The Leader News
BREAKING
Top Ad
Opinion

'පරීක්ෂණයට ලක් නොවන දේශපාලන ව්‍යාපෘතියකින් පලක් නැහැ' - (විදර්ශන කන්නන්ගර)

T

The Leader Desk

December 14, 2024 • 6:45 AM

 'පරීක්ෂණයට ලක් නොවන දේශපාලන ව්‍යාපෘතියකින් පලක් නැහැ' - (විදර්ශන කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලය අභ්‍යාස කිරීම පහසු නැතිබව ජවිපෙ/ජාජබ ආණ්ඩුව විසින්ම ඔප්පු කරමින් ඇති බව ඇතැමුන්ගේ අදහසයි.
  • හා 80 දශකයන් පුරාම දෙවතාවක්ම තරුණ පරම්පරා දෙකක් දැවැන්ත ජීවිත පරිත්‍යාගයන් සිදුකළේ ඒ රාජ්‍ය බලය අත්කර ගැනීමේ අරමුණ වෙනුවෙන්.
  • පරිවාස ගහමින්, සභාග වල පංගුකාරයින් වෙමින් එහිම ප්‍රතිඵල ලෙස වාර්ගික ජාතිකවාදයේ සරණ යමින් එහි ප්‍රතිවිපාක ලෙස පක්ෂයේ කොටස් කැඩී යමින් අරමුණු කළේ රාජ්‍ය බලය.
  • ඒ කණ්ඩායම් හා ව්‍යාපාරත් යළි යළිත් බිදී ගොස් එක්කෝ සමාජවාදී අලංකාරෝක්තීන් දෙසන වාමාංශික නිකායන් වලට ගාල්වීමත් එසේ නැතිනම් රනිල්ගේ එජාපය හා මහින්දලාගේ ශ්‍රිලනිපය සරණ ගොස් 'මාර්ගඵල' ලැබූවන් බවටත් පත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
බලය අභ්‍යාස කිරීම පහසු නැතිබව ජවිපෙ/ජාජබ ආණ්ඩුව විසින්ම ඔප්පු කරමින් ඇති බව ඇතැමුන්ගේ අදහසයි.

එහෙත් 'පරීක්ෂණයට ලක් නොකළ ජීවිතයෙන් පලක් නැහැ' කියල සොක්‍රටීස් කිව්ව වගේම පරීක්ෂණයට ලක් නොවන දේශපාලන ව්‍යාපෘතියකිනුත් තේරුමක් නැහැ කියලයි මම හිතන්නෙ.
old may day
විශේෂයෙන්ම ජවිපෙ වැනි වාමාංශික ව්‍යාපාරයක් දශක පහකටත් වඩා අරමුණු කළේ රාජ්‍ය බලය අත්කර ගෙන සිදුකරන පරිවර්තනයක්. 70 හා 80 දශකයන් පුරාම දෙවතාවක්ම තරුණ පරම්පරා දෙකක් දැවැන්ත ජීවිත පරිත්‍යාගයන් සිදුකළේ ඒ රාජ්‍ය බලය අත්කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. ඉන් ලද පරාජයන්ගෙන් පසුත් ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වෙමින් අරමුණු කළේත් රාජ්‍ය බලය.
 
පරිවාස ගහමින්, සභාග වල පංගුකාරයින් වෙමින් එහිම ප්‍රතිඵල ලෙස වාර්ගික ජාතිකවාදයේ සරණ යමින් එහි ප්‍රතිවිපාක ලෙස පක්ෂයේ කොටස් කැඩී යමින් අරමුණු කළේ රාජ්‍ය බලය. අනුන් දිනවන සමහර මැතිවරණ සිය කරට ගනිමින්, සමහර මැතිවරණ බයිපාස් කරමින් තමන්ගේ ඉතිහාසය තුළ සන්ධාන ගත නොවුණු සමාජ කණ්ඩායම් ද ඒකරාශී කරගනිමින් 'ජාතික ජන බලවේගය' නමැති ව්‍යාපාරයක් ගොඩනගමින් අවසානයේ රාජ්‍යයේ ආණ්ඩු බලය අත්කර ගැනීමේ මූලික අරමුණ ජවිපෙ ජයග්‍රහණය කරල තියෙනව.
 
