් විරාමයට සහ සාම සාකච්ඡා වලට එරෙහිව ජනතාව පාරට කැඳවීමට ජ.වි.පෙ පෙරමුණ ගත්තේය. උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ මුල් ජනාවාස ප්‍රදේශ යැයි කියූ විට, ඒ පළාත් ඒකාබද්ධයට එරෙහිව 2004 දී ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනු කළේය. ඒ සියල්ල සඳහා ජ.වි.පෙ විසින් සමාජයෙහි තහවුරු කළ මතවාදය, සිංහල-බෞද්ධ අධිපති මතවාදය විය. එය අනෙක් වාර්ගික ආගමික සුළුතරයට අගතියක් සමාජ පීඩනයක් ඇති කරන්නාවූ ජාතිවාදී මතවාදයක් විය. රාජ්‍ය, සිංහල-බෞද්ධ රාජ්‍යයක් කිරීමේ ජාතිවාදී දායකත්වයක් වූවකි.

එවැනි ජාතිවාදී මත සමාජගත වන ප්‍රමාණයට වාර්ගික හෝ ආගමික කණ්ඩායම් හැදෙන අතර, ඒ මත වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීහු සමාජයට එන්නාහ. ඔවුන් අතරද තරගයක් හැදෙන අතර, අන්තාවදී මතවාද හා ප්‍රචණ්ඩත්වය ඊට එකතු වන්නේය. බොදු බල සේනා, රාවනා බලය, සිහල රාවය, මහසොන් බලකාය වැනි කණ්ඩායම් එළෙසින් බිහි වූ අන්තවාදී කණ්ඩායම් ය. ඔවුන්ගේ අන්තවාදය හමුවේ “මූල ධර්මවාදී” ඉස්ලාමීය කණ්ඩායම් බිහිවීම තාර්කික දේශපාලනයකි. එල්.ටී.ටී.ඊය තහනම් කෙරුණු පසු 2021 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අන්තවාදී යැයි ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කෙරුවේය. එහෙත් අලුත්ගම, අම්පාර, දිගන වැනි ප්‍රදේශවල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයට මුල පිරූ කිසිදු සිංහල-බෞද්ධ අන්තවාදී සංවිධානයක් තහනම් නොවුනේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමග ඔවුන්ට යම් සම්මුතියක් තිබූයෙනි.

නීති ක්‍රියාත්මක කිරීමෙන් ජාතිවාදී ආගම්වාදී ප්‍රසිද්ධ මැදිහත්වීම් පාලනය කළ හැකි මුත් ඒ මතවාදය තහනම් කළ නොහැක. දසක ගණනාවක් සමාජගත වූ මතවාදයක් ක්‍රියාකාරීන් කිහිප දෙන අත්අඩංගුවට ගත් පමණින් තුරන් වන්නේ නැත. සමාජ විරෝධී ජාතිවාදී මතවාද පරාජය කළ හැක්කේ සමානාත්මතාවාදී නිරාගමික විකල්ප මතවාදයකින්ය. එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයක වගකීමකි. මේ ජා.ජ.බ ආණ්ඩුවේ දේශපාලනය එය නොවන බව පැහැදිලි කරමින් ජයතිස්ස ඇමතිවරයාගේ පොරොන්දුව වූයේ, “තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි ” මර්දනය දිගටම දියත් කිරීමය. අවසන් වශයෙන් එනිසා කිව යුත්තේ ජාතිවාදීන් මර්දනය කරන්නේ යැයි විරුද්ධවාදීන්ද ඒ සමග මර්දනය කළ හැක. එහෙත් ජාතිවාදී මතවාදය අත්අඩංගුවට ගෙන අගුළු දැමිය නොහැක. එයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිළිතුරක් අවශ්‍ය වන්නේම ය.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 දෙසැම්බර 04

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...