The Leader News
BREAKING
Top Ad
Opinion

අරාජිකත්වය හා පාතාලය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 24, 2025 • 9:42 AM

අරාජිකත්වය හා පාතාලය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස්පතිවරයාට අත්අඩංගුවට ගන්නට බැරි වුණාට මෙම 1,400න් බහුතරයක් සිටින්නේ ප්‍රසිද්ධියේය.
  • මෙම පාතාල අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය, කප්පම් හා ඝාතන සංස්කෘතිය මත පදනම් වූ අපරාධ රාජ්‍යය දේශපාලන හා ආර්ථික රාජ්‍යය අභිබවා යමින් තිබේ.
  • මහ මැතිවරණය ආසන්න වකවානුවේදී ෆේස්බුක්හි ප්‍රසිද්ධ සංවාදයකදී මා වත්මන් ආණ්ඩුවේ ආධාරකරුවකු වන වංගීස සුමනසේකරට හා ඔහුගේ කණ්ඩායමට පෙන්වා දුන්නේ මෙම අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේග ආණ්ඩුව සමග පවා සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ඇති බවයි.
  • වර්තමානයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත ළං වන්නට ඒ වන විටත් පාතාල නායකයන්ගේ නියෝජිතයන් උත්සාහ කරමින් සිටි බව අපට දැනගන්නට ලැබී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිස්පතිවරයාට අත්අඩංගුවට ගන්නට බැරි වුණාට මෙම 1,400න් බහුතරයක් සිටින්නේ ප්‍රසිද්ධියේය.

මෙම පාතාල අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය, කප්පම් හා ඝාතන සංස්කෘතිය මත පදනම් වූ අපරාධ රාජ්‍යය දේශපාලන හා ආර්ථික රාජ්‍යය අභිබවා යමින් තිබේ. ප්‍රධාන රාජ්‍යය අරාජික වන වේගයෙන් පාතාල රාජ්‍යය නැගී එයි. දැන් සිදුවන්නේ එයයි.

 



මහ මැතිවරණය ආසන්න වකවානුවේදී ෆේස්බුක්හි ප්‍රසිද්ධ සංවාදයකදී මා වත්මන් ආණ්ඩුවේ ආධාරකරුවකු වන වංගීස සුමනසේකරට හා ඔහුගේ කණ්ඩායමට පෙන්වා දුන්නේ මෙම අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේග ආණ්ඩුව සමග පවා සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ඇති බවයි. වර්තමානයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත ළං වන්නට ඒ වන විටත් පාතාල නායකයන්ගේ නියෝජිතයන් උත්සාහ කරමින් සිටි බව අපට දැනගන්නට ලැබී තිබිණි. එහෙත්, කොළඹ පාදක කරගත්, භූමියේ අත්දැකීම් අඩු මෙකී මාලිමා හිතවතුන්ට තත්වයේ ගැඹුර වටහාගත නොහැකි විය. ඔවුහු අපට කින්ඩිය දැමූහ.

ඒ වන විට ගොඩනැගෙමින් තිබූ සම්බන්ධකම් දුරදිග නොයන්නට ඇතැයි අපි සිතමු. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තුළ අරාජිකත්වය වර්ධනය වන බවට ලැබුණු පළමු ඉඟියම පාතාල අපරාධකරුවන් විසින් සිය කටයුතු වර්ධනය කරගැනීම සඳහා භාවිතා කර ඇති බව දැන් දක්නට ලැබේ.

 


පාතාලය පොලිසිය සමග ඍජුව සම්බන්ධය. අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය පාතාල අලෙවි ජාලය වෙතම ආපසු ලබාදීමේ හා ඔවුන් ඒවා විකුණා දුන්නේ නැතිනම් ඔවුන් අල්ලා හිරේ දැමීමේ ක්‍රමයක් පසුගිය සමයේ ක්‍රියාත්මක වූ බව දැනගන්නට ලැබිණි.

මෙම සටහන තබන මොහොත වන විටත් මත්ද්‍රව්‍ය අලෙවි ජාලය බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් තිබේ. හෙරොයින් වැනි බොහෝ මත්ද්‍රව්‍යවල කිසිදු හිඟයක් නැති බව ද වාර්තා වේ.

