The Leader News
BREAKING
Top Ad
Opinion

'සිංහලයා' කර තියා ගත් මේ පිරිහුණු දූෂිත 'ඒකීය' රාජ්‍යයෙන් ලැබූ සුගතිය කුමක් ද? | කුසල් පෙරේරා

T

The Leader Desk

January 16, 2025 • 5:07 AM

'සිංහලයා' කර තියා ගත් මේ පිරිහුණු දූෂිත 'ඒකීය' රාජ්‍යයෙන් ලැබූ සුගතිය කුමක් ද?  | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපට දේශපාලන නිදහස සමග වසර 77 ට පෙර එළෙස බාර දෙනු ලැබුවේ “ඒකීය” රාජ්‍යයකි.
  • මේ “ඒකීය රාජ්‍ය” සිංහල උරුමයක් ලෙස ප්‍රධාන ධාරාවේ දේශපාලන ආධිපත්‍ය විසින් සුරක්ෂා කරනු ලබන්නකි.
  • එනිසා එය කිසිදු ආකාරයකින් ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්නට නොහැකි, දරදඬු රාජ්‍යයක් බවට පත්ව ඇත.
  • ප්‍රධාන දේශපාලන ධාරාවෙහි “රජය” ගැන ඇත්තේ අවුලකි.
අකුරු ප්‍රමාණය (Font Size):

අපට දේශපාලන නිදහස සමග වසර 77 ට පෙර එළෙස බාර දෙනු ලැබුවේ “ඒකීය” රාජ්‍යයකි.

මේ “ඒකීය රාජ්‍ය” සිංහල උරුමයක් ලෙස ප්‍රධාන ධාරාවේ දේශපාලන ආධිපත්‍ය විසින් සුරක්ෂා කරනු ලබන්නකි. එනිසා එය කිසිදු ආකාරයකින් ප්‍රජාතන්ත්‍රීයකරණය කරන්නට නොහැකි, දරදඬු රාජ්‍යයක් බවට පත්ව ඇත. මාලිමා ආණ්ඩුවේ නව ව්‍යවස්ථා සම්පාදන කතා වලද, විධායක ජනාධිපති ධූරය හා ඒකීය රාජ්‍යය වෙනස් කිරීමක් ගැන අසන්නට නැත.

ප්‍රධාන දේශපාලන ධාරාවෙහි “රජය” ගැන ඇත්තේ අවුලකි. “රජය” යනු “ආණ්ඩු” නොවේ. අපේ හිටපු ජනාධිපතිවරුන්, ඉන්න දේශපාලන නායකයින් පමණක් නොව, විද්වතුන් වෘත්තිකයින් පවා “පසුගිය රජය කාලේ, අහවලුන්ගෙ රජය කාලේ, අපේ රජය කාලේ....” යැයි කියන්නේ ඡන්දයකින් වසර 05 ට පත් කෙරෙන ආණ්ඩු වලට ය. 

 

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි !
“රජය” මැතිවරණ වලින් පත් කෙරෙන්නක් නොවේ. රජය යනු යටත් විජිත පාලන යටතේ ඓතිහාසිකව ගොඩ නැගුණු ස්ථාවර, ව්‍යවස්ථාපිත බලයක් සහිත වන පාලන යාන්ත්‍රණයකි. එය පැහැදිලි කරන්නේ නම්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බන්ධනාගාර, අධිකරණ පද්ධතිය, විවිධ වගකීම් පැවරුණු කාර්යාලීය පරිපාලන හා ක්ෂේත්‍රගත සේවා සියල්ල එකට ගත් විට එය “රජය” නැතිනම් රාජ්‍ය යාන්ත්‍රණය යැයි හැඳින්වේ.
 
රාජ්‍යයෙහි ස්වරූප
 
රාජ්‍යයන්හි ස්වරූප දෙකක් ඇත. අප දන්නේ සහ අප අත් දකින්නේ “ඒකීය” රාජ්‍යයකි. ඉන්දියාව ඇතුලු බලසම්පන්න බටහිර රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ත්‍රේලියාව, බ්‍රසීලය වැනි බොහෝ රටවල ඇත්තේ “සන්ධීය” රාජ්‍යයන් ය. “ඒකීය රාජ්‍ය” ලෙස සැළකෙන්නේ පිළිගත් දේශ සීමා තුල ස්වාධීන, ස්වෛරී ජන සමාජයක් පාලනය කිරීමේ සමස්ථ පාලන බලය මධ්‍යගත කෙරුණු රජයකට ය. එවැනි මධ්‍යගත රාජ්‍යන්හි බලය හැසිර වෙන්නේ රටේ ප්‍රධාන නගරයේ ස්ථාපිත කෙරෙන ඡන්දයෙන් පත් කෙරෙන ආණ්ඩුවෙනි. 

