
“ඉල් මහ විරුවන්” සැමරීම දකුණේ සංවිධානය කෙරෙන්නේ ජ.වි.පෙ විසින්ය. “මහ විරු” සැමරීම උතුරු-නැගෙනහිර සංවිධානය කෙරෙන්නේ දෙමළ සමාජයේ ජනතා සංවිධාන විසින්ය. එනිසා එය ප්‍රශ්න කෙරෙන්නේ සිංහල-බෞද්ධ දකුණෙහිය. ත්‍රස්තවාදියෙකු වන ප්‍රභාකරන් සැමරීමට ඉඩ නොදිය යුතු යැයි දකුණෙහි කතා වන්නකි. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

බොහෝ අව වර්ධිත රටවල “විමුක්ති ව්‍යාපාර” බිහි වන්නේ මූලික වශයෙන් කාරණා දෙකක් මත ය. එකක්, ජාතිකත්වය වන්නේය. එය දේශප්‍රේමී විමුක්ති ව්‍යාපාරයක් ලෙස ස්ථානගත වන්නේය. අනෙක දුප්පත්කමට, රාජ්‍ය මර්දනයට එරෙහිව ය. ඒ සඳහා හොඳම උදාහරණ දෙක වන්නේ, වියට්නාමය හා කියුබාවය.
වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය හෝ චී මිං ගෙ නායකත්වයෙන් සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් ලෙස 1946 සිට සංවිධානය වන්නේ පළමුව ඉන්දු-චීනයේ ප්‍රංශ ආක්‍රමණයට විරුද්ධවය. දෙවනුව 1954 දී ප්‍රංශය පරාජය කෙරුණු පසු ඇමෙරිකානු හමුදා සහාය ඇතිව “දකුණු වියට්නාම” ප්‍රදේශය ඩින් ඩියම්ගේ සයිගොන් පාලනයට නතු කර ගැනීමට එරෙහිවය. එය එනිසා දේශයේ විමුක්තිය වෙනුවෙන් වූ ගරිල්ලා යුද්ධයක් විය. ජාත්‍යන්තර මාධ්‍යයත් බටහිර බලවතුන් අතරත් ඒ වියට්නාම් ගරිල්ලා හමුදා නම් කෙරුණේ Viet Cong terrorists යනුවෙන්ය. වියට්නාම් ත්‍රස්ත හමුදාව හැදූ හෝ චී මිං, කොමියුනිස්ට් ත්‍රස්තවාදියෙකු විය. උතුරු වියට්නාමයේ පාලනයත් ඔවුන්ගේ හමුදාවත් ඒ අනුව ත්‍රස්තවාදී පාලනයක, ත්‍රස්ත හමුදා ලෙස හඳුන්වනු ලැබිණ.

නමුත් 1975 යුද පරාජයෙන් පසු ඇමෙරිකන් හමුදාවට වියට්නාමය අත හැර යන්නට සිදු වූ පසු, උතුරු වියට්නාම කොමියුනිස්ට් නායකත්වය යටතේ වියට්නාමය නැවත එක්සත් කෙරුණි. ඉන් පසු Viet Cong terrorist ලා සමාජවාදී වියට්නාම ජනරජයේ Vietnamese Liberation Army ලෙස හැඳින්වීමට බටහිර බලවතුන්ටත් මාධ්‍යයටත් සිදු විය. එතැන් සිට ත්‍රස්තවාදී කොමියුනිස්ට් නායකයින් ලෙස ලොවට හඳුන්වනු ලැබූ සියල්ලන් වැදගත් මහත්වරුන් බවට පත් විය. ඒ අනුව, 1969 හෝ චී මිං ගේ අභාවය තෙක් කොමියුනිස්ට් උතුරු වියට්නාමයේ උප ජනාධිපති වශයෙන් සිටි ටොං ඩුක් තැං 1975 තෙක් එහි ජනාධිපති වූ අතර, ඉන්පසු එක්සත් කෙරුණු වියට්නාමයේ පළමු ජනාධිපති ලෙස ලොව පුරා රාජ්‍ය ගෞරව සමගින් පිළිගනු ලැබුවේ ය.
ෆිදෙල් කස්ත්‍රෝ
කියුබාවෙත් 1953 දී පළමු වරට මොන්කාඩා හමුදා කඳවුරට ෆිදෙල් කස්ත්‍රෝගේ ගරිල්ලා කණ්ඩායම එල්ල කළ “ත්‍රස්තවාදි ප්‍රහාරය” අසාර්ථක විය. පසුව මෙක්සිකෝවට පලා ගිය කස්ත්‍රෝ එහිදී “ජුලි 26 ව්‍යාපාරය” ලෙස ප්‍රතිසංවිධානය වී චේ ගුවේරාගේද සහාය ඇතිව “ග්‍රන්මා” නම් බෝට්ටුවෙන් 1956 දී නැවත කියුබාවට ගොඩ බැස්සේ, ජනාධිපති ෆුල්ගෙන්සියෝ වතීස්තා ගේ (බොහෝවිට බටිස්ටා යැයි සිංහලෙන් ලියනු ලබන) දුර්දාන්ත පාලනය පෙරළා රාජ්‍ය බලය ගැනීමටය. එතැන් සිට සියෙරා මඑස්ත්‍රා වලින් ආරම්භ කෙරුණු “ත්‍රස්ත ප්‍රහාර” රට පුරා විසිරුණු ප්‍රහාර ලෙස සංවිධානය කෙරුණි. අති දූෂිත, ඒකාධිපති පාලනයක් වූ ජනාධිපති වතීස්තාගේ පාලනයට විරුද්ධව “ජුලි 26 ව්‍යාපාරය” පෙළ ගැසෙන්නේ රට පුරා පැවති දුප්පත්කමට සහ ඒකාධිපතිත්වයට එරෙහිවය. එනිසා ජනතාව ඔවුන් ත්‍රස්තවාදීන් යැයි නොකීහ. ඇමෙරිකාව හා සියලු බටහිර රාජ්‍ය ආයතන ඔවුන්ව නම් කරනු ලැබුවේ “ත්‍රස්තවාදී ව්‍යාපාරයක්” ලෙසින් ය. 1958 දෙසැම්බර 31 වන දින රාත්‍රියේ වතීස්තා සහ ඔහුගේ ඇමතිවරු රට හැර පලා ගියහ. 1959 ජනවාරි 08 වන දින කස්ත්‍රෝ සහ ඔහුගේ සන්නද්ධ ගරිල්ලාවරු හවානා නගරයට ජයග්‍රාහී ලෙස ඇතුළු වූහ. එදින රාජ්‍ය නායකයා ලෙස ජනතාව ඇමතූ කස්ත්‍රෝ අවුරුදු 50 ට ආසන්න කාලයක් කියුබාවේ රාජ්‍ය නායකයා ලෙස ලෝකයම පිළිගත්හ.
පුෂ්ප-කමාල් ඩහාල්
මෑතක අත්දැකීමක් අවශ්‍ය නම්, නේපාලයේ පුෂ්ප-කමාල් ඩහාල්ගේ කතාවත් ගත හැක. නේපාල කොමියුනිස්ට් පක්ෂය දෙවරක් තෙවරක් පළුදු වූ පසු එහි චීන පිළ ලෙස ක්‍රියාත්මක වූ කණ්ඩායමේ නායක වශයෙන් පුෂ්ප-කමාල් ඩහාල් කත්මණ්ඩු ආණ්ඩුවට එරෙහිව 1996 දී සන්නද්ධ ගෙරිල්ලා යුද්ධයක් ආරම්භ කළේය. ඉතා දැඩි බලහත්කාරී ගරිල්ලා නායකයෙකු වූ ඩහාල් ප්‍රසිද්ධ වූයේ “ප්‍රචණ්ඩා” යැයි පටබැඳි නමින් ය. ඇතැම් කඳුකර ප්‍රදේශවල ඔහුගේ කණ්ඩායම් බලය ගත්තද කත්මණ්ඩු ආණ්ඩුව පෙරළිය හැකි බලයක් ඔවුන්ට නොවුනි. ඔහු 2006 ජුනි මාසයේ අගමැති ගිරිජා ප්‍රසාද් කොයිරාල සමග ඇතිකර ගත් එකඟතාවක් අනුව, අන්තර්වාර පාලනයකට ඇතුළු විය. අනතුරුව ඔහු 2008 අගෝස්තුවෙහි අගමැති ලෙස පත් කරනු ලැබිණ. එතැන් සිට ඔහු තවදුරටත් ත්‍රස්තවාදියෙකු නොවුනු අතර, ඔහුගේ චීන කොමියුනිස්ට් පක්ෂයද ත්‍රස්තවාදී කල්ලියක් නොවුනි.
දැන් මේ කතාව ඉතා කෙටිය. රාජ්‍ය බලය නැති තාක් කල් “ත්‍රස්තවාදීයෙකු” වන පුද්ගලයා, රාජ්‍ය බලය ලැබුණු පසු, “ගෞරවනීය රාජ්‍ය නායකයකු” වන්නේය. මේ ලෝකයේ “රාජ්‍ය බලය” මත බොහෝ දේ තීන්දුවන අයුරු එයද තීන්දු වන්නකි. මේ ලෝකයේ ගරු කටයුතු පුද්ගලයෙකු වන්නට නම්, විමුක්තිදායක සටන්කරුවකු වීමෙන් නොහැක. එසේ වන්නට හොඳින් හෝ නරකින් රාජ්‍ය නායකයෙකු විය යුතුය.
ප්‍රභාකරන්
එසේ නම් ප්‍රභාකරන් ස්මරණය කෙරෙන්නේ කුමටදැයි මම අසමි. ලොව පුරා බලගතු රාජ්‍ය සහ දේශපාලන විරුද්ධවාදීන් ඔහු “ත්‍රස්තවාදියෙකු” යැයි කීවත්, ඔහු නියෝජනය කළ සමාජයේ වැදගත් පිරිසක් අතර ඔහු “විරුවෙකි”. උතුරු-නැගෙනහිර සමාජයේ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සියල්ල කැප කළ නායකයෙකු ලෙස ඔහුව තවමත් පිළිගනු ලබන්නේය. ඔහුගේ ඡායාරූප හමුවේ ඔහුට ගරුත්වය පුදන, මිය ගියත් ඔහු තවමත් තමන්ගේ නායකයා ලෙස සළකන පිරිස් ඒ සමාජයෙහි ඉතිරි වන්නේ, ඔහු සටන් කළ අනාගත ලෝකය පිළිබඳ අපේක්ෂා තවමත් ඉතිරිව ඇති හෙයිනි. ඔවුන්ගේ දිගු කාලීන අපේක්ෂා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල විසඳන්නට උනන්දු නොවන ආණ්ඩුවකට කළ හැක්කේ අණපනත් මගින් ඔහුට ඇති පිළිගැනීම, ගෞරවය තහනම් කිරීමට පමණි.

“ත්‍රස්තවාදියෙකු” වෙනුවෙන් අපේ රටේ සැමරීම් පැවැත්වීමට ඉඩ දිය නොහැකි යැයි දකුණේ ජන සමාජයට තව දුරටත් විරුද්ධ විය හැක. එහෙත් තමන් පිළිගන්නා නායකයෙකුට ගෞරවය පිදිය යුත්තේ කෙසේදැයි තීන්දු කරන්නේ ඒ ජනතාව ය. එවැන්නක් මර්දනය කිරීමට වඩා ඔවුන්ගේ අනාගත අපේක්ෂා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අඩංගු කර ගත හැක්කේ කෙසේදැයි විවෘතව කතා කිරීම, වඩා ශිෂ්ඨ සම්පන්න නොවේදැයි එනිසා මා කල්පනා කරන්නකි.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 දෙසැම්බර 05