පාතාලය පවත්වාගෙන ගියේ දේශපාලන අනුග්‍රහයෙන් බව වැඩ බලන පොලිස්පතිවරයා පවසයි. මෙය පරණ කතාවකි. අනුර හොරේෂස්ගේ පාතාලය ගැන ප්‍රබන්ධ කතා මගින් මෙම ප්‍රවාදය සමාජය තුළ පැළ කර ඇත. එහි යම් සත්‍යයක් තිබෙන මුත්, වැඩිපුර තිබෙන්නේ අතිශයෝක්තියකි. ප්‍රභූ විරෝධී දේශපාලනය වෙනුවෙන් මෙම කතා ප්‍රබන්ධකරණය කර තිබේ.

Midsection Of Man Giving Bribe To Businesswoman In Office
පාතාලය මෙහෙයවන දේශපාලකයන් කවුරුන්දැයි පොලිස්පතිවරයාට නම් කළ හැකිද? නම් කර කර ඉන්නට දෙයක් නැත. අත්අඩංගුවට ගත හැකිය. මෙහෙයවන්නට අවශ්‍ය නැත. සම්බන්ධකම් පැවැත්වූවත්, මුදල් ලබාගත්තත් ප්‍රමාණවත්ය. අත්අඩංගුවට ගත හැකිය.

බිම් මට්ටමේ දේශපාලනය පාතාලය සමග කෙතරම් ගැටගැසී තිබේද යන්න සරල උදාහරණයකින් පෙන්වා දිය හැකිය. විදේශ රටක සිට මෙහෙයුම් සිදු කරන පාතාල නායකයකු යයි චෝදනා ලබා සිටින මතුගම ශාන් යනු ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ පාර්ශ්වය නියෝජනය කරන කලුතර දිස්ත්‍රික් සමසමාජ සංවිධායකවරයා බව කවුරුත් දනිති. විශේෂයෙන්ම, ඔහුගේ නම නොකියා කතා කරන මතුගමින් බිහි වූ දේශපාලකයකු වන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඒ ගැන හොඳින් දනියි.

අතීතයේදී සොත්ති උපාලි වැනි පාතාල අපරාධකරුවන් යැපුණේ රජය සමග පිඩැලි ඇල්ලීම වැනි කොන්ත්‍රාත්වලිනි. ඇතැමෙකු ඔත්තුකරුවන් හා ප්‍රභූ ආරක්ෂකයන් ලෙස පොලිසියටම බඳවාගෙන තිබිණි. ඔවුහු තම දේශපාලක හා පොලිස් හාම්පුතුන්ගේ ඕනෑම බැලමෙහෙවරක් කරන්නට සැදී පැහැදී සිටියහ. කප්පම් ගැනීම නම් අතීතයේ සිටම පැවති චන්ඩි ක්‍රමවේදයකි.

 

RICO Act Charges in North Texas

වර්තමානය වන විට තත්වය බෙහෙවින් වෙනස්ය. දැන් දේශපාලනය විසින් පාතාලය නඩත්තු කරනවා වෙනුවට පාතාලයට දේශපාලනය නඩත්තු කිරීමේ බලය නිර්මාණය වී තිබේ. පාතාල අපරාධකරුවන්ට තවදුරටත් රජය සමග කොන්ත්‍රාත් කරන්නට අවශ්‍ය නැත. දේශපාලකයන් නඩත්තු කරන්නට පවා ඔවුන්ට හැකිය. මත්ද්‍රව්‍ය, කප්පම්, ගිනි අවි ආදිය හරහා උපයා ගන්නා ඔවුන්ගේ මුදල් රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ට පොළියට දීම ද සිදු වේ. ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව සැපයීමේදී පොලිසිය අසමත්ය. පාතාල කල්ලිවලට කප්පම් නොගෙවා ව්‍යාපාරිකයන්ට පැවතිය නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ.


පාතාල කල්ලි අතර ගැටුම්වලට ප්‍රධාන හේතු වන්නේ මත්ද්‍රව්‍ය තොග හා සිල්ලර අලෙවි ජාල තුළ ඇති වන ගැටලු, කප්පම් ගැනීම සම්බන්ධ අවශ්‍යතා සහ පාතාල සංස්කෘතිය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දඬුවම් දීමේ ක්‍රමයයි.

 

unnamed 23

පසුගිය ආණ්ඩු පාතාලය මුළුමනින්ම මර්දනය කිරීමේ ප්‍රතිඥා මත කටයුතු කළේ නැත. එහෙත්, ඔවුහු පාතාලය පාලනය කරගෙන සිටියහ. දැඩි අරාජිකත්වයකින් පසු බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිවරයා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාතාලය පාලනය කරගැනීමට සමත් විය. දේශබන්දුට එරෙහිව මානව හිමිකම් ඇතුළු නීතිමය ක්‍රියාමාර්ග දිරිගැන්වීම පසුබිමේ පාතාලය ද ක්‍රියාත්මක වන්නට ඇති බවට සැකයක් නැත. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පන්නන්නට ද ඔවුහු උපකාර කරන්නට ඇත.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පාතාලය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇති අතර බොහෝ වහසි බස් දොඩමින් සිටියි. ඒ වෙනුවෙන් මූලික පදනම සැකසීම සඳහා පොලිස් සේවයේ ස්ථාන මාරු ආදිය සිදු කර තිබේ. පාතාල මෙහෙයුම් වේගවත් වන්නට ද මෙම තත්වය ඉවහල් විය. එක පැත්තකින් පාතාලය ගැන අවබෝධයකින් සිටි නිලධාරීන් බුරුතු පිටින් ස්ථාන මාරු කර තිබේ. අලුත් නිලධාරීන්ට ප්‍රශ්නය අවබෝධ කරගැනීමට කල් අවශ්‍යය. පාතාලය එම අවස්ථාව පාවිච්චි කරන්නට ඇත. එසේම, ස්ථාන මාරු නිසා අතෘප්තියට පත් පොලිස් නිලධාරීන් ද එය දිරි ගන්වන්නට ඇත. පාතාලය මෙම අවස්ථාව භාවිතා කරන සිය ආධිපත්‍යය අලුත් වටයකින් තහවුරු කරගෙන තිබේ.

 

Kotahena 2025.02.22

රජය ප්‍රතිචාර දක්වන්නේ තරමක් එපා වූ හෙවත් එක්ස්හෝස්ටඩ අයුරිනි. කොටහේනේ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනෙකු වහා ඝාතනය කර දමන ලදී. එසේ කළේ ඇයිද යන කාරණය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඉතිරි වී තිබේ.


මේ අතර, රේගුවෙන් පරීක්ෂාවකින් තොරව පිට කරන ලද කන්ටේනර් 323 හා මත්ද්‍රව්‍ය හා අවි ආයුධ අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ඇතැමෙක් චෝදනා කරති. එය සත්‍ය වුවත්, නොවුණත්, දැන් වරද හෝ නිර්දෝෂීභාවය ඔප්පු කළ නොහැකිය.

රටේ ආරක්ෂාව තහවුරු කර ඇති නිසා මහින්ද රාජපක්ෂ වැනි අධි අවදානමක් සහිත ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කළ හැකි බවට කටමැත දෙඩූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට දැන් සිදු වී තිබෙන්නේ තමන් ප්‍රතික්ෂේප කළ ආරක්ෂාව පවා ආපසු ලබාගන්නටය. මහජන ආරක්ෂාව නැති වූයේ රාජපක්ෂලා විසින් පාතාල කල්ලි ලවා කරවනු ලබන ක්‍රියා හේතුවෙන් යයි කියන්නට ද ඔවුන් පෙළඹෙනු ඇත. සමස්තයක් ලෙස ඔවුන් කරමින් සිටින්නේ පස්ස බිම ඇනුණු රාජපක්ෂ පවුලට නැති වැදගත්කමක් හා ඉහළ ප්‍රචාරයක් ලබාදෙමින් නාමල් රාජපක්ෂට මීළඟ රාජ්‍ය නායකත්වය සඳහා පාර කපා දීමයි.

 

Priyantha Weerasuriya 250224

මේ අතර පොලිස්පතිවරයා දේශපාලකයන්ටත් එහා යමින් දේශපාලනය කරන්නට පටන් ගෙන තිබේ. ඔහු ව්‍යවස්ථා හා නීති විරෝධී ප්‍රකාශයක් කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව හෙළා දුටුවේය. මහජන ආරක්ෂාව සම්බන්ධ තම වගකීම ඉටු කිරීමේ අසමත්කම ඔහු වසාගන්නේ පොලිස් කොමිෂන් සභාව නම් ගෙදර මුව හමට තලමිනි.


පූර්ණ අරාජිකත්වයක් සඳහා පාර කැපෙමින් තිබේ. මහජනතාවගේ ආරක්ෂාව තම තමන්ටම භාරය. ලාංකික ජනතාවට බුදු සරණයි! දෙවි පිහිටයි!


AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

 



(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...