විශේෂණ සමග හඳුන්වාදුන් ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස මෙහෙයවන්නාවූ ජාතික ජන බලවේගය නැතිනම් “මාලිමා” ආණ්ඩුව, දෙමසක් (නොවැම්බර 18 සිට) යන්නටත් කලියෙන් පිට පොට පටලවා ගෙන ඇතැයි වන කතා සමග, මේ රටේ වාමාංශික දේශපාලනය ගැන අලුත් අවධානයක් තිබේදැයි සැකයකි.
එහෙත් මේ පවතින සමාජ-ආර්ථික කුණුවීම් සඳහා සාර්ථක විසඳුම් බලාපොරොත්තුවෙන් ජනතාව පත්කර ගත් මාලිමා ආණ්ඩුවද කියූ තරම්, සිතූ තරම් සුන්දර නොවන්නේ යැයි දැන් කතා වන හෙයින් “විකල්පයක” අවශ්‍යතාවක් තවමත් ඉතිරිව ඇතැයි මම සිතමි.

අවම තරමින් නිදහසින් පසු වසර 75 ක මේ රටේ ඉතිහාසය හෝ නිවැරදිව කියවාගත නොහැකියැයි ප්‍රදර්ශනය කරමින් වර්තමාන තරුණ පරම්පරාව මේ සියලු අර්බුද, බිඳ වැටීම් සඳහා රට කාබාසීනියා කළේ යැයි චෝදනා කරන්නේ පරණ පරම්පරාවට ය. එහෙත් මෙතැන් සිට ඉදිරියට යන්නේ කෙසේදැයි පැහැදිලිව කීමට ඔවුන්ටද අදහසක් සැළසුමක් නැත.
ඒ අතර මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සුවපහසු සරුසාර ජීවිත ගත කරන නාගරික මැදපංතියෙහි ඇතැමුන් කියන්නේ මේ රටේ අර්බුද වලට වගකිව යුත්තේ වාමාංශිකයින් යැයි කියා ය.
මේ සමාජයේ අශීලාචාර, අශිෂ්ඨ දාමරික පැවැත්ම ගැන කිසිදු අවධානයක් යොමු නොකරන, බැංකු ගිණුම් ගැන පමණක් අවධානය යොමු කරන මේ නාගරික මැද පංතිකයින් කතා කරන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමක් ගැන පමණය. ඔවුන් ගොඩ යෑම යැයි කියන්නේ නැවත විවෘත වෙළඳපල ආර්ථිකය “යථා තත්ත්වයට” පත් කිරීමය. ඔවුන්ගේ “යථා තත්ත්වය” මේ යෝධ විනාශය කැන්දන් ආ, 2021 තෙක් පැවති විවෘත ආර්ථිකය වන්නේය.
මේ විවෘත වෙළඳපල ආර්ථිකය ගැන මීට ඉහතින් කිහිප වර මා ලියා කියා ඇත. එය “හඩු” ජාවාරම්කාරයින්ගේ නාගරික වෙළඳපලක් යැයි කීමේ කිසි අවුලක් මට නොවුනි. එය නිතැතින්ම හා නිසැකයෙන්ම දූෂිත යැයි කීමේ අවුලක්ද නොවුනි. එය උග්‍ර මහජාතිවාදයෙන් යැපෙන්නක් යැයිද මම කීවෙමි.
එවගේම මීට අවුරුදු 46 ට පෙර 1978 සිට ජනාධිපති ජයවර්ධන ක්‍රියාත්මක කළ මේ විවෘත වෙළඳපල ආර්ථිකය, “සමාජ සංවර්ධන” ආකෘතියක් නොවන, “සහමුලින් අසාර්ථක වූවක්” යැයි ඔප්පුවී ඇතැයිද මා සටහන් කර තිබෙන්නකි.

