The Leader News
BREAKING
Top Ad
Opinion

නැවත පිරියම් කළ නොහැකි කැළලක් - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

December 14, 2024 • 3:39 PM

නැවත පිරියම් කළ නොහැකි කැළලක් - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ.
  • කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.
  • ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත.
  • එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ.

කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී.

ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත. පාකිස්ථානය වැනි සීමිත රටවල් කිහිපයක් හැර, ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

 නමුත්, මනාප ඡන්ද ක්‍රමයේ දී මනාප ලබා ගැනීමට අපේකෂකයින් තම අධ්‍යාපන සුදුසුකම අලෙවි කරන්නට පටන් ගත්තේය. එහි තීරණාත්මක කඩඉමක් ලෙස 2020 මහා මැතිවරණයේ දී ‘වියත්මග කණ්ඩායම’ තම අධ්‍යාපන සුදුසුකම ඉස්සහින් තබාගෙන දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. අධ්‍යාපනය අත්තටු බවට පත් වූ වේ ද, ඡන්ද ආකර්ෂණ මැෂිමක් බවට පත් වූවේ ද, ඒ අනුවය.

 ජාතික ජනබලවේගය 2022 අරගලයෙන් පසුව තමන් වෙත ජනතාව අද්දවා ගැනීමට උගත් - බුද්ධිමත් ලේබලය තීරණාත්මක ලෙස යොදාගැනීමට තීරණය කළේ මේ සමයේ දී ය.  අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ජවිපෙට සැලකිය යුතු උපාධිධාරීන් පිරිසක් සිටී. මේ උපාධිධාරීන්ටත් වඩා ‘සුපිරි බඩු ටිකක්’ අපිට සිටින බව පෙන්වීමට ජවිපෙට අවශ්‍ය විය. ආචාර්ය - මහාචාර්ය පට්ටම් සහිත පිරිසකට ද, වෛද්‍ය, ඉංජිනේරු පිරිසකට ද ජජාබ මැතිවරණ වේදිකාවේ දොරටු ඇරෙන්නේ ඒ් අනුවය. ජවිපෙට පිටතින් පැමිණි හරිනි ඇතුළු කණ්ඩායම තම අධ්‍යාපන සුදුසුකම් මත බැබලෙන විට ජවිපෙ ද සිට පැරණි කාඩර්වරුන්ට විවිධ අධ්‍යාපන සුදුසුකම් නමට ඉදිරියෙන් පිටුපසින් එල්ලනු ලැබීය.  

 සපුගස්කන්දේ අශෝක රන්වල බියගම ජවිපෙ සංවිධායකවරයෙකි. වෘත්තීය සමිති නායකයෙකි. සයිටම් විරෝධී සටනේ දී හිටපු ගමන් සපුගස්කන්දේ අශෝක - මහාචාර්ය අශෝක බවට පත් විය. ඒ සීමිත සමාජිකයින් අතුරින් සයිටම් විරෝධී සටනේ නායකයෙකු කළ හැකි අත් දිග කමිසය අදින නිසාය. දිගින් දිගටම මේ මහාචාර්ය පට්ටම පවත්වා ගැනීමට අශෝකට කෙසේ වෙතත් පක්ෂයේ පැවැත්මට වැදගත් විය. මහා මැතිවරණයේ හැම පෝස්ටරයකටම, දැන්වීමකට ආචාර්ය අශෝක වූයේ ඒ නිසාය. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් මුහුණ දැන නොතිබුනත්, ගම්පහ ජනතාව ටෙලි නාට්‍ය නිලි පබා තරමටම ආචාර්ය අශෝකට මනාප විය. ඒ ගෝඨාභය ගේ කාබනික යුගයේ ඇඹිලිපිටියේ කාබනික පොහොර හැදු ආචාර්ය අශෝක, රසායන විද්‍යා කේෂ්ත්‍රයේ මහ මොළයක් යැයි සිතූ නිසාය. අවසානයේ ජීවිත කාලයම දේශපාලනය කළ පක්ෂය දැවැන්ත අර්බුදයකට යවමින් ඔහුට රටේ ධූරාවලියේ ඉහළම තනතුරට සමුදෙන්නට සිදුවිය.

