The Leader News
BREAKING
Top Ad
Opinion

පළාත් පාලන ඡන්දෙ තියන අයත් තරග කරන අයත් ඡන්දෙ දෙන අයත් කියන්න - 'මොනවටද මේ මැතිවරණ?' | කුසල් පෙරේරා

T

The Leader Desk

February 23, 2025 • 6:57 AM

පළාත් පාලන ඡන්දෙ තියන අයත් තරග කරන අයත් ඡන්දෙ දෙන අයත් කියන්න - 'මොනවටද මේ මැතිවරණ?'  | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවක්, ප්‍රදේශයේ දෛනික කටයුතුවල බිඳ වැටීමක් දැනුනිද?
  • එවැනි අඩුවක් දැනුනි නම්, අවුරුදු 02 ක් පුරා පළාත් පාලන මැතිවරණය ඉල්ලා ජනතාව පාරට නොබැස්සේ ඇයි?
  • ආයතන අවංකව කිවහොත් පසුගිය අවුරුදු 02 ක කාලයේ මට අදාල පළාත් පාලන (ප.පා.) ආයතනයේ මහජන නියෝජනයක් නොවුනේ යැයි කිසිදු හැඟීමක් මට නොවුනි.
  • එයට එකම හේතුව, මහජන නියෝජනයක් නොතිබුණු පසුගිය අවුරුදු 02 ක කාලයේ සහ ඊට පෙර අවුරුදු වල මහජන නියෝජනයක් තිබූ ප.පා.ආ අතර කිසිදු වෙනසක් නොවීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවක්, ප්‍රදේශයේ දෛනික කටයුතුවල බිඳ වැටීමක් දැනුනිද? එවැනි අඩුවක් දැනුනි නම්, අවුරුදු 02 ක් පුරා පළාත් පාලන මැතිවරණය ඉල්ලා ජනතාව පාරට නොබැස්සේ ඇයි?

නොතිබුණත් කමක් නැති ප.පා. ආයතන


අවංකව කිවහොත් පසුගිය අවුරුදු 02 ක කාලයේ මට අදාල පළාත් පාලන (ප.පා.) ආයතනයේ  මහජන නියෝජනයක් නොවුනේ යැයි කිසිදු හැඟීමක් මට නොවුනි. අනෙක් හැමටත් එසේම වූවාට කිසිදු සැකයක් නැත. එයට එකම හේතුව, මහජන නියෝජනයක් නොතිබුණු පසුගිය අවුරුදු 02 ක කාලයේ සහ ඊට පෙර අවුරුදු වල මහජන නියෝජනයක් තිබූ ප.පා.ආ අතර කිසිදු වෙනසක් නොවීම ය. ප්‍රදේශයේ දෛනික කටයුතු පෙර පරිදිම ප.පා. කාර්යාලයේ සේවක පිරිස් විසින් සුපුරුදු පරිදි දිගටම කෙරුණි.
 

එසේ නම් මහජන මුදල් කෝටි ගණන් වැය කර ප.පා. ඡන්ද පවත්වා මහජන නියෝජිතයින් පත් කරන්නේ කුමටද? ප්‍රශ්නය, ඒකට උත්තරය ඡන්දදායකයින් නොදැනීම ය. ඡන්දෙන් පත් කළ මහජන නියෝජිතයින් පාලනය කළ පළාත් පාලන ආයතන වලද වැදගත්කමක් ප්‍රදේශයට හා ප්‍රදේශවාසීන්ට නොදැනෙන්නට හේතු කිහිපයක් ඇත.
 
