The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා දමයන්ති

T

The Leader Desk

January 3, 2025 • 9:48 AM

ආණ්ඩුව රාජ්‍ය සේවයට කරන්න හදන්නේ ඔපරේෂන් එකක් ද? එම්බාම් එකක් ද? | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව රටේ විධායක සහ පාර්ලිමේන්තු බලය සිය`තට ගත් ජාතික ජන බලවේග නායකයන් ගේ අලුත් කතා ගැන එදා ඔවුන් කෙරෙහි අසීමිත භක්තියක් හා සෙනෙහසක් දැක් වූ රාජ්‍ය සේවකයන් කෙසේ සිතනු ඇත්දැයි යන්න ගැටළුවකි.
  • නමුත් මා නම් පෞද්ගලිකව සිතනුයේ පෙම්වතා පෙම්වතිය කාලේ කී කතා දුන් පොරොන්දු විවාහයෙන් පසු සැමියා ගෙන් හෝ බිරිඳගෙන් බලාපොරොත්තු නොවිය යුතුය යන්න අප රටේ බුද්ධිමත් රාජ්‍ය සේවකයන් බහුතර දන්නා හා විශ්වාස කරන බවකි.
  • ජනතාව මෙවර දේශපාලන සුනාමියක් ගෙනා බවත් ඔවුන්ගේ ඊළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව බවත් කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.
  • ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බංකොලොත් රට ගොඩනැඟීමට ජනතාව සිය ඡන්දය භාවිත කළා සේම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ද ඊට අවශ්‍ය සහාය ලබා නොදුනහොත් එම ජනතාව ඔවුන්ට එරෙහිව ද නැඟී සිටිනු ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය සේවකයන් ගේ අහිමි වූ අභිමානය යළි ස්ථාපිත කොට ඔවුන් ගේ වෘත්තීය තත්වයන් ප්‍රවර්ධනය කරන බවත් කිසිසේත්ම රාජ්‍ය සේවය පෞද්ගලීකරණය නම් දංගෙඩිය වෙත නොගෙනියන බවත් එදා ජාතික ජන බලවේග නායක කාරකාදීන් කළ කතා රාජ්‍ය සේවකයන් ගේ කණට මී පැණි මෙන් වූ බව මෙවර ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ තැපැල් ඡන්ද ප්‍රතිඵල මඟින් මනාව සනාථ වේ.

ඒ අනුව රටේ විධායක සහ පාර්ලිමේන්තු බලය සිය`තට ගත් ජාතික ජන බලවේග නායකයන් ගේ අලුත් කතා ගැන එදා ඔවුන් කෙරෙහි අසීමිත භක්තියක් හා සෙනෙහසක් දැක් වූ රාජ්‍ය සේවකයන් කෙසේ සිතනු ඇත්දැයි යන්න ගැටළුවකි. නමුත් මා නම් පෞද්ගලිකව සිතනුයේ පෙම්වතා පෙම්වතිය කාලේ කී කතා දුන් පොරොන්දු විවාහයෙන් පසු සැමියා ගෙන් හෝ බිරිඳගෙන් බලාපොරොත්තු නොවිය යුතුය යන්න අප රටේ බුද්ධිමත් රාජ්‍ය සේවකයන් බහුතර දන්නා හා විශ්වාස කරන බවකි.

ජනතාව මෙවර දේශපාලන සුනාමියක් ගෙනා බවත් ඔවුන්ගේ ඊළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව බවත් කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පසුගිය දා කළ අනතුරු ඇඟවීම ඒ සඳහා වන කදිම සාක්ෂියකි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බංකොලොත් රට ගොඩනැඟීමට ජනතාව සිය ඡන්දය භාවිත කළා සේම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ද ඊට අවශ්‍ය සහාය ලබා නොදුනහොත් එම ජනතාව ඔවුන්ට එරෙහිව ද නැඟී සිටිනු ඇති බවකි.

 



එබැවින් වගකිව යුතු රජයේ ඉහළ නිලධාරීන් තුළ තම රාජකාරිය මෙන් ම ඔවුන්ගේ වගකීම හා වගවීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ද ඔහු කීය. දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැඟීම පමණක් රටේ දියුණුවට හා අදූෂිත රාජ්‍යයක් ගොඩනැඟීමට ප්‍රමාණවත් නොවන අතර ඊට රාජ්‍ය සේවයේ ද කැපකිරීම, අවංකභාවය හා ඉහළ දායකත්වයක් අවශ්‍ය බව ද ඇමතිවරයා පැවසීය. 

