The Leader News
BREAKING
Top Ad
Opinion

කුණු බේරෙන සැමන් ගැසට් එක | රජිත් කීර්ති තෙන්නකෝ

T

The Leader Desk

December 29, 2024 • 6:13 PM

කුණු බේරෙන සැමන් ගැසට් එක | රජිත් කීර්ති තෙන්නකෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ.
  • මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු කර්මාන්තය නිසාය.
  • මුලික වශයෙන් චීන, චිලී, තායිලන්ත සහ තවත් රටවල් 9 කින් සැමන් (ටින් මාළු) ලංකාවට ආනයනය කරේ.
  • ටින් මාළු බද්ද වසරේ කාර්තුවෙන් කාර්තුවට වෙනස් කර, 1.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු කර්මාන්තය නිසාය.

මුලික වශයෙන් චීන, චිලී, තායිලන්ත සහ තවත් රටවල් 9 කින් සැමන් (ටින් මාළු) ලංකාවට ආනයනය කරේ. මේ අතර තත්වයෙන් ඉතා උසස් වර්ග (ඉරාන) ද, කිසිදු ප්‍රමිතියක් නොමැති වර්ග (තායිලන්ත) ද වේ.

ටින් මාළු බද්ද වසරේ කාර්තුවෙන් කාර්තුවට වෙනස් කර,

1. උසස් තත්වයේ ටින් මාලු පමණක් ආනයන කිරීම
2. දේශීය කර්මාන්ත රැක ගැනීම
3. සැමන් බෝල්ලු/ලින්නා අස්වැන්න ටින් කර කල් තබා ගැනීම
4. රට මැදට සහ කල් තබා ගැනීමේ දුෂ්කරතා ඇති පුද්ගලයින්ට මාළු පෝෂණය සැපයේ.

ටින් මාළු මිල තීරණය කිරීමේ වෙළඳපොල සාධක 13 කි. ජාතික වශයෙන් ව්‍යාපාර ආරක්ෂා කිරීම, උපරිම මාළු අස්වැන්න නෙලා ගැනීම, තත්ව පාලනය, පාරිභෝගික අවශ්‍යතා සැපයීම යන වගකීම් ධීවර දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය, වෙළඳ අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන 9 ක වගකීමකි.

2024 ඔක්තෝබර් වන විට මෙරට ටින් මාලු නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයෙන් 95% කි. සංචාරක හෝටල්, විශේෂීත ආහාර සඳහා සුපිරි ටින් මාළු හැර ආනයනික අවශ්‍යතාව සොච්චමකි. ඉහළම සෙස් බද්දකට යටත් කර දේශීය අවශ්‍යතාව, දේශීයව සපයා ගැනීම පසුගිය වසර 8ක්ම මෙරට නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියයි.

මම ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන විට හාල්, මිරිස්, ලූණු, ටින් මාළු වැනි මේ පිළිබඳ අවසන් තාක්ෂණික තීරණය ගනු ලැබූවේ ‘ආහාර ප්‍රතිපත්ති කමිටු’ නිර්දේශය මත ‘කැබිනට් මණ්ඩලයයි.  දැනට දැනගන්නට ඇති ආකරය සැමන් ගැසට් එක ධීවර හා වෙළඳ අමාත්‍යාංශ වැඩකි.

ආණ්ඩුවේ සැමන් ගැසට් එක

ආණ්ඩුවේ ටින් මාළු ගැසට් එක නිකුත් කරනවිට ටින් එකක් රු. 350 ක මිලකට අලෙවි වන වර්ග ද විය. ආනයනික තත්වයෙන් බාල (රේගුව හරහා හොරන් පන්නන ලද ප්‍රමිතියෙන් තොර ටින් ද) පවතින්නට ඇත. කිලෝවට රු. 200 ක සෙස් බද්දක් ගෙවා ගෙනෙන විදේශ සැමන් ටින් එකක් රු. 380 ට පාරිභෝගිකයාට යන්නට නම් තොග මිල රු. 330 ක් විය යුතුය. නිෂ්පාදනයේ තත්වය එයින් හිතාගත හැකිය.

ලංකාවේ සහ විදේශයන් හි නිෂ්පාදනය කරන මාළු ටින් වර්ග (ශුද්ධ බර සහ දියර රහිත බර අනුව) 30 කට වැඩි ය. මාළු වර්ග 16 ක් යැයි මම අසා ඇත.  (වැරදි නම් නිවැරදි කරන්න). දැන් එයින් තෝරාගත් වර්ග 4 කට පාලන මිලක් නියම කර ඇත. වර්ග 30 කින් 4 කට පාලන මිලක් දමා පාරිභෝගික සෙත සලසන්නේ කෙසේ ද?

