The Leader News
BREAKING
Top Ad
Opinion

අහන දෙයක් ඉදිරි දෙසතියේ අහන්න - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 16, 2024 • 5:55 AM

අහන දෙයක් ඉදිරි දෙසතියේ අහන්න - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතර කාලයේ, අවුරුදු 20 ට පෙර 2004 අප්‍රේල් මහ මැතිවරණයේදී මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලියූ කියූ කතා තවමත් වලංගු ය.
  • ජ.වි.පෙ මන්ත්‍රීවරුන් 39 ක් පාර්ලිමේන්තුවට පත් වූයේ ඒ මැතිවරණයෙන්ය.
  • නිදසුන වූයේ, 1970 මහ මැතිවරණය වෙනුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ශ්‍රී.ල.නි.ප සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාගත වීමය.
  • ‘70 මැතිවරණය වෙනුවෙන් හදා ගත් ඒ සභාගයෙහි ඉදිරි වැඩපිළිවෙල ඔවුහු 1968 දී බෝගම්බර පිටියේ පැවැත් වූ යෝධ රැස්වීමකදී ප්‍රසිද්ධ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතර කාලයේ, අවුරුදු 20 ට පෙර 2004 අප්‍රේල් මහ මැතිවරණයේදී මා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලියූ කියූ කතා තවමත් වලංගු ය.

 

akd cbk in 1994

අවුරුදු 20 ට පෙර 2004 අප්‍රේල් මහ මැතිවරණයෙන් මගේ කතාව ආරම්භ වන්නේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජ.වි.පෙ නිල වශයෙන් තරග කිරීමත් සමගය. ජ.වි.පෙ මන්ත්‍රීවරුන් 39 ක් පාර්ලිමේන්තුවට පත් වූයේ ඒ මැතිවරණයෙන්ය. ඒ හවුල ප්‍රතිපත්ති විරහිත, අවස්ථාවාදී, බල ලෝභී තීන්දුවක් යැයි මම දැඩි විවේචනයක් කළෙමි. සන්ධානගත විය යුත්තේ දේශපාලන වැඩසටහනක් මත යැයි මම කීවෙමි. නිදසුන වූයේ, 1970 මහ මැතිවරණය වෙනුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ශ්‍රී.ල.නි.ප සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාගත වීමය. ‘70 මැතිවරණය වෙනුවෙන් හදා ගත් ඒ සභාගයෙහි ඉදිරි වැඩපිළිවෙල ඔවුහු 1968 දී බෝගම්බර පිටියේ පැවැත් වූ යෝධ රැස්වීමකදී ප්‍රසිද්ධ කළහ.

පක්ෂවල සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීමක්

 

චන්ද්‍රිකා-ජ.වි.පෙ හවුලට විරුද්ධ වූ තැන් සිට මෙතෙක් අවුරුදු 20 ක් හැම මැතිවරණයකම මා දේශපාලන පක්ෂ වලින් සහ අපේක්ෂකයින්ගෙන් ඇසූ ප්‍රධාන හා මූලික ප්‍රශ්නය වූයේ ඔවුන්ගේ “ජාතික සංවර්ධන වැඩපිළිවෙල” කුමක්ද යන්න ය. සංවර්ධන වැඩපිළිවෙල යනු 1977 මැතිවරණයට එ.ජා.ප නායක ජයවර්ධන ඉදිරිපත් කළ “ධර්මිෂ්ඨ සමාජය” සඳහා වූ “ඇට අට” වැනි පොරොන්දු දුන් “මැතිවරණ ප්‍රකාශන” නොවේ යැයි මම කීවෙමි. පැහැදිලි සංයුක්ත දේශපාලන වැඩපිළිවෙලක් නොමැති ජනාධිපති අපේක්ෂකයින් හා පක්ෂ මගේ දැඩි විවේචන වලට හසු විනැයි කියන විට, හසු නොවුනු කිසිවකු නොසිටියේ යැයිද කිව යුතුය.

 

r5UeaxP 486x365
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2005 නොවැම්බර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මා හිතවත් මහින්ද රාජපක්ෂ මගේ දැඩි විවේචනයට හසු වූයේද වැඩපිළිවෙලක් නොමැති තොරොම්බල් කතා නිසාවෙනි. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර නොවැම්බර 13 වන දින “ඉරුදින” පුවත් පතට “මා මිත්‍ර මහින්ද” යැයි ඔහුට මගේ ඡන්දය නොදෙන හේතු දැක්වූයේද “ඔබ කෙතරම් අමනාප වූවත් ඔබට ඡන්දයදීම, මේ රටේ අනාගතය සාටකයෙන් එල්ලා මැරීමක් වැනි යැයි” කියා ය. එහෙත් 2005 නොවැම්බරයේ මා ඡන්දය නොදෙන්නේ යැයි කියූ මහින්ද රාජපක්ෂව, සුනාමි ආධාර මුදල් වංචා සම්බන්ධයෙන් බරපතල චෝදනා ඇති බවද දැන දැන රටේ ජනාධිපති කරවීමට ජ.වි.පෙ නොගත් මහන්සියක් නැතැයි, වසරකට හමාරකට පෙර ඉමහත් ආඩම්බරයෙන් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කීවේය. 