ඉන් ප්‍රධානම කාරණාව වන්නේ, පළාත් පාලන මැතිවරණ වලදී තම බල ප්‍රදේශයෙහි අවශ්‍යතා කිසිවක් ගැන අපේක්ෂකයින් සහ ඡන්දදායකයින් කතා නොකිරීම ය. ප.පා මැතිවරණ අපේක්ෂකයින් ඡන්දය ඉල්ලන්නේ ඔවුන්ගේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවෙහි රඟන ජාතික දේශපාලනය වෙනුවෙන් ය. ඔවුන් කිසිවකුට ප්‍රදේශයේ සංවර්ධන කාර්යන් හා පහසුකම් දියුණු කිරීමක් ගැන කතා නැත. එබැවින් පළාත් පාලන ආයතන කුමටදැයි යන්නට උත්තර කාටවත් අවශ්‍ය වන්නේ ද නැත.
මෙවර ඡන්ද පොළට යාමට පෙර ඡන්ද දායකයින් දැන සිටිය යුතු දේ
 
අනෙක, මේ රටේ ඡන්දදායකයා ඡන්ද පොලට ගොස් “කතිරය” ගසන්නේ ඡන්දය නොදී සිටීම “වරදක්” යැයි වන හැඟීමක් ඇතිව මිස, ඒ වරද කුමක්දැයි දැන ගෙන නොවේ. “අපේ එකෙක්-නෙ” යැයි ඡන්දයදීම වැඩිමනත් ප.පා මැතිවරණවල කෙරෙන බාල, නූගත් වැඩකි. එවගේම, අනාගත උදව් උපකාර වෙනුවෙන් කොළඹ මහ ආණ්ඩුවේ නියෝජිතයෙකු සමග ඇයි හොඳයිකම් වගා කර ගැනීමට හෝ ඊළග ආණ්ඩුව සමග එවැනිම ඇයි හොඳයිකම් කල් තියා සහතික කර ගැනීමට කතිරය ගසති. ඉන් ඔබ්බට ඡන්දය සතු සමාජ වගකීමක් ඇතැයි සිතන්නටවත් දන්නේ නැත.
 
දේශපාලන පක්ෂ වලට පළාත් පාලන ආයතන අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මැතිවරණවල ගමේ භාෂාවෙන් කියන “ඔටු වැඩ” කරවා ගැනීම සඳහා “කබ්බෝ” ටිකක් හදා ගැනීමට ය. පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ලෙස ප්‍රදේශයේ පිළිගත් වැදගත් උදවිය හමු නොවන්නේ එනිසාවෙනි.
 
පැවති ප.පා. ආයතන සතු අවමාන
 
රජය දිගින් දිගටම මැතිවරණ පනත උල්ලංඝනය කරනවා - ජාතික මැතිවරණ නිරීක්ෂණ  මධ්‍යස්ථාන
පළාත් පාලන ආයතන සම්බන්ධ ජනතා විශ්වාසය හා ඒවා සතු වලංගු භාවය පිළිබඳ සමාජීය ආරවුලක් ඇත. ඒවා පත්කර ගන්නේ කුමටදැයි සහ ජනතා නියෝජිතයින් ලෙස ඒවායේ අසුන් ගන්නට තරග කරන්නේ කුමටදැයි අපේක්ෂකයින් නොදැන සිටීමත් දැන ගැනීමට වුවමනාවක් නොතිබීමත් ප්‍රධාන හේතුවකි. ඡන්දදායකයා එය ප්‍රශ්න නොකිරීමත් හේතුවකි. එය විසඳාගත යුතු ලොකු ආරවුලකි.
 
එවැනි අනවබෝධයක් සමග පළාත් පාලන ආයතන බාල්දු වන්නට තවත් හේතුවක් වන්නේ ඒවායේ “කොට්ඨාස” සීමා නිර්ණය, දේශපාලනීකරණය වීමය. එමගින් ගමේ කම, “කුල” සම්බන්ධතා ආදිය සළකණු ලැබීමත්, ඒ හේතුවෙන් ඇතැම් සුළුතර ආගමික, වාර්ගික පිරිස් වලට සහ සාම්ප්‍රදායික නියෝජනයක් තිබූ ප්‍රජා කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවන්නේ යැයි පැමිණිලි ඇත.
 
bf2e51d0d3ac3f80459524b44b91a782 XL
එවැනි “ජල්බරි” සඳහා ඉඩ හදනු ලැබුවේ 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතෙන් පත් කෙරෙන “ජාතික සීමා නිර්ණ කමිටුව” පාර්ලිමේන්තුවට වග නොවන, පළාත් පාලන විෂය බාර ඇමතිවරයාට බාර කෙරෙන කමිටුවක් වීමෙනි.
 