මීට පෙර සමාජගතව තිබුණේ රටේ ඉහළ පුටුවේ සිට දේශපාලනයට සම්බන්ධ මහජන නියෝජිතයන් රාජ්‍ය දේපළ, සම්පත් මෙන්ම මහජන ධනය කොල්ල කෑ දූෂිතයන් වුවත් එකී වංචා දූෂණ හා අක්‍රමිකතාවලට රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ද සැලකිය යුතු පිරිසක් හවුල් බව අවධාරණය කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේග ජනපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවල කිසිදා නොකී නැවුම් කුළුඳුල් ප්‍රකාශයක් ලෙසිනි.

නමුත් ඇමති වරයා ගේ මේ අලුත් කතාව බොරුවක් ද නොවේ. එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල කාර්යයන් පසුගිය කාලවකවානුව පුරාම ඉතා විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති සේම ඒවා නඩත්තු කිරීමට ද විශාල මුදලක් වැය වී ඇති බව ද ඇමති වරයා කීය. රට ගොඩනැඟීම, ආයතන ශක්තිමත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා දේශපාලන අධිකාරියේ නායකත්වය ලබාදීමට මහජන නියෝජිතයන් ලෙස ඊට අවශ්‍ය වන යටිතල පහසුකම් සම්පාදනය කරදීමටත් ඊට අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමටත් හැකි නමුත් එය ක්‍රියාත්මක කළ යුත්තේ කවුරු විසින් ද යන්න නිලධාරීන් අවබෝධ කරගත යුතු බව ද කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසීය.

ජනතාවගේ අරමුණ කුමක්දැයි අනුර කුමාර පැහැදිලි කරයි

 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ද පසුගිය දා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් සම්බන්ධ වූ සමුළුවක දී පැවැසුවේ රාජ්‍ය සේවය අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණය විය යුතු බවයි. ඉන් රාජ්‍ය සේවය ලඝු කිරීමක් අදහස් නොකරන බව ද ඔහු පවසා තිබේ. 

තත්වය මෙසේ තිබිය දී කොළඹ පැවැති වැඩසටහනට එක්වෙමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට පවා දැන් ආණ්ඩුවට සිදුව ඇති බවකි.

''දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අපට අද අපිට මුදල් අමාත්‍යාංශය එක රණ්ඩු කරන්නත් වෙලා තියෙනවා. බදු ප්‍රතිපත්ති ගැන රණ්ඩු කරන්න වෙලා තියෙනවා. දැන් මේ දේ අවංකවම කියන්න ඕන ඇත්ත කතා කරන්න ඕන. අපි ආණ්ඩු බලය ගන්න කලින් අපිට එළියෙ මාර සටනක් තිබුණා. නාස්තියට දූෂණයට වංචාවට එරෙහිව. දැන් අපි ආණ්ඩුවෙ ඇතුලට ඇවිල්ල ඉන්නව. එතකොට ඔබ දන්නව අපිට දැන් අරගලය කාත් එක්ක ද තියෙන්නෙ කියල.

 

අපට දැන් අරගලය තියෙන්නෙ අර පහුගිය ආණ්ඩු වල පරණ පුරුදු විදියට වැඩ කරපු තීන්දු තීරණ ගත්තු ජනතාවට සහන දෙන්න නොදී කටයුතු කරපු ජනතාවට අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කටයුතු කරපු නිලධාරීන් එක්ක. දැන් ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොකක්ද? පරණ පුරුදු විදියට වැඩකරපු එකෙන් අයින් වෙන්න බැරි කම. ඔවුන් අලුත් ආණ්ඩුවේ ජනවරමේ තරම තේරුම් ගන්නෙත් නෑ. ජනවරමේ ස්වභාවය තේරුම් ගන්නෙත් නෑ. 

 
මේ අනුර සහෝදරයට ලැබිල තියෙන ජනවරම ලැබිල තියෙන්නෙ ඔවුන් පහුගිය ආණ්ඩුත් එක්ක වැඩකරන කොට අනුගමනය කරපු ප්‍රතිපත්ති වලට විරුද්ධව කියල තාම ඒ නිලධාරීන්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ඔවුන් දැනටත් අපිත් එක්ක හැපෙනව තර්ක කරනව රණ්ඩු කරනවා. අද අපිට මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙනව අපි මේ ඇත්ත කියන්නෙ. බදු ප්‍රතිපත්තිත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ. දැන් අපි ඒ අභියෝගය බාර ගන්න ලෑස්තියි.
 