 

ගහෙන් වැටුණු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ගොනා  අනී!
තේරුම් ගැනීමේ පහසුවට කිවහොත් අවසන් තීන්දු ගැනීමේ රජයේ සියලු බලය කොළඹ ආණ්ඩුව සමග කේන්ද්‍රගතව තිබෙන්නාක් වැනිය. කවර පළාතක සේවය කර විශ්‍රාම ගියද, ඒ විශ්‍රාම වැටුප හදා ගැනීමට කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හෝ සේවක අර්ථසාධක ප්‍රතිලාභ හදා ගැනීමට කොළඹ ප්‍රධාන කම්කරු කාර්යාලයට පැමිණීමට සිදුවන අයුරු ය. ඇතැම් විට මධ්‍යගත රජයේ සීමිත බලයක් නියෝජ්‍ය නැතිනම් සහකාර ප්‍රාදේශීය බලාධිකාරීන්ට තාවකාලිකව පවරනු ලැබිය හැක. එනමුත් එවැනි පැවරීම් ආපසු ගැනීමේ බලය මධ්‍යගත රජයට ඇත.

අපගේ රාජ්‍ය තවමත් එවැනි ඒකීය රාජ්‍යයකි. එය දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීමට සිංහල දකුණේ සියලු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ප්‍රතිඥා දෙන්නාහ. ඊට හේතුව, සිංහල වෙළඳුන් නාගරික වෙළඳපල අත්පත් කර ගැනීමට තරගකාරී වෙළඳාම වෙනුවට බහුතර සිංහල-බෞද්ධ දේශපාලන බලය ගොනු කිරීමය.

අප නිදහස ලැබුවේ, යටත් විජිත පාලනයෙහි වර්ධනය වූ වෙළඳ හා වාණිජ ආර්ථිකයක් සමග මිස ධනේශ්වර නිෂ්පාදන ආර්ථිකයක් සමග නොවේ. නිදහස ලබා ගැනීමේදී 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) පිහිටුවා ගැනීමේදී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් වූ “සිංහල මහ සභාව” ඊට හවුල් වූයේ වෙළඳ හා වාණිජ ආර්ථිකය හැසිරවීමේ දේශපාලන බලය වෙනුවෙනි. 

 නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් -  (කුසල් පෙරේරා)
 
එහෙත් ඔවුන්ට ඕනෑ කළ දුර යෑමට එ.ජා.ප නායකත්වය සූදානම් නොවුනු නිසා, සිංහල මහ සභාව 1951 දී එ.ජා.ප යෙන් ඉවත්ව, බණ්ඩාරනායකගේ නායකත්වයෙන් නැවත වරක් සිංහළ-බෞද්ධ දේශපාලන බලය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප) හදා ගත්හ. ‘56 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීමෙන් රාජ්‍ය සිංහල-බෞද්ධකරණය කිරීම සීඝ්‍රගාමී විය.
 
ජාතික අධ්‍යාපනය පළමු භාෂාවෙන් ලබාදීමේ වාසිය ලැබුණේ සිංහල බහුතරයට ය. කාර්යාල කාර්ය සහායකයින්ගේ සිට ලිපිකාර සමග පරිපාලන සේවාව දක්වා සියලු රජයේ පත්වීම් ලබාගත හැකි වූයේ සිංහල මාධ්‍යයෙන් උගත් අයට වීමෙනි. එහි ප්‍රකාශනය වූයේ සිංහලෙන් සිතන පතන හා සිංහලෙන් තීන්දු ගන්නාවූ රාජ්‍ය නිලධරයක් තහවුරු වීමය. ඒ පසුබිමෙහි සුද්දන් හදා දී ගිය “ඒකීය රාජ්‍ය”, ‘70 දසකය වන විට සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍යයක් බවට පත් වූ අතර, එය රැක ගැනීමේ සිංහල-බෞද්ධ දේශපාලනය ප්‍රධාන ධාරාවේ මැතිවරණ දේශපාලනය බවටද පත් විය.
ඒ සමග අවුරුදු 77 ක් අවසන් වන විටද මේ සමාජයෙහි මතු නොකරන ප්‍රශ්නය වන්නේ අප සුරකින සිංහල-බෞද්ධ “ඒකීය රාජ්‍ය” කර තියා ගෙන මෙතෙක් පැමිණි ගමනෙන් දකුණේ සිංහල සමාජයට ලැබුණේ මොනවාද යන්නය.
 