මේ දේශපාලනීකරණය තුල ඇති ලොකුම වංචාව වන්නේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ දිස්ත්‍රික් මට්ටමේ දේශපාලනය වෙනුවෙන් පළාත් පාලන ආයතන සභිකයින් මහජන මුදලින් නඩත්තු කර ගැනීමය. ජ.වි.පෙ තම පක්ෂ අරමුදලට එම බදු මුදල් බැර කර ගැනීම තමන්ට කෙරෙන වංචාවක් යැයි ඡන්දදායකයින් සිතන්නේ නැත.
 
ඒ සමාජීය නොසැළකිල්ල හමුවේ ප්‍රාදේශීය දේශපාලනය සඳහා පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව දෙගුණ කර ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීන්දු කිරීමත් අරුමයක් නොවේ. ඒ අනුව 2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතෙන් ජනතා නියෝජනයෙහි බරපතල විකෘතියක් කෙරුවේය.
 
මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන්වලට අලුත් සාමාජිකයන් පත් කිරීම අද සිට
 
එතෙක් 4,500 ක් පමණ වූ මන්ත්‍රී සංඛ්‍යාව කිසිදු වැදගත් හේතු දැක්වීමක් නොමැතිව සහ සමාජ සංවාදයකින් තොරව 8,327 දක්වා වැඩි කෙරුණි. මැතිවරණ ක්‍රමයේද වෙනසක් සිදු කරමින් කොට්ඨාස මටට්මින් හා අනුපාත ක්‍රමයට මන්ත්‍රීවරුන් පත් කිරීම නීතිගත කර ගනු ලැබුවේ කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, දේශපාලනිකව අලෙවි කිරීමෙනි.
ජනතා නියෝජනය දෙගුණ කළ පමණින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙහි ගුණාත්මක තත්ත්වය වර්ධනය වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය ලෙස පුළුල් වන්නේ මැතිවරණ ක්‍රියා පටිපාටියෙහි ජනතාවගේ දැනුවත් සහභාගිත්වය හා දේශපාලන පක්ෂ සතු ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත් අනුව ය.

2018 පෙබරවාරියේ පැවති මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 8,327 ක් පත් කිරීමෙන් ප්‍රාදේශීය පාලනයේ වූ ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය හා වගවීම කුමක්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර හාස්‍යජනක විය හැක. දිස්ත්‍රික් දේශපාලන නායකයින් ඔවුන්ගේ ප්‍රදේශීය “ඔටු වැඩ” සඳහා මහජන මුදලින් නඩත්තු කර ගනු ලැබූ ප.පා මන්ත්‍රීන් 4,500 සිට 8,327 දක්වා වැඩිකර ගනිමින් ඒ සඳහා ජනතා මුදල් දෙගුණයකින් කොල්ල කෑම නම් සිදු විය.
 
“චින්තනය”බරවා රෝගයෙන් පෙළෙන විට
 
House of Commons 2010
ජනතා නියෝජනය සම්බන්ධ මේ “බරවා රෝග” චින්තනය වෙනස්කර ගත යුතුව ඇත. ඒ වෙනස්කර ගැනීම අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවේ සිටම සිදුවිය යුත්තකි. මහ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙහි 1945 මහ මැතිවරණයේදී පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 640 කි. අගමැති වූයේ ලේබ පක්ෂයේ ක්ලෙමන්ට් ඇට්ලී ය. විපක්ෂ නායක වූයේ කොන්සවටිව් නායක වින්ස්ටන් චර්චිල් ය. එදා සිට මේ දක්වා අවුරුදු 80 ක කාලයේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩිවී ඇත්තේ 10 කු ගෙන් පමණි.
 
