(ප.ලි. ජී එල් පීරිස්ට සම්මානිත මහාචාර්ය පදවියක් තියන බව Bibulewela Manjula Manoj මාව දැනුවත් කළා)
මෑතදී තිබුණ සාකච්ඡාවකදී ආචාර්ය සුනිල් සෙනෙවි පැහැදිලිව පෙන්නලා දුන්න විදියට 'මහාචාර්ය' කියන්නේ විශ්වවිද්‍යාල ගුරු ධූරාවලියේ ඉහළම තනතුරක්. එහෙම නැතුව අධ්‍යාපන සුදුසුකමක් නෙවෙයි.
ගොඩක් වෙලාවට මහාචාර්ය වරයෙක් ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යම නම් ඔවුන්ට 'ආචාර්ය' කියල ඇමතීමේ වරදක් නැහැ. නමුත් මහාචාර්ය කෙනෙක් වෙන්න ආචාර්ය උපාධිය අවශ්‍යමත් නැහැ. ඒ නිසා සමහර මහාචාර්යවරුන්ට ආචාර්ය උපාධියකුත් නැහැ.
විශ්වවිද්‍යාලෙන් පිටවුනාට පස්සේ මහාචාර්ය කියල use කරන්න පුළුවන් සුළු පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. මම දන්න විදියට ඒ සම්මානිත මහාචාර්යවරු.
ඒ නිසා එදත්, අදත් පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසක් නමට කලින් 'මහාචාර්ය' කියල දාගෙන කරන්නේ සමාජය රැවටීමක්. නමුත් අපේ සමාජය මේ වංචාවට කැමතියි.
හේතුව සමස්ත සමාජය පුරා මුල් බැහැගෙන තියන - චූලානන්ද සමරනායකයින් කියන විදියට - භීනෝන්මාදය. නැත්නම් උපාධි වන්දනාව. උපාධියක් ගත්ත පමණින් කෙනෙක් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ.
'ඉංජිනේරු' කතාවත් ඒ වගේමයි. එහෙම බලනව නම් මමත් නමට කලින් 'ඉංජිනේරු සරෝජ්' කියල දාගන්න ඕනේ -:)
යුක්රේනයේදී විදුලි ඉංජිනේරු උපාධියක් හැදෑරුවත් මම කවදාවත් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරලා නැහැ. එහෙම වැඩ කළත් ඉංජිනේරු කියල කෑල්ලක් දාගන්නම ඕනද? ඒ කෑල්ල නැත්නම් මොනවා හරි අඩුයි, අඩුයි වගේ දැනෙනවද?
ඇත්තටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබුවේ නැති වුණත්, සමහර ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා ඉතා බුද්ධිමත් චරිත අපේ සමාජයේ ඇති තරම් ඉන්නවා. නමුත් අපේ සමාජය තවමත් වන්දනා කරන්නේ ඇත්තට හරි බොරුවට හරි ආචාර්ය මහාචාර්ය පට්ටමක් නමට මුලින් දාගත්ත අයට විතරයි. දේශපාලකයෝ ඇතුළු සමහරු ඒ විදියට බොරු පට්ටම් නමට එකතුකරගන්නේ සමාජයේ මේ හීනමානය හොඳින්ම දන්න නිසා.
මේ විනාශය මුලින්ම කළේ (අ)වියත් මගේ කට්ටිය. 'උගත්, බුද්ධිමත්' කියල හඳුන්වාගෙන ආපු අපකීර්තිමත් ආචාර්ය, මහාචාර්යවරු ටික කරපු විනාශය දැක, දැකත් මාලිමාවත් මේ පට්ටම් වන්දනාව කරගහගෙන යාම ඇත්තටම කණගාටුයි.
හිටපු කතානායක අසෝක රංවල කියන්නේ, ඔප්පුකරන්න බැරි ආචාර්ය පට්ටමක් දාගත්ත පළවෙනියත් නෙවෙයි, අන්තිමයත් නෙවෙයි. නමුත් ඔහුගේ අත්දැකීම අපේ සමාජය තුල තියන 'පට්ටම් වන්දනාව' දැඩිව ප්‍රශ්න කරන්න පෙළඹවීමක් ඇතිකරනවා නම් ඒක තමයි හොඳම පාඩම.
