The Leader News
BREAKING
Top Ad
Opinion

කථාව දෝලාවෙන්- ගමන වැල්පාලමෙන් - (මහාචාර්ය චරිත හේරත්)

T

The Leader Desk

December 7, 2024 • 11:27 AM

කථාව දෝලාවෙන්- ගමන වැල්පාලමෙන් - (මහාචාර්ය චරිත හේරත්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව මේ දිනවල මතු වී තිබෙන ප්‍රධාන විවේචනයක් ගැනය.
  • ඉහතින් සඳහන් කළ පාර්ලිමේන්තු විවාදයේදීත් බොහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින්ද මතු කළ ආණ්ඩුව පිළිබඳ විවේචනය වූයේ ‘‘මේ ආණ්ඩුව බලය ගැනීමට පෙර කියපු දේවල් සහ දැන් කරන දේවල් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්’’ යැයි කියාය.
  • පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මෙරට පාලනය කළ බොහෝ ආණ්ඩු විසින් ජනතාවට ලබාදෙන ලද පොරොන්දු සහ ඔවුන්ගේ කෙරුවාව අතර බරපතළ වෙනස්කම් තිබුණු බව සැබෑවක්ය.
  • ‘‘පසුගිය වසර 76ම වැරදුණේ’’ යැයි ජ.වි.පෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව මේ දිනවල මතු වී තිබෙන ප්‍රධාන විවේචනයක් ගැනය. ඉහතින් සඳහන් කළ පාර්ලිමේන්තු විවාදයේදීත් බොහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින්ද මතු කළ ආණ්ඩුව පිළිබඳ විවේචනය වූයේ ‘‘මේ ආණ්ඩුව බලය ගැනීමට පෙර කියපු දේවල් සහ දැන් කරන දේවල් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්’’ යැයි කියාය.

 

පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව

මෙරට පාලනය කළ බොහෝ ආණ්ඩු විසින් ජනතාවට ලබාදෙන ලද පොරොන්දු සහ ඔවුන්ගේ කෙරුවාව අතර බරපතළ වෙනස්කම් තිබුණු බව සැබෑවක්ය. ‘‘පසුගිය වසර 76ම වැරදුණේ’’ යැයි ජ.වි.පෙ. ප්‍රමුඛ පක්ෂ පසුගිය මැතිවරණයේදී තර්ක කළේ ඒ වැරදි දේශපාලනය පැරදවීමටය. එහෙව් පදනමකින් බලය ගත් ආණ්ඩුවත් පටන් ගත් තැනම තමන් කියු දේවල්වලින් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කරන්නට පටන් ගැනීම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තුවේදී මතු වූ  එක් ප්‍රධාන විවේචනයක්ය. මේ තත්වය පිළිබඳව පැරැණි ප්‍රස්තා පිරුළක් ආශ්‍රයෙන් පැහැදිලි කළ මගේ මිතුරෙක් පැවසුවේ “කතාව දෝලාවෙන්- ගමන වැල්පාලමෙන්” කියා ය.


ආර්ථිකයේ ගමන් මග

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ මෙරට සමාජයේ වසර 76ක (එනම් නිදහසින් පසු කාලයේ) රට පාලනය කළ සියලු බලවේග ආර්ථිකය මෙහෙය වූ  ආකාරය වැරදි සහගත බැව් හැඟවෙන කතා කියමින්ය. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් බරපතළ ආකාරයෙන් ඒ අනුව විවේචනයට ලක් කළේය. IMF එක සමග වික්‍රමසිංහ රජය එළැඹි එකඟතාව  රට තුළ බරපතළ ප්‍රතිවිපාක ඇති කළ එකක් බව ඒ කාලයේ ජ.වි.පෙ. නායකයන් මතු කළ තර්කයක් විය. මගේ අදහස වන්නේ ඒ තර්කය නිවැරැදි බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා IMF සංවිධානය සමග වික්‍රමසිංහ ආණ්ඩුව එකඟ වූ සමහර කාරණා රටේ ජනතාව වෙත බරපතළ පීඩනයක් මුදාහැරි බව ඇත්තක්ය. ඒ පීඩනය නිමා කරන්නට පොරොන්දුව පසෙකලා IMF එකඟතාව එහෙම පිටින්ම සංශෝධන රහිතව ක්‍රියාත්මක කිරීමට එකඟවීම නිවැරැදි වන්නේ නැත.

අලුත් ආණ්ඩුවක් ගමන් කරන්නේ වික්‍රමසිංහ මහතාගේ ‘‘වැල් පාලමේ ම ’’ දැයි සමහරුන් අසන්නේ මේ නිසාය. කථාව  දෝලාවෙන්-ගමන වැල්පාලමෙන් යැයි කියන්නේ මේ නිසාය.

 

Polish 20241117 123700403පීටර් බෘවර්

 මෙවර  IMF දුත පිරිස නොවැම්බර් 17 - 23 කාලය තුළ මෙරට රැඳී සිටියේය.  IMF විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ තෙවැනි සමාලෝචනය සඳහා පැමිණි මේ දූත පිරිස ප්‍රකාශ කළේ රට තුළ ආර්ථිකයේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවක් ඔවුන් බලාපොරොත්තු වන  බවයි.  එපමණක් නොව එම දූත පිරිසේ ප්‍රධානී පීටර් බෘවර් ප්‍රකාශයට අනුව කියැවුණේ 2025 වර්ෂය සඳහා වන අය-වැය ප්‍රකාශයේදී මෙතෙක් තිබූ ආකාරයේ අඛණ්ඩ රාජ්‍ය ආදායම එකතු කිරීමක් සහ රාජ්‍ය වියදම සීමා කිරීමක්  බලාපොරොත්තු වන බවයි. ඒ තත්වය අය - වැය තුළින් ඉදිරිපත් වන ආකාරය ඒ අයගේ ( IMF ආයතනයේ) නිරීක්ෂණයට ලක් වනවා විය හැක්කේ ඊළඟ ණය වාරිකය ලබාදීම වත්මන් රජයේ අය- වැය ඉදිරිපත් කරන තුරු පමා කිරීමක් පෙනෙන්නට තිබෙන නිසාය.


මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අසීරු තත්වය ද තේරුම් ගත හැකිය. රටක ආර්ථිකය බරපතළ ආකාරයෙන් කඩා වැටී ඇති තත්වයක යම්තම් සීරු මාරුවට එය වත්තම් කරමින්  යන්නට සිදුවීම පැහැදිලිය. ඒ නිසාම  IMF කොන්දේසිවලින් එළියට යන්නට  නොහැකි බව ආණ්ඩු පැත්තේ තර්කය විය හැකිය. එහෙත් එය අවංකව රටට පැහැදිලි කරන්නේ නැතිව, මැතිවරණයට පෙර කියූ කතාවම යළිත් කියමින් ඊට පරස්පර දේවල් කරන්නට යාමෙන් මේ විවේචනය මතු වී ඇති බව පැහැදිලිය.

 

මේ තත්වය ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් නොව මන්ත්‍රීවරුන්ගේ එදිනෙදා හැසිරීම්, යාන වාහනවල ගමන් කිරීම්, ආහාර ගැනීම්, සංගීත සංදර්ශනවලට යාම් ආදි ‘සෑම පැත්තක්ම’ පෙන්නුම් කෙරී ඇත. අනෙක් සැම දේශපාලන ව්‍යාපාරයකටම වඩා තමන් ශුද්ධවන්තයන් යැයි පෙන්නුම්  කරන්නට යාම නඩත්තු කර ගැනීමට නොහැකි තැනකට වැටී ඇත.

‘‘හොඳ ළමයා’’ දේශපාලනය

 

 95931268 gettyimages 186911858ආණ්ඩුවක් ප්‍රධාන තනතුරු දැරීමේ දී සැප පහසු වාහනයක යාම යනු වැරැද්දක් නොවේ.

ආර්ථික  ක්ෂේත්‍රයේ මතුවන ‘‘කියන කොට එහෙමයි - කරන  කොට මෙහෙමයි’’ අර්බුදය අනෙක් ක්ෂේත්‍රවලද පැතිරී යමින් තිබේ. එසේ වී ඇත්තේ ආණ්ඩුවේ ඇතැමුන් අනවශ්‍ය සුජාතභාවයක් පෙන්වීමේ උත්සාහය නිසාය. ආණ්ඩුවක් ප්‍රධාන තනතුරු දැරීමේ දී සැප පහසු වාහනයක යාම, හෙලිකොප්ටරයක ගමන් කිරිම යනු වැරැද්දක් නොවේ. හෝටලයකින් ආහාර ගැනීම, තමන් කැමැති සංගීත සංදර්ශනයකට යාම දේශපාලනඥයාට අකැප දෙයක් නොවේ. මෙතෙක් කාලයකට මේ කාරණා ප්‍රධාන ධාරාවේ සාකච්ඡා  බවට පත් වුණේවත් නැත. එහෙත් මේ ආණ්ඩුව පත්වීමත් සමග තමන්ට ඡන්දය දුන් සමහරුන්ගේ සිට විරුද්ධ පක්ෂයේ අය දක්වා සියල්ලෝම මේ මන්ත්‍රීවරුන් කන බොන ආකාරය, ගමන් ගන්නා වාහනය වැනි සෑම ක්ෂුද්‍ර ජීවිතයේ දේවල් මතු කරන්නට  පටන්ගෙන තිබේ.


image 58846c9580තමන්ද රටේ අනෙක් ජනතාව මෙන් ආශාව සහ රසවින්දනය තිබෙන අයවලුන් යැයි ප්‍රකාශ කිරීම වැදගත් බව

 

මේ තත්වයට ආණ්ඩුව පත්වී තිබෙන්නේ අනවශ්‍ය ආකාරයේ ‘‘හොඳ ළමයා’’ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යන නිසාය. පාලක බලය ලැබේ යැයි සිහිනෙන්වත් නොදුටු කාලයක සමාජ ගත කළ අනවශ්‍ය සුජාතභාවයක් ජනාධිපති ධුරය සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලැබී ඇති කාලයකත් රකින්නට යාම නිසා මේ තත්වය උද්ගතව ඇත. මේ ප්‍රශ්නයට ආණ්ඩුව හරියට මුහුණ දී තමන්ද රටේ අනෙක් ජනතාව මෙන් ආශාව සහ රසවින්දනය තිබෙන අයවලුන් යැයි ප්‍රකාශ කිරීම වැදගත් බව මාගේ යෝජනාවය. එසේ නොකරමින් අනවශ්‍ය සුජාතභාවයක් පවත්වාගෙන යන්නට සිදුවුවහොත් ආණ්ඩුවේ ප්‍රධානීන්  බොහොමයකට සිදුවන්නේ තමන්ගේ  ‘‘හොඳකම’’ පෙන්වන්ට අනවශ්‍ය මහන්සියක් ගන්නටය.


හරිම විසඳුම අපේ ආණ්ඩුවේ  සමහරුන් කරන ප්‍රකාශවලින් පෙනී යන්නේ රටේ තිබෙන ගැටලුවලට ‘‘පරිපූර්ණ, විසඳුමක්’’ තිබෙන්නේ  තමන් තුළ බවයි. එසේ සිතා ගැනීමේ අයිතියක් එසේ සිතන අයට තිබේ. එහෙත් ඒ විසඳුම ‘‘පරිපූර්ණ සහ එකම විසඳුම’’ යැයි අනෙක් හැමෝම පිළිගත යුතු යැයි සිතිය යුතු නැත. අනෙක් අතට රටක මතුවන ගැටලුවකට විසඳුම වන්නේ ඒ ඒ කාලයට ගැළපෙන සාපේක්ෂ වශයෙන් ප්‍රතිඵල දෙන එකක් මිස නිර්පේක්ෂක, පරිපූර්ණ, එකක් නොවේ. සමාජවාදි රටවල් යැයි කියූ රටවල මතු වූ පරිපූර්ණ විසඳුම් න්‍යාය  මේ වනවිට කඩා වැටී ඇත.  එසේම ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයක  ඕනෑම පරිපූර්ණ යැයි කියන විසඳුමක් පිළිබඳව සංවාදයක් මතුවීම ස්වාභාවිකය. ඒ සංවාදයේදී අනෙක් කණ්ඩායම් තමන්ගේ විසඳුම ප්‍රශ්නයට ලක් කිරීම තේරුම් ගත යුත්තේ වැරැද්දක් කිරීමක් වශයෙන් නොවේ.

Parlimat 2023.01.27 1

වත්මන් රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජනමතයක් සහ බලයක් ලැබී ඇති බව සැබෑවක්ය. ඒ ජනමතය සහ බලය මත තමන් ජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. එසේම එම ජනමතයට එකඟ නොවූ ජනතාව සහ ජනතා නියෝජිතයන් ඒ විසදුම් පිළිබඳව විවේචනය කිරීමේ නිදහස ආරක්ෂා කිරීම ඉතාමත් අවශ්‍යය.

 
සමාජ මාධ්‍ය අවකාශය


ඉහත සඳහන් ‘‘විවේචනය කිරීමේ නිදහස’’ සම්බන්ධ කාරණයට අදාළ තවත් ගැටලුවක් පසුගිය සතියේ මතු වූයේය. සමාජ මාධ්‍ය භාවිතය තුළ සමහරුන්ගේ ක්‍රියාකාරීත්වය හරහා මේ සාකච්ඡාව මතුවී ඇත.

ආණ්ඩුවේ ස්ථාවරයක් වශයෙන් ඉදිරිපත් වී ඇති  එක් කාරණයක් වන්නේ ජාතිවාදය - ආගම්වාදය දේශපාලනය ව්‍යාපෘති ලෙසින් ක්‍රියාත්මකවීම නැවැත්විය යුතු බවයි. සංකල්පයක් හා ස්ථාවරයක් ලෙසින්  මේ යෝජනාව ඉතාමත් හොඳ එකකි. විශේෂයෙන්ම වසර 30ක් පමණ කාලයක් උතුරේ ත්‍රස්තවාදයක් පැවති රටක එවැනි ත්‍රස්තවාදයකට තුඩු දිය හැකි ක්‍රියාකාරිත්වයක් දේශපාලනයට නොගෙන ආ යුතුය යන්න වැදගත් කාරණයකි. එසේම ජාතිවාදය සහ ආගමික අන්තවාදය යන වචනවලට රට තුළ යම් ආකාරයක පිළිගත හැකි නිර්වචනයක් නිර්මාණය කර ගැනීම ද ඉතාමත් වැදගත්ය.
  


සමාජ මාධ්‍ය  භාවිතය තුළ සමහරුන්  ප්‍රචාරය කරන දේවල් ජාතිවාදයට හෝ ආගමික අන්තවාදයට සේවය කළේය යන්න පිළිබඳව නිශ්චිත  නිර්වචනයක් නොමැති වූ විට  ඇති වන්නේ ව්‍යාකූල තත්ත්වයකි. විශේෂයෙන්ම  online safety Act කෙටුම්පතේ මේ පිළිබඳව යම් ආකාරයක පැහැදිලි කිරීමක් ඇති අතර තවත් පනත් කීපයකම මේ පිළිබඳව කරුණු ඉදිරිපත් වී ඇත. ඒ හරහා පළල් එකඟතාවක් රට තුළ ඇති කර ගනිමින් සමාජ මාධ්‍ය අවකාශයේ මෙවැනි සංවේදී කරුණු සම්බන්ධව තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුව තුළ යම් මැදිහත්වීමක් කිරීම වැදගත්ය.


charitha herath mp
(මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2024 දෙසැම්බර් 06)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...