ඉන්දියානු පාර්ලිමේන්තුවේ, 1950 දී මන්ත්‍රී සංඛ්‍යාව වූයේ 489 කි. එය 1989 දී 531 දක්වා වැඩිවී තිබිණ. පසුගිය 2024 මැතිවරණය වනවිට ලොක් සභා මන්ත්‍රී සංඛ්‍යාව වූයේ 545 කි. අවුරුදු 74 ක් තුල 1950 දී මිලියන 359 ක් වූ ජනගහනය 2024 වන විට මිලියන 1,092 කින් වැඩි වී තිබූ ඉන්දියාවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ඇත්තේ 56 කින් පමණි.
 
නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි - ගාමිණි වියන්ගොඩ
පුරවැසියා, ඡන්දදායකයා නිවට වන, දීන වන තරමට, ඉහළ මහල හිස් දේශපාලනඥයින්ගේ කෙරුවාව අත්තනෝමතික වන්නේ ය. හැම කාරණයකදීම ලෝකයේ නැතිනම් ආසියාවේ “ලොකුම” දේ අපේ යැයි උජාරුවෙන් කියන බොල් මානසිකත්වයකින් පෙළෙන අපි, 1947 පළමු පාර්ලිමේන්තුවට පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරුන් 101, අවුරුදු 12 ට පසු පැවති 1960 මාර්තු මැතිවරණයේදී 151 ක් දක්වා ඉහළ දමා ගතිමු. 1977 මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 168 ක් පත්කර ගතිමු. අනතුරුව 1989 මැතිවරණයේ සිට මන්ත්‍රීවරුන් 225 ක් පාර්ලිමේන්තුවට පත්කර ගන්නෙමු. අවුරුදු 42 ක දී මන්ත්‍රී සංඛ්‍යාව එළෙසින් දෙගුණයකටත් වැඩියෙන් ඉහළ දමා ගැනීමෙන් ජනතාවට ලැබුණු ප්‍රයෝජනය, වාසිය කුමක්ද?
ඡන්දදායකයා නොමඟ යවන මත සමීක්ෂණ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
 
කොළඹ මහ ආණ්ඩුව සතුවූ පළාත් සංවර්ධන කාර්යන් හා පළාත් පාලන බල තල සියල්ල ඉන්දු-ලංකා ගිවිසුමට අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1988 පිහිටවූ පළාත් සභා වෙත පැවරූ පසුව, ඉතිරි වූ ජාතික තලයේ වගකීම් සඳහා අපට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු ඉන්නා පාර්ලිමේන්තුවක් කුමටදැයි අපි තවමත් කතා නොකරන්නෙමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී මන්ත්‍රී සංඛ්‍යාව 300 ඉක්මවා යෑමටත් යෝජනා ඇත.
 
මධ්‍යම ආණ්ඩුව සමග වන එවැනි බල හවුලක, ඉන්දියාවේ ප්‍රාන්ත ජනතාව තම ජාතික වගකීම් වෙනුවෙන් ලොක් සභාවට තෝරා පත් කරනු ලබන්නේ මන්ත්‍රීවරුන් දුසිමක් දෙකක් වැනි සුළු සංඛ්‍යාවකි. අප ජනගහනය මිලියන 22 ක් සඳහා මන්ත්‍රීවරුන් 225 ක් පත්කර ගත්තද, ජනගහනය මිලියන 80 ක් ඉන්නා තමිල් නාඩුව ඉන්දීය පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ මන්ත්‍රීවරුන් 42 කි. මිලියන 26 ට වැඩි ජනගහනයක් ඉන්නා හර්යානා ප්‍රාන්තයේ ජනතාව ලොක් සභාවට පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන්ගේ මිලියන 26 ට වැඩි ජනතාවක් වෙනුවෙන් හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 95 කි. මිලියන 06 ක් පමණ වන ජනගහනයක් ඉන්නා බස්නාහිර පළාත් සභාවට අපි මන්ත්‍රී සභිකයින් 104 ක් පත් කර ගනිමු.
 