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙළදපොල ආර්ථිකයක් - (මහාචාර්ය චරිත හේරත්)
නිදහසින් පසු වසර 77 ක් වන මෙතෙක් ඉතිහාසයෙහි සිදුවූයේ රට කාබාසීනියා කළ දේශපාලකයින් රට පාලනය කිරීම යැයි ඉතා පහසු, ජනප්‍රිය දේශපාලන ප්‍රකාශයක් අලුත් තරුණ පරම්පරාව තොරොම්බල් කරන්නකි. ඒ පැරණි දේශපාලකයින් වර්තමානයේ මෙන් දූෂිත මැතිවරණ ව්‍යාපාර මගින් හෝ බලහත්කාරයෙන් පැමිණ, ආණ්ඩු බලය ඩැහැ ගත්තවුන් නොවේ. ඔවුන් පත් කරනු ලැබුවේ පිරිසිදු යැයි කියා ගන්නා වත්මන් තරුණ පරම්පරාවේ අම්මලා තාත්තලා සහ ආච්චිලා සීයලා ය. එනිසා දොස් කියනවා නම් ඔවුන් දොස් කිව යුත්තේ ඔවුන්ගේම දෙමාපියන්ට ය. දෙමාපියන්ගේත් දෙමාපියන්ට ය.
 
මේ රටේ අසංවර්ධනයට, දුප්පත්කමට හේතුව පැරැණ්නන් යැයි කීම සරළ, අතරමග කතාවකි. මේ රටේ අසංවර්ධනයට, දුප්පත්කමට මේ ඒකීය රාජ්‍යයේ පිරිහීම, දූෂණය සහ අධිකාරවාදය ප්‍රධාන හේතුවක් වන්නේය. එය ජන සහභාගිත්වයකින් තොර, සමාජ වගකීමෙන් ගිලිහුණු, නාමික ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක ප්‍රතිපලයකි. ජනාධිපති ජයවර්ධන විසින් විවෘත වෙළඳපල ආර්ථිකය හඳුන්වා දෙනු ලැබූ පසු අවුරුදු 45 ක දෙවන යුගයේ එය මර්දනීය නීති සමගින් පවත්වා ගන්නා, ජාවාරම්කාර ආර්ථිකයට හවුල්වන, සමාජ සාධාරණත්වයක් නොදන්නා රාජ්‍යයක් බවට පත් කරනු ලැබුණකි.
 
Colombo Lotus Tower, is a 350 m (1,150 ft) tall tower, located in Colombo, Sri Lanka. It has been called a symbolic landmark of Sri Lanka
එවැනි ඒකීය රාජ්‍යයක ස්වභාවය වන්නේ මධ්‍යගත රාජ්‍ය බලයේ කේන්ද්‍රය සමග දේශපාලන හා ආර්ථික බලය ගැට ගැසීමය. එබැවින් සියලු පහසුකම් හා වරප්‍රසාද ගොනු වන්නේ කොළඹට ය. රටේ හොඳම පාසල් ඇත්තේ කොළඹය. රටේ හොඳම රෝහල් ඇත්තේද කොළඹය. යෝධ සාප්පු සංකීර්ණ පොකුරු ගැසෙන්නේත් කොළඹය. පෞද්ගලික ආයෝජන රැඳෙන්නේ කොළඹ හා කොළඹ අවට බැව් ඒ සියල්ලෙන් කියන්නේ ය. ඒකීය රාජ්‍ය වඩ වඩාත් දූෂණය වීමත් සමග මේ ප්‍රවනතාව සීඝ්‍රයෙන් වර්ධනය වූවකි. 

