The Leader News
BREAKING
Top Ad
Opinion

රංවලගේ උපාධි පිළිබඳ ආරවුල පැහැදිලිවම ජා.ජ.බ ආණ්ඩුවේ ආරවුලක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 10, 2024 • 10:22 AM

රංවලගේ උපාධි පිළිබඳ ආරවුල පැහැදිලිවම ජා.ජ.බ ආණ්ඩුවේ ආරවුලක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් අය “රංවලට අත නොතියණු” යැයිද කියා තිබිණ.
  • මේ පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ බහුතරය විසින් ඔවුන්ගේ දේශපාලන තීන්දුවක් අනුව, කතානායක වශයෙන් පත් කරගනු ලැබූ ඔවුන්ගේ පක්ෂයේ අසෝක රංවල ප්‍රකාශ කර ඇති අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ බරපතල ප්‍රශ්න කිරීමක් සති කිහිපයක සිට දිග හැරී ඇත.
  • ඔහු සඳහන්කර තිබූ කටුබැද්ද විශ්ව විද්‍යාලයයේ මූලික උපාධියක් හා ජපානයේ වසෙඩා විශ්ව විද්‍යාලයයෙහි ආචාර්ය උපාධියක් ඔහුට නැතැයි ප්‍රසිද්ධියේ අභියෝග කිරීම් පමණක් නොව, ඒවා සම්බන්ධ තොරතුරු ඉල්ලා නිල වශයෙන් විශ්ව විද්‍යාල වෙත කෙරුණු ඉල්ලීම්ද ඇත.
  • දූෂණයෙන් තොර එවැනි ආණ්ඩු පාලනයක් පොරොන්දු වූ ජා.ජ.බට, පාර්ලිමේන්තුවේත් ආණ්ඩුවේත් අතිශය වැදගත් තනතුරු සඳහා පත්වීම් ලබා දීමේදී තමන් පත් කරන පුද්ගලයින් සම්බන්ධ වගවීමක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් අය “රංවලට අත නොතියණු” යැයිද කියා තිබිණ.  

මේ පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ බහුතරය විසින් ඔවුන්ගේ දේශපාලන තීන්දුවක් අනුව, කතානායක වශයෙන් පත් කරගනු ලැබූ ඔවුන්ගේ පක්ෂයේ අසෝක රංවල ප්‍රකාශ කර ඇති අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ බරපතල ප්‍රශ්න කිරීමක් සති කිහිපයක සිට දිග හැරී ඇත. ඔහු සඳහන්කර තිබූ කටුබැද්ද විශ්ව විද්‍යාලයයේ මූලික උපාධියක් හා ජපානයේ වසෙඩා විශ්ව විද්‍යාලයයෙහි ආචාර්ය උපාධියක් ඔහුට නැතැයි ප්‍රසිද්ධියේ අභියෝග කිරීම් පමණක් නොව, ඒවා සම්බන්ධ තොරතුරු ඉල්ලා නිල වශයෙන් විශ්ව විද්‍යාල වෙත කෙරුණු ඉල්ලීම්ද ඇත.

PHOTO 2024 12 10 14 33 16

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ සභා නායක බිමල් රත්නායකද ඉංජිනේරු උපාධිධාරියෙකු යැයි කලෙක සිට සමාජගත මතයක් විය. නිල වශයෙන් ඔහු එවැන්නක් රංවල මෙන් කොතැනකවත් සටහන් කර නොතිබුණද, සමාජගත මතය නිවැරදි කිරීමක්ද නොකළේ ය. එහෙත් කතානායකගේ මූලික උපාධිය හා ආචාර්ය උපාධිය පිළිබඳ වන ගෝසාකිරී ආරවුල සමග බිමල් රත්නායකද පළමු වරට තමන්ට උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ යැයි සමාජගත මතය නිවැරදි කර තිබිණ.

Screenshot 2024 12 10 at 14.33.24 copy

අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කතා වලට එක් එක් පුද්ගලයා තමන් වෙනුවෙන් තනිව උත්තර දිය යුත්තේ දේශපාලනයෙන් බැහැරව මතුවන ප්‍රශ්න කිරීම් හමුවේ ය. එවිට ඒවා පෞද්ගලික අවංකත්වය පිළිබඳ ඇගයුමකට ලක් වන්නේය. එහෙත් දේශපාලන සංවිධානයක් තම සාමාජිකයෙකුගේ අධ්‍යාපනික සුදුසුකම්ද වාසියට ගනිමින් පත්වීම් සඳහා පුද්ගලයින් තෝරා ගන්නේ නම්, ඒ වෙනුවෙන් වගකීමද ඒ සංවිධානය බාර ගත යුතුය. ජා.ජ.බ විසින් මේ කතානායක පත් කිරීමේ තීන්දුව එනමුත් ඉන් එහාටද යන්නකි.