රටේ පාලකයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා, උගතෙක් විය යුතු නැහැ. නමුත් ඔහු/ඇය ජනතාවගේ හද ගැස්ම හඳුනාගෙන, ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන, ඒ සඳහා උපදෙස් ලබාගන්න පුළුවන්, තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පුළුවන් පිරිස් හඳුනාගෙන, ඔවුන් එකතුකරගෙන නායකත්වයක් දෙන්න පුළුවන් බුද්ධිමතෙක් විය යුතුයි; ජනතාවාදී නායකයෙක්/නායිකාවක් විය යුතුයි.
අනුර කුමාර දිසානායක කියන්නෙ ඒ හැකියාව ඉහළින්ම තියෙන ඉතා බුද්ධිමත් නායකයෙක්. ජනතා හද ගැස්ම තේරුම්ගත් නායකයෙක්. ප්‍රමාද වුණා වුණත් රංවලට ඉල්ලා අස්වෙන්න නියෝග කිරීම ඉතාමත් අගය කළ යුතු තීරණයක්.
තවත් දෙයක් මට මතක් වෙනවා. ඒ දවස්වල බීබීසී සංදේශයේ අපේ කණ්ඩායම 'මහතා, මහත්මිය, මැතිණිය' වගේ වචන කවදාවත් use කළේ නෑ. ඒ දවස්වල අපි ගොඩක් බැනුම් ඇහුව ඒත් මම ඒකට අදත් එකඟයි. කවුරුහරි 'මහතා, මහත්මිය' විදියට හඳුන්වන කොට, හැම කෙනාටම 'සර්' කියනකොට මට දැනෙන්නේ හරි ආගන්තුක බවක්.
කෙනෙකුට 'ඇමතිතුමා, මන්ත්‍රීතුමා, ගුරු තුමී' නැත්නම් ගුරුවරයෙකුට නම් 'සර්' කීම විතරක් මදිද?. උදාහරණයක් විදියට 'කතානායක අසෝක රන්වල' කීවම ඒ දෙන ගෞරවය මදිද? ඕකට 'මහතා' කියලත් එකතු කරන්නම ඕනද? බ්‍රිතාන්‍යයේ නම් අගමැතිට කතා කරන්නේ අගමැති කියර් ස්ටාමර් කියල. 'මහතා, මැතිතුමා, අතිගරු' වල්පල් කිසිවක්ම නෑ. නැත්නම් ස්ටාර්මර්ට 'සර්' පට්ටමක් තියන නිසා 'සර් කියර් ස්ටාර්මර්' කියල. ටෝනි බ්ලෙයාර්ට හුඟක් දෙනා කිවුවේ ටෝනි කියල. නැත්නම් අගමැති බ්ලෙයාර් කියල. එහෙම කිවුවම කාට හරි අගෞරවයක් වෙනවද?
ඇත්තටම අපි මේ කරන්නේ අපිවම රවට්ටා ගැනීමක් නෙවෙයිද? මූණට 'සර්' කියල, වැඳ වැටිල අනිත් පැත්ත හැරෙනකල් ඉඳල සුද්ද සිංහලෙන් බනින කී දෙනෙක් අපේ සමාජයේ ඉන්නවද?
ව්ලදිමීර් පූතින් බලයට එනකල්ම රුසියාවේ/ සෝවියට් දේශයේ පාලකයින්ටත් කතා කළේ තවාරිෂ් ... (සහෝදරයා) කියල. ලෝකේ අනිත් රටවල ඕනේ නම් පාලකයින්ට Mr/ Mrs කියනවා ඇති. ඊට එහා ගිහින් ලංකාවේ වගේ මේ තරම් පට්ටම් වන්දනා කරන රටක් ගැන මම නම් අහල නැහැ.
අපේ සමාජය මේ පට්ටම් වන්දනාව නැවැත්තුව දවසට බොරු මහාචාර්යවරු, ආචාර්යවරු, දොස්තවරවරු, ඉංජිනේරුවෝ පහළ වෙන එකත් ඉබේම නවතීවි.
(සරෝජ් පතිරණ)[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
14.12.2024