ඊළග 2010 ජනවාරි ජනාධිපතිවරණයට “රාජපක්ෂ විරෝධී” විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමේ සාකච්ඡා ආරම්භ වන විට එය සමාජ විරෝධී, අතිශය අනුවණ දේශපාලන තීන්දුවක් යැයි මම තර්ක කළෙමි. අපගේ පසුගාමි මාධ්‍ය සංස්කෘතියෙහි එවැනි ලිපි සඳහා ඉඩක් නොවුනු හෙයින් මා ඉංග්‍රීසියෙන් ලියූ ලිපි කිහිපයක් පළ කෙරුණේ ඩී.බී.එස් ජෙයරාජ් ගේ “ට්‍රාන්ස්කරන්ට්” බ්ලොග් අඩවියෙහි ය.

 

අහම්බයක වාසනාව නැති සරත් ෆොන්සේකා - (ගාමිණී වියන්ගොඩ)

මගේ අර්ථ දැක්වීම වූයේ, හමුදා නිලධාරීන් දේශපාලනයට ගෙන ඒම අනතුරුදායක යැයි යන්නය. විශේෂයෙන් ම්ලේච්ඡ යුද්ධයක අත්දැකීම් ලත් හමුදා නායකයෙකු සිවිල් අපේක්ෂකයෙකුට එරෙහිව විධායකයෙහි ඉහළම පුටුවෙහි අසුන් ගැන්වීමට ඡන්දය ඉල්ලීමෙන් රාජ්‍ය පාලනය හමුදාකරණය වන්නේ යැයිද එතැන් සිට රජයේ සියලු ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීමට එමගින් ඉඩ ලැබෙන්නේ යැයිද මම කීවෙමි.

එවගේම, ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකු පෙනී සිටින ජාතික සංවර්ධන සැළසුමක් තිබිය යුතු යැයි මම තර්ක කළෙමි. මේ ජනාධිපතිවරණයෙහි “යුධ ජයග්‍රහණයේ කීර්තිය” වෙනුවෙන් කළ තරගයක් මිස ජාතික සංවර්ධනය ගැන කිසිදු ඉඟියක් නොවූයෙන් “එවන් තත්ත්වයක් හමුවේ කිව හැක්කේ කවර ආකාරයේ සන්ධාන ගැසූවත් මේ දේශපාලන නායකයින් ගැන නම්, කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු බව පමණි. ඔවුන්ගෙන් රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන කිසිත් නැති හෙයිනි. එසේ නම් කළ යුත්තේ කුමක් දැයි යන්න ඊළග ප්‍රශ්නය වනු ඇත.” යැයි මම 2009 නොවැම්බර 08 වන දින “ලක්බිම” පුවත් පතට ලීවෙමි.

 

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)

අප කොටුවී ඉන්නා මහ නගර කේන්ද්‍රීය විවෘත වෙළඳපලකට සීමා වන මේ දූෂිත ආර්ථිකයෙහි වඩාත් භයානක සමාජ හැඩගැසීම වන්නේ අප අවට දිග හැරෙන ආත්මාර්ථකාමී, සදාචාරයක් විනයක් නොමැති සමාජ පැවැත්මය. එහි අතොරක් නැතිව සිදුවන කප්පම් ගැනීම්, කොන්තරාත් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා අපචාර, ළමුන්ට එරෙහිව මුදා හැරෙන කෲරත්වය හා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත් වීමය. උගතුන් විද්වතුන් හා විශේෂඳයින් මේ කිසිත් දකින්නේ නැත. ඔවුන්ගේ එකම මාතෘකාව බවට පත්ව ඇත්තේ මහා අර්බුදයකට හසු වූ මේ විවෘත වෙළඳපල නැවත ලාභ ගැරීමට හැකි පෙර තිබූ “යථා තත්ත්වයට” පත්කර ගැනීම ය.

