The Leader News
BREAKING
Top Ad
Opinion

කංසා ගැන පොතක් ලියන්නත් තහනම් ?

T

The Leader Desk

January 12, 2025 • 3:31 PM

කංසා ගැන පොතක් ලියන්නත් තහනම් ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරය මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ලිපියකින් අවලංගු වේ.
  • නමුත් ඔබතුමා විසින් 2025 ජනවාරි 09 දිනැතිව ගරු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කළ ලිපිය පදනම් කරගෙන, මා විසින් මුදල් ගෙවා වෙන් කරගත් කෞතුකාගාර ශ්‍රවනාගාරය මෙම කෘතිය එලිදැක්වීම සඳහා ලබා නොදෙන බව එම ආයතනය විසින් දන්වා එවන ලදී.
  • ඒ වන විට මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් සමන්විත වියත් මඩුල්ලකට, අමාත්‍යංශ 15කට, මාධ්‍ය ආයතනවලට සහ පුද්ගලයින් 300කට පමණ ආරාධනා පත් යවා තිබූ අතර ශ්‍රවණාගාරය ලබානොදීම නිසා මා හට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත.
  • මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537කින් උපුටාගත් තොරතුරුවලිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරය මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ලිපියකින් අවලංගු වේ.

ජාතික කෞතුගාරය පවතින්නේ ආගමික සහ සංස්කෘතික අමාත්‍යංශය යටතේය. දැන් එහි අමාත්‍යවරයා වන්නේ හිනිදුම සුනිල් සෙනෙවිය.

ලේඛනයේ නිදහස වෙනුවෙන් නොසෑහෙන්න පෙනී සිටීම් කළ සුනිල් සෙනෙවි වැනි කෙනෙක් අමාත්‍යවරයෙක් වූ තැනකින් පොතක් එළිදැක්වීමටත් තහංචි පැනවීම කණගාටුදායකය.

කංසා යනු අපේ රටේ පැරණි ජන සංස්කෘතියේ කොටසකි. කංසා තහනම සුද්දන් විසින් ලංකාවෙ ජනතාව පීඩාවට පත්කිරීම පිණිස ගෙන ආවකි. දැන් අපේ සංස්කෘතික අමාත්‍යංශය සුද්දාගේ නීතිය වෙනුවෙන් අපේ පැවති සංස්කෘතිය වාරණය කරනු දැකීම දෙකොනෙන් සිනා මතු කරන්නකි.

gh56d
අචාර්ය වසන්ත සේන වැලිඅංග විසින් ඒ සම්බන්ධයෙන් පළකල ලිපිය මතු දැක්වේ.

11.1.2025
සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂක,
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.

විධායක අධ්‍යක්ෂක තුමනි,

කංසා සංවර්ධන මණ්ඩලය (ISBN 978-955-38184-2-3) නැමැති ග්‍රන්ථය ජනගත කිරීම

වසර 1929 දී අධිරාජ්‍යවාදී සුද්දන් පැනවූ තහනම ඉවත් කර නව පනත් තුනක් මගින් කංසා කර්මාන්ත ත්‍රිත්වය ප්‍රතිස්ථාපනය කර දේශීය ආර්ථිකය ගොඩනගන ආකාරය පෙන්වා දෙන ˝කංසා සංවර්ධන මණ්ඩලය˝ නැමැති ග්‍රන්ථය, 2025 ජනවාරි මස 13 වැනි සඳුදා පෝය දින කොලඹ 07 ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී හවස 2.30ට ජනගත කිරීමට සියල්ල සූදානම් කර තිබූ අතර ඔබතුමාගේ සහ අදාල නිලධාරින් සහභාගී කරගැනීම පිණිස ආරාධන කර ලිපියක් ද මා විසින් ඔබ ආයතනය වෙත යොමු කරන ලදී.

නමුත් ඔබතුමා විසින් 2025 ජනවාරි 09 දිනැතිව ගරු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කළ ලිපිය පදනම් කරගෙන, මා විසින් මුදල් ගෙවා වෙන් කරගත් කෞතුකාගාර ශ්‍රවනාගාරය මෙම කෘතිය එලිදැක්වීම සඳහා ලබා නොදෙන බව එම ආයතනය විසින් දන්වා එවන ලදී.

ඒ වන විට මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් සමන්විත වියත් මඩුල්ලකට, අමාත්‍යංශ 15කට, මාධ්‍ය ආයතනවලට සහ පුද්ගලයින් 300කට පමණ ආරාධනා පත් යවා තිබූ අතර ශ්‍රවණාගාරය ලබානොදීම නිසා මා හට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත.

මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537කින් උපුටාගත් තොරතුරුවලිනි. මෙහි කිසිඳු තැනක ගංජා හෝ කංසා දුම්බීම ප්‍රවර්ධනය කර නොමැති අතර විද්‍යාත්මක තොරතුරුවලින් හෙළිකරන කංසා ශාකයේ ප්‍රයෝජන පිළිබදව පමණක් සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් වසර 2030 වන විට ලෝකයේ රටවල් ළඟා කරගත යුතු තිරසාර සංවර්ධන අරමුණු 17න් 11ක් ළගා කරගැනීම සඳහා කංසා ශාකය බෝගයක් ලෙස වගා කර ආර්ථිකය ගොඩනැගිය යුතු බව ද පෙන්වා දී ඇත. එම අරමුණු 11 ළඟා කර ගැනීම සඳහා විද්‍යාත්මක පදනමක් යටතේ රජය විසින් කංසා ශාකය නීතිගත කළ යුතු ආකාරය පෙන්වා දෙන මෙම ග්‍රන්ථය රජයට අත්‍යවශ්‍ය වන මූල තාක්ෂණික ග්‍රන්ථයකි.


