මෙහිලා තවත් විශේෂ ලක්ෂණයක් වූයේ මේ පොත් අතර වැදගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක් ද ඇතුළත් වී තිබීම යි. ඒ අතර, හර්ශන රඹුක්වැල්ල විසින් ඉංග්‍රීසියෙන් රචිත ශාස්ත්‍රීය සංග්‍රහය, 'අව්‍යාජත්වයේ දේශපාලනය හා අලංකාරිත්වය' නමින් පරිවර්තනයක් ලෙස, තරුපති මුණසිංහ විසින් රචිත 'ශබ්ද මානව වංශවේදය' හා ඉශංක මල්සිරි විසින් රචිත 'කෙත හා පින්කෙත' යන පොත් ගැන සටහන් කිරීම වැදගත් යී සිතමි.
තරුපති මුණසිංහ විසින් රචිත 'ශබ්ද මානව වංශවේදය' හා ඉශංක මල්සිරි විසින් රචිත 'කෙත හා පින්කෙත'
වසරක් ගෙවී නව වසරක් උදාවන මෙවැනි සංක්‍රාන්ති කාලයක මෙවැනි බරසාර ශාස්ත්‍රීය පොතපත ප්‍රකාශයට පත් කිරීම හා ඒවා අරභයා දොරට වැඩුම් සංවිධානය කිරීම යම් සම්ප්‍රදායක් ද කියා මම නොදනිමි. ඒ තතු කෙසේ වෙතත්, මේ සංක්‍රාන්ති සති කිහිපය තුළ මාගේ විශේෂ අවධානය යොමු වූයේ ඉහත පොත් අතර වෙනස් තේමාවක පොතක වූ තරුපති මුණසිංහගේ 'ශබ්ද මානව වංශවේදය' හෙවත් ඇන්ත්‍රපොලොජි ඔෆ් සවුන්ඩ් වෙත ය.
තරුපති මුණසිංහ
අදාල ක්ෂේත්‍රයේ දිගු කලෙක කළ පර්යේෂණ මත පදනම් වූ මානව වංශවේදය විෂය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් 2023 වසරේ උපයා ගෙන ඇති මුණසිංහ, මීට පෙර ද මේ හා සම්බන්ධ තේමාවන් ඔස්සේ ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක් ම පළ කොට ඇත.
මුණසිංහගේ නවත ම ග්‍රන්ථය වැදගත් වන්නේ මානව වංශවේදී අධ්‍යනවල බොහෝ පර්යේෂකයන් විසින් බහුල ව ස්පර්ශ නොකරන මානයක් වන 'ශබ්දය' තම අධ්‍යයන කේන්ද්‍රය ලෙස ගෙන ඒම යි.

බොහෝ විට ජනප්‍රිය තලයේ අධ්‍යයනවල සංගීතය හා නාද රටා අධ්‍යයනය කළත්, මුණසිංහගේ කෘතියෙන් ශබ්දය ඊට වඩා පුළුල් වපසරියක පිහිටුවාලයි. මානව සංජානන මානයන්ගෙන් තවෙකක් වන දෘශ්‍ය මානය, හෙවත් අපගේ ඇසට පෙනෙන දේට වඩා ශබ්ද මානයේ මූලාශ්‍ර, සංඝටක හා ගතිකයන් වෙනස් ය. මේවායේ ස්වරූපය හඳුනා ගැනීමට මුණසිංහගේ ග්‍රන්ථයෙන් දාර්ශනික හා ක්‍රමවේදී ම ය දැනුම් සම්භාරයක් පාඨකයාට ප්‍රදානය කෙරේ.