පසුගිය ජනාධිපතිවරණයේදී හා ඉන් දෙමසකටත් අඩු කාලයක පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහි ජා.ජ.බ ජනතාවට පොරොන්දු වූයේ අලුත් දේශපාලන සංස්කෘතියක් සමග, පිරිසිදු නව ආණ්ඩු පාලනයකි. මෙතෙක් පැවති ඥාති සංග්‍රහ සහිත වූ දූෂිත, වංචාකාරී ආණ්ඩු පාලන වෙනුවට දූෂණයෙන් හා වංචාවෙන් තොර, සමාජයට වග වන පාරදෘශ්‍යභාවයකින් යුතු අති පවිත්‍ර ආණ්ඩු පාලනයක් වෙනුවෙන් ඔවුහු සපථ වූහ.

 

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

දූෂණයෙන් තොර එවැනි ආණ්ඩු පාලනයක් පොරොන්දු වූ ජා.ජ.බට, පාර්ලිමේන්තුවේත් ආණ්ඩුවේත් අතිශය වැදගත් තනතුරු සඳහා පත්වීම් ලබා දීමේදී තමන් පත් කරන පුද්ගලයින් සම්බන්ධ වගවීමක් ඇත. ජා.ජ.බ විසින් පත් කෙරෙන පුද්ගලයින්ගේ අවංකත්වය සම්බන්ධව එබැවින් මූලික වශයෙන් වගකිව යුතු වන්නේ ජා.ජ.බ නායකත්වය ය. ජනතාවට විවෘත, පිරිසිදු ආණ්ඩු පාලනයක් වෙනුවෙන් වගවීමට, තමන්ගේ සියලු පත්වීම් ඇද පළුදු නොමැති පත්වීම් බවට ජා.ජ.බද වගකිව යුතුවන හෙයිනි.

af83d12b7aadf8fcc1eff324869353bf

 

රංවල යන පුද්ගලයාගේ නොව, ජා.ජ.බ විසින් කතානායක ලෙස පත් කළ පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න කිරීමට උත්තර දීමේ වගකීම එනිසා ඇත්තේ ජා.ජ.බට ය. ඒ සම්බන්ධ නිල පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිපලය සභා නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ජනතාවට කෙරෙන වග වීමක් වශයෙනි. ඒ වගවීම වඩාත් බරපතල වන්නේ, ඔහු කතානායක වශයෙන් පමණක් නොව, දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් වෙනුවෙන් දස අත පොරොන්දු වූ දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ ඔහු පාර්ලිමේන්තුවෙහි නොසිටිය යුත්තෙකු වන හෙයින් ය.

මේ චෝදනා නිහඬව මග හැර යාමේ ජා.ජ.බ උත්සාහයක් දැන් දකින්නට ඇත. මෙතෙක් දෙසතියකට වැඩි කාලයක් රංවල ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව නිල වශයෙන් කිසිවක් කීමෙන් වැළකී සිටීම ජා.ජ.බ ආණ්ඩුව, ඔවුන් සමාජයට ලබා දුන් පිරිසිදු අවංක ආණ්ඩු පාලනය හුදු වේදිකා පොරොන්දුවකට පමණක් සීමා කෙරෙන්නේ යැයි කීමකි. කතානායකගේ අර්බුදය අත හැර සිටින්නට ජා.ජ.බට හැකිව ඇත්තේ විපක්ෂයේ ආබාධිත හැසිරීමද නිසාවෙනි.  

කුමාර
ජා.ජ.බයේ අවාසනාව වන්නේ, මෙය හුදකලා සිදුවීමක් නොවන්නට ඉඩ ඇති බැවින්ය. මේ වනවිට එවැනිම තවත් සිද්ධියක් ගැන සමාජ මාධ්‍ය ජාලවල ප්‍රශ්න කෙරෙන්නේ ය. ජා.ජ.බ ආණ්ඩුවේ බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි ඉංජිනේරු උපාධියකට හිමිකම් කීමද දැන් ප්‍රශ්න කෙරෙන්නකි.

එනිසා ජා.ජ.බ නායකත්වය විසින් කෙරුණු පත්වීම් සමග වන එවැනි අධ්‍යාපනික සුදුසුකම් සඳහාවන වංචනික හිමිකම් වෙනුවෙන් උත්තර බැඳිය යුත්තේ ඒ පුද්ගලයින් නොව, එවැනි ප්‍රශ්නකාරී පුද්ගලයින් වග විභාගයකින් තොරව තම ආණ්ඩුවේ ඉහළ තනතුරු සඳහා පත් කර ගත් ජා.ජ.බ නායකත්වයම වන්නේය. එබැවින් සමාජ ක්‍රියාකාරීන් ඉල්ලා සිටිය යුත්තේ පුද්ගල වගවීම් නොව, ජා.ජ.බ ආණ්ඩුවේ දේශපාලන වගවීම ය.

බදුල්ලේ මන්ත්‍රී 'පඬිරුවන' කතා කළ ඉතිහාසයේ නොදන්නා ඉතිරිය - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 දෙසැම්බර 10

සබැඳි ලිපි :
ගරු කථානායක ආචාර්‍ය අශෝක රංවලට අත නොතබනු......! - සමබිම පක්ෂය

රංවලට අත නොතබනු ! - (එරන්ද ගිනිගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රංවලගේ උපාධි පිළිබඳ ආරවුල පැහැදිලිවම ජා.ජ.බ ආණ්ඩුවේ ආරවුලක් - (කුසල් පෙරේරා) | The Leader