ටින් මාළු ගැසට් එකේ දූෂිත අරමුණක් නිශ්චිතවම ඇත

ලින්නා ට වඩා ටූනා මිල වැඩි බව කඩේ ගිහින් සිහි බුද්ධියෙන් මාළු ගන්නා ඕනෑම අයෙකු දනී. ගැසට්ටුවේ ලින්නා ටින් එක රු. 560 වන විට ටූනා රු. 380 කි.  ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ලින්නා සහ සැමන් බෝල්ලු ය. චීනය, තායිලන්තය ඇතුළු රටවලින් කුණු සැමන් එන්නේම ටූනා ලේබලය යටතේ ය. මේ ගැසට් එක ක්‍රියාත්මක වන්නේ නම්, පිටින් ගේන කුණු ටූනා ටින් (රු. 200 ක සෙස් බද්දක් ද ගෙවා) රු. 380 කට විකුණන විට, ලංකාවේ හදන ප්‍රමිතියක් සහිත ලින්නා/බෝල්ලු ටින් මාළු (18% ක වැට් බද්දකට ද යටත්ය)  රු. 560 ට නිල වශයෙන් මිල වැඩි වන්නේය.

ලංකාවේ තත්වයෙන් ඉහළම ටින් කළ මාළු වර්ගය (අපනයනය කරන) කෙළවල්ලා විශේෂයක් වන (ටූනා) ය. එහි නිෂ්පාදන විදයම රු. 460 කි. එය දැන් රු. 380 ට සිල්ලර විකිණිය යුතුය.  කර්මාන්ත ශාලාවෙන් රු. 300 ය (රු. 160 ක පාඩුවටක) දිය යුතුය.  මේ ගානට දෙන්න නම් අලගොඩුවාගෙන් සැමන් හැදිය යුතුය.

චීන/තායිලන්න කුණු සැමන් මිලට වඩා, ගැසට් මගින් දේශීය සැමන් මිල වැඩි කළ විට දේශීය කර්මාන්තය වැනසී යන්නේය.

මේ ගැසට් එක ක්‍රීයාත්මක වන්නේ නම් ලංකාවේ ටින් මාළු කර්මාන්තය මාස තුනෙන් විනාශ වන්නේය. සති තුනක් තිබුණොත් පිටකොටුවේ ටින් මාළු ආනයනකරුවන් අවුරුද්දකට අවශ්‍ය ටින් මාළු රටට ගෙන්වන්නේය (ආනයන සෙස් බදු වැඩි නොකරන බවට වන උපකල්පනයට යටත්ය).

මේ ගැසට් එක ප්‍රායෝගික ද?

පිටත අසුරුමේ පමණක් බර සඳහන් වන ආකාරයට ටින් මාළු (ශුද්ධ බර හා දියර රහිත බර අනුව) වර්ග 30 ක් හෝ එයට වැඩිය. ගැසට් එක වලංගු වන්නේ ශුද්ධ බර ග්රූම් 425 සහ දියර රහිත බර ග්‍රෑම් 280 අදාල වර්ග 3 ගනිමු. දියර රහිත බර ග්‍රෑම් 275 හෝ 285 වන විට මේ මිල පාලන ගැසට් එක බලාත්මක නැත.

එසේම ග්‍රෑම් 155/105 ඛාණ්ඩයට ද, දියර රහිත බර 105 නොව ග්‍රෑම් 5 ක් අඩු හෝ වැඩි කළ විට මේ ගැසට් එක බලපාන්නේ නැත. මේ ගැසට් එකෙන් රිංගා ලංකාවේ ටින් මාළු සමාගම් සියල්ලටම ද, ආනයනික සැමන් අලෙවිකරුවන් සියල්ලටම ද සිය නිෂ්පාදන දැන් කැමති මිලකට අලෙවි කිරීමේ නිත්‍යානුකුල භාවය ලැබී ඇත.

දත්ත සහ ඇත්ත

ටින් මාළු ආනයනයට වසරකට යූරෝ මිලියන 80 ක් ලංකාව වැය කරයි. 2024 දී සෙස් බද්ද රු. 300 ට ද, 2025 දී බද්ද රු. 450 ට ද වැඩි කිරීමට සැලසුම් කර ඇත. එවිට රටට පැමිණෙන්නේ සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය උසස්ම තත්වයේ ටින් මාළු පමණී. රටේ අවශ්‍යතාවය රට තුල දැනටමත් නිෂ්පාදනය වේ. මේ බව ධීවර අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය වෙත ලිඛිතව මේ වන විටත් දැනුම් දී ඇත.

ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වසර දෙකකට ආසන්න කාලයේ අත්දැකීම හැර, ටින් මාළු කර්මාන්තය හා සැපයුම් ජාලය ගැන විශේෂඥ දැනුමක් නැත. නමුත්, මෙවැනි ගැසට්ටුවක සැඟවුණු න්‍යාය පත්‍රය අවබෝධ කර ගැනීමට පහත ප්‍රශ්න ඇසුරේ හැකියාව ඇත.