මේ ඊයේ පෙරේදා අමාත්‍යංශය එක්ක කතා කළා. නිලධාරීන් එක්ක කතා කළා මේ දේශීය නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගන්න පුංචි වෙනස්කම් ටිකක් කරල දෙන්න කියල. ඔවුන් ලෑස්ති නෑ වෙනස් වෙන්න. අපි කොහොම හරි මේක ජයග්‍රහණය කරනවා. වෙනස් වෙන්න බැරි මිනිස්සුන්ට දැන් වෙනස් වෙන්න කාලය ඇවිල්ල තියෙනව ඔවුන් වෙනස් වෙන්න ලෑස්ති නැත්නම් ඔවුන්ව වෙනස් කරගෙන මේ ගමන අපි යන්න ඕන” 
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනතුරු ඇඟවීම් නොතකා රජයේ සේවකයන් වැඩට කැඳවයි
හඳුන්නෙත්ති අමාත්‍ය වරයාගේ ඉහත සඳහන් ප්‍රකාශය සම්බන්ධයෙන් නිලධාරී පාර්ශවයේ ඇතැමුන් පවසනුයේ දේශපාලන අධිකාරියෙන් ලැබෙන උපදෙස් හා නියෝග කෙසේ වෙතත් තමන්ට ඒ සියළු කටයුතු කළ හැක්කේ තමන් ගේ රාජකාරී වපසරිය තුළ පමණක් බව ය.
 
ඒ හැරුණු කොට කලින් කලට බලයට පත්වන ආණ්ඩුවල හා එක් එක් දේශපාලනඥයාගේ අභිමතය අනුව රාජකාරී කිරීමට යාමෙන් යළි ගොඩ නඟා ගත නොහැකි ලෙස මුළු රාජ්‍ය සේවා යාන්ත්‍රණයම බිඳ වැටිය හැකි බැවින් දේශපාලනඥයන් ව්‍යවස්ථාදායකය වෙත යොමු කොට විසඳා ගත යුතු ගැටලු අර්බුදු ඉක්මනටත් පහසුවටත් රාජ්‍ය සේවා අර්බුද නිලධාරීන් වෙත යොමු කිරීම කෙසේවත් නොකළ යුත්තක් බව ද රාජ්‍ය සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු කිහිප දෙනෙක්ම කීහ.
 
නමුත් මෙහි යථාර්ථය ඉස්මතු කර ගැනීම පිණිස මෙම කරුණ තවදුරටත් ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ. 

මේ අතර රජයේ මෙම ක්‍රියා මාර්ග යහපත් අභිලාෂයක් පෙරදැරි වූවක් බවත් රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පසුගිය දාක ප්‍රකාශ කොට තිබේ. 
 


අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවකි. ”රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට රජයෙන් විශාල මුදලක් වියදම් කරනවා. ඒ නිසා මහජනතාවට උපරිම සේවයක් ලබාදීමට රාජ්‍ය සේවය කළමනාකරණය කරනවා. රාජ්‍ය සේවය බර වැඩියි කියන්නේ රාජ්‍ය සේවකයන් ඉවත් කරනවා කියන එක නෙවෙයි” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය -(නීතිඥ චන්ද්‍රසිරි  සෙනෙවිරත්න)
ඒ කෙසේ හෝ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීමේ ආණ්ඩුව තුළ පවත්නා අභිලාෂය බෙහෙවින් සාධනීය වූවක් බව මේ වන විට එහි අලස, අකර්මන්‍ය බව වටහාගෙන ඇති ඕනෑම කෙනෙකු පිළිගනු ඇත. එහෙත්, එය කළ යුතු අත්තනෝමතික සීමාවෙන් ඔබ්බට ගිය විධිමත් ආකාරයක් ද තිබේ. ”ඒත් රාජ්‍ය සේවය මරන්නෙ නෑ කියපු ආණ්ඩුව රාජ්‍ය සේවය නොමරා එම්බාම් කළත් අන්තිම ප්‍රතිඵලය එකයි. ඒ හින්දා දැන් රාජ්‍ය සේවයට කරන්න තියෙන්නෙ ඔපරේෂන් එකක් මිසක් එම්බාම් එකක් නෙවෙයි කියලා ආණ්ඩුව තේරුම් ගැනීමත් හරිම වැදගත්” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙක් කීය.

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි ලිපි :

ඇමති හඳුන්ගේ කතාව රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීයමයභාවය අවතක්සේරු කිරීමක් | චරිත හේරත්

'ඇතැම් රාජ්‍ය සේවකයින් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව තියනවා' - ඇමති හඳුන්නෙත්ති

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ට ලාල්කාන්තගෙන් රතු එළියක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...