ජා.ජ.බ ආණ්ඩුව “ආධුනික” යැයි දුන් ප්‍රධානම උපදෙස වූයේ ප්‍රාදේශීය සභාවේත් පළාත් සභාවේත් පාර්ලිමේන්තුවේත් ඇමති මණ්ඩලයේත් අත්දැකීම් ඇති ඔවුන්ගෙන් උපදෙස් ගන්නවා මිස, නිලධාරීන්ගේ කතා අනුව වැඩ නොකළ යුතු බවය.
නිලධාරීන් නිවැරදි උත්තර නොදෙන බවත් ඔවුන් ඔවුන්ගේ පහසුවට සියල්ල හදා ගන්නා බවත් මන්ත්‍රීවරයාගේ කතාවෙහි අන්තර්ගතය විය.
ඒ අතර, ජා.ජ.බ ආණ්ඩුවටද තමන්ගේ නොදැනුවත් කම් වෙනුවෙන් “අපට ඇඟිල්ල දිගු කරන්න එපා” යැයි කිහිපවර දොස් නැගූ ඔහු, තම කතාව අවසන් කෙරුවේ, පාර්ලිමේන්තු ඉතිහාසයෙහි එකවර, තාත්තලා පුතාලා, බාප්පලා පුතාලා, අක්කලා මල්ලිලා, අයියලා නංගිලා සිටි නමුත් අඩුවකට තිබුණේ, “මහත්තයලා නෝනලා” නොසිටීම යැයිද, මෙවර එයද පළමු වරට සම්පූර්ණ කර ඇතැයි කීමෙනි. ඔහු එය කියුවේ, ජා.ජ.බ දේශපාලනයද ඥාතී සම්බන්ධකම් මත තීන්දුවන බව කීමට ය.
ඒ පණිවිඩයෙහි යම් පදනමක් ඇතත් ඔහුගේ පාර්ලිමේන්තු ඉතිහාසයෙහි දැනුවත්කමෙහි ප්‍රමාණයද ඔහු ඉන් පෙන්නුවේය. මේ පාර්ලිමේන්තු ඉතිහාසයෙහි ඔහු නොදත් නමුත් එක වර “මහත්තයලා නෝනලා” සිටි අවස්ථා ඇත. 1960 ජුලි මැතිවරණයේදී වැලිමඩ ආසනයට කේ.එම්.පී රාජරත්න ඡන්ද 7,557 ක් ලබා ගෙන තේරී පත් වූ අතර, ඔහුගේ බිරිඳ කුසුමා රාජරත්න යාබද ඌව පරණගම ආසනයට ඡන්ද 6,473 ක් ලබා ගෙන පත් වූවාය. ඒ “මහත්තයලා නෝනලා” එක වර පාර්ලිමේන්තු පැමිණි පළමු අවස්ථාව වන්නේ ය.
ඉන්පසු නැවත 1970 ජුලි මැතිවරණයෙන් මන්ත්‍රී යුවල දෙකක් පාර්ලිමේන්තුවට පත් වූහ. පානදුර ආසනයට ඡන්ද 25,218 ක් ලබා ගෙන ලෙස්ලි ගුණවර්ධන තේරී පත් වූ අතර, ඔහුගේ බිරිඳ විවියන් ගුණවර්ධන ඡන්ද 29,430 ක් ලබා ගෙන දෙහිවල-ගල්කිස්ස ආසනයට තේරී පත් වූවා ය. එවගේම කොලොන්නාව ආසනයට ඡන්ද 21,717 ක් ලබා ගෙන තේරී පත් වූ ටී.බී. ඉලංගරත්නගේ බිරිඳ තමරා කුමාරි ඉලංගරත්න ඡන්ද 13,211 ක් ලබා ගෙන ගලගෙදර ආසනයට තේරී පත් වූවාය.

එනිසා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයෙහි එකම පවුලේ සාමාජික සාමාජිකාවන් පත්වූ වාර හිඟයක් ගැන කතාවකට ඇත්තේ 1994 අගෝස්තුවේ සිට චන්ද්‍රිකා කුමාරතුංග නොවැම්බරයේ ජනාධිපතිනි වශයෙන් තේරීපත්වන තෙක් අගමැතිනිය ලෙස පාර්ලිමේන්තුවේ සිටි කාලයේදී ඇයගේ මව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් එකවර පාර්ලිමේන්තුවේ සිටීම ය. එහෙත් එය ඉතාම කෙටි මාස 03 ක කාලයක් විය.
“මහත්තයලා නෝනලා” පළමු වරට මෙවර එක වර මන්ත්‍රීවරු වීමේ චාමර සම්පත්ගේ අලුත් සොයා ගැනීමේ කතාවෙහි අලුත් කිසිවක් නැති නමුත් මවක් හා දුවක් නැවත එක වර අවුරුදු 05 ක කාලයකට පාර්ලිමේන්තුවට පත් වන්නේ කවදා දැයි බලා සිටිය හැක.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 දෙසැම්බර 08 වන දින