බූපති නලින් වික්‍රමගේ, මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, මහාචාර්ය ප්‍රභා මනුරත්න
කොළඹ මහවැලි කේන්ද්‍රයේදී යට කී කෘතිය එළි දැක් වූ අවස්ථාවේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, බූපති නලින් වික්‍රමගේ, මහාචාර්ය ප්‍රභා මනුරත්න කෙටි දේශන පැවැත්වූ හ. එම දේශන අතරින් මාගේ සිත් ගත්තේ, බූපතිගේ අදහස් දැක්වීමට ය. ඔහු ශබ්දයට බද්ධ කළේ දේශපාලනය හා දෘෂ්ටිවාදය ය. එහිදී බූපති හුවා දැක් වූ එක් උදාහරණයක වූයේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ හඬ නමැති ශබ්දය නව දේශපාලන ශ්‍රාවක සභාවකට ගැළැපෙන සේ සුසර වූ ආකාරය ය.
මා මෙය තේරුම් ගන්නේ එක්තරා දේශපාලන ම ය වොයිස් මොඩියුලේෂණ ක්‍රමයක් ලෙස ය. විශේෂයෙන් 2023 හා 2024 වසර තුල, ලංකාව තුළත් ලංකාවෙන් පිටතත්, දිසානායක මහතා කළ කතා, ශබ්ද මානයෙන් විශ්ලේෂණය කරන විට එම මහතා මීට පෙර, හඬ හැසිර වූ ක්‍රමයට වඩා දැඩි සංයමයක්, තැන්පත් බවක්, ස්වභාවික ව පැන නැගි හෝ ආරූඩ කරගත් තාර්කික හා පරිණතභාවයක් පෙන්නුම් කළ බව පැහැදිලි ය.
දිසානායක මහතාගේ දේශපාලන තිඹිරි ගෙය වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ යටි ගිරියෙන් මොරදෙන එක්තරා ආකාරයකට ඇද පැද නාටකීය ලෙස හසුරුවන හඬ ශෛලිය මීට සපුරා වෙනස් ය. ජනප්‍රිය වාමවාදී ශ්‍රාවක සභාව තුළ සුසර වන්නේ හා ඔවුන් අමන්දානන්දයට පත් වන්නේ, ඒ මගින් ඔවුන් යම් දේශපාලන කර්තව්‍යයකට හෝ ක්‍රියාවලියකට අභිප්‍රේරණය වන්නේ මේ හඬ අවකාශය තුළ ය. එම නිසා ඒ හඬ ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා එම දේශපාලන ධාරාවේ සෙසු අය විසින් ද එය අනුකරණය කළ යුතු ය.
විජේවීර ද එක්තරා ආකාරයකට කළේ තමන්ගේ පූර්වජයන් අනුකරණය කිරීමකි. පැරණි වම ලෙස හැඳින් වූ කොමියුනිස්ට් පක්ෂයේ හා ලංකා සම සමාජ පක්ෂයේ, විශේෂයෙන් වෘත්තිය සමිති නායකත්වය විසින් නඩත්තු කරන ලද හඬ සම්ප්‍රදාය වූයේ විජේවීර පසු කලෙක අනුකරණය කරන ලද එක ම ය. එහෙත් ඔහුගේ කථික ම ය චතුරත්වය ඊට වැඩි අගයක් එකතු කළ බව ද කිව යුතු ය. කොල්වින් ආර් ද සිල්වා, ඉහත සම්ප්‍රදායේ අධි-නාටකීය ආකාරයෙන් හඬ හැසිරවූ බව ඔහුගේ වේදිකා කතාවලින් පැහැදිලි වේ. වාම සම්ප්‍රදායෙන් පැමිණි එඩ්මන්ඩ් සමරක්කොඩි හා බාලා තම්පෝ වැනි වෘත්තීය සමිති නායකයෝ ද සටන්කාමී, යටිගිරි හා අධි - නාටකීය ආරට හඬ හැසිරවූ අය වෙති.
සටන්කාමී, යටිගිරි හා අධි-නාටකීය ආරට අමතර ව, තරමක කුණු රසයක් හා වාචාල බවක් ද මේ මහා සම්ප්‍රදාය තුළ ම අනු සම්ප්‍රදායක් ලෙස තිබූ බව නිරීක්ෂණය කළ හැක. මේ සම්බන්ධයෙන් පැරණි වමේ ප්‍රසිද්ධ කථිකයෙකු වූයේ කේ.පී ද සිල්වා ය. පසු කලෙක මෙය අන්තයකට ම ගෙන ගියේ, වාම මූලාශ්‍රයකින් පැමිණ පසු ව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයකු වූ ඔසී අබේගුණසේකර ය. විමල් වීරවංශ ඉහත සම්ප්‍රදායන් දෙක ම එකසේ ව්‍යක්ත ව වහරනු දක්නට ලැබුණු අතර, විජේවීර හඬ ශෛලියේ ප්‍රධාන අනුප්‍රාප්තිකයා වූයේ ඔහු විය හැක.