අපේ කතාවට බැස්සොත්
 
මේ ඡන්ද තියන්නෙ මොනවටද? | කුසල් පෙරේරා
කතාව මෙතැනින් අවසන් කරමි. පැහැදිලිවම කිසි ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට, සමාජ වගකීමකට රුකුලක් බැඳීමක් නොවන, අනවශ්‍ය යෝධ මහජන නියෝජන ආයතන නඩත්තුව සඳහා මහජන මුදල් කෝටි ගණනින් අපි හැම අවුරුද්දකම වැය කරන්නෙමු. බරවා කකුල් වැනි මේ ආයතන, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල අනවශ්‍ය විශාල සංඛ්‍යාවක්වන මන්ත්‍රීවරුන්ගෙන් සියයට 50 ට වැඩි සංඛ්‍යාවක් වහා හලා දැමිය හැකිය. හලා දැමිය යුතුය.

මේ ආයතන, විශේෂයෙන් ප.පා ආයතන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයකට පරිවර්තනය කර ගත යුතුය. ඒ සඳහා, තරග කරන පක්ෂ හා කණ්ඩායම් අදාල ආයතනික බල ප්‍රදේශයේ අවශ්‍යාතා සඳහා තම ප්‍රාදේශීය සංවර්ධන සැළසුම නාම යෝජනා වලට පෙර මැතිවරණ කොමිසමට බාර දිය යුතු අතර මැතිවරණ කොමිසම එම සැළසුම්, නාම යෝජනා බාර ගන්නා දිනයේ හෝ ඊට පෙර ප්‍රසිද්ධ කළ යුතු බවට ව්‍යවස්ථා සංශෝධනයක් සමග මැතිවරණ පනත් සංශෝධනය කළ යුතුය.
 
ඡන්දය දෙන්නට කලින් 'ඔබ අපේක්ෂා කරන ශ්‍රී ලංකාව' කවර ආකාරයේ ශ්‍රී  ලංකාවක්දැයි සිතන්න - (කුසල් පෙරේරා)
ප.පා ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ජන සහභාගිත්වය එන්නේ එමගින්ම නොවේ. එය තහවුරු කෙරෙන්නේ, ප.පා ආයතන වල බලයට පත්වන පක්ෂය හෝ කණ්ඩායම තම ප්‍රාදේශීය සංවර්ධන සැළසුම සඳහා වන අයවැය සමග, එයට සංශෝධන ඉදිරිපත් කිරීමට ජනතාවට ඇති අයිතියට යටත්ව ප්‍රදේශයේ ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම සැළසුම තම ප.පා සභාවෙහි සම්මත කර ගැනීමෙනි. මන්ත්‍රී නියෝජනය අවම සියයට 50 කින් කප්පාදු කළ පසු මාසිකව ඉතිරිවන මුදලින් කොටසක් එවැනි සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් වැය කිරීමේ කිසිදු පාඩුවක් නැත.
 
ඒ සඳහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය විය යුතුය. තුනෙන් දෙකක බහුතර බලයක් ඇති මේ ආණ්ඩුවෙන් ඒ සමාජ වගකීම වහා ඉටු කරන මෙන් අප ඉල්ලා සිටිය යුතුය. නොඑසේ නම්, අපේ බදු මුදල් අපේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් නාස්ති වූවාට කම් නැතැයි අප ප්‍රසිද්ධියේ පිළිගත යුතුය.
 
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 පෙබරවාරි 23


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...