ආර්ථික නිර්ණායක සමගින් කොළඹ හා අවට පොහොසත්කම ගැන කතා කළහොත් 2023 වසරේ බස්නාහිර පළාතේ (කළුතර හවුලක් එතරම් නැත) දළ දේශීය නිෂ්පාදනය සියයට 43.7 ක් වන විට ඊළගට වැඩිම දායකත්වය වයඹ (වැඩිමනත් කුරුණෑගල) සියයට 10.9 ක් සහ මධ්‍යම පළාත සියයට 10.3 කි. කොළඹ සහ කුරුණෑගල වැනි ප්‍රදේශ අතර ඇති විශාල පරතරය, සෙසු ප්‍රදේශවල දිළිඳුකම සමගවන කදිම සැසඳුමකි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දැනට අලුත්ම ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණය වන 2019 වසරේ වාර්තාවට අනුව බස්නාහිර පළාතේ දුප්පත්කම සියයට 04.4 කි. ඌවෙහි දුප්පත්කම සියයට 24.5 කි. උතුරේ සියයට 19.9 කි. සබරගමුවේ එය 19.6 කි.
 
රට ගිහින් හම්බකරගෙන ආවට පස්සේ අනාථ වන ජිවිත - (සකීෆ් සාම්)
වඩා සරළ තේරෙන බසකින් කියනවා නම්, පසුගිය දසකයකට වැඩි කාලයේ හැම අවුරුද්දකම 70 දහසක් 80 දහසක් පමණ ග්‍රාමීය තරුණියන් මැදපෙරදිග ගෘහ සේවයට ගොසින් ඇත්තේත් මේ වන විට ලක්ෂ 06 ක් පමණ මැදපෙරදිග පමණක් සේවයේ යෙදී ඉන්නේත් මේ ඒකීය රාජ්‍ය යටතේ පලදායි වැදගත් ජීවිතයක් ගමේ නොමැත්තෙනි. එවගේම, වැවිලිකරයෙන් හා දුර ඈත සිංහල ගම් වලින් කොළඹට හා ප්‍රධාන නගර වලට රැකියා සොයා ගෙන එන තරුණ සංඛ්‍යාවත් දහස් ගණනකි. මෙරට ශ්‍රමික ශ්‍රමිකාවියන්ගෙන් සියයට 40 ක් ආදායම් ලබන්නේ අවිධිමත් ක්ෂේත්‍රයෙහි වන්නේද මේ අභ්‍යන්තර සංක්‍රමණිකයින් හේතුවෙනි.
අනෙක් බිඳ වැටීම් ඊටත් වඩා බරපතල ය. පසුගිය 2023 අවුරුද්ද අවසන් වන විට කොන්තරාත් මිනී මැරීම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා අපචාර හා හිංසන වාර්තා වන්නේද දහස් ගණනින් ය. එවගේම මෙහි ඇත්තේ සහල් මෙන් හිඟ නොමැති මත්ද්‍රව්‍ය අලෙවියකි. අනෙක් අතින් නොවිසඳුනු නඩු විභාග දස ලක්ෂයකට වැඩියෙන් ගොඩ ගැසී ඇතැයි සහ බන්ධනාගාර තදබදය සියයට 230 ට වඩා ඉහළ ගොසින් ඇතැයිද වාර්තා ඇත. 

ඒකීය රාජ්‍ය සමග පැමිණි ගමනින් මේ වන විට කර ගසන්නට සිදුව ඇති බර එවැනිය. දකුණේ සිංහල-බෞද්ධ බහුතරය විසින් සුරකින මේ ඒකීය රාජ්‍ය යටතේ ග්‍රාමීය සිංහල ජනතාවට ලැබුණු ස්ථාවර දියුණුවක් නැත. ඒ බැව් වඩා හොඳින් දැන සිටිය යුත්තේ මැදපෙරදිග රැකියා වලට ගිය සහ යන තරුණ තරුණියනුත් කොළඹ හා අනෙක් ප්‍රධාන නගර වෙත රැකියා සොයා ඇදෙන තරුණ පිරිසුත් අවිධිමත් ක්ෂේත්‍රයෙහි ආදායම් උපයා ගැනීමට කඹුරනවුනුත් ය.
 