 කැලණිය ගණිත අධ්‍යයන අංශයේ අනුර කරුණාතිලක ට දර්ශන විශාරද උපාධියක් නැති බව විශ්විද්‍යාලය වෙබ් අඩවියම පමණක්ම සාක්ෂි දරයි. විශ්වවිද්‍යාල ප්‍රජාවේ බහුතරය මේ කතාව හොදින් දනී. ජවිපෙ වෙනුවෙන් මානව හිමිකම් විද්වත් සංසදය නමින් මැතිවරණ නිරීක්ෂණ ජාලයක් සකස් කළේය. 2014 තරම් ඈතක දී ද එහි ලේකම් හා ආචාර්ය අනුර කරුණාතිලක ය. ඒ වන විට ඔහු ආචාර්ය උපාධියට ලියාපදිංචි වී සිටියේ වත් නැත. ‘විද්වත්’ කෑල්ල අලෙවි කළ හැක්කේ ‘ආචාර්ය පට්ටමක්’ සමඟය. එදා ත්, අදත් එය වෙනස් නොවීය. 2014 සිට අනුර කරුණාතිලක සෑම මාධ්‍ය අවකාශයකම, ලිපියක, ප්‍රවෘත්තියක පෙනී සිටියේ ‘ආචාර්ය අනුර‘ ලෙසය.  නාගරික සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වන විට ඔහු ‘මහාචාර්ය අනුර‘ වීය. දැන් එය ගැලවී නිකම්ම ‘අනුර‘ වී ඇත.

 විද්‍යාවේදී උපාධිය සඳහා ලියාපදිංචි වී සිටි නමුත්, උපාධිය අවසන් නොකල බව කියන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ලේබල් කරන්නේ ද, මේ ‘විද්වත්’ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ම ය.

 තවත් දේශපාලනඥයෙකුට 2002 වර්ෂයේ යුරෝපයේ හා ආසියාවේ ඉහළම පිළිගැනීම් සහිත විශ්වවිද්‍යාල දෙකකින් පශ්චාත් උපාධි ඇතැයි කියනු ලැබේ.

 විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ගේ විශේෂඥතාව මැදකොළඹ, බොරැල්ල, උතුරු කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ දරුවන් සුන්නත් කිරීම බව මරදානේ කලීල්ස් නර්සින් හෝම් දන්නා අයට රහසක් නොවේ. නමුත්, එය කොළඹ දිස්ත්‍රික්කයම ඔහුට ඡන්දය දුන්නේ ‘විශේෂඥ වෛද්‍ය‘ පට්ටමක් ඇතැයි සිතාය.

 මේ සියල්ලටම වඩා බරපතල විය හැක්කේ, ජාත්‍යන්තර සංවිධාන වෙත නිරවද්‍ය නොවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇත්තම් එයයි. 2017 දී වොෂින්ටන් හි ලෝක බැංකු කාර්යාලයේ Global Forum on Asset Recovery (GfAR ) වැඩසටහනකට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණි. එවකට නීතිපති, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා, සිවිල් සංවිධානය නියෝජිතයින් පිරිසක් ද මා සමඟ එයට එක් විය. ලෝක බැංකුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන තමන්ගේම විමර්ශන ඒකක පවත්වාගෙන යමින් ලොව පුරා රාජ්‍යයන් හි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ ජීව දත්ත විමර්ශනය කරන ආකාරය පැහැදිලි කරනු ලැබූවේ ඒ සඳහා යොදාගත හැකි පරිගණක පද්ධති හා උපක්‍රම ද සහිතවය. මේ දත්ත ජාත්‍යන්ත වශයෙන් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතින්නේය. එබැවින් මෙය ජාතික ප්‍රශ්නයක් නොව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස ද බලපෑම් කළ හැකිය.  

 ආර්ථිකය ගැන දේශන පවත්වන 2010 – 2015 කුප්‍රකට ‘ පම්පිම් - ඩම්පින්‘ මෙහෙයුමේ බර අවියක් වූ අයෙකුගේ ‘ආචාර්ය උපාධිය‘ කුමන විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇතිදැයි අංජනම් එළි බැලිය යුතුව ඇත.

