අඩු ගණනේ තම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දැනුවත් කර නැතැයි ඉකුත් දිනෙක පාර්ලිමේන්තුවේදීම හෙළි විය.
පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හා පාර්ලිමේන්තු සභා රැස්වීමක වෙනස හෝ නොදන්නා මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ඉකුත් දිනෙක පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී පැහැදිලි කරගත යුතු වූ “ක්ලීන් ශ්‍රී ලංකා” සම්බන්ධ ප්‍රශ්ණය අගමැතිනී හරිනි අමරසූරියගෙන් පාර්ලිමේන්තුවේදී ඇසුවේ ඒ නොදැනුවත්කම හේතුවෙනි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් “ක්ලීන් ශ්‍රී ලංකා” වෙබ් අඩවිය ගැනවත් දන්නේ නැතිවා වාගේය.
ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන කතා කරන විට තවම දින 50 ක් යැයි කියූවත් “දින 50 දී අනා ගත්ත අනා ගැනිල්ල බලන්න” යැයි විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් සිද්ධීන් වැලක් එක දිගට පාර්ලිමේන්තුවේදී කියා ගෙන ගියේය.
එදිනම පොහොට්ටුවේ තරුණ මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියුවේ, ඇතැමුන් දින 50 ක් යැයිද තවත් අය දින 70 ක් යැයිද, ජනාධිපති අනුර කුමාර දින 100 ක් යැයිද ගණන් කියන, ආණ්ඩුවක් ලෙස තමන් වගකීම් බාර ගත් දින සිට මෙතෙක් දින කීයදැයි කියා හරියට ගණන් කර ගන්න බැරි මාලිමා නායකයින් ගැන මොනවා කියන්නද කියලා ය.
“හිතවතුන්ට අපි පත්වීම් දුන්නම විපක්ෂයේ සිටි ඔබලා විරුද්ධ වුනාට, ඔබලගෙ ආණ්ඩුවත් පත්වීම් ලබාදී තියෙන්නෙත් අපි වගේම පක්ෂෙ හිතවතුන්ටයි. අපි ඒක වැරදියි කියන්නේ නැහැ. පත්වීම් එහෙම දෙන්න වෙනවා” යැයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කීවේය. ශිෂ්ට, විනයගත අලුත් දේශපාලන සංස්කෘතියක් පොරොන්දු වෙමින් පරණ හඩු දේශපාලනය තුරන් කිරීමට පොරොන්දු වූ මාලිමාවේ කෙරුවාවත් පැරණි අච්චුවේම කෙරුවාව යැයි නාමල්ගේ කතාවෙන් කියූවකි.
බලයට පැමිණි විගස “පැය 24 න්, එක පෑන් පහරින්” කරනවායැයි මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු කිසිවක් ගැන දැන් කතා නැත. පාර්ලිමේන්තු මැතිවරණයට කලින් පසුගිය අවුරුද්දේ නොවැම්බර 09 වන දින ජනාධිපති අනුර කුමාර දඹුල්ලේ ජා.ජ.බ මැතිවරණ රැලියක් අමතමින් කියා තිබුණේ “මේ විදුලි බිල සියයට 30 ට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපට ඒකට පොඩි කාලයක් දෙන්න” යැයි කියා ය.
ඉකුත් දින පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බල ශක්ති ඇමති කුමාර ජයකොඩි කියා තිබුණේ විදුලිය ගාස්තු සියයට 37 කින් වැඩි කළ යුතු නමුත් ඔවුන් එසේ වැඩි නොකරන්නට තීන්දු කළ බවය. විදුලිය ගාස්තු අඩු කරන්නට ජනාධිපති අනුර කුමාර කියූ පොඩි කාලය දැන් අවුරුදු 03 ක් වී ඇත.
බලයට පැමිණි විගස රජයේ සේවකයින්ගේ විශේෂයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට දුන් පොරොන්දුව දැන් ගණන් හදන්නේ පළාත් පාලන මැතිවරණ ගැන කල්පනා කරමින් ය.
“පැහැදිලි වෙනසක්” අවශ්‍යයැයි කියා මාලිමාවට ඡන්දය දුන් සමහරු මේ කෙටි කාලයේදී, දින 50 ක් ගෙවෙන්නටත් කලියෙන් අන්ද මන්දව ඇත. ඔවුන් මාලිමාවට ඡන්දය දීම සාධාරණය කිරීමට කියූ කතා හිස් අතාර්කික කතා යැයි දැන් ඔවුන්ටම අවබෝධ වෙමින් ඇත. තවත් අය, තවමත් “පොඩ්ඩක් ඉවසන්න” යැයි කියන්නේ, බලාපොරොත්තු ඉතිරිව ඇති නිසා නොවේ. තමන්ට වැරදුනා යැයි මෙතරම් සීඝ්‍රයෙන් පිළිගැනීමට සිදුව ඇති ලජ්ජාව නිසා ය. මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු ඉටු කරන්නට ආණ්ඩුවට සැළකිය යුතු කාලයක් අවශ්‍ය යැයි ඔවුන් කියන්නේ එනිසාය.