මෙහි ආරම්භය ඇත්තේ උගත් දියුණු සමාජයක් යැයි සැළකෙන නාගරික මැදපංතිකයින් අතර හෝ “සංවර්ධනය” ගැන අර්ථ දැක්වීම් නොමැති වීමය. එනිසා ජාතික සංවර්ධන සැළසුමක් ගැන කතා කිරීමට පෙර මා “සංවර්ධනය” අර්ථ දැක්වූයේ “වත්මන් සමාජයේ පවතින සියලු ආර්ථික හා සමාජීය විෂමතා ක්‍රමානුකූලව අහෝසි කෙරෙන, ජීවත්වීමේ ගුණාත්මක තත්ත්වය වැඩි දියුණු කෙරෙන හා මූලික අවශ්‍යතා හා පහසුකම් සඳහා වන වියදම් පියවා ගෙන, ජීවිතයට සෞන්දර්යාත්මක සංස්කෘතික වින්දනයක්ද එකතු කරගත හැකි ආදායමක් ලබන්නාවූ සමාජ පලදායිතාවක් සහිත දියුණු ‘සංස්කෘතික මිනිසකු’ වර්ධනය කිරීම” යනුවෙනි.

“සංස්කෘතික මිනිසකු” යන්න අද තැන තැන යොදා ගනු ලබන්නේ, මා කතා කරන ජාතික සංවර්ධනයට කිසිදු සම්බන්ධයක් නොමැති සහ මේ විවෘත වෙළඳපලට කිසිදු අදාලත්වයක්ද නැති හිස් පසුබිමක ය. මා “සංස්කෘතික මිනිසකු” පිළිබඳව කතා කෙරුවේ මීට වසර 12 ට පමණ ඉහතින් ය. වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ යුතු ඉල්ලීම් වල “ආත්මය” විය යුත්තේ ඔවුන් අපේක්ෂා කරන දියුණු ශ්‍රමිකයා “සංස්කෘතික මිනිසකු” ලෙස තේරුම් ගැනීමෙන් යැයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සමග වූ කතිකාවක මම කීවෙමි.

 

yahapalanaya 2018
විවෘත වෙළඳපල ආර්ථිකයට විකල්පයක් ලෙස නිශ්චිත වශයෙන් “ජාතික සංවර්ධනය” ගැන මා කතා කරන්නට වූයේ, 2015 ජනවාරියේ පැවැත් වූ ජනාධිපතිවරණයට එ.ජා.පය ප්‍රධාන වූ විපක්ෂය නැවත “රාජපක්ෂ විරෝධී” පොදු අපේක්ෂකයෙකු සොයන්නට වූ විටය. පුද්ගලයින් නොව, මේ රටට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙලක් යැයි මා අවධාරණය කෙරුවේ, කොළඹ මැදපංතිකයින් “අවංක අපේක්ෂකයෙකු” සොයන විටය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පෙරටු කොට පොදු අපේක්ෂකයෙකු සොයන්නට සකසා ගනු ලැබූ ඉල්ලීම් කිහිපය මා විවේචනය කෙරුවේ, ඒවා දකුණේ බහුතරය ඉලක්ක කර ඉදිරිපත් කරන්නකට අමතරව, රටේ සංවර්ධනය ගැන පැහැදිලි කිසිවක් නොකියන්නේ යැයි කියා ය.

රාජපක්ෂ විරෝධී අපේක්ෂකයෙකු සමග 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් යහ පාලනයක් හැදීමට එ.ජා.ප සමග නැවත හවුල් වූ සියල්ලන්ට මා කියුවේ, “මැතිවරණ පවත්වා පුද්ගලයින් මාරුකර මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආවේනික දූෂණ, වංචා හා නාස්තියත් වර්ගවාදය හා ආගම්වාදයත් අහෝසි කළ නොහැක. ඒ වෙනුවෙන් දැන් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ප්‍රතිසංස්කරණ ඇතුළත් ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් තිබිය යුතුය. එය නියත වශයෙන්ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමද ආමන්ත්‍රණය කළ යුත්තකි. මැතිවරණයකට යා යුත්තේ එවැනි වගකීමක් අත ඇතිවය” කියා ය.

“හරි හරි. ඊට ඉස්සෙල්ලා රාජපක්ෂ අයින් කරලා ඉන්න ඕනෙ” යැයි කියූ කොළඹ මැදපංතික සමාජ ක්‍රියාකාරීන්, 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය යොදා ගෙන, කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් දේශපාලන සදාචාරයක් නොතකා, මන්ත්‍රීවරුන් 135 ක් පමණ වූ බහුතර බලයක් තිබූ දි.මු. ජයරත්න අගමැති වූ ආණ්ඩුව වෙනුවට විපක්ෂ මන්ත්‍රීවරුන් 45 ක් සමග වූ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වහා පත්කර ගැනීම, “දේදුනු විප්ලවය” යැයි ප්‍රීති ගෝසා කළහ. ඉන් දෙමසක් යන්නටත් කලියෙන් මහ බැංකු බැඳුම්කර වංචාව පෙබරවාරි 27 වන දින වාර්තා වූ විට, “රාජපක්ෂ අයින් කෙරුවට පස්සේ.... ඕවා මොනවද?” කියන්නාක් මෙන් නිහඬ වූහ.