jvp 212433305 16x9 0.jpg
ලංකාවේ වමේ ව්‍යාපාරයේ විවිධ බෙදීම් හා ඛණ්ඩනයන් තුළ සිය මව් පක්ෂයෙන් බිදී ගිය අතිබහුතර කණ්ඩායම් අවසානයේ ගමන් කළේ ආන්තික විප්ලවවාදී අනන්‍යතාවයක් නඩත්තු කිරීමේ දිශාවට. පැරණි කොමියුනිස්ට් පක්ෂයෙන් වෙන්වූ රැඩිකල් තරුණ කණ්ඩායම් බොහොමයක් විප්ලවවාදී කොමියුනිස්ට් සාරයක් දෙසටත් සම සමාජ පක්ෂයෙන් බිදුණු කණ්ඩායම් නසසප ආදී උද්ඝෝෂණාත්මක බහුජන ව්‍යාපාරයන් ගොඩනැගීමේ දෙසටත් ඇදී ගියා. ඒ කණ්ඩායම් හා ව්‍යාපාරත් යළි යළිත් බිදී ගොස් එක්කෝ සමාජවාදී අලංකාරෝක්තීන් දෙසන වාමාංශික නිකායන් වලට ගාල්වීමත් එසේ නැතිනම් රනිල්ගේ එජාපය හා මහින්දලාගේ ශ්‍රිලනිපය සරණ ගොස් 'මාර්ගඵල' ලැබූවන් බවටත් පත් වුණා.

 එහෙත් විජේවීරගේ ව්‍යාපාරය පමණයි පැරණි කොමියුනිට් පක්ෂයෙන් හා එහි චීන පිලෙනුත් බිදී ගිය පසු අඛණ්ඩව රාජ්‍ය බලය ලුහුබැදි විමතික වාමාංශික ධාරාව ලෙස නම් කළ හැක්කේ. අනෙක් සියලුම විමතික වාමාංශික කණ්ඩායම් සිය අරමුණ රාජ්‍ය බලය යැයි වාගාලංකාරයන් තුළ කීවත් විප්ලවවාදී-වාමාංශික අනන්‍යතා භාෂාවන් තුළ අඩස්සි ගත වෙමින් පොදු ජන අවබෝධයෙන් බොහෝදුරට දුරස්ථ වුණා.
 
461136365 1108519630644265 6775311693087655928 n
 ජවිපෙ දිගටම එකම අරමුණ ලුහුබැන්දා. ඒ නිසා අවසානයේ සිය වාමාංශික-විප්ලවවාදී න්‍යාය පත්‍රය බොහෝදුරට සම්මුතිගත කරන්න සිදුවුණා. දැනුවත්වම ඒ වාම-විප්ලවවාදී රුව ගුණ සම්මුතිගත කළ අවස්ථා එමටයි. එමනිසාම වාමාංශික-විප්ලවවාදී අදහස් දරන කණ්ඩායම් වල ප්‍රතිවාදී අනෙකා ලෙස ජවිපෙ හංවඩු ගැසුණා. ඒ සම්මුතිගත කිරීමේ නව හැරවුමක් ලෙස ජාතික ජන බලවේගය පිහිටවා ඉන් වසර පහකට පසු රාජ්‍යයේ ආණ්ඩු බලය අත්කර ගන්න සමත් වුණා.
 
ඉතිං, රාජ්‍ය බලය අරමුණු කරගෙන අඛණ්ඩ ගමනක් ආපු වාමගාමී ව්‍යාපාරයක් පරික්ෂාවට ලක් වීමේ සුදානමකින් යුතුවමයි ආණ්ඩු බලය අත්කර ගෙන තිබෙන්නේ. ඒ පැමිණි ගමනේ විවිධ සම්මුතිගත වීම් විසින් අවසානයේ වාමාංශික නොවන සේම මුළුමනින්ම වාමාංශික නොවන්නේද නොවන ආණ්ඩුවක් නිර්මාණය කරගෙන තියෙනව.

