පළාත් සභා මැතිවරණ පනත අවලංගු කළ අතර ඒ සඳහා සකස් කළ නව පනත ගෙන ඒම පාර්ලිමේන්තු ක්‍රියාදාමයේදී මැතිවරණ ක්‍රමය පිළිබඳ තාක්ෂණික ගැටලු ගණනාවක් හේතු කොටගෙන අඩාල විය.
ඉන් පසු බලයට පැමිණි ගෝඨාභය පාලනය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උනන්දු නොවූ අතර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම එහි ප්‍රමුඛතාවය විය. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම හෝ නව දේශපාලන පරිපාලන ව්‍යූහයක් හඳුන්වාදීම එම නව ව්‍යවස්ථාවේ බලාපොරොත්තුව විය. නමුත් ගෝඨාභය පාලනය අතරමැදදී බිඳවැටීමෙන් පසු බංකොලොත් වූ රට තුළ ඉතිරි කාලය සඳහා තේරී පත් වූ වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු දේශපාලන ආර්ථික සමාජ වාතාවරණයක් රට තුළ නොපැවතිණි.
දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් බලයට පත් වී ඇත. මේ වන විට යළිත් පළාත් සභා මැතිවරණයේ පැවැත්විය යුතු බවට කතා බහක් ඇති වී ඇත. දෙමළ ජාතික හා දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින තමිල් අරුසුකච්චි පක්ෂය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටීයි. පසුගියදා තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයින් ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ද එය අවධාරණය කර තිබූ අතර පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද ඉල්ලා තිබිණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණේ වත්මන් රජය ගෙන එන ව්‍යවස්ථාව යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන බවය. මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මාලිමා ආණ්ඩුව යටතේ සකස් කරන නව ව්‍යවස්ථාව තව වසර තුනකට පසු ගෙන එන බවය. ඒ අනුව පළාත් සභා මැතිවරණය තවත් වසර තුනක් ගතවන තුරු නොපැවැත්වෙන බව ප්‍රකාශ වලින් පැහැදිලිය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් සියලු කටයුතු වලට පෙර පළාත් සභා මැතිවරණ පනතක් යළි ඉදිරිපත් කළ යුතුය. නැතිනම් සීමා නිර්ණය කටයුතු අත්හැර පැරණි ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මෙතෙක් තිබූ පළාත් සභා මැතිවරණ පනත පාර්ලිමේන්තුවේදී යළි සක්‍රීය කළ යුතුය. ඉකුත් පාර්ලිමේන්තුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. දැන් එහි වලංගුතාවයක් නැත. එබැවින් රජය මගින් ඉදිරිපත් කරන පනත් කෙටුම් පතකින් මිස පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකින් මෙය කළ නොහැක. පැරණි පනත නීතියක් ලෙස නැවත. බලාත්මක වීමට නම් එය පනතක් ලෙස නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් වනතුරු නොපැවැත්වෙන බවයි. මේ සූදානම පළාත් සභා මැතිවරණය අතුරුදහන් කිරීමට හෝ දින නියමයක් නොමැතිව කල් දැමීමට විය හැක. මේ වන විටත් පළාත් සභා විසුරුවා හැර මැතිවරණ නොපවත්වා මේ වන විට වසර හතක් ඉක්මවා ගොස් ඇත.
පළාත් සභා යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම නියම කළ බලය විමධ්‍යගත කිරීමේ පරිපාලන ඒකකයකි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මුවාවෙන් ව්‍යවස්ථාවේ ඇති බලය බෙදීමේ පරිපාලන ව්‍යුහයක් වාෂ්ප කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වන්නටද පුළුවන. එසේ වන්නට ද බැරි නැත.එබැවින් දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් ලැබුණු ව්‍යස්ථානුකූලව බලය විමධ්‍යගත කිරීමේ රටේ පළාත් නමයටම ලැබුණු මෙම පරිපාලන ව්‍යුහය නොසලකා හැරීම හෝ ස්වාභාවිකව මියයන්නට ඉඩදීම මෙය කල් ඇදීම පිටුපස ඇති අරමුණ වන්නට පුළුවන.
එබැවින් ජනතාවගේ ඡන්ද අයිතිය හා පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින්නන් හා බලය විමධ්‍යගත කිරීමට පක්ෂව එය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා මතධාරීන් ආණ්ඩුවේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් විමසිල්ලෙන් හා සීරුවෙන් සිටිය යුතු අවස්ථාවකි. මක්නිසාද එය ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යයට හිතකරවන බැවිනි.
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com
Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත් :
ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් දෙමළ පක්ෂ අතර එකඟතාවක්
'පළාත් සභා අහෝසි කිරීමේ තීරණයක් තවම නෑ' - ජනපති
දෙමළ ජනතාව OMP කාර්යාලය ප්‍රතික්ෂේප කරන බව ජනපති දැනගනී