ඔබ විසින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් කාරණා අනුව, පෝය නොවන දිනක සහ රජයට අයත් නොවන පුද්ගලික ස්ථානයක දී මෙම ග්‍රන්ථය එළිදැක්වීම සඳහා කටයුතු සුදානම් කළ හොත්, එම අවස්ථාවට විරුද්ධවත් ඔබ ආයතනය ක්‍රියා කිරීමට සූදානම් වී සිටින්නේ නම් මේ සඳහා සුදුසු ආකාරයක් පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

මා පසුගිය රජය යටතේ ත්‍රෛයිලෝක්‍යවිජයපත්‍ර භෝගය සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ සාමාජිකයෙකු වන අතර ආචාර්ය උපාධියක් සහිත හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙමි. විවිධ අංශ පිළිබඳව දෙස් විදෙස් රටවල දී කළ පර්යේෂණ සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා 80කට අධික ප්‍රමාණයක් පලකර ඇති අතර රාජ්‍ය සම්මාන තුනක් හිමිකර ගෙන ඇත.


විද්‍යාත්මක පර්යේෂකයෙකුට ශාස්ත්‍රිය පර්යේෂණ කෘතියක් එලිදැක්වීමට ඉඩලබා නොදීම මානව හිමිකම් උල්ලංඝණයක් වීමක් සේ මට හැගෙන අතර මෙම නිසා ඉතාම කණගාටුවට පත්වෙමි.


මෙවැනි පසුබිමක වසර 95ක් පුරා සාකච්ඡාවට බඳුන් නොවූ අධිරාජ්‍යවාදීන් විසින් තහනම් කළ ශාකයක් පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති ශ්‍රී ලාංකික ජනතාවට  විද්‍යාත්මක ශාස්ත්‍රිය සංවාදයක් නොමැතිව, නව දැනුම සංප්‍රේෂණය කරන්නේ කෙලෙස ද යන්න මෙයට විරුද්ධව ක්‍රියාකරන ඔබ විසින් මා වෙත පැහැදිලි කර දෙන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

වසර 1984 සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලු වෙනුවෙන් ඉතා වටිනා සේවාවක් කළ ඔබ ආයතනයේ ගෞරවයට මෙම ක්‍රියාමාර්ගය නිසා සමාජයේ අප්‍රසාදයට ඉවහල් විය හැකි බව මාගේ හැගීමයි. එබැවින් ශාස්ත්‍රීය අරමුණෙන් සිදුකරන මෙම කටයුත්තට සහාය දෙන් මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙම ග්‍රන්ථය පිළිබදව රජය දැනුවත් කර ඇති අතර ග්‍රන්ථය ජනගත කරන අවස්ථාවට සහභාගි වන ලෙස ඉල්ලා ජනාධිපති තුමා, අග්‍රාමාත්‍ය තුමිය සහ තවත් අමාත්‍යවරු 15 දෙනෙකුට ලිපි සහ ආරාධනා පත්‍ර ද යවා ඇත.

මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට ආරාධනා කළ පහත සඳහන් රාජ්‍යතාන්ත්‍රිකයින් වෙත මෙම ලිපිය පිටපත් කරන බව ද කාරුණිකව දන්වා සිටිමි.

1. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක
2. ගරු අග්‍රාමාත්‍ය තුමිය ආචාර්ය හරිනි අමරසිංහ
3. කේ ඩී ලාල් කාන්ත (කෘෂිකර්ම, පශු සම්පත්)
4. රාමලිංගම් චන්ද්‍රසේකර (ධීවර)
5. සුනිල් හදුන්නෙත්ති (කර්මාන්ත)
6. විජිත හේරත් (සංචාරක)
7. වෛද්‍ය ධම්මික පටබැදි (පරිසර)
8. සමන්ත විද්‍යාරත්න (වැවිලි)
9. හර්ෂණ නානායක්කාර (අධිකරණ)
10. එන් පී අනුර කරුණාතිලක (ඉදිකිරීම් හා නිවාස)
11. මහාචාර්ය උපාලි පන්නිල (ග්‍රාමීය සංවර්ධන)
12. කුමාර ජයකොඩි (බලශක්ති)
13. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන (විද්‍යා හා තාක්ෂණ)
14. වසන්ත සමරසිංහ (ආහාර සුරක්ෂිතතා)
15. වෛද්‍ය නලින්ද ජයතිස්ස (සෞඛ්‍ය)
16. අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල්සෙනවි (සංස්කෘතික හා ආගමික)

| ආචාර්ය වසන්ත සේන වැලිඅංග
wasantha.weliange@yahoo.com
071 335 2503

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...