ආණ්ඩුවට තම වැඩ පෙන්වීමට කාලයක් අවශ්‍යයැයි කීමට, ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ද අති බාල උපහැරණයක් ගනිමින් එය “විවාහ වූ වහා දරුවා කෝ?” කියා ඇසීම වැනි යැයි කීවේය. මැතිවරණයකින් ආණ්ඩු පාලනය ඉල්ලා සිටීමත් ආණ්ඩු පාලනය ලැබුණු විගස පොරොන්දු ඉටු කිරීමට පටන් ගැනීමත් ස්ත්‍රී-පුරුෂ විවාහයක් වැන්නක් නොවේ. ආණ්ඩු පාලනයක ඇති වගකීම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නොදන්නා බැව් ඉන් කියන්නකි.
ආණ්ඩු බලය ඉල්ලිය යුත්තේ බලය ලැබුණු පසු කරන්නේ මොනවාදැයි සිතා බලන්නට නොවේ. ආණ්ඩු බලය සඳහා ඡන්දය ඉල්ලන විට, රටේ සමාජ-ආර්ථික පැවැත්ම ගැන හොඳ අවබෝධයක් සමග ආණ්ඩු බලය ලැබුණු විට ක්‍රියාත්මක කරන්නාවූ විසඳුම් සඳහා සැළසුමක් තමන් සතුව තිබිය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වික්‍රමසිංහ ජනාධිපති ඇති කරගෙන තිබූ ගිවිසුම එළෙසින් නොපිළිගන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරයේදී ජ.වි.පෙ/මාලිමා නායකයින් කියන විට, එහි තමන්ට එකඟවිය නොහැක්කේ මොනවාටද යන්න හඳුනාගෙන කිව යුතුව තිබුණකි. ඒ වෙනුවට තමන්ගේ විකල්පය කුමක්ද යන්නද සකස් කරගෙන සිටිය යුතු විය. එනිසා බලයට පැමිණි පසු ඒවා ගැන හොයා බලා විසඳුම් කතා කරන්නට කාලයක් අවශ්‍ය යැයි කීම විහිළුවකට වඩා සමාජ වගකීම පැහැර හැරීමකි.
ජා.මූ.අරමුදල විසින් සකස්කර තිබූ “ණය තිරසාරත්ව විශ්ලේෂණය” (Debt Sustainability Analysis) ප්‍රතික්ෂේප කරන බවත් ඒ වෙනුවෙන් තමන්ගේ විකල්ප විශ්ලේෂණයක් ඉදිරිපත් කරන බවත් මාලිමා මැතිවරණ ප්‍රකාශනයට ඇතුළුකර තිබුණකි. නමුත් එවැනි විශ්ලේෂණයක් සකස් කිරීමට වසර දෙකක පමණ කාලයක් ගතවන හෙයින් ජා.මූ.අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සමගින් කටයුතු කරනවා යැයි මාලිමා ආණ්ඩුවට කියන්නට සිදු වූයේ එය ප්‍රතික්ෂේප කරනවා යැයි මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී කියු කතා සියල්ල ඒ ගැන කිසිදු අවබෝධයක් නොමැතිව කියූ කතා නිසාය.
විදුලි බිල සියයට 30 කින් අඩු කරන්නට පොඩි කාලයක් අවශ්‍ය යැයි ජනාධිපති අනුර කුමාර කියන විට, ඒ ගැන වැදගත් අධ්‍යනයක් කර තිබිය යුතු විය. එවැනි අඩු කිරීමක් සඳහා සැළසුමක් අත තිබිය යුතු විය. ආණ්ඩු බලය වෙනුවෙන් මැතිවරණ වේදිකාවල ජනතාවට පොරොන්දු දිය යුත්තේ බලය ලැබුණු පසු ඒ ගැන සොයා බලා දත නියවන්නට නොවේ. “ආව විතරයි. පොඩ්ඩක් ඉන්න” යැයි කීමට නොවේ.
එසේ කියන්නට සිදුවන්නේ රටේ සමාජ-ආර්ථික සහ භූ-දේශපාලනික සන්දර්භය ගැන කිසිදු හැදෑරීමකින් තොරව, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ලබා දිය හැකි විසඳුම් ගැන කිසිදු අවබෝධයක් නොමැතිව, පැවති ආණ්ඩුවලට එරෙහි “වෛරී” ඡන්දයක් හැදීම වෙනුවෙන් පොරොන්දු දීම නිසා ය.