 ජවිපෙ ට සම්බන්ධ බහුතරයක් දෙනා රෝහණ විජේවීර මෙන්ම උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඩාල කර ගනිමින් පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කළ අය වෙති. ඔවුහු කිසි විටෙකත් උපාධිය මහ දෙයක් ලෙස සැලකුවේ නැත. අවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ ද නැත. ජවිපෙ හෝ වෙනත් පක්ෂයක නායකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බොහෝ දෙනා වද වෙන්නේ ද නැත. අධ්‍යාපනය වෙනුවට දේශපාලනය තෝරාගෙන උපාධි අහිමි කර ගත් බිමල් රත්නායක වැනි මිනිසුන් පිළිබඳ සමාජ ගෞරවයක් ඇත. සීමාවාසික පුහුණුව නිමා නොකර දේශපාලනය තෝරාගත් අයට ඒ අතර ඇත. එවැනි තෝරාගැනීම් නිසාම මරණයට පත් වූ, ජීවිතයට මහ මගට වැටුණු පිරිසක් ද වෙති. මේ ඔවුන්ගේ අති මහත් කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස ගොඩනැගු ආණ්ඩුවයි.  

 අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කරලියේ කොඩි දාන තැනට පැමිණියේ 2020 න් පසුව ය. ඒ ‘වියත්බව’ මැතිවරණ ප්‍රචාරක කාර්යයෙහි අලෙවි කිරීම උදෙසාමය. ජවිපෙ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ අධ්‍යාපන සුදුසුකම් නිර්ධය විවේචනයට ලක් කළේය.  චාමර සම්පත් නූගතෙකු යන්න බදුල්ලේ නොකියූ රැස්වීමක් නැත. චාමර තමාට නැති අධ්‍යාපනයක් ගැන කිසිදා කීවේ නැත. නාමල් - චිචී ගේ අධ්‍යාපන සහතික ගැන වැඩියෙන්ම කතා කළේ ජවිපෙ යි.

 අද මිනිසුන් ප්‍රශ්න කරන්නේ ජජාබ මන්ත්‍රීවරුන්ගේ උපාධි සහතිකය නොවේ. ඔවුන්ගේ අවංක භාවයයි!

 උපාධි සහතික ප්‍රශ්නය නිසා, ජනතා විමුක්ති පෙරමුණට තිබූ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) අහිමි වෙමින් ඇත. 1956, 1970, 1999 ආණ්ඩු තුනම අඩු වැඩි වශයෙන් ‘සදාචාරාත්මක උස්බව’ අහිමි වීම නිසා දැවැන්ත අර්බුදයට ලක්වූවේය. දක්ෂිණාංශික ආණ්ඩුවකට වටා වාමාංශික වටිනාකම් මත මැතිවරණ ව්‍යාපාරයක් ජයගන්නා කණ්ඩායම් වෙතින් ඔවුන් අලෙවි කළ ප්‍රතිපත්ති රාමුවට වටිනාකමක් ජනතාව බලාපොරොත්තු වේ.

 අනෙක් අතට, මාලිමාව පැත්තෙන් ගත් කළ කතානායකවරයාගේ ඉල්ලා අස්වීමෙන් පමණක් විසදෙන ප්‍රශ්නයක් නොවේ.  එය තවත් බොහෝ දෙනෙකු හා බැඳුණු, අනන්‍යතා අර්බුදයකි. ඔවුන් තම මැතිවරණ ව්‍යාපාරයේ කේන්ද්‍රය ලෙස ‘වියත් - බුද්ධිමතුන්’ය. අනුර කරුණාතිලකගේ ආචාර්ය උපාධිය විමසන විට, වසන්ත සමරසිංහ හැප්පිලා බලන්න කතා කරන්නේ ඒ නිසාය.  සැබවින්ම, සිරිපාල අමරසිංහ හෝ අනුරුද්ධ පොල්ගම්පල ඉවත් කළ ආකාරයට බොරු උපාධි දමා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දිනාවා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ලේසි හෝ පහසු හෝ නැත.

 2015 යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ පළමු බිඳවැටීම ‘බැඳුම්කර ගණුදෙනුව’ යි. එය කිසිදු අයුරකින් නැවත පුරුද්දාගත නොහැකි විය. ව්‍යාජ අධ්‍යාපන සහතික අර්බුදය ද, මුළුමනින්ම පිළියම් යොදන්නේ නැතිනම්,  එවන් තැනටක ගමන් කර අවසන්ය. එය නැවත පිරියම් කළ නොහැකි කැළලක් දැනටමත් තබා ඇත.

Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නැවත පිරියම් කළ නොහැකි කැළලක් - (රජිත් කීර්ති තෙන්නකෝන්) | The Leader