* ටින් මාළු මිල කාටවත් හාල්, පොල්, පොත් ලැයිස්තුව, ඉන්ධන, වෑන් ගාස්තුව මෙන් දැවෙන හෝ දැනෙන ප්‍රශ්නයක් නොවේ. ටින් මාළු මිල වෙළඳපොල සාධකයන්නට පිටින් බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවශ්‍ය කාටද?

* ගැසට් පත්‍රයේ නිර්ණායක (උදා ශුද්ධ ග්‍රෑම් බර, දියර රහිත බර) ම පවතින කුණු සැමන් තොගයක් විකුණාගත නොහැකිව පවතින්නේ ද?

* අමාරුවෙන් පවත්වාගෙන යන, ලංකාවේ ලින්නා/බෝල්ලු වාරයේ දී අතිරික්ත නිෂ්පාදනයට මිලක් ගෙවන, ධීවරයා රකින ටින් මාළු කර්මාන්ත ශාලා 16 විනාශ කිරීමට අවශ්‍ය ද?  

* ලංකා ටූනා ටින් මාළු නිෂ්පාදනය වියදමට වඩා අඩුවෙන්, ටින් මාළු විකුණන්නට අවශ්‍ය ඇයි? ටූනා ටින් මාලු නිෂ්පාදනය නැවැත්වීම (තායිලන්ත?) කාගේ අවශ්‍යතාවයද?  

* ලේබල් මුද්‍රණ ශිල්පීන්, හිස් කෑන් නිෂ්පාදකයන්, ලුණු සැපයුම්කරුවන්, පෙට්ටි ඇසුරුම්කරුවන් අලෙවිකරුවන් ලෙස සැපයුම් ජාලයට විනාශවීමේ ඇස්තමේන්තු ගත විනාශය කොපමණද?

* අස්වැන්න වැඩි කාලයේ අතිරික්තයට සිදුවන්නේ කුමක්ද? මිල පහත වැටුණු පසුව රැකියා අහිමි වන ධීවරයින්ට කන්න - අදින්නට දෙන්න භාණ්ඩාගාරයට කොපමණ වැය වන්නේ ද?  

(කාංචන තෙල් තියරියට අනුව) ඇත්තටම කාගේ හෝ සාක්කුවකට කුට්ටියක් යනවාද?

ධීවර ප්‍රජාවේ සංකේතීය කුල නියෝජනය සහිත අග්‍රාමාත්‍යතුමිය, ධීවර ඇමති මෙයට පිළිතුරු දිය යුතුය.

2023 උත්සව සමය ඉලක්ක කර සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා දෙගුණයක් (ප්‍රමිතියෙන් අඩු) ටින් මාළු රටට ගෙන්වා අධික ලාභයක් ලැබීමට දැරූ උත්සාහය වැලැක්විණි.  (2023 දී රු. බිලියන 6 ක ටින් මාළු රටට ආනයනය කර ඇත.) 2024 ජනවාරි සැමන් ආනයනය තහනම් කළේ ධීවරයා රැක ගැනීමටය.  

බද්ද වැඩි කරනු මිස අඩු නොකළ යුතු යැයි යන මතය එදා ජයගත්තේය. අද බද්ද එසේමය. එක්කෝ සෙස් බද්ද රු. 450 කර ධීවරයා හා සැපයුම් ජාල රැකියා ලක්ෂ 6 ක් පමණ රැකගත යුතුය. නැතිනම්, 2024 ජනවාරි මෙන් ටින් මාළු ආනයනය තහනම් කළ යුතුය.  

කුණු සැමන් මිල රු. 350 සිට 380 ට වැඩි කර ඇත.  දේශීය ලින්නා රු. 560 ට උස්සා ඇත. මෙහි වාසිය මාළු අල්ලන දකුණේ කරාව ජනයාට නොවේ. උතුරේ කව්රවයින්ට ද නොවේ. නැගෙනහිර මුසල්මානුවන්ට ද නොවේ. පාරිභෝගිකයාට ද නොවේ. පිටකොටුවේ ආනයන බිස්නස් එක දුවන පිරිසටය.

මාළු මිල ගැසට් ගසා පාලනය කළ නොහැකිය. ධීවරයා, ධීවර ව්‍යාපාරිකයින් ප්‍රමුඛ සැපයුම් ජාලය රැකිය යුතුය. අල, ළුණු බදු ගසා ගොවියා රකිනා සේ ප්‍රායෝගික වැඩකින් ධීවරයා ද, ටින් මාළු කර්මාන්තය ද රැකිය යුතුය.

Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...