“සමාජ සාධාරණත්වය” අගයන සංවර්ධනයක් සම්බන්ධ අර්ථකතනයක් මෙවැනි විවෘත වෙළඳපල ආර්ථික සතුව නැත. වඩාත්ම බරපතල කාරණාව නම්, මෙවැනි විවෘත වෙළඳපල ආර්ථිකයන්හි ආචාර ධර්ම, සදාචාරය, සමාජ හර පද්ධතීන් සහ මානව ගරුත්වය සඳහා කිසිදු ඉඩක් හා පිළිගැනීමක් නොවීම ය.
එබැවින් මෙහි මා මතු කරන ප්‍රශ්නය වන්නේ, “ශිෂ්ට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දියුණු සංවර්ධනයක් සඳහා විකල්පයක් ඉදිරිපත් කිරීමට වාමාංශික දේශපාලනයට නොහැකිද?” යන්න ය. අවාසනාව නම්, වාමාංශික විකල්පයක් ඉදිරිපත් කිරීමට, වාමාංශික දේශපාලනය යනු කවරක්දැයි තේරුම්කර ගැනීමට ඇති අපහසුව ය.
ඒ සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසුව වන ගෝලීය ඉතිහාසය පුරා කඩිනම් සවාරියක් යා යුතු වන්නේය.

“වාමාංශික” දේශපාලනය පොදුවේ පිළිගැනෙන්නේ “කම්කරු පංති ලැදි” දේශපාලනයක් ලෙසින් ය. එනිසා වාමාංශික දේශපාලනය ධනේශ්වර විරෝධී යැයිද සැළකේ. ඇතැම්විට එහි මාක්ස්වාදී ආලේපනද ඇත. එවැනි දේශපාලනයකට “වාමාංශික” ලේබලය ලැබුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් යැයි කියනු ලැබේ.
පළමු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙහි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය විපක්ෂය වූ විට, ඔවුන්ට අසුන් පනවනු ලැබ ඇත්තේ කතානායක ගේ වම් පසින් ය. ඔවුන් ගැන සඳහන් කිරීමේදී කතානායක “මගේ වම් පස මන්ත්‍රීවරුන්” යැයි කියනු ලැබ ඇත. ජනප්‍රිය දේශපාලනයෙහි කම්කරු පංතියට සහාය දක්වන, සමාජ සුභ සාධනය අගය කරන හා සාමාන්‍යයෙන් ධනේශ්වර විරෝධී පෙනුමක් ඇති දේශපාලන පක්ෂ “වමේ පක්ෂ” යැයි හැඳින්වීමේ සම්මතය හැදුණේ ඒ අනුව යැයි කියනු ලැබේ.
දෙවන ලෝක යුද්ධය සමග සෝවියට් කඳවුරෙන් බැහැර මේ දේශපාලන “වම” පැහැදිලි බෙදුමකට ලක් විය. එයට පළමු පදනම වැටුනේ 1938 දී එතෙක් “තෙවන ජාත්‍යන්තරය” ලෙස හඳුන්වනු ලැබූ කොමියුනිස්ට් හා මාක්ස්වාදී පක්ෂ එකතුවූ සංවිධානය, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ගේ අධිකාරවාදී ජාතිකවාදී දේශපාලනයට එරෙහිව ලියෝන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් දෙබෑ වීමෙන් ය. ඔවුහු “සතර වන ජාත්‍යන්තරය” නමින් ප්‍රකාශයට පත් වූහ. ඒ සමග සෝවියට් දේශයට ලැදි කොමියුනිස්ට් පක්ෂ වලට සීමා වුනු තෙවන ජාත්‍යන්තරය ප්‍රසිද්ධ වූයේ “කොමින්ටනය” ලෙසින් ය.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මනිය වසරකට පසු 1939 දී, පෝලන්තය ආක්‍රමණය කළ විට, ඊට එරෙහිව ප්‍රංශය හා බ්රිතාන්‍ය හිට්ලර්ගේ ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය ඇරඹින. හිට්ලර්ගේ නට්සි ව්‍යාප්තවාදය වෙනුවෙන් 1942 අගෝස්තුවේදී ඔහු සෝවියට් දේශය ආක්‍රමණය කිරීම අසාර්ථක විය. එහෙත් ඔහු බරපතල තර්ජනයක් ලෙස සැළකූ ස්ටාලින්, අනතුරුව ජර්මනියට හා ජපානයට එරෙහිව, මිත්‍ර සන්ධානයේ නායකයින් වූ ඇමෙරිකාව හා බ්රිතාන්‍ය සමග සෘජුව හවුල් විය.