කිසිදු ප්‍රශ්න කිරීමක් නොමැතිව මැතිවරණ වේදිකාවල දෙන එවැනි පොරොන්දු බාර ගන්නා ජනතාවට මුහුණ දෙන්නට සිදුවන්නේ මේ නැස්පැත්තියට යැයි මා කල් තබා කීවකි. පසුගිය අවුරුද්දේ මැතිවරණ වලට පෙර අගෝස්තු 27 වන දින “මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි” මැයෙන් මා ලියු ලිපිය ආරම්භ කෙරුවේ, “අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන කතා නැතිවය. ඡන්දදායකයින් ‘සුපිරි’ නම්, අපේක්ෂකයින් ‘ඩප්පි’ විය නොහැක” යැයි කියා ය.
ඒ ලිපිය අවසාන කරන්නට “........ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද? එයට කිසිදු ඡන්දදායකයෙකු ප්‍රසිද්ධියේ පිළිතුරු නොදෙනු ඇත. එයටද හේතු ඇත. මෙතෙක් ඉතිහාසයේ ඡන්දයක ඇති සමාජ වගකීම ගැන මේ සමාජයෙහි කතා කර නැති හෙයින් සමාජ වගකීමක් ගැන නොදන්නා ඡන්දදායකයා තම පෞද්ගලික කාරණා විසඳා ගැනීමට ඡන්දය හිලව් කරන්නට පෙළඹී ඇත. ......... මේ රටේ බරපතලම අර්බුදය ඇත්තේ එතැනය.........” යැයි කියා මා ලියුවේය.
ඡන්දදායකයින් මැතිවරණ පොරොන්දු වෙනුවෙන් ආණ්ඩු පත් කිරීමෙහි ඔවුන් බාර ගන්නා කිසිදු සමාජ වගකීමක් නැතැයිද මා අවධාරණය කර කීවකි. එනිසා මැතිවරණ සඳහා අලුත් මුහුණු සෙවීම, අලුත් සන්ධාන යෝජනා කිරීම, රටේ ප්‍රධාන ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ඉල්ලා සිටීමක් නොවන්නේ යැයි මා අවධාරණය කරන්නට වූයේ 2010 ජනාධිපතිවරණයටද කලින් ය.
අලුත් පුද්ගලයින්, අලුත් මුහුණු, අලුත් පෙරමුණු සොයා බලයට පත් කිරීමෙන් රටේ ප්‍රශ්න සඳහා විසඳුම් නොලැබෙන බවට, චන්ද්‍රිකාලා මහින්දලා පමණක් නොව, මෛත්‍රිපාලලා-රනිල්ලා ඉදිරිපත් කිරීමෙන්ද මේ රටේ ඡන්දදායකයින් පාඩම් ඉගෙන ගෙන නැතැයි මා ප්‍රසිද්ධියේ කියුවේ ඡන්දදායකයින් ඡන්දය දිය යුත්තේ පුද්ගලයින්ට නොව, සංවර්ධන වැඩපිළිවෙලකට යැයි කියා අවධාරණය කරමින්ය. ඡන්දදායකයින් ඉල්ලා සිටිය යුත්තේ මැතිවරණ පොරොන්දු නොව, දේශපාලන නායකයින් පොරොන්දුවන සංවර්ධනය සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙල යැයි මා විවෘතව සමාජයට කීවකි.
2015 සහ 2019/2020 මැතිවරණ වලදී මා ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන වලින් ඔවුන්ගේ සංවර්ධන සැළසුම ඉල්ලා සිටියේ එනිසා ය. මා ඉලන්නේ මැතිවරණ පොරොන්දු ඇතුළත් මැතිවරණ ප්‍රකාශන නොවේ යැයි ද ඉතා පැහැදිලිව මම කීවෙමි. මා ඉල්ලා සිටියේ දේශපාලන පක්ෂ පොරොන්දු වන “සංවර්ධනය” අර්ථ දක්වමින් ඔවුන්ගේ ජාතික සංවර්ධනය සඳහාවන සැළසුම ප්‍රසිද්ධ කරන මෙන් ය.
පසුගිය 2024 අවුරුද්දේ ජාතික මැතිවරණ වෙනුවෙන් තරග වදින ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා සන්ධාන ඉදිරිපත් කරන්නාවූ “ජාතික සංවර්ධන සැළසුම්” නාම යෝජනා දෙන්නට කලියෙන් සමාජයට ඉදිරිපත් කරන මෙන් මම ඉල්ලා සිටියෙමි. ඒ වෙනුවෙන් ඉකුත් නොවැම්බර 02 වන දින ලියූ “ගැලරි චිත්‍රපට බැලුවා ඇති - සිරා චිත්‍රපටයක පිටපත බලමුද?” යන සිරස්තලය සමගින් වූ ලිපියෙන් මා කියුවේ, “....මෙදාවත් ආණ්ඩුවක් පත්කර ගන්න ඕනේ රටේ සංවර්ධනය වෙනුවෙන්. ඒකට ජාතික සංවර්ධනය වෙනුවෙන් පැහැදිලි සැළසුමක් ඇති පක්ෂයකට ඡන්දය දෙන්න ඕනේ. දැන් තියෙන වගකීම තමයි, ප්‍රමාද වෙලා හරි, ඊළග ආණ්ඩුව රටේ බරපතලම කාරණා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විසඳුම් මොනවද කියලා අහන එක” යැයි කියා ය.
මා සමග හවුල් වූ මේ සමාජයෙහි වැදගත්, විද්වත්, ස්වාධීන ක්‍රියාධරයින් පිරිසක්ද 2024 ජුනි මස 24 වන දින ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, සමගි ජන බලවේගය, ජ.වි.පෙ/ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නායකයින් වෙන වෙනම අමතා “පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල සමාජ කතිකාවක් සඳහා ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම” මැයෙන් යොමු කළ ලිපියෙන් කියා සිටියේ “.... කාලයක සිට හැම ආකාරයේම විවේචන අසා හෙම්බත්ව ඉන්නා හෙයින් තමන් හසුව ඉන්නා බරපතල ගැටළු සඳහා විසඳුම් ඉල්ලන ජනතාවට මේ දේශපාලන නායකයින් ඉදිරිපත් කරන විසඳුම් කවරේදැයි අපි නොදනිමු. දේශපාලන නායකයින් වශයෙන් ආණ්ඩු පාලනය ඔබට බාරදීමට නම්, ඊට ඔබගේ සුදුසුකම ඔප්පු කිරීමේදී ඔබගේ පක්ෂයේ සමාජ-ආර්ථික ප්‍රතිසාධනීය ජාතික වැඩපිළිවෙල ජනතාවට පැහැදිලි කර දීමේ වගකීම ඔබට ඇතැයි අපි අවධාරණය කරන්නෙමු” යන්න ය.
එනමුත් අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඡන්දය ඉල්ලූ කිසිවෙකු ඒ ලිපිය ලැබුණු වග හෝ නොකීහ. එසේ නොකීමේ හේතුව වන්නේ, ඒ කිසිවකු “සංවර්ධනය” සඳහා වැඩපිළිවෙලක් හැදීමට තබා “සංවර්ධනය” යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කවර ආකාරයේ සමාජ-ආර්ථික වර්ධනයක්ද, ක්‍රියාවලියක්ද යන්න කීමට හෝ අපොහොසත් වීමය.
එහෙත් මෙවර 2024 සැප්තැම්බර ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙරාතුවම මාලිමාවාදීන්ගේ ප්‍රධාන දේශපාලන ඉල්ලීම වූයේ, “හැම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම ආණ්ඩු හදන්න ඡන්දය දීලා අසාර්ථකයි කියලා දන්නවානේ. ඒ නිසා මෙදා මාලිමාවට දීලා බලමු” යන්න ය. ලාභ විසඳුම් සොයන, සමාජ වගකීමක් ගැන සැළකිල්ලක් නොමැති මේ සමාජයේ “දීලා බලමුකෝ” යන්න ජනප්‍රිය කතාවක් විය. අප මේ ඉන්නේ “හරි ගියොත් හොඳයි ....” වැනි අත්හදා බැලීම් ඔරොත්තු දිය හැකි දේශපාලන සන්දර්භයක නොවේ යැයි ඒ සම්බන්ධව මා ඉතා දැඩිව කියූවකි.
කිසිදු සංවර්ධන සැළසුමක් ගැන කතා නොකරන ජ.වි.පෙ පෙනී සිටින ජා.මූ.අරමුදල සමග ගැට ගැසුණු ඇමෙරිකානු ලැදි අලුත් දේශපාලනය කියවීමෙන් මගේ තීන්දුව වූයේ, මේ ජ.විපෙ නායකත්වයට ආණ්ඩු බලය දුනහොත් අප අධිකාරවාදී රාජ්‍ය පාලනයක් සමග ආර්ථික අර්බුදයකට වඩා දේශපාලන අර්බුදයකට හසුවනු ඇත යන්නය. රටේ අවාසනාවකට දෝ දැන් සිදු වෙමින් යන්නේ, “දෙන්න පුළුවන්. නමුත් බලන්න දෙයක් ඉතිරිවන එකක් නැහැ” යැයි මා කියූව යැයි සිතෙන්නේ ය.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ජනවාරි 11 වන දින