වාමාංශික අක්ත පත්‍ර සහිත ව්‍යාපාරයක් මේ යුගයේ ආණ්ඩු බලය අත්කර ගැනීම අරමුණු කරනවා නම් ගෙවන්නට වන වන්දිය වන්නේ සිය වාමාංශික න්‍යාය පත්‍රය හැකිතරම් දියාරු කරගැනීමයි. සිය වාමාංශික න්‍යාය පත්‍රයත් සුරක්ෂිත කරගනිමින් රාජ්‍යයේ ආණ්ඩු බලය අත්කර ගත හැකි විදියක් මගේ අවබෝධයට ග්‍රහණය වෙන්නේ නැහැ.
z p03 Learn
එසේ නොමැති නම් විප්ලවාදී-වාමාංශික ආකෘතියක් දරන ව්‍යාපාරයන් රාජ්‍යයේ ආණ්ඩු බලය අත්කරගැනීමේ උපායමාර්ගය පැහැදිළි කරගත යුතුයි.  එයද අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය අරමුණු කරනවා නම් පමණී. වාමාංශික-විප්ලවවාදී පක්ෂයක අවසාන අරමුණ රාජ්‍ය බලය නම් එය ප්‍රායෝගිකව අත්කර ගන්නේ කෙසේද ? එය හුදු පැරණි බොල්ශෙවික් වාගාලංකාරයන්ගෙන් තොරව වත්මන් ධනවාදී ජාලය තුළ වන සංයුක්ත යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුය.

එසේ නොවේනම් පවතින ආණ්ඩු වලට එරෙහිව ජනතා අයිතීන් ඉල්ලා සිටින උද්ඝෝෂණාත්මක දේශපාලන කණ්ඩායම් ලෙස දිගටම පැවතිය යුතුය. එහිදී ගෙවන්නට වන වන්දිය වන්නේ විප්ලවවාදී පක්ෂය වෙනමත් ධනේෂ්වර ක්‍රමය තුළම වන සුබසාධන අයිතීන් දිනාගැනීමේ අවශ්‍යතාවයත් අතර වන සුසංගත සම්බන්දයක් ගොඩනගා ගත නොහැකි වීමයි.

Anuradhapura 2022.05.01 12 768x534
 ඒ අනුව පත්වී ඇති ජවිපෙ/ජාජබ ආණ්ඩුව යනු විප්ලවවාදී අරුතෙන් වාමාංශික ආණ්ඩුවක් නොවෙයි. එය වාමාංශික ආණ්ඩුවක් නොවන බව කියන විප්ලවවාදී වාමාංශික පුද්ගලයන් හෝ කණ්ඩායම් දැන් කළ යුත්තේ පරමාදර්ශී වාමාංශික ආණ්ඩුවක් ගොඩනැගීමට වැඩ කිරීමයි. පරික්ෂාවට ලක් වීමෙන් තොර විප්ලවවාදී වාමාංශික දේශපාලනයකින් තේරුමක් නැත.
 
අපගේ අරගලය වන්නේ වාමාංශික-ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව ජන සමාජය තුළ පොදු ජන අවබෝධයක් බවට පත් කිරීමයි. එය දෘෂ්ටිවාදී හා සංස්කෘතික අරගලයකි. ඒ අරුතෙන් ජවිපෙ/ආණ්ඩුව 'සැබෑ' වාමාංශික ආණ්ඩුවක් ද යන්න අපට ප්‍රමුඛ ප්‍රශ්නය නොවෙයි. අප විප්ලවවාදී-මාක්ස්වාදී සාමූහික අනන්‍යතාවය මතම පිහිටා දේශපාලනය කිරා මනින්නන් නොවෙයි.

ඒ අනුව අප අනුදත් වාමාංශික-ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අභිමුව මේ ගොඩනැගී ඇති ජවිපෙ/ජාජබ ආණ්ඩුව සාපේක්ෂව වැදගත් ය. මේ ආණ්ඩුව පෙරළා ඊළග විප්ලවාදී ආණ්ඩුවක් බිහිකරගැනීම සම්බන්දයෙන් අපට දැනුමක් හෝ හැකියාවක් නැත.

vidarashan
(විදර්ශන කන්නන්ගර)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com

උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පරීක්ෂණයට ලක් නොවන දේශපාලන ව්‍යාපෘතියකින් පලක් නැහැ' - (විදර්ශන කන්නන්ගර) | The Leader