ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවල, ඒ අමාත්‍යාංශය තමන් යටතේම තියාගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් තමන්ගේ කැපවීම සහ ඉදිරි දැක්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා.
පැහැදිලිවම ඒක දැවැන්ත අභියෝගයක්.
ඒ අභියෝගය භාරගන්න අනුර තරම් සුදුසු නායකයෙක් නැති බවත් ඇත්තයි.
කොහොම වුණත් 21 වෙනි සියවසට ගැලපෙන විදියට ලංකාවත් ඩිජිටල් ලෝකයට හැඩ ගැස්වීම බොහෝ අංශවලින් ගත්තම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්.
මම පහත සටහන් කරන්නේ මගේ අවධානයට ලක්වුණ ඒ වගේ අංශ කිහිපයක්.
1. සංකීර්ණ data පැකේජ
dialog සම්බන්ධතාව
ලංකාවේදී මම use කරන්නේ dialog සම්බන්ධතාව. ඇත්තටම ලංකාවේදී තරම් ඉතා සංකීර්ණ data පැකේජ් මම ලෝකේ වෙන කිසිම රටක දැකල නැහැ.
උදාහරණයක් විදියට රුසියාවේදී රූබල් 800කට විතර - ඒ කියන්නේ රුපියල් 2400කට විතර - මාසෙකට unlimited පැකේජ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ data විතරක් නෙවෙයි, දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ (SMS), අන්තර්ජාල සම්බන්ධය මේ සේරම ඒ පැකේජ් එකේ අන්ලිමිටඩ්. ඒ ජංගම දුරකථනවලට. රූබල් 1000 ක් (රුපියල් 3000ක්) විතර ගෙවුවම ගෙදරට WiFi පහසුකමත් ගන්න පුළුවන්. ඒකත් unlimited.
කිසිම සංකීර්ණ කමක් නෑ. හැම දේටම තියෙන්නේ එක පැකේජ් එකක්.
මම හිතන්නේ unlimited ඕනේ නැත්නම් තමන්ට කැමති විදියට අඩු මුදලකට පැකේජ් එකක් ගන්නත් පුළුවන්. (මම වැරදි නම් රුසියාවේ ඉන්න ඔබට පුළුවන් මාව නිවැරදි කරන්න)
බ්‍රිතාන්‍යයෙදි නම් අපි බොහෝ වෙලාවට data package එක ගන්නේ අලුත් දුරකථනයක් ගන්න වෙලාවෙම. එතකොට මාසෙකට ටිකක් වැඩි මුදලක් වියදම් වෙනවා විශේෂයෙන්ම දුරකතනයේ මිලත් බොහෝ විට මාසිකව ගෙවන නිසා.
එහෙම නැත්නම් smart phone එක නැතුව තමන්ට කැමති data පැකේජ් එකක් දුරකතන සමාගම එක්ක කතාකරලා ලබාගන්න පුළුවන්.
ලංකාවේ වගේ යූටියුබ් එකට එකක්, instagram එකට එකක්, අන්තර්ජාලය වෙනුවෙන් තව පැකේජ් එකක්, වීඩියෝවලට තව එකක් වගේ වෙන වෙනම පැකේජ දාල වැඩේ සංකීර්ණ කරලා නැහැ
ඒ හැම පැකේජ් එකක්ම හරි සරලයි. ලංකාවේ වගේ යූටියුබ් එකට එකක්, instagram එකට එකක්, අන්තර්ජාලය වෙනුවෙන් තව පැකේජ් එකක්, වීඩියෝවලට තව එකක් වගේ වෙන වෙනම පැකේජ දාල වැඩේ සංකීර්ණ කරලා නැහැ. මාසෙකට මුදලක් ගෙවුවම ලැබෙන පැකේජය ඒ data ඉවර වෙනතුරු තමන්ට කැමති විදියකට පාවිච්චි කරන්න පුළුවන්.
ලංකාවේ service providers ල මේ විදියට data package සංකීර්ණ කිරීම නිසා ඇත්තටම සිද්දවෙන්නේ පාරිභෝගිකය ගසා කෑමක්. ඒ ගසා කෑම නවත්තල පහසු මිලකට වගේම පහසුවෙන් භාවිතාකරන්න හැකි ආකාරයට data ලබාදීම ඩිජිටල් ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්.
ජනාධිපතිතුමාගේ වත්මන් ඩිජිටල් කටයුතු පිළිබඳ උපදේශකතුමා dialog සමාගමේ හිටපු ප්‍රධානියෙක් නිසා මේ සංකීර්ණ තත්වය වෙනස් කරන්න ඔහුට පහසුවෙන් හැකිවේවි කියල මම විශ්වාස කරනවා.
2. ඉබි ගමනින් වැඩ කරන බැංකු
තිඹිරිගස්යායේ මහජන බැංකුවේ ස්ථාවර ගිණුමක් (fixed deposit) ආරම්භ කෙරුව.
මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සන්නිවේදන උපදේශක විදියට සේවය කරපු කාලේ තිඹිරිගස්යායේ මහජන බැංකුවේ ස්ථාවර ගිණුමක් (fixed deposit) ආරම්භ කෙරුව.
ලඟදි මට ඒ ගිණුම වහල දාන්න අවශ්‍ය වුණා. ඒත් දැන් මම ඉන්නේ තිඹිරිගස්යායෙන් ටිකක් ඈත පළාතක.
අලි මදිවට හරක් කිවුව වගේ ගිණුම වහන්න හදනකොට තමයි මම දැනගත්තේ ගිණුම ආරම්භ කරනකොට දීපු certificate එක අතේ නැත්නම් වැඩේ ටිකක් අමාරුයි කියල.
ඉස්සෙල්ලම තිඹිරිගස්යායේ branch එකට ගිහිල්ල පෝරම කොළ තොගයක් අරගෙන එන්න ඕනේ. ඊට පස්සේ සමාදාන විනිශ්චකාර තුමෙක් හමුවෙලා දිවුරුම් පෙත්සමක් අත්සන් කරගෙන එන්න ඕනේ.
එතනින් වැඩේ නවතින්නෙත් නැහැ.
ඊට පස්සේ බැංකුව අර සමාදාන විනිශ්චයකාර තුමාට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් යවනවා ඔබ මෙහෙම දිවුරුම් පෙත්සමක් අත්සන් කළාද කියල අහල. ඒකට පිළිතුරක් ආවට පස්සේ තමයි ගිණුම වහන්න අවසර ලැබෙන්නේ.
බ්‍රිතාන්‍යයේ නම් මේ වැඩේ කරන්න ඕන වෙන්නේ බැංකුවේ app එක download කරගන්න එක විතරයි
බ්‍රිතාන්‍යයේ නම් මේ වැඩේ කරන්න ඕන වෙන්නේ බැංකුවේ app එක download කරගන්න එක විතරයි. ලංකාවේ නම් සති ගාණක් යන වැඩේ බ්‍රිතාන්‍යයෙදි පැය බාගෙකින් ඉවරයි.
හදිසියෙවත් app එකෙන් වැඩේ කරගන්න බැරි නම් බැංකුවට කෝල් එකක් දීල වැඩේ කරගන්න පුළුවන්. කෝල් එක දෙන කෙනාගෙ අනන්‍යතාව පරීක්ෂා කරන්න ඔවුන්ට ක්‍රම සහ විධි තියෙනව.
තවමත් ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් ලොකු දියුණුවක් ලබල නැති බව ඇත්ත. ඒත් මගේ ප්‍රශ්නය, account එක open කළේ තිඹිරිගස්යායේ branch එකේ කියල ඇයි මම තිඹිරිගස්යාය ශාඛාවටම යන්න ඕන? ඇයි මගේ ගිණුමට අදාළ ගණුදෙනුවක් මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් කරගන්න බැරි? එහෙම වුණා නම් කාලයත්, මුදලුත් කොයි තරම් ඉතිරි වෙනවද?
දෙවෙනි ප්‍රශ්නය, ස්ථිර ගිණුමක් ආරම්භ කළාම certificate එකක් දීල වැඩේ මේ තරම් සංකීර්ණ කරන්නේ ඇයි? ඇයි සාමාන්‍ය ගිණුමක් වගේ මේ ගිණුමත් app එකෙන්ම ගණුදෙනු කරන විදියට හදන්න බැරි?
ඒ වගේම තමයි මේ form පිරවිල්ලත් අපි ඩිජිටල් ක්‍රමයටම හදාගන්න ඕනේ. විශේෂයෙන්ම පොලිසිය වගේ තැන්වල.

බැංකු ගැන කියද්දී මට තවත් දෙයක් මතක් වුණා. ඩොලර් ටිකක් ගන්න හරි විකුනන්න හරි ගියාම ලංකාවේ බැංකු තවමත් passport එක ඉල්ලනවා. හැබැයි එලියට බැස්සම ඕනෑම money exchange එකකින් කිසි කරදරයක් නැතුව විදේශ විනිමය හුවමාරු කරගන්න පුළුවන්.
මේ වගේ යල් පැන ගිය දේවල් වෙනස්විය යුතු නැද්ද?
ඇත්ත. අතීතයට වඩා බොහෝ දේ වෙනස් වෙමින් තියෙනව.
නමුත් බැංකුවල වගේම රාජ්‍ය ආයතනවලත් බොහෝ කටයුතු ඉක්මනින් ඩිජිටල් කළොත් ඒක රටේ ආර්ථිකයට දැවැන්ත ඉදිරි පිම්මක් වේවි.
මේ මට හිතෙන හැටි.
ඔබට හිතෙන විදියත් සටහන් කරන්න.

(සටහන | සරෝජ් පතිරණ)
[බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
දෙසැම්බර් 27, 2024



