එයින් ලක්ෂයේ සිට - රු. 150,000 මාසික වැටුප් ලබන පිරිසට දැනෙන් වාසියක් ද, ඊටත් වැඩි අයට සහනයක් ලැබී ඇත. එය යහපත්ය.
IMF - ලංකා රජය අතර එකඟතාව අනුව PayE tax බද්දෙන් රු. බිලියන 160 ක් එකතු විය යුතුය. නමුත්, පුද්ගලික අංශයේ ඉහළ දායකත්වය නිසා මේ වන විට බදු ආදායම බිලියන 190 කි. බදු පීඩනය අඩු කිරිමට සීමාව ලක්ෂ 1.5 ට පහත දැමූ විට එකතු වන්නේ බිලියන 150 කි. එය ප්‍රමාණවත් ය.
ඡන්ද වේදිකාවේ ජාජබ පැවසූවේ, PayE tax අවම සීමාව ලක්ෂ 2 ක් කරන බවය. මේ ගැන කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් ලෙස එය සිදු කළ නොහැකි බව අප දැන සිටියෙමු. අඩු කළ හැකි උපරිමය එනම් ලක්ෂ 1.5 ට 2025 අප්‍රේල් සිට බලපැවැත්වීමට කැබිනට් පත්‍රිකා සකස් කළෙමු.

මේ තීරණයට එළැබෙන විට, රාජ්‍ය නිලධාරීහූ ඉහතින් අහිමි වන රු. බි. 10 සොයා ගන්නා ක්‍රමයක් ද (ඉතා නිවැරදිව) යෝජනා කළෝය. ඒ රැදවුම් බද්ද 5% - 10% දක්වා ඉහළ නැංවීමයි. දේශපාලන නායකත්වය මේ වැඩි කරන බද්දට එකඟ නොවීය. මන්ද, ඒ වන විටත් 15% ක් වූ ස්ථිර තැම්පතු පොලිය 8% දක්වා පහත වැටී ‘සතෙන් සතේ එකතු කර බැංකුවේ දැමූ’ අති විශාල පිරිසක් අසරණ වී සිටි නිසාය. (අද පොලිය තවත් පහතට වැටී ඇත.) දෙවනුව, එය අන්ත අසරණයාගේ ද ස්ථිර තැම්පතු ගිණුමකට බලපාන නිසාය.
බදු සංශෝධනයේ දී 5% ක් වූ රැඳවුම් බද්ද ‘Withholding tax’ 10% දක්වා වැඩි කර ඇත. සරළව ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදලට රු. ලක්ෂයක පොලියක් ලැබෙන්නේ යැයි සිතන්න. දැන් එයින් රජයට රු. පන්දහසක බද්දක් ලැබේ. හෙට, එය රු. 10,000 කි. (ලාභය දෙගුණයකි) රටේ බහුතරයක් ගිණුම්වලට ලැබෙන පොලිය රු. 20,000 ට අඩුය. දැන් ලංකාවේ බැංකු පොලිය ලෙස ගෙවන සෑම රුපියලකින්ම, ශත 10ක් දැන් රජයට ලැබේ.
මේක හරියට කුඹුරේ කුරුළු පාලුව වාගේය. දැනෙන්නේ නැත! තෙත බර අඩුවීම වාගේය. දැනේන්නේ නැත!! හැබැයි ‘බර අඩුවීම’ සත්‍යයි! ස්ථිරයි!! අත්දුටුයි!!!

ලංකාවේ වැටුප් ලබන පිරිස 4,640,000 කි. එයින් PayE tax ගෙවන්නේ 2.6% ක් තරම් සොච්චමක් හෙවත් 121,000 කි. බදු සංශෝධනය ඔවුන්ට වාසිය.
ලංකාවේ ඉතිරි කිරීමේ ගිණුම් එක් කෝටි පනස් ලක්ෂයකට වඩා වැඩිය. එයින් ක්‍රියාකාරී මට්ටමේ ගිණුම් අවම වශයෙන් ලක්ෂ 51 ක් ඇත. ඒ සියළුම හිමිකරුවන්ට කුමන හෝ පොලියක් හිමිවේ. රැඳවුම් බද්ද ඒ සියල්ලටමය.
සරළව, මේ දක්වා 121,000 ක ඉහළම මාසික ආදායමක් සහිත පිරිසකට ගැසූ බද්ධ අඩු වී හෝ නැති වී හෝ ඇත.
අනෙක් අතට, 5% ක රැදවුම් බද්දක් ගෙවන ලක්ෂ 61 කට ආසන්න පිරිසක්, මේ සංශෝධනය ක්‍රියාත්මක වන දින සිට 10% ක බද්දක් ගෙවන්නේය.
සමාජ ආර්ථික විද්‍යාවට අනුව, ‘ක්‍රියාකාරී සමාජ ආර්ථික බලය හිමි පහල මැද පන්තියට සෘජු බදු සහනයක් දී, සමාජයේ සියළුම ස්ථර ආවරණය වන පරිදි (සාපේක්ෂව දුප්පත් අති බහුතරයක් ද ඇතුළුව) බදු වැඩි කිරීමට ලක් කර ඇත.
එය සොච්චම් මුදලක් නිසා, දැනෙන්නේ නැත. අනෙක් අතට ඔවුන් වෘත්තීය සමිති නැති, වෘත්තීය සංවිධාන නැති හුදෙකලා පුරවැසියන් නිසා එයට විරෝධයක් එල්ල වන්නේ ද නැත. ලංකාවේ ස්ථිර තැම්පතු ඇති බහුතරය තමන් ජීවිත කාලයේම උපයා ගත් ධනය බැංකුවේ දමා එයින් ලැබෙන මුදලින් බෙහෙත් කෑම ගන්නා පිරිසකි. ඔවුන්ගෙන් සමාජ විරෝධයක් නැගෙන්නේම නැති තරම් ය.
බදුකරණයේ මුලික සිද්ධාන්තය ‘මල නොතලා රොන් ගැනීම’ යි. නව බදු සංශෝධනය ස්මාර්ට් වැඩකි!
පහත දැක්වෙන්නේ කැබිනට් අනුමැතිය ලැබුණු 2025 සිට ක්‍රියාත්මක කිරීමට අයි.එම්.එෆ්. එකඟතාව ලැබුණු කැබිනට් පත්‍රයයි. එහි රැඳවුම් බද්ද වැඩි කිරීමට කිසිදු යෝජනාවක් නැත. ඇත්තටම, නිලධාරීන් එය යෝජනා කළා. නමුත්, දේශපාලන අධිකාරිය එම යෝජනාව ඉවත් දැම්මා. අපි හදපු යෝජනා එලෙසම ක්‍රියාත්මකවීම සතුටක්. ජයවේවා!

| රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු විධායක අධ්‍යක්ෂ
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය)
rajith_tennakoon@yahoo.com