ගිය නුවණ සොයා යෑම
 
නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි - ගාමිණි වියන්ගොඩ
එසේ නම් විසඳුම විය යුත්තේ කුමක්ද? විසඳුම විය යුත්තේ පළාත් සංවර්ධනයේ වගකීම, පළාතේ ජනතාව අතට ගැනීමය. එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවා ඇති, කොළඹ බල කේන්ද්‍රයෙහිම කුඩා අංකුර නොවිය යුතුය. පළමුව මෙතුවක් කල් තේරුම් නොගත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ උපන් ගෙයි අඩුව තේරුම් ගත යුතුය. ඡන්දදායකයා තෝරා පත් කරන්නාවූ නියෝජිතයින් මැතිවරණ දෙකක් අතරතුර, ජනතාවගේ නියෝජිතයින් නොවන බව තේරුම් ගත යුතුය. තමන් පත් කළ මන්ත්‍රී ඉවත්කර නැවත ඡන්දයක් තියන්නට අයිතිය ඡන්දදායකයින්ට ලබා ගැනීමෙන් ඒ රෝගය සුව වන්නේ නැත.
 
ස්ථිරසාර විසඳුම වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට “ජන සහභාගී” ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන්ය. මෙහි ප්‍රායෝගික අභ්‍යාසය සරළව කිවහොත් ජනතා ඡන්දයෙන් තෝරා පත්වන පළාත්බද නියෝජන සභා, ඔවුන්ගේ ධූර කාලය සඳහාවන “සංවර්ධන සැළසුම” සහ අයවැය තම නියෝජන සභාවෙහි සම්මත කර ගැනීමට පෙර, තම බල ප්‍රදේශයේ ඡන්දදායකයින්ට ඉදිරිපත් කර එයට බහුතර අනුමැතියක් ලබා ගැනීමත් ඉන්පසු සෑම අඩ වසරක් පාසාම තම නියෝජන සභාවෙහි වැය ලේඛනය සමග කාර්යසාධන වාර්තාවක් ප්‍රසිද්ධ කර, ඒ සඳහාවන ජනතා ප්‍රතිචාර අනුව ඉදිරි සංවර්ධන කටයුතු සංශෝධනය කිරීමේ පිළිවෙතත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස ව්‍යවස්ථාගත කිරීම “ජන සහභාගී” ප්‍රජාතන්ත්‍රවාදය වන්නේය. එවැනි නව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අවශ්‍ය දුර දිග යන මූලික ප්‍රතිසංස්කරණ කිහිපය පදනම් වන්නේ -

01. පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහාවන ජන සහභාගිත්වය සහතික කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන

02. වර්තමාන රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂම ජනතා සේවාවක් වෙනුවෙන් ප්‍රතිසංවිධානය කිරීම

03. පළාත් සභා සහ පළාත් පාලන ආයතන වෙත ඔවුන්ගේ ප්‍රදේශවල සංවර්ධන කාර්යන් බාර කෙරුණු පසු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 ක යෝධ නියෝජනයක් අවශ්‍ය නොවන හෙයින්, 1947 සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 101 දක්වා එය අඩු කිරීම සහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම

04. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය 1977 ට පෙර පැවති සෘජු තේරීමේ ක්‍රමයට මාරු කිරීම
   
මෙය අවධාරණය කළ යුත්තකි. ප්‍රජාතන්ත්‍රවාදය පහසුවෙන් සහ නොමිලේ ලැබෙන්නක් නොවේ. ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙකුම දායක විය යුතු සමාජීය පිරිවැයක් ඇත. බාර ගත යුතු වගකීමක් ඇත. එය දරා ගැනීමට ජනතාව සූදානම් විය යුත්තේ, තම ප්‍රදේශයේ සංවර්ධනය තීන්දු කිරීමේ අයිතිය හා වගවීම තමන්ට එමගින් ලැබෙන්නා සේම, එමගින් ඉතිරි කරගන්නා මහජන මුදල, ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදලට වඩා විශාල වන හෙයිනි.
 
අතීතයේ පැරැණ්නන්ට දොස් නගමින් වෙනසක් ඉල්ලන අලුත් පරම්පරාව එවැනි නව ගමනකට සූදානම් නොවන්නේ නම්, පැරැණ්නෙකු ලෙස මගේ කියවීම වන්නේ, වත්මන් තරුණ පරම්පරාවට ඇත්තේ ඝණීභූත වූ මාලිමා සිහිනය කර ගැසීමේ ස්වයං වින්දනයක් පමණක් බවය.
 
සමාජ රක්ෂණයට වෘත්තීය සමිති වගකීම - (කුසල් පෙරේරා)(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සිංහලයා' කර තියා ගත් මේ පිරිහුණු දූෂිත 'ඒකීය' රාජ්‍යයෙන් ලැබූ සුගතිය කුමක් ද? | කුසල් පෙරේරා | The Leader