ඒ සමග, කොමින්ටනයේ වූ කො.ප වලට ලෝක විප්ලවය හා කම්කරු පංති වගකීම් සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ ස්ථාවර වනස් කරමින් කිසිදු රහක් නැති සංශෝධිත දේශපාලන ස්ථාවර ගැනීමට සිදු විය. අනෙක් පැත්තෙන් ලෝක යුද්ධය සඳහා එවැනි සන්ධානයකට යාම ප්‍රතික්ෂේප කළ කොමියුනිස්ට් හා වාමාංශික පක්ෂ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් වූ සතරවන ජාත්‍යන්තරය හා අනන්‍ය වූහ.
ඒ දේශපාලන බෙදීම ලංකාවටද ආවකි. 1940 දී දොස්තර වික්‍රමසිංහ, එම්.ජී. මැන්දිස් සහ පීට කේනමන් විසින් දෙවන ලෝක යුද්ධයේ සෝවියට දේශය හවුල්වූ මිත්‍ර සන්ධානයට සහාය පළ කළ යුතු යැයි සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කළහ. ඊට එරෙහිව, ඇන්.ඇම්, කොල්වින්, ලෙස්ලි, එඩ්මන්, ඩොරික්, ඔස්මන්ඩ්, හෙන්රි පීරිස් ඇතුළු බහුතරය විරුද්ධ වූයෙන්, සෝවියට් දේශයට සහාය දීමේ යෝජනාව සමග සිටි ප්‍රමුඛයින් කිහිප දෙන සමසමාජ පක්ෂයෙන් නෙරපනු ලැබිණ.
ලෝක යුද්ධයෙහි හිට්ලර්ගේ නට්සිවාදයට එරෙහිව කවර සන්ධාන හැදුනත් ඒවා අවසන් වශයෙන් ලෝක වෙළඳපල බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී යුද්ධ යැයි වූ ට්‍රොට්ස්කිගේ ස්ථාවරය සමසමාජ පක්ෂයේද ස්ථාවරය විය. දොස්තර වික්‍රමසිංහ ගේ කණ්ඩායම පළමුව එක්සත් සමාජවාදී පක්ෂය නමින් පෙනී සිට, 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස්කර ගත්හ.
පශ්චාත් යුධ ලෝකයේ කොමින්ටනයවත් එයට සම්බන්ධව සිටි කොමියුනිස්ට් පක්ෂවත් දිග හැරෙන නව ලෝක සන්දර්භය කියවා තේරුම් ගැනීමට මහන්සි නොවූහ. ඔවුන්ගේ උපාමාර්ගය වූයේ දේශීය කොමියුනිස්ට් පක්ෂ සමග හෝ කොමියුනිස්ට් පක්ෂ හවුල්වන සෝවියට් ලැදි ආණ්ඩු පිහිටුවා ගැනීම ය.
| ලියොන් ට්‍රොට්ස්කි
පශ්චාත් යුධ නව ලෝකය කියවා ගැනීම දැකිය හැකි වූයේ ට්‍රොට්ස්කිවාදී දේශපාලනයෙහි ය. එහි අභාග්‍ය වූයේ ඔවුන්ගේ කියවීම් සතු ආරම්භය තිබූයේ දෙවන ලෝක යුද්ධයෙහි ධනේශ්වරය දුර්වල කෙරෙන, කම්කරු පංතිය ප්‍රමුඛ විප්ලවවාදී ව්‍යාපාර සඳහා වාසිදායක පරිසරයක් හැදෙන්නේ යැයි ට්‍රොට්ස්කි ගේ පුරෝකතන වැරදුනු පසුබිමක වීමෙහිය. දෙවන ලෝක යුද්ධයේ පල විපාක තම වාසියට හසුරුවා ගැනීමේ හැකියාව බටහිර බලවත් රාජ්‍යයන් සතුව ඉතිරිව තිබිණ.