පැරණි වම තුළත් පැරණි ජවිපෙ තුළත් ඉහත කී මහා හඬ සම්ප්‍රදායට තරමක් වෙනස් ව සුසර වන හඬ ප්‍රභේදයන් ද දක්නට තිබිණ. ලෙස්ලි ගුණවර්ධන, එන් එම් පෙරේරා වැනි ලංකා සම සමාජ නායකයන් ද වෛද්‍ය එස්. ඒ වික්‍රමසිංහ හා විජේවීරගේ මුල් කාලීන ගුරුවරයෙකු වූ ෂන්මුගදාසන් වැනි කොමියුනිස්ට් පක්ෂ නායකයන් හඬ මානයෙන් සටන්කාමී හා නාටකීය හඬධාරියෝ නොවූ හ. ලයනල් බෝපගේ හා විජිත රණවීර වැනි විජේවීරගේ සමකාලීනයන් ද එම හඬ සම්ප්‍රදායට කිට්ටු ය.
එහෙත් බෝපගේ ප්‍රමුඛ කණ්ඩායමක් ජවිපෙ තුළින් ම, විමුක්ති ගී නමින් විප්ලවීය ප්‍රසාංගික කලාවක් හඳුන්වා දුන් අතර, එහි ගීත අතර දිවෙන පූරක භූමිකාවකට නැගුණු හඬ මෙහිලා විශේෂිත ව මතක් කළ යුතු ය. ඒ හඬ පෞරුෂය ප්‍රතාපවත් වුව ද, සම්ප්‍රදායික වේදිකාවේ මෙන් යටිගිරි හා නාටකීය ආරෙන් මිදී, වෙනස් ආකාරයක ශ්‍රාවක ග්‍රහණයක් කරනට උත්සාහයක් ගත්තේ එකල ඒ හඬට පණ දුන් බුද්ධදාස විතානාරච්චි ය. පසු කලෙක උතුරේ සංවිධානය ද මෙවැනි සංස්කෘතික ප්‍රවේශයන් මගින් ජනතාවට ළඟාවීමට උපායක් ලෙස භාවිතා කළේ ය.
මුණසිංහගේ පොත දොරට වැඩීමේ දී බූපති හැඟ වූයේ, අනුර කුමාර දිසානායකගේ හඬ පරාසය එක්තරා ආකාරයකට සෞම්‍ය වූයේ ජාතික ජන බලවේගයේ විස්තෘත ශ්‍රාවක සභාව වන මධ්‍යම පංතියේ විඤ්ඤාණය සමඟ සුසර වීම නිසා බව (සෞම්‍ය හා සුසර යන යෙදුම් මගේ ය) ය. මෙහි හඬ යන්න වාච්‍ය අර්ථයෙන් පමණක් නොව දේශපාලන අර්ථයෙන් බලන කල, තාර්කික හා තේරුම් ගත හැකි කරුණකි. එනමුත් මින් අදහස් වන්නේ සටන්කාමී, යටිගිරි, අධි-නාටකීය හා වාචාල හඬ පරාසය නව දේශපාලන අවකාශයේ සුසර නොවන බව ද? එවන් ශ්‍රාවක ග්‍රාහක සභාවක් තව දුරටත් නොමැති බව ද? පසුගිය චන්ද රැස්වීම් අවසානයේ නොන්ස්ටොපාකාරයෙන් 'සාගිනි-වැරහැලි' කෝරසය ගැයුණේ නොස්තැල්ජියානු පැරණි රසාංගයක් ලෙස ද කියා මම නොදනිමි.

(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