 

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද? -ගාමිණී වියන්ගොඩ
“යහපාලන” ආණ්ඩුව කියන්නේ විහිළුවට යැයි වන තරමටත් එහා ගිය මහ පරිමාන දූෂණවල නියැලුණු ඇමතිවරුන් එහි සිටියහ. එහෙත් ජ.වි.පෙද හවුල්ව පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන ලොකුවට කතා නොකළ අනුර කුමාර හා ජ.වි.පෙ නායකයින් විශේෂයෙන් මැදිහත් වූයේ “රාජපක්ෂ දූෂණ” සෙවීමටය. ඒ අතර, 2016 ජුනි මාසය වන විට, අගමැති වික්‍රමසිංහ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ජා.මූ. අරමුදල සමග විස්තීරණ අරමුදලෙන් ණය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කළේය.

ඒ අතරතුර අපට අවශ්‍ය සමාජ-ආර්ථික සංවර්ධනය ගැන යම් අදහස් සමූහයක් මම විටින් විට පුවත් පත් මගින් සමාජගත කළෙමි. ඇතැම් විට, සමාජ සාකච්ඡා සඳහා යැයි විවිධ ප්‍රජා කණ්ඩායම් වෙත ලිපි යොමු කළෙමි. “කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය, සංවර්ධනයේ සුරතාන්තය” වැනි පොත් පිංචවල් ප්‍රකාශයට පත් කළෙමි.

 

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින්  පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස්
මා දිගින් දිගටම මතු කළ, විවෘත වෙළඳපල ආර්ථිකය සංවර්ධන ආකෘතියක් නොවේය සහ එය ආවේනිකව දූෂිත යැයි කියූ කතා පිළිගැනුමට නාගරික මධ්‍යම පංතිකයෝ එතෙකින්ද සූදානම් නොවූහ. ඒ වෙනකක් නිසා නොව, මේ ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකයෙහි ඔවුන්ටද අමතර ආදායම් මාර්ග නිර්මාණය වී ඇති අතර, ඔවුන්ද ඒ සමග සුව පහසු ජීවිත ගත කිරීමේ වරම් ලබා ඇති හෙයින් ය. එබැවින් ආර්ථිකය කඩා වැටුනට පසුවද මේ රටේ සංවර්ධනය ගැන ඔවුහු කතා නොකළහ. අර්බුද ගොඩ ගැසුණු මේ සමාජයෙහි එක දිගට 06 මසක පමණ කාලයක් මැතිවරණ මානසිකත්වයක බහුතරයක් සිටියත් සංවර්ධනය සම්බන්ධ වැදගත් සාකාච්ඡාවක් මතුකරගත නොහැකි විය.

එවැනි සාකච්ඡාවක් වෙනුවෙන් කෙටුම්පත් දෙකක් සමාජ මාධ්‍ය මෙවලම් හරහා මම බෙදා හැරියෙමි. පළමුවැන්න 2024 අප්‍රේල් 22 වන දින ජනාධිපතිවරණය සඳහා මගේ වැඩපිළිවෙල කෙටියෙන් යන කෙටුම්පත ය. දෙවැන්න, 2024 අගෝස්තු 17 වන දින, ඡන්දය දෙන්නට කලින් “ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාව” කවර ආකාරයේ ශ්‍රී ලංකාවක්දැයි සිතන්න යන කෙටුම්පත ය. එහෙත් ඒවාට නිකමට හෝ ප්‍රතිචාර දැක්වූවකු නොසිටියේය. වටයෙන් වටය රට අර්බුද වලට ගොදුරු වනවා බලමින් හෝ ඒවාට විසඳුම් ඇති සංවර්ධනයක් ගැන කතා කිරීමට උනන්දු වන පුරවැසියන් සොයා ගැනීමට අවුරුදු 20 ක මගේ උත්සාහයෙහි මට නොහැකි වුනි.

මෙය මෙතනින් නතර කළ යුතුය. තව දෙසතියකින් පමණ 2025 වසර උදාවන විට මේ සියලු සමාජ කතිකාවන්ගෙන් මා ඉවත් වෙනවා යැයිද එනිසා “මචං කුසල්, කුසල් මහත්තයා, කුසල් සර්” කියමින් “මේ ගැන අදහස මොකක්ද?” කියා අසන්නට මට කරදර නොකරන්න යැයි කීමට, මේ කරුණු කීවා හොඳටෝම ඇති යැයි සිතමි. එනිසා අසන්නට කිසිවක් තිබේ නම්, අවශ්‍ය අයෙකුට දෙසතියක කාලයක් ලබා දෙමින් මම නතර වෙමි.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 දෙසැම්බර 15 වන දින


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...