දෙවන ලෝක යුද්ධයට පිටුපසින් ක්ෂණිකව සමාජ පරිහරණයට නොපැමිණි සමාජීය හා සංස්කෘතික වර්ධනයන් යුධ වැදුණු ප්‍රධාන රටවල ඇති වූ බව කිසිදු මාක්ස්වාදී සංවාදයක නොතිබුණකි. එනිසාම එවැනි සාධක පශ්චාත් යුධ ලෝකයට බලපෑ හැකි ආකාරය ලිහා බැලීමට හා නිවැරදිව තේරුම් ගැනීමට හැකි මාක්ස්වාදී කණ්ඩායමක් හෝ ප්‍රවණතාවක් නොවුනි.
පශ්චාත් යුධ ලෝකයේ නිදහස් කෙරුණු යටත් විජිත ප්‍රජාතන්ත්‍රීකරණය, යුධ තාක්ෂණ පදනම් වූ දැවැන්ත විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ හා වර්ධන හේතුවෙන් එතෙක් මානව පරිනාමයෙහි නොවුනු “දියුණු ජීවන තත්ත්වයක්” සඳහාවූ අවකාශය ගැන කෙරුණු සඳහන් කිරීම් ට්‍රොට්ස්කි ඉතිරි කළ න්‍යායික දායකත්වයෙහිද නොවුනි. එවගේම ජාතීන්ගේ එකමුතුව ලෙස පැවති හවුල, 1945 දී එක්සත් ජාතීන් ලෙස අලුත්වීම ගැන වැදගත් අවධානයක් නොවුනි.
ලෝක ආර්ථිකය ඇමෙරිකානු ඩොලරය සමගින් නැවත ගොඩ දැමීමේ “මාෂල් සැළැස්ම” සහ “බ්‍රෙටන්වුඩ් ගිවිසුම” සම්බන්ධ සතරවන ජාත්‍යන්තරයේ කණ්ඩායම් අතර වැදගත් ගැඹුරු සංවාදයක් නොවුනි. එනිසා නැවත ඇති වන්නාවූ ගෝලීය ධනේශ්වර වර්ධනයක් ගැන ඔවුන්ටද නිවැරදි පැහැදිලි අවබෝධයක් නොවුනි.
දෙවන ලෝක යුද්ධයෙන් දසක 03 ට පසු 1975 දී ලෝක ආර්ථිකය පිළිබඳ දීර්ග ගැඹුරු මාක්ස්වාදී විවරණයක් රැගත් පළමු ප්‍රකාශය පළ වූයේ බෙල්ජියානු මාක්ස්වාදී ආර්ථික විශේෂඥයෙකු වූ සහ සතරවන ජාත්‍යන්තරයේ ලේකම් මණ්ඩලයේ ක්‍රියාධරයෙකු වූ අර්නස්ට් මැන්ඩෙල් විසින් රචිත “Late Capitalism” (පශ්චාත් ධනේශ්වරය) කෘතිය ලෙසින්ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු මාක්ස්වාදී න්‍යායික මැදිහත්වීම් සම්බන්ධ පිළිගැනුමක් ඇති එකම විද්වත් චරිතය වන්නේද අර්නස්ට් මැන්ඩෙල් ය.

එම කෘතියෙන් මැන්ඩෙල් කියුවේ භූගෝලීය දේශ සීමා නොතකන බහුජාතික සමාගම් වේගවත් ධනේශ්වර වර්ධනයකට හේතුවන බවය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වරය ඔහු හැඳින්වූයේ “පශ්චාත් ධනේශ්වරය” වශයෙනි. ඒ වර්ධනයෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස ඔහු දුටුවේ අසම්මත, නිෂ්පාදන පලදායිතාවන් නොමැති ක්ෂේත්‍ර සඳහාවන විශාල ආයෝජනය.
ඔහුගේ ගණන් හැදීම වූයේ එවැනි වර්ධනයක් මගින් ලෝක ධනේශ්වර ක්‍රමයට ඔරොත්තු දිය නොහැකි ධනේශ්වරයක් ‘70 දසකයේ දෙවන භාගය වන විට නිර්මාණය වනු ඇතැයි යන්න ය. එයම ධනේශ්වර අර්බුදයකට හේතු විය හැකි බවය. මැන්ඩෙල් සිතු අයුරු අපි ලෝක ධනේශ්වර අර්බුද ගණනාවකට මුහුණු දුනිමු. ලෝක ඛනිජ තෙල් අර්බුදයකට අපි මුහුණ දුනිමු.
ලතින් ඇමෙරිකාවේ සිට නැගෙනහිර ආසියාව දක්වා වූ කලාපීය අර්බුද වලින් පසු 2008 දී ගෝලීය ආර්ථික අවපාතයට අපි හසු වුනෙමු. අනතුරුව කොරෝනා වසංගතය විසින් භූගෝලීය දේශ සීමා වසා දමා ගෝලීය වෙළඳපල විසිරුවා හරිමින් තවත් අර්බුදයක් නිර්මාණය කළේ ය. මගේ ප්‍රශ්නය වන්නේ මේ අර්බුද සම්බන්ධ “වාම” කියවීමක් නොමැත්තේ ඇයිද යන්න ය.
ගෝලීය “පශ්චාත් ධනේශ්වරයට” ඒ අර්බුද හරහා ගමන් යාමට හැකි වූ ප්‍රධානම කාරණය වූයේ, “සෝවියට් පන්නයේ සමාජවාදය” දියුණු ධනේශ්වර රටවල සංවිධිත කම්කරු පංතියට ආකර්ශනයක් නොවීම ය. මානව හිමිකම් ප්‍රඥප්තිය සමග බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් මත වූ නිදහස විසින් බටහිර ලෝකයේ කම්කරුවන්ට ලබා දී තිබූ ජීවන තත්ත්වය, සෝවියට් සමාජවාදයෙහි නිලධරවාදී පක්ෂ අධිකාරයක් සමග වූ මර්දනකාරී රාජ්‍ය සමග සැසඳිය නොහැකිවූ දියුණුවක් වූ නිසාවෙනි.
අව වර්ධිත රටවල කැරලිකරුවන් විසින් රාජ්‍ය බලය ඩැහැගත් පසු ඔවුන් “විකල්ප බලයක්” ලෙස පෙනී සිටියේ සෝවියට් පන්නයේ සමාජවාදයක් සමග ය. පශ්චාත් යුධ ධනේශ්වර ලෝකයේ දිළිඳු ගැරහුණු ආර්ථික සමග වූ චීනය, වියට්නාමය, කියුබාව, කම්පුචියාව, නිකරගුවාව වැනි රටවල් එලෙස පෙනී සිටීමේදී, ඔවුන්ගේ දේශවිමුක්ති අරගල සඳහා සමාජවාදී ප්‍රකාශ යොදා ගත්හ.
දූෂිත, මර්දනකාරී රාජ්‍ය පාලන වලට එරෙහි සන්නද්ධ කැරළි යුක්තිසහගත කෙරුණද, නිකරගුවාවේ හැර එවැනි අනෙක් රටවල බටහිර දියුණු ධනේශ්වර රටවලට වඩා පොහොසත් සංස්කෘතික ජීවිතයකට හේතුවන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තහවුරු කළ නොහැකිව ඇත. නිකරගුවාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය විසින් නැවත බලයට පත් කෙරුණු සාම්ප්‍රදායික දේශපාලනයට, නව ලිබරල් වෙළඳ ආර්ථිකයක් හැර වෙනත් සමාජ සංවර්ධන සැළසුමක් නොවූයෙන් ඔවුන් නතර වූයේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සමගින් ය.
අද චීනය ගැන කතා කරන්නට සිදුව ඇත්තේ දුප්පත්කම වගා කළ මාඕ සෙඩොං ගේ මර්දනකාරී “කොමියුනිස්ට් පාලනය” අත හැර දමා, ඩෙං සියාඕපිං විසින් 1978 දී ලොවට විවෘත කළ චීන නව ලිබරල් ආර්ථිකයෙහි ඇති සුවිශේෂත්වය ගැනය.

පළමුව කිව යුත්තේ වත්මන් චීන පාලනය, ආර්ථික සාධාරණත්වයක් හා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය පාලනයක් නොවන බවය. ඩෙං සියාඕපිං ගේ වෙළඳපල ආර්ථිකය සාර්ථක වූයේ ඔහු රාජ්‍ය බලය ගෝබචොෆ් මෙන් අත නොහැරි හෙයින්ය. ඔහු විසින් රාජ්‍ය බලය හා තීන්දු ගැනීමේ අයිතිය ඉතා දැඩිව චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සීමාකර ගනිමින් ආර්ථිකය පමණක් විවෘත කළේය.
ගෝලීය වෙළඳපල ගනුදෙනු සියල්ල සඳහා ඔවුහු චීන රජයේ හිමිකාරිත්වය ඇති, ලාභ ඉපැයීම සඳහාවන ව්‍යාපාරික සමාගම් හැදූහ. ඒවා ඇත්තටම චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් සතු සමාගම් ය. ඇමෙරිකාවට පසු වැඩිම ඩොලර් බිලියනාධිපතීන් චීනයේ බිහිව ඇත්තේ එබැවින්ය. පසුගිය 2024 දී ඇමෙරිකාවේ ඩොලර් බිලියනාධිපතීන් 813 ක් වන විට චීනයේ 406 ක් විය. ඊට අවුරුදු 10 ට පෙර 2014 දී චීනයේ වූයේ ඩොලර් බිලියනාධිපතීන් 152 ක් පමණි.
වියට්නාමයද චීන ආකෘතිය අනුකරණය කළ අතර, සෝවියට් රුසියාව අනුකරණය කළ නැගෙනහිර යුරෝපීය රටවල් 80 දසකය වනවිට සමාජ ආර්ථික අර්බුද වලට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් නොමැතිව බරපතල සිවිල් ගැටුම් වලට ගොදුරු විය.
පෝලන්තයේ වරාය කම්කරුවන්ගෙන් ආරම්භ වූ “සොලිඩානොෂ්” සහයෝගිතා ව්‍යාපාරය දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලෙස වර්ධනය විය. ප්‍රාග් නුවර ශිෂ්‍යයින්ගේ “විල්ලුද ව්‍යාපාරය” අවසානයේදී චෙකොස්ලෝවෙකියාව 1989 දී කැබලි කිරිමට හේතු විය.

ගෝබචොෆ් සෝවියට් දේශය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා ක්‍රියාත්මක කළ “ග්ලස්නොස්ට් සහ පෙරෙස්ත්‍රොයිකා” ප්‍රචණ්ඩ අරාජිකත්වයකට හේතු වූ අතර, 1991 දෙසැම්බරයේ දී සෝවියට් දේශය ස්වාධීන රටවල් 15 ට කැබලි විය. ඒ සමග සෝවියට් දේශයේ නියාමනයට යටත්ව තිබූ සියලු නැගෙනහිර යුරෝපීය රටවල් බිඳ වැටින. ඒ බෙදීම්, කැබලිවීම් අස්සේ දෙවන ලෝක යුද්ධයේ කෙළවර ජර්මනිය දෙබෑ කළ බර්ලින් තාප්පය 1989 නොවැම්බර 09 වන දින බිඳ දමා ජර්මනිය නැවත එක්සත් කරනු ලැබිණ.
නැවතත් මට බරපතල ප්‍රශ්නයක් වන්නේ, ධනේශ්වර විරෝධී යැයි “සමාජවාදී” කලාපයක් ලෙස හංවඩු ගැසුණු කලාපයේ මේ සා විශාල දේශපාලන පෙරැළියක් සිදුවනු බලා සිටි වාමාංශිකයින් ඒ ගැන කතා වූවේ මොනවාදැයි සොයා ගැනීමේ අසීරුව ය. මැන්ඩෙල්ගෙන් පසු මාක්ස්වාදී යැයි හඳුන්වා ගනු ලබන කාණ්ඩ විසින් හෝ වාමාංශිකයින් යැයි කියා ගන්නාවුන්ගෙන් හෝ එවැනි වැදගත් මැදිහත්වීම් කිසිත් හමු නොවුනි. ඒ වනවිට “වාමාංශික” දේශපාලනය ලෙස හමු වූයේ වෘත්තීය සමිති සමග කිසියම් සම්බන්ධයක් නඩත්තු කරගත් ධනේශ්වර විරෝධී සරළ වාග් මාලා යොදා ගත් මැයි දිනයේදී රතු කමිසයක් තොප්පියක් පැළඳ ගන්නා පිරිස් ය.
ඒ දේශපාලන පරිනාමය තුල වාමාංශික දේශපාලනයෙහි දියුණු බුද්ධිමත් සම්පත්වල දරුණු කාදනයක් සිදුව ඇත. සමස්ථ ලෝක අධ්‍යාපනයෙහි සියලු තොරතුරු, දැනුම, තර්ක, පරිකල්පන හැඩ කෙරෙන්නේ නව ලිබරල් ගෝලීය වෙළඳපල පවත්වා ගැනීම වෙනුවෙන් වන හෙයින්, ඉන් බැහැරව විකල්ප සමාජීය අධ්‍යාපනයක් පවත්වා ගැනීමට වාමාංශික කාණ්ඩ අසමත්වීම හේතුවෙන් වාම දේශපාලනය “බුද්ධිමය දිළිඳුකමින්” පෙළෙන්නේය.

එවැනි තත්ත්වයක, වාමාංශික දේශපාලනයේ බොඳවීම කොතෙක් දැයි කිවහොත් ලාංකීය වාම දේශපාලනයේ ප්‍රධානින් වශයෙන් සැළකෙන්නේ සිංහල-බෞද්ධ අධිපති මතවාදයෙහි තවමත් රැඳී ඉන්නා ජ.වි.පෙ ය. සෑම ආකාරයකම වර්ගවාදයකට හෝ ආගම්වාදයකට විරුද්ධ නොවන දේශපාලනයක් මාක්ස්වාදී නොව, සාමාන්‍ය වාමාංශික දේශපාලනයක් හෝ නොවන්නකි.
මැද මාවතටද වඩා “දකුණේ” ඉන්නා වර්තමාන “වාමාංශය” සමග අලුත් විකල්ප කතා කළ නොහැක. වර්තමානයේ “ජාතික සංවර්ධනය” ගැන වැදගත් සංවාදයක් කිරීමට තරම් බුද්ධිමය ඉතිරියක් “වමේ” නැත. ඒ සංවාදය අද ගත යුත්තේ ස්වාධීන, නව්‍ය බුද්ධිමය කව තුල ය.
ඒ සඳහා නැවුම් අදහස් සහ සංකල්ප ගත යුත්තේ නව ලිබරල් ආර්ථිකය දේශපාලනිකව අභියෝග කරන්නාවූ ස්වාධීන බුද්ධිමතුන් වන තොමස් පිකෙටි, කේට් රේවත්, පෝල් මේසන් වැන්නවුන් ඇසුරෙනි. එවැන්නක හෝඩුවාවක් හෝ මෙසිරිලක තවම දකින්නටවත් නැත.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජනවාරි 07



