The Leader News
BREAKING
Top Ad
Opinion

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

February 28, 2025 • 8:32 AM

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි.
  • ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු ඛෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් ඇති පක්ෂයකි.
  • ඒ පක්ෂය නායකත්වය දුන් 1971 නැඟිටීම විනාශයකින් කෙළවර වුණත්, එකල සමාජ මනෝභාවයන් තුළ එක්තරා ආශ්වාදජනක හැඟීමක් එකී නැඟිටීම විසින් ජනනය කෙරුණි.
  • එම තත්වය සමහරවිට යම්තාක් දුරකට, උතුරු නැගෙනහිර කොටි සංවිධානය ඇතුළු වෙනත් විප්ලවකාරී ව්‍යාපාර කෙරෙහි දෙමළ ජනතාව එදා දැක්වූ ගෞරව සම්ප්‍රයුක්ත ආකල්පයට සමාන යැයි සිතේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි.

 

ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු ඛෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් ඇති පක්ෂයකි.

 

71 අරගලය පිළිබඳ නොබැලූ පැතිකඩක්..! - (රන්ජන සේනානායක)

ඒ පක්ෂය නායකත්වය දුන් 1971 නැඟිටීම විනාශයකින් කෙළවර වුණත්, එකල සමාජ මනෝභාවයන් තුළ එක්තරා ආශ්වාදජනක හැඟීමක් එකී නැඟිටීම විසින් ජනනය කෙරුණි. ප්‍රතිපත්ති සහ අදහස් වශයෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ සමග නොසිටි අය පවා, ඒ කාලයේ ඔවුන් දෙස බැලූවේ එක්තරා වීරත්වයක් මුසු ප්‍රසාදයක් සමගිනි. එම තත්වය සමහරවිට යම්තාක් දුරකට, උතුරු නැගෙනහිර කොටි සංවිධානය ඇතුළු වෙනත් විප්ලවකාරී ව්‍යාපාර කෙරෙහි දෙමළ ජනතාව එදා දැක්වූ ගෞරව සම්ප්‍රයුක්ත ආකල්පයට සමාන යැයි සිතේ.

ආණ්ඩුව හැංගූ ජවිපෙ කැරලි සමයේ වධකයන්ගේ නම් ලැයිස්තුව ඉල්ලයි

 

ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැල්ල ගැසූ 1987-1990 යුගය ඊට වඩා වෙනස් ය. පොදු සමාජය වෙතින් කිසි වීරත්වයක් එදා ජනතා විමුක්ති පෙරමුණට හිමි නොවුණා පමණක් නොව, ඒ කෙරෙහි භීතියක්ද සමාජගත වුණි. මීට ටික කලකට කලින්, ජාතික ජන බලවේගය නමැති සාමූහිකය ගොඩනඟාගන්නා තෙක්ම, ජනතා විමුක්ති කෙරෙහි පැවති ඒ භීතිය මුසු අප්‍රසාදය සමාජයේ තිබුණි. මේ ප්‍රචණ්ඩකාරී අවස්ථා දෙක, වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇති කර ඇතැයි සිතිය හැකි බලපෑම සුළුපටු නැත.

අද ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය එදාට වඩා ඉඳුරා වෙනස් ය. අදත් යම් සමාජවාදයක් ගැන විටින්විට ඔවුහූ කතා කරති. එහෙත් එය, එදා ඔවුන් කී සමාජවාදය නොවේ. ධනවාදය පිළිබඳ ඔවුන්ගේ වර්තමාන විවේචනය, විශේෂයෙන් නව ලිබරල්වාදය පිළිබඳ විවේචනය, එදා රෝහණ විජේවීර ඇතුළු පිරිස ධනවාදී විවේචනය වශයෙන් ඉදිරිපත් කළ මතවාදයම නොවේ.

WhatsApp Image 2025 02 28 at 11.13.09 AM
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් කබීර් හෂීම්, ලංකාවට පැමිණිමට නියමිතව තිබූ යම් විදේශ ආයෝජන ව්‍යාපෘතියක්, තමන් බලයට පත් වූ පසු රාජසන්තක කොට ඒ ආයෝජකයන්ව රටින් පන්නා දමන බවට, එදා  ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර තර්ජනය කළ හැටි පෙන්වා දුන්නේය. මේ දවසේම හෝ ඊට ආසන්න දවසක ලාල් කාන්ත ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කතාවක් කරමින්, විදේශ ආයෝජකයන්ට ලංකාවේ ආර්ථීකය තුළ වැදගත් තැනක් හිමි වන බව කියා සිටියේය. ඒ නිසා, වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ, තමන්ගේම අත්දැකීම් තුළින් සහ ඒ කියන කාලයේ ලෝකය පුරා සිදු වූ ඓතිහාසික වෙනස්කම් නිසි සැලකිල්ලට ගනිමින්, සාධනීය විපර්යාසයකට පත්ව ඇති පක්ෂයක් බව පැහැදිලියි.  

 

රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණට වඩා අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිගාමී යැයි කියන විට, එක්තරා අවතක්සේරුවක් විජේවීර සම්බන්ධයෙන් කෙනෙකු තුළ ඇති විය හැකිය. එහෙත්, විජේවීරගේ මතවාදයට පිටුදුන් එදා වාස්තවික තත්වය අප අමතක කළ යුතු නැත. ඔහු හැදෙන්නේ වැඩෙන්නේ ප්‍රබල සමාජවාදී කඳවුරක් ලෝකය පුරා ව්‍යාප්තව පැවති යුගයකයි. මහ බලවතුන් දෙන්නාගෙන් කෙනෙකු බවට ඒ සමාජවාදී කඳවුර පත්ව සිටි යුගයකයි. එම කඳවුර කඩාවැටෙන්නේ ඔහු මරණයට පත්වෙන කාලයට ආසන්නයේ ය. ඇත්ත වශයෙන්ම ඒ දෙක, එනම් විජේවීරගේ මරණය සහ සමාජවාදී කඳවුරේ කඩාවැටීම, එකිනෙකට සම්බන්ධ නැතත්, යුගයක් වශයෙන් සමපාත විය.

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)

 

ලෝක සමාජවාදී කඳවුර කඩාවැටීම ඇරඹෙන්නේ 1989 දී ය. රෝහණ විජේවීර ඝාතනය වන්නේ 1990 දී ය. එබැවින්, ලෝක සමාජවාදී කඳවුර කඩාවැටීමෙන් උගත හැකිව තිබිණැයි සිතිය හැකි පාඩම් ගැන අවබෝධයක් ඇති කරගැනීමට පුළුවන්කමක් රෝහණ විජේවීරට තිබුණේ නැත. එය ඔහුගේ වරදක් නොවේ. සමහරවිට ඔහු ජීවතුන් අතර සිටියා නම්, අද අනුර කුමාර දිසානායක තුළින් පෙනෙන සාධනීය වෙනස්කම් ඔහු තුළිනුත් ප්‍රකාශයට පත්වන්නට හැම ඉඩක්ම තිබිණැයි අනුමාන කළ හැකිය. එසේ හෙයින්, එදා රෝහණ විජේවීරගේ මතවාදයන් ගැන, අනුර කුමාර දිසානායක අනිත් පාර්ශවයේ තබාගෙන, එකහෙලා ඔහුට (රෝහණ විජේවීරට) චෝදනා කිරීම සාධාරණ නැත.

 

එවැනි ඉතිහාසයක් ඇති පක්ෂයක් සමග සසඳන විට, ජාතික ජන බලවේගය යනු, එකමිතියක් සහ සංගතියක් නැති ඒකරාශියකි. ජනතා විමුක්ති පෙරමුණට ඇති දේශපාලනික විනය ඊට නැත. එසේම, ජනතා විමුක්ති පෙරමුණට ඇති දෘෂ්ටිවාදීමය පන්නරයත් ඊට නැත. මතවාදීමය වශයෙන් ගත් විට, ජාතික ජන බලවේගය, දියාරු සාමූහිකයක් වශයෙන් හැඳින්විය හැකිය. කොටින්ම, ජනතා විමුක්ති පෙරමුණ යනු කාලයක් තිස්සේ විනයගත කරවන ලද සහ නිශ්චිත මතවාදයක් මත පෝෂණය කරන ලද ව්‍යාපාරයක් වන්නේ නම්, ජාතික ජන බලවේගය යනු, ඊට වෙනස් සමාජ ස්ථරයන් රාශියකින් සැදුම්ලත් ඉතා ලිහිල් සාමූහිකයක් වශයෙන් සැලකිය හැකිය.

 

විශේෂාංග - Results from #930
ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් සහ ප්‍රකාශයන් තුළින් විටින්විට එම ලිහිල් ස්වරූපය දැක්වෙයි. ඇතැම් රූපවාහිනී සංවාද තුළදී රටේ වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට අයත් ඇතැම් සාමාජික සාමාජිකාවන් දක්වන ආධුනික විලාසය ඒ බව මොනවට විදහාපායි. මෑතකදී පැවති එවැනි එක් රූපවාහිනී සංවාදයකදී විපක්ෂයේ අජිත් පෙරේරා සහ ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් (ඇගේ නම මට මතක නැත) අතර ඇති වන වචන හුවමාරුව දෙස බලා සිටින විට කෙනෙකුට සිතුණේ මේ සාමාජිකාව, රූපවාහිනී සංවාද ආකෘතිය සහ ප්‍රතිචාර ක්‍රමවේදයන් ගැන තව කොපමණ නම් උගත යුතුව ඇත්ද යන්නයි. අජිත් පෙරේරා මතු කරන එක්තරා සාධාරණ ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරක් දීම ඇය විවෘතවම මඟහරී. ඈ සිය ප්‍රතිවාදියාට දෙන එකම පිළිතුර වන්නේ, ඔහු අයවැය කතාව කියැවිය යුතු බවයි. එහෙත්, තමා අයවැය කතාව කිහිප සැරයක්ම කියැවූ බවත්, තමා අසන ප්‍රශ්නය ගැන එම අයවැයේ සඳහනක් නැති බවත් අජිත් පෙරේරා කොතෙක් කීවත්, නැවත නැවතත් ඇය ඔහුට කියා සිටින්නේ අයවැය කතාවම කියවන ලෙසයි.



ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ තවත් සාමාජිකාවක් වන කොට්ටහච්චිට මාධ්‍යයට කතා කිරීම පක්ෂය විසින් තහනම් කරනු ලැබ ඇති බව ඇය විසින්ම මාධ්‍යයට කියා සිටීම තවත් අවස්ථාවකි. එය ඇසූ විට මගේ මතකයට ආවේ, වෙනත් සන්දර්භයක් තුළ උපුටා දැක්වෙන යම් සිද්ධියකි. ඒ මෙසේ ය: තාප්පයක එක්තරා දැන්වීමක් අලවා තිබේ. ඒ දැන්වීම වන්නේ මෙයයි: ''මෙය කියැවීම සපුරා තහනම් !''. මේ දැන්වීමෙන් ප්‍රක්ෂේපණය කෙරෙන පණිවිඩය, එම පණිවිඩය විසින්ම නිෂේධනය කර තිබේ. 

 
තමාගේ ප්‍රකාශය තුළින්, තමා පිළිබඳව පක්ෂයේ වාරණයක් ඇතැයි කියන පණිවිඩයට වඩා, තමා අයත් පක්ෂයේ ස්වභාවයත්, තමා සහ තම පක්ෂය අතර ඇති නොපෑහීමත් පිළිබඳ අඳුරු චිත්‍රයක්, තමා විසින්ම සමාජය ඉදිරියේ චිත්‍රණය කරන බව ඈට නොවැටහුණි. පසුව මෙය මාධ්‍ය තුළ යම් ආන්දෝලනයක් ඇති කළ විට, එම කාරණයම අදාළ කරගෙන ඊට පසු දවසක පාර්ලිමේන්තුවේ කතා කරමින්, එකී මාධ්‍ය වාර්තාකරණය ගැන ඇය දැඩි ලෙස දෝෂාරෝපණය කරයි. ඈ කියන පරිදි, තමා ගැන පළ වූ එකී මාධ්‍ය වාර්තාව බොරුවකි. එහෙත් මීට යම් කාලයකට කලින්, බොරු කීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතැයි කීවේද ඇයමයි !.
 
 
ජාතික ජන බලවේගයේ තවත් සාමාජිකයෙක් මැතිවරණ වේදිකාවක ජාතික ආරක්ෂාව ගැන කතා කරයි. කොට්ටහච්චි මෙන් තරුණ වියේ නොව, ඉතා වැඩිහිටි සහ මෝරාගිය වයසක පසුවන, හිටපු හමුදා ප්‍රධානියෙකු වන මොහු, යම් සභාවක් අමතා තමාගේ පම්පෝරියක් ගසයි. ''ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියලා මං කියලා දෙන්නං. ඕනෙ නං, බංකුවක් පුටුවක් අරගෙන එන්න කියන්න, මං කියලා දෙන්නං ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා. අපි බලයට පත්වෙලා පොහොය දෙකයි යන්නෙ, අපි පාතාලෙ ඉවර කරනවා'' වැනි කතාවක් ඔහු කරයි. ජයග්‍රහණයෙන් පසුව මේ පුද්ගලයා ආරක්ෂක නියෝජ්‍ය ඇමති පදවියට පත්විය. එහෙත්, වෙන කිසි සාමාන්‍ය කාලයක සිදු නොවූ පරිද්දෙන්, මහ දවල් සිදුවන මිනිස් ඝාතන රැල්ලක් අද අපට දැකිය හැකිය. එය මොන තරම් උච්චස්ථානයකට පත්වීද යත්, අධිකරණයක් තුළ, විනිසුරුවරියක් ඉදිරියේම සාක්ෂිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කර, එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පලායාමට තරම් පාතාලය දියුණු වී ඇති බව ගිය සතියේ දැකගත හැකි විය.
 
විනයගත පක්ෂයක්, දැඩි මතධාරී පක්ෂයක්, ඊට වඩා ලිහිල් සහ පුළුල් ව්‍යාපාරයක් බවට පත් වූ විට ස්වභාවයෙන්ම මුහුණදෙන අභියෝගය මෙයයි. ඒ ලිහිල් සාමූහිකයේ සාමාජිකයන්ගේ ප්‍රකාශයන්හි පවතින බොල් බවට අමතරව, එවැනි විශාල සාමූහිකයක් එක මධ්‍යස්ථානයකින් (පැලවත්ත) මෙහෙයවා ගැනීමට ඇති දුෂ්කරතාවත් ඉදිරියේදී මීට වඩා අර්බුදකාරී ලෙසින් උත්සන්න වෙනු ඇතැයි සිතිය හැකිය. ඒ කාලය වන විට, ආණ්ඩුවේ සමස්ත ක්‍රියාකලාපය හේතුකොටගෙන යම් අර්බුදකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුණොත්, එකී ලිහිල් සාමූහිකය කැඩී බිඳී යාමේ අවදානමක්ද තිබේ.
 
ඒ නිසා, මැතිවරණයකින් ජයගෙන ආණ්ඩු බලය අත්කරගැනීම සඳහා සුහුරු මෙවලමක් වූ 'ජාතික ජන බලවේගයට', රට පාලනය කරන සහ ආණ්ඩු බලය අභ්‍යාස කරන අතරේ නිරන්තර අභියෝගයන්ට ඔරොත්තු දෙන රාජ්‍ය පාලනයක් සඳහා සරිලන යම් පුහුණුවක් ලබා දීම අවශ්‍ය කෙරේ. මෙය, ජාතික ජන බලවේගයට පමණක් නොව, ජනතා විමුක්ති පෙරමුණටත් අදාළයි. ඕනෑම පක්ෂයකට, විපක්ෂ දේශපාලනයේ සිට රටක් කරවන ආණ්ඩු දේශපාලනයට පරිවර්තනය වීමේ අභියෝගය සුළුපටු නැත. එය, කල්තියා වටහාගන්නා තරමට සහ ඒ තත්වයට ඉක්මනින් හැඩගැසෙන තරමට, අනාගතයේ සුරක්ෂිතතාව තහවුරු වනු ඇත.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ | ගාමිණී වියන්ගොඩ | The Leader