The Leader News
BREAKING
Top Ad
Opinion

මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

December 7, 2024 • 7:48 AM

මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත.
  • බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය.
  • බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයෙකුට නිල පිළිගැනීම ලැබෙන්නේ 1937 තරම් ආසන්නයේ වුනත්, එයට 1737 දක්වා අතීතයක් ඇත.
  • ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් ලැබූ හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 430 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත.  බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය.

රාජ්‍යය යනු, ජනතාව වෙනුවෙන්, ජනතා නියෝජිතයින් විසින් පවත්වාගෙන යනු පාලන යන්ත්‍රයකි. එහි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ මන්ත්‍රීවරුන් විසිනි.


ආණ්ඩුව හා විපක්ෂය යන මේ දෙපිරිසටම රජයේ ඒකාබද්ධ අරමුදලෙන් වැටුප්, දීමනා, පහසුකම්, කාර්යාල සහ විශ්‍රාම වැටුප් ලබා දෙන්නේය. ඒ රාජ්‍යය යන සංවරණ හා තුලන ක්‍රියාවලිය ආණ්ඩු - විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සිදු කරන නිසාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයෙකුට නිල පිළිගැනීම ලැබෙන්නේ 1937 තරම් ආසන්නයේ වුනත්, එයට 1737 දක්වා අතීතයක් ඇත. විපක්ෂ නායකවරයෙකුට මන්ත්‍රී වැටුපට අමතරව වැටුපක් ලැබෙන්නේ ද ඒ නිසාය. අප මේ නඩත්තු කරන්නේ රාජ්‍යය මිස දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් නොවේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප

 



මන්ත්‍රී විශ්‍රාම වැටුප තරම් ජනතා කෝපයට බදුන් කළ වෙනත් මන්ත්‍රී සේවාවක් නැත. 2024 ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප් ලැබූ හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 430 කි.  පසුගිය මැතිවරණයට තරඟ නොකළ හා පරාජයට පත්වූ තවත් 105 ක් ජනවාරි මස සිට විශ්‍රාම වැටුපට හිමිකම් ලබති.

 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව මන්ත්‍රීවරුන්ට ලැබෙන මුදල තීරණය වේ.  වසර 5 ක ධූර කාලයක් නිමා කරන විට වැටුපෙන් 1/3 ක් ද, වසර 15 ට වැඩි ධූර කාලයකට වැටුපෙන් 2/3 ක් ද, විශ්‍රාමිකයින්ට ලැබෙන ජීවන වියදම් දීමනාව ද එයට එක් වේ.

මන්ත්‍රී වැටුප ගැන සුරංගනා කතා රැසක් ඇතත් මුලික වැටුප රු. 54,285 කි. එයින් තුනෙන් පංගුව රු.18,095 කි. විශ්‍රාම හැමෝටම ලැබෙන ජීවන වියදම් දීමනාව රු.37,175.00 කි. අද ගෙවන අවම විශ්‍රාම වැටුප රු.55,270 කි. උපරිම වැටුප රු. 80,000 කට මදක් වැඩිය. ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වැන්දඹු හා යැපෙන්නන් ආවරණය වේ. වැන්දඹු දීමනා ලබන මන්ත්‍රී සංඛ්‍යාව 168 දෙනෙකි.


අතීත කතාව

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර නිදහස් අධ්‍යාපනයේ පියා විරුදාවලි ලබන්නේ නිර්ප්‍රභූ පන්තියට අධ්‍යාපනයේ දොරටු රජයේ වියදමින් විවර කළ නිසාය. මැතිවරණයෙන් පරාජයට පත් වන ඔහු විදේශ සේවයේ සිට ලංකාවට පැමිණ තමන් සතු ස්වල්ප ධනයෙන් ජීවත්වන්නේය. බෙහෙත් ටිකක් ගන්නට මුදලක් පවා නැති වූ විට ‘සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ’ නිලධාරීන් වූ බර්ටි ගලහිටියාව සහ විපුල ධර්මප්‍රිය (බතික්) විසින් නිදහස් අධ්‍යාපනයේ පියාට රු. 100 බැගින් මාස කිහිපයක් ලබාදී ඇත. පසුව, තමන්ට ජීවත්වීමට රු. 500 ක ‘කරුණාසහගත දීමනාවක් ලබා දෙන ලෙස‘ කන්නංගර විසින් කතානායකට යැවූ ලිපිය ලියා ඇත්තේ ද විපුලම ය.  මේ ලිපියෙන් පාර්ලිමේන්තුවට ද, රට ද කම්පනයට පත් වන්නේය. කන්නංගරට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් ‘පිං පඩියක්‘ ලැබෙන්නේය. මන්ත්‍රී විශ්‍රාම වැටුපේ ආරම්භක ශෝක කතාව එයයි.

 

democracy 2024.10.05 පරණ පාර්ලිමේන්තුව

මෙවැනිම අහේනියකට පත් වන මතුගම දයා පැස්කුවල් සිය පන්මල්ල අරගෙන බස්රියෙන් බෙහෙත් ගන්නට ගිය හැටි ගැන මාධ්‍ය වාර්තා ඇත. කවිකොළකාරයෙකු වූ දඹුල්ලේ ටී.බී.තෙන්නකෝන් ද නිර්ප්‍රභු දිළින්දෙකි. කවිසේන හේරත් හෝ මුදියන්සේ තෙන්නකෝන් හෝ ඒ දෙදෙනාටම හෝ (වරදක් ඇතොත් සමාවන්න) ‘කරුණාසහගත දීමනාව’ ගෙවා ඇත. ඔවුන් මේ දීමනාව ලබාගන්නට පරණ පාර්ලිමේන්තුවට පැමිණ ගෝල්ෆේස් පිටියේ රැදී සිටි ආකාරය පැරණි පාර්ලිමේන්තුවේ සේවකයෙකුගෙන් අසා දැනගතිමි.

මුල්ම යුගයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ බිරිඳට හා දිසාපති බිරිඳකට ඒකම දිනක දී මෙවැනිම විශේෂ දිමනාවක් ලබාදී ඇත. විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්නේ නම්, නැවත වරක් මෙවැනි අවස්ථාවන් ඇති වීම නොවැලැක්විය හැකි වනු ඇත.

1723543213 crisis 6

1956 සහ 1960 ජූලි ආර්ථික වශයෙන් ශක්තිමත් නැති නිර්ප්‍රභු පන්තියක් මහජන නියෝජිතයින් වට පත්විය. ඔවුන්ගෙන් බහුතරය 1965 ඡන්දයෙන් පරාජයට පත් වූ පසුව ගෙවූවේ අන්ත දිළිඳු දිවියකි. සමගි පෙරමුණු රජය මේ පිරිස ගැන සලකා 1970 දෙසැම්බර් 29 දා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමයකට අනුමැතිය ලබා දෙනු ලැබීය.  එදා රු. දහසක් වූ මන්ත්‍රී වැටුපට අනුව මන්ත්‍රී විශ්‍රාම වැටුප රු. 333.33 කි. (එදා ගුරුවරයෙකුගේ වැටුප ආරම්භක වැටුප රු. 250 කි.)


එතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රභූ සමාජය නැතත්, බුලත් කන, සරම අදින, බස් එකේ යන මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වෙලා නීති හදන්නට පැමිණි පිරිසකට එමගින් රැකවරණය ලැබුණි. වැඩිහිටියන් රැක බලා ගැනීම ශිෂ්ඨ සමාජ වගකීමකි. ලංකා රාජ්‍යය 2024 ආරම්භයේ දී විශ්‍රාමිකයින් ලක්ෂ 7 කට වැටුප් ගෙවන්නේය. රටේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 430 කි.

වත්මන් දසවන පාර්ලිමේන්තුවේ විවිධ තරාතිරම්වල පුද්ගලියන් සිටින අතර රාජ්‍ය සේවයෙන් ඉවත්වී පැමිණි අය ද, කිරි ගොවියන් හෙවත් හරක් බලන්නන් ද, ජීවිතයේ කිසිම දවසක රස්සාවක් කර නැති අය ද සිටී. අනාගතයේ දවසක ඔවුන්ට ‘කරුණා සහගත දීමනාව‘ හෙවත් පිං පඩිය ඉල්ලා ලිපි ලියන්නට සිදු නොවේවා යන්න මගේ පැතුමය. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව සම්මත කරන්නේ නම්, මෙයට පක්ෂව ඡන්දය දෙන කිසිවෙකුට අනාගතයේ කිසිම දවසක ‘කරුණා සහගත දීමනාවක් ඉල්ලලා‘ ලියුම් එව්වාට ‘පිං පඩි නොලැබිය යුතුයි‘ කියලා වගන්තියක් ඇතුලත් කළ යුතුය. ජනප්‍රිය සටන් පාඨ නීති බවට පත් කිරීමේ පාපයට කරගසන්නන්ම එහි පීඩාව ද විදිය යුතුය.

 

pention දැනට තිබෙන කුමන හෝ විශ්‍රාම දීමනාවක් කිසිවෙකුට අහිමි කිරීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත හෝ ශිෂ්ඨ ක්‍රියාවක් නොවේ.

අනෙක් අතට, දැනට තිබෙන කුමන හෝ විශ්‍රාම දීමනාවක් කිසිවෙකුට අහිමි කිරීම කිසි ලෙසකින් හෝ යුක්ති යුක්ත හෝ ශිෂ්ඨ ක්‍රියාවක් නොවේ.

ජවිපෙ නියෝජනය කළ නමුත් පක්ෂය හැර ගිය නන්දන ගුණතිලක, විමල් ඇතුළු පිරිසකට විශ්‍රාම වැටුප අහිමි කිරීම මේ යෝජනාවේ සැඟවුණු රහස යැයි පවතින අදහස ද බැහැර නොකළ යුතුය.

අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලවල පුද්ගලික, මාධ්‍ය, සම්බන්ධීකරණ ලේකම්වරුන් සේවය කළ 200 කට ආසන්න පිරිසකට ද විශ්‍රාම වැටුප් ලැබේ. එයින් බහුතරයට ලැබෙන මුදල රු. 25,000 කට අඩු ය. මන්ත්‍රී විශ්‍රාමය සමඟ මොවුන්ගේ වැටුප අහිමි කරන්නේ ද යන්න පැහැදිලි නැත.  එසේ කරන්නේ නම්, වෙනත් ආදායම් මාර්ග නොමැති අයට සමෘද්ධි, අස්වැසුම හෝ වෙනත් ‘පිං පඩියක්‘ ලබාදීමේ ශිෂ්ඨ වගකීමක් රාජ්‍ය සතුව පවතී.

මාදිවල මන්ත්‍රී මන්දිර

මාදිවෙල මන්ත් රී නිවාස සංකීර්ණය 650x366මාදිවෙල මන්ත්‍රී මන්දිර
ලින්ක් සමාගම විසින් මාදිවල ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරයෙන් ලබාගෙන මධ්‍ය පාන්තික නිවාස ව්‍යාපෘතියක ඇරඹීය. ආචාර්ය නුගවෙල, ඉංජිනේරුවරුන්වන ජයවර්ධන හා නිශ්ශංක විජේරත්න ඒ ඉදිකිරීමේ හිමිකරුවන්ය. නිවාස ඉදිකිරීම අවසන් අදියරට පැමිණි විට අලෙවිය සඳහා අත්පත්‍රිකාවක් ද මුද්‍රණය විය. වහා මැදිහත් වූ ජනපති ප්‍රේමදාස පාර්ලිමේන්තුව හරහා නිවාස මිල දී ගෙන උත්සවශ්‍රීයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදුන්නේය.  වැඩේ ක්‍රියාත්මක කළේ කතානායක එම්.එච්. මොහොමඩ් සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් සාලි (ආණ්ඩුකාරවර අසාත් සාලි නොවේ) ය.

මන්ත්‍රීවරුන්, අපේක්ෂකයින් පාක්ෂිකයින් රැසක් ඝාතනය වූ 1989 භීෂණ සමයේ මන්ත්‍රීවරුන්ට ගම රට යාමට ක්‍රමයක් නොවීය. ආණ්ඩු පක්ෂයට කැප්පෙටිපොල මාවතේ සමුළු නිවාස ලැබුණි. ශ්‍රාවස්තියේ ද පිරිසක් සිටියහ. විපක්ෂයේ බහුතරයකට නවතින්නට තැනක් නොවීය.  එයට විරෝධය පා  යසරත්න තෙන්නකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, එඩ්වින් වික්‍රමරත්න ඇතුළු පිරිසක් වරක් පාර්ලිමේන්තුවේ කොට්ට පැදුරු රැගෙන විත් නිදාගත්තේය. පසුව පිරිසකට මන්ත්‍රී ආරක්ෂාව පතා තැප්‍රොබේන් හෝටලයේ කාමර ලැබුණි. පාර්ලිමේන්තුව ආසන්නයේ මන්ත්‍රීවරුන්ට නිවාස අවශ්‍ය වූවේ මරණ බය නිසාය.  

 

Madiwela මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ විදුලිය, ජලය බිල් මන්ත්‍රීවරුන් විසින් ගෙවිය යුතුය
 අදටත් මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ විදුලිය, ජලය බිල් මන්ත්‍රීවරුන් විසින් ගෙවිය යුතුය. සියලුම ගෘහ භාණ්ඩ ඔවුන් විසින්ම සපයා ගත යුතුය. ෆෑන් දෙකක් ඇතත් වායු සමීකරණ අවශ්‍ය නම් සවිකර ගැනීම මන්ත්‍රීවරුන්ගේ වියදමින් සිදු කළ යුතුය.

උඩ තට්ටුවේ දහයයි - දහය ප්‍රමාණයේ කාමර දෙකක්, බඩු කාමරයක්, නාන කාමරයක් ඇත. යට තට්ටුවේ පුටු දෙක තුනකට, දෙන්නෙකුට වාඩිවිය හැකි කෑම මේසයකට ප්‍රමාණවත් ඉඩක් ද, එක් අයෙකුට වැඩ කර ගත හැකි කුස්සියක් ද, එළියේ ස්කොටින් පෑන් වැසිකිලියක් ද බැගින් ඇත.

මන්ත්‍රී ඉන්ධන දීමනාව

 

1680069554 Fuel Price L copy 800x450මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත් වූ දිස්ත්‍රික්කය අනුව, ලීටර් 283 (කොළඹ) සිට ලීටර් 639 (යාපනය, මඩකලපුව, අම්පාර) දක්වා ඉන්ධන ලැබේ

මන්ත්‍රීවරුන්ට ඔවුන් තේරී පත් වූ දිස්ත්‍රික්කය අනුව, ලීටර් 283 (කොළඹ) සිට ලීටර් 639 (යාපනය, මඩකලපුව, අම්පාර) දක්වා ඉන්ධන ලැබේ. මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල සඳහා ලීටර් 568 කි. පාවිච්චි කරන වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව කුමක් වුව රජය වැය කරන වෙනස් වන්නේ නැත. මේ මුදල සාක්කුවට දමා ගැනීමට ඇති හැකියාවක් නැති තරම්ය.

මෙයට අමතරව ලැබෙන සහන වන්නේ නිදහස් තැපැල් දීමනාව (ලිපි යැවීමට), කාර්යාල උපකරණ දීමනාව (ෆොටෝ කොපි කොළ පැකට් 5, රෝනියෝ කොළ පැකට් කිහිපයක්, ෆයිල් කවර, අමුණුම් කටු, ක්ලිප්), හා කාර්යාල දීමනාව (මසකට රු ලක්ෂයකි) මෙයට අමතරව ලැබේ.  

 මන්ත්‍රී වැටුප රු. රු. 54,285 කි.  රාජ්‍ය සේවයෙන් ඉවත්ව මන්ත්‍රීවරුන් ලෙස පත් වූ බහුතරයක් ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්ගේ මුලික වැටුප පූර්ණ මන්ත්‍රී වැටුපට වඩා වැඩිය. ඔබගේ නිර්ප්‍රභූ මන්ත්‍රී සඟයින්ගේ උපන්දින තෑගි, විවාහ මංගල තෑගි, අවමංගල්‍යයට තබා දන්සන් ආධාර හෝ අපේක්ෂා නොකළ යුතු වන්නේ මේ නිසාය.

salary parliment

පාර්ලිමේන්තුවේ වැටුප් ප්‍රමාණය සමාන්තර විගණකාධිපති, අධිකරණ සේවයට වඩා බෙහෙවින් අඩුය. මහ ලේකම් වැටුප රු. ලක්ෂයකි. දීමනා සියල්ල සමඟ රු. ලක්ෂ දෙක හමාරකට ආසන්නය. සමාන සුදුසුකම් සහිත අධිකරණ සේවයේ එමෙන් තුන් ගුණයක වැටුපක් ලැබේ. ලිපිකරුවෙකුට රු. 60,000 ක් සමඟ උපරිමය රු. 125,000 කි. කම්කරුවෙකුට හා කම්කරුවෙකුට ආසන්නව රු. 80,000 ක් ලැබේ. (නමුත් අතිකාල දීමනා ඇත්තේම නැත) පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවෙකුගේ වැටුප විදුලිබල, ඛනිජ තෙල් සංස්ථාවක වැටුපෙන් තුනෙන් පංගුවකි. පරිගණක, කාර්මික ශිල්පී වැටුප පුද්ගලික අංශයේ වැටුපෙන් අඩකටත් අඩුය.


අටසිය පනහක් වන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දක්ෂයින්ගේ 30 -40 ක් සෑම වසරකට ඉල්ලා අස්වී වෙනත් රැකියාවලට යන්නේය. ඉතා මෑතක දී අධිකරණ සේවයේ සිට පාර්ලිමේන්තුවේ සේවයට පැමිණි අයෙකු (ආසන්න වැටුප රු. ලක්ෂ 2.5යි) නැවත අධිකරණ සේවයට එක් වූ විට රු. ලක්ෂ 4.5 කට ආසන්න වැටුපක් ලබයි. පාර්ලිමේන්තුවේ වැටුප් විශමතාව හා 8/2006 චක්‍ර ලේඛනය හා බැඳුණු නඩුවක් මේ වන විට විභාග වෙමින් ඇත. දැනටම රජය නිලධාරීන්ට වැටුප් විශමතාවයක් ඇති බවත්, වැටුප් වැඩි විය යුතු බවත් පිළිගෙන ඇත.

මේ පාර්ලිමේන්තුවේ අඩුම මුලික වැටුප රු. 54,286 ලබන්නේ මහජන මන්ත්‍රීවරු ය!  දැන් එකත් නැති කලාම මේ මිනිස්සු, පවුලේ අය කන්න අදින්නේ කෙසේද යන්න ද පැහැදිලි කළ යුතුය.

ඇමති සැප

 

samrrea 100අමාත්‍ය ධූරයට වාහන හා ඉන්ධන වෙනම ලැබේ.

සැබවින්ම පාර්ලිමේන්තුවේ සැප විදින්නේ ඇමති හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණී. ඔවුන්ට මන්ත්‍රී වැටුපට වැඩි මුදල් (රු. 85,000 කට ආසන්නය) ලැබේ. අමාත්‍ය ධූරයට වාහන හා ඉන්ධන වෙනම ලැබේ. නිල නිවාසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලි ජල බිල පවා අමාත්‍යාංශයෙන් ගෙවනු ලැබේ. එයට අමතරව ඉහතින් දැක්වූ පාර්ලිමේන්තුවේ ඉන්ධන දීමනාව වෙනම ලැබේ. අමාත්‍යාංශය ඇති නිසා කාර්යාලයකට ලැබෙන මුදල ද ඉතිරිය. දිස්ත්‍රික්කයේ ද රාජ්‍ය ආයතනයකම තම කාර්යාලය විවෘත කර ඒ මුදල ඉතිරි කර ගනී. සැබවින්ම, කපා දැමිය යුත්තේ ඇමති ඉන්ධන දීමනාව, කාර්යාල දීමනාව යි. කිසිවෙකු කතා නොකරන්නේ ද, සමාජය නොදන්නේ ද එයම ය.

ඇමති නිවාස

 

අමාත්‍ය හා නියෝජ්‍ය අමත්‍ය ධූර දරණ අයට අමාත්‍යාංශය වැය ශිර්ෂ යටතේ නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ආදිය සපයා දී ඇත. ජනමාධ්‍ය මගින් එළිදක්වා ඇති, එවැනි නිවාස 40 ක් පමණ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇත. දෙසැම්බර් 5 දින සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කිවේ, තම අමාත්‍යවරුන් නිල නිවාස ලබා නොගන්නා බවකි.  

  

3 30.jpgජනධිපති මන්දිරය අසලින් රාත්‍රීයේ ගමන් කළෙමි. එළියට එකම විදුලි බුබුලක් හෝ නැත.

මම පසුගිය දිනෙක ජනධිපති මන්දිරය අසලින් රාත්‍රීයේ ගමන් කළෙමි. එළියට එකම විදුලි බුබුලක් හෝ නැත. මේ සම්පත් භාවිත නොකර ඉතිරිවන මුදල අනාගතයේ දිනෙක අලුත්වැඩියාවට පමණක් වැය විය හැකිය.

සමුළු නිවාස රැසක් ද ඔවුන් යටතේ ඇත. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක කාර්යාලයන් හි ද, අමාත්‍යාංශවල ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, පවත්නා රජයේ නිවාස අයඳුම්කර ලබාගත හැකිය. මාදිවලට මන්ත්‍රී නිවාසවලට වඩා යහපත් නිල නිවාස දැන් රාජ්‍ය නිලධාරීන් භාවිත කරති. මේ මොන විකාරයක් දැයි දන්නේ රැල්ලට මේ සටන් පාඨ ලියූ උදවියමය.

වාහන සෙල්ලම

අගමැති, සභානායක, ප්‍රධාන සංවිධායක, ඇමති, විපක්ෂ නායක, නියෝජ්‍ය ඇමති, කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා සභාපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට වාහන හිමිය. ඊට අමතරව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනය තැබූ වාහන සංචිතයෙන් වාහන නිදහස් කෙරේ. එවිට වාහන නැතිව ඉතිරි වන්නේ විපක්ෂයේ සියලු දෙනා සහ ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු පමණී.

VEHICLE

මේ දක්වා පැවති ව්‍යවහාරය මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහනයක් ලබාදීමය. එවිට ඒවාට තෙල් ගසා, නඩත්තු  කර, අලුත්වැඩියා කර ගැනීම පුද්ගලික වගකීමකි.  දැන් රජය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දී, රියදුරන්, අතිකාල සංයුක්ත දීමනා ගෙවා, අලුත්වැඩියාව, නඩත්තුව පමණක් නොව අතිරේක ඉන්ධන ද ලබාදීමට යයි.


රජයට වැඩිම වියදමක් දරන්නට සිදු වන්නේ ආණ්ඩුවෙන් වාහන නඩත්තු කරන විට ඔබ පැහැදිලිය. අනෙක් අතට, ආණ්ඩුව ද විපක්ෂය ද පාර්ලිමේන්තු යාන්ත්‍රණයේ එක හා සමානය. මන්ත්‍රීවරුන් පිරිසකට පමණක් ලොකු හැන්දකින් බෙදා, විපක්ෂයට මුලික අවශ්‍යතාවත් ලබා නොදීම ‘යුක්තිය - සමානාත්මතාවය’ නොවේ.

ආර්ථික අර්බුදය රට බංකොලොත්වීමත් සමඟ රටේ ජනතාවගේ වෛරය ක්‍රෝධය එල්ලවූවේ මහජන නියෝජිතවරුන් 225 ට ය. එය ඉලක්ක ගත යොමු කිරීමකි.  අතිරේක ආදයම් මාර්ග නොමැති, මහජන නියෝජිතයින් ද, ඔවුන්ගේ දරු පවුල් ද ජීවත් වන්නට ක්‍රමයක් තිබිය යුතුය. නැතිනම්, නීති විරෝධී මාර්ග වලින් මුදල් ඉපයිය යුතුය.

collage

රාජ්‍ය තාන්ත්‍රිකයින් තීරණ ගන්නේ ආවේග හෝ හැඟීම්මත පිහිටා නොවේ. අනාගතය තුන් කල දකිමිනි. මෙයින් බොහෝ කලකට පෙර ලලිත් ඇතුලත්මුදලි නම් තරුණයෙකුට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය විසින් අධ්‍යාපනය සඳහා විශේෂ දීමනාවක් ලබා දුන්නේය. ඒ ලලිත් තරුණයා දේශපාලනඥයෙකු වී වෙළඳ ඇමතිවරයා ලෙස මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කර අද වන විට මිලියනයකට ආසන්න පිරිසකට උසස් අධ්‍යාපනයට මුල්‍ය සහාය ලබාදී තමාට රාජ්‍යය දැරූ පිරිවැයට කෘතගුණ සැලසීය. රටකට අවශ්‍ය තුන් කල් දකින එවැනි රාජ්‍ය තාන්ත්‍රිකයින් මිස වෛරයෙන් අන්ධ වූ, අසත්‍ය යෙන් මුලා වූ පුංචි මිනිසුන් නොවේ.


බලය ලබා ගැනීමට ජජාබය ලබාදුන් ඉහත පොරොන්දු හෝ බලාපොරොත්තු හතරම ඉටු නොකළ යුතුය. වැටුප්, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන ඉවත් කර මන්ත්‍රීවරුන් අබ්බාගත කරනවාට වඩා, යථාර්තවාදීව ප්‍රශ්න සත්‍යයට මුහණදීම අනාගත ගැටළු රැසක් වලක්වා ගැනීමේ මාවතයි.


Rajith Keerthi
(රජිත් කීර්ති තෙන්නකෝන්)

Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

 


rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...