The Leader News
BREAKING
Top Ad
Opinion

ලැකානියානු ඇස සමග පශ්චාත් යටත් විජිතවාදී මළකුණ ගොඩ ගැනීම

T

The Leader Desk

March 17, 2025 • 9:59 AM

ලැකානියානු ඇස සමග පශ්චාත් යටත් විජිතවාදී මළකුණ ගොඩ ගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසය පුනරාවර්තනය (REPETITION) වීම අනිවාර්‍යතාවයක් තමයි.
  • එකම දේ දෙවරක් සිදුවෙන බව හෙගල් තහවුරු කළේය.
  • එහෙත් මාක්ස්, හෙගල් නිවැරදි කරමින් පැවසුවේ පළමුව එය ඛේදවාචකයක් (TRAGEDY) ලෙස සිදු වෙතත් දෙවනුව එය විගඩමක් (FARCE) වන බවය.
  • ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ තම ආචාර්ය උපාධි නිබන්ධය ලෙස ලියූ ‘LACANIAN EYE’ (ලැකානියානු ඇස) නමැති වියමන කියවීමටත් එය පොතක් ලෙස දොරට වඩින විට ඒ ගැන යම් අදහසක් පළ කිරීමටත් මට අවස්ථාව ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්ත. ඉතිහාසය පුනරාවර්තනය (REPETITION) වීම අනිවාර්‍යතාවයක් තමයි. එකම දේ දෙවරක් සිදුවෙන බව හෙගල් තහවුරු කළේය. එහෙත් මාක්ස්, හෙගල් නිවැරදි කරමින් පැවසුවේ පළමුව එය ඛේදවාචකයක් (TRAGEDY) ලෙස සිදු වෙතත් දෙවනුව එය විගඩමක් (FARCE) වන බවය.

ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ තම ආචාර්ය උපාධි නිබන්ධය ලෙස ලියූ ‘LACANIAN EYE’ (ලැකානියානු ඇස) නමැති වියමන කියවීමටත් එය පොතක් ලෙස දොරට වඩින විට ඒ ගැන යම් අදහසක් පළ කිරීමටත් මට අවස්ථාව ලැබිණි. එම ග්‍රන්ථයට ප්‍රස්තූත වන්නේ යටකී පශ්චාත් යටත් විජිත කතිකාවයි. එහිදී ඇය පශ්චාත් යටත් විජිත වාදය මනෝ විශ්ලේෂණය සමග ගැට ගැසීම අළුත් දෙයක් නොවේ. ෆ්‍රාන්ස් ෆැනන්, අජාස් අහමඩ්, එඩ්වඩ් සයිඩ්, හෝමි බාබා රනජිත් ගුහා සහ ගයාත්‍රි ස්පිවැක්, වැනි  විද්වතුන් පශ්චාත් යටත් විජිතවාදය සමග මනෝ විශ්ලේෂණය පටලවාගත් තැන් ඇත.

 

rushdi
කෙසේ වෙතත් ක්‍රිෂාන්තිගේ ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් ඇය සල්මාන් රුෂ්ඩිගේ ‘MIDNIGHT’S CHILDREN, SHAME සහ MOOR’S LAST SIGH’ යන නවකතා ත්‍රිත්වය ලැකානියානු ඇසකින් නැතහොත් මනෝ විශ්ලේෂණීය පර්යාවලෝකයකින් කියවීමට ප්‍රයත්න දරා තිබීමය.

ආචාර්ය ක්‍රිෂාන්ති බරපතල වූ යමක් කිරීමට අත ගසන බව සැබෑය. එහෙත් ඇගේ පොත සම්බන්ධයෙන් මගේ විවේචනය එල්ල වන්නේ අර පශ්චාත් – යටත් විජිත වාදී පීලි පැනීමට එරෙහිවය. පශ්චාත්- යටත්විජිතවාදී ප්‍රවාද සරණ යන ක්‍රිෂාන්ති සමකාලීන සමාජ ප්‍රශ්නවල මුල ලෙස දකින්නේ අප යටත් විජිතයක්ව පැවතීමය. එහෙත් මේ ප්‍රශ්න ගෝලීය ධනවාදයේ සහ නව ලිබරල් වාදයේ ගැටලුය.

පශ්චාත් යටත් විජිත වාදය සහ මනෝ විශ්ලේෂණය අතර පසමිතුරු බව මම මෙහිලා යම් තරමකට විමර්ශනය කිරීමට ඉඩකඩ සොයා ගනිමි. එහෙත් මගේ වැඩි අවධානය යොමු වන්නේ සාහිත්‍ය නිර්මාණ දෘෂ්ටාන්තමය ලෙස කියවීමට ඇය උත්සාහ ගෙන තිබීමත් එමගින් නවකතා කියවීම සඳහා නව විචාර මගක් සොයා ගැනීමත් කෙරෙහිය.                  

මේ ලිවීම මා පටන් ගන්නේ මිලාන් කුන්දේරාගෙනි. කුන්දේරා TESTAMENTS BETRAYED යනුවෙන් පොතක් ලියා ඇත. කුන්දේරා මෙය හඳුන්වන්නේ කොටස් නවයකින් සමන්විත රචනාවක් ලෙසිනි. ඔහු තම රචනාව ප්‍රාංශුවා රැබලේ (FRANCOIS RABELAIS)  නමැති ලේඛකයා පිළිබඳ ස්මරණයකින් ආරම්භ කරයි. කව්ද මේ රැබලේ? කුන්දේරාට ඔහු ගැන කියන්නට තිබෙන්නේ කුමක්ද? රැබලේ අපට අදාල වන්නේ කෙසේද?

lana
ප්‍රාංශුවා රැබලේ ජීවත් වූයේ 16 වන සියවසේය. ඔහුගේ GARGANTUA AND PANTAGRUEL නම් ප්‍රබන්ධයේ අපූර්ව පුවතක් සඳහන් වෙනවා. ඒ කතා ප්‍රවෘත්තියට අනුව ගර්භනීව සිටි මදාම් ග්‍රෑන්ඩ් ගොසියට අපත්‍ය ආහාරයක් ගැනීම නිසා අජීර්ණයක් හැදෙයි. ඔවුන් ඇයට විරේක බෙහෙතක් පොවයි. මේ විරේක බෙහෙතේ සැර කමට ඇගේ වැදෑ මහ (PLACENTA) ලිහිල් වී ගාර්ගන්ටුවාගේ කලලය නහරයක් ඇතුළට රිංගා ගනී. ඇගේ ඉන්ද්‍රිය පද්ධතිය දිගේ බඩගාන ගාර්ගන්ටුවා මවගේ කනෙන් රිංගා එළියට එයි. (මේ වූ කලී යෝධයින් දෙදෙනකු වූ පියකු (GARGANHTUA) සහ ඔහුගේ පුත්‍රයා (PANTAGRUAL) විසින් කරණ වික්‍රම ක්‍රියා (ADVENTURES) උපහාසාත්මක සේම හාස්‍යමය ශෛලියකින් ලියා ඇති කතාවකි.)

කුන්දේරා කියන විදිහට රැබලේගේ කාලයේ නවකතාකරුවන්ට පුදුමාකාර නිදහසක් ලැබී තිබිණි. රැබලේගේ ප්‍රබන්ධයේ විය හැකි දේ සේම විය නොහැකි දේත් තිබී ඇත. උපහැරණ, උපහාප, යෝධයෝ වගේම සාමාන්‍ය මිනිසුන්, තනතුරු, ධ්‍යාන, සැබෑ සේම පරිකල්පනීය වූ සංචාර, පණ්ඩිතමානී ආරවුල්,පවිත්‍ර වාචික ගුණ දහම් ආදී අතුරු කතා වලින් මෙය අනූනය.

Gustave Dore Pantagruel surrounds cows in Gargantua by Rabelais ill Gustave Dor MeisterDrucke 1027188

රැබලේගේ පොතේ පළමු පේලියේ සිටම එය යන අත තේරුම් ගැනීමට පිළිවන. මේ කතාවෙන් රැබලේ කිසිම බරපතල දෙයක් නොකියයි. මෙහි සත්‍ය ප්‍රකාශනයක් යයි කිවහැකි (විද්‍යාත්මක හෝ පුරාණෝක්තික) කිසිවක් නැත. මෙහිලා යථාර්ථමය වූ යමක් කියන බවට පොරොන්දුවක්ද නැත. කුන්දේරා කියන විදිහට අද කාලේ නවකතා කාරයෙක් දහසයවන සියවසෙන් ලැබෙන තමන්ගේ උරුමය ගැන හිතනවා ඇත්තේ අතීත කාමී ඉරිසියාවකිනි. ඒ තරම් නිදහසක් රැබලේගේ කාලයේ නවකතා කරුවන්ට තිබුන බව කුන්දේරා කියයි.

රැබලේ ගැන කියා ගෙන යන විට සල්මාන් රුෂ්ඩි නිරායාසයෙන් මතකයට නැගේ. ක්‍රිෂාන්ති රුෂ්ඩිගේ නවකතා තුනක් තම ග්‍රන්ථයේ විශ්ලේෂණය කරයි. සල්මාන් රුෂ්ඩිගේ ‘සැටර්නික් වර්සස්’ ප්‍රබන්ධය රැබලේ ස්වකීය නවකතාවේ වීරයා වූ ගාර්ගන්ටුවා තම මවගේ කනෙන් ලෝකය මතට වැටෙන්නට සැලැස්සුවාක් මෙන් රුෂ්ඩි පුපුරා ගිය අහස් යානයකින් ඇද වැටෙන තම වීරයින් දෙදෙනා කතා බහ කරමින් හිනා වෙමින්, ගී කියමින් විහිළු තහළු කරමින් අසම්භාවී ක්‍රමයකට වැටෙන්නට සලස්වයි.

 

satanic versus
අහස් යානයෙන් ඇද වැටෙන ඔවුන් දෙදෙනාගේ ඉහලින් පහලින් පැත්තෙන් වූ හිස් අවකාශය තුළ සැප ආසන, කඩදාසි කෝප්ප, ඔක්සිජන් මුව ආවරණ සමග මගීහු පා වී යති.. දෙදෙනාගෙන් එක් අයකු වූ ගිබ්‍රීල් ෆාරිෂ්ටා සමනල ආර ලය ආර ලෙස ගනිමින් වාතය අතරින් පිහිනා යයි. අනෙකා වූ සලාඩීන් සම්සා බොත්තම් පියවූ උඩ ඇඳුමින් සහ අළු පැහැති ඇඳුම් කට්ටලයකින් සැරසී දෙඅත් දෙපසින් තබාගෙන හිස් වැස්මක් පැළඳ හිස පෙරටුව තබාගෙන පහලට ඇදී එයි.

කුන්දේරා පවසන්නේ රුෂ්ඩි තම නවකතාව එලෙස ආරම්භ කිරීමෙන් රැබලේ මෙන් මුලදීම තම පාඨකයා සමග ගිවිසුමකට එළඹෙන බවයි. ඉන් පැහැදිලි වන දේ තමයි තමා පැවසීමට යන්නේ බරපතල කතාවක් නොවන බවය. හැබැයි ඒ කතාව ඇතුලෙ ඇති පදම් බියකරු දේ ඇත. කුන්දේරා මේ විස්තර කරන්නේ නූතන වාදී නවකතාවේ යථාර්ථ විරෝධී විලාසිතාවය. කුන්දේරා අදහන පරිදි නූතන නවකතාව තුළ විය නොහැකියාව (IMPOSSIBILITY) සුජාත කරණය කිරීම ඇරඹෙන්නේ කෆ්කාගෙනි. (කෆ්කගේ METAMORPHOSIS මෙයට නිදසුනකි)

රැබලේ රුෂ්ඩි කෆ්කා සහ මාකේස් ආදීන්ගේ නවකතා වල පදනම වුනේ අන් කිසිවක් නොව හාස්‍යයයි. (HUMOR) තමාගේ නවකතා සමහරු වැරදියට තේරුම් ගත්තේ ඒවාහි තිබුණ හාස්‍යය නිසා බව කුන්දේරා පවසයි. ඊට අදාලව ඔහු එළිදරව් කරණ අපූර්ව පුවත මෙසේය. ඔහු ප්‍රංශයට පැමිණි මුල් කාලයේදී ඔහුගේ FAREWELL WALTZ අගය කළ එක්තරා ඖෂධ පිළිබඳ මහාචාර්ය වරයෙක් ඔහු මුණ ගැසීමට පැමිණියේය. කුන්දේරාගේ නවකතාව පිළිබඳ මහත් වූ වර්ණනාවක් කරණ මහාචාර්යවරයා කියන්නේ එය අනාගත දැක්මක් සහිත නවකතාවක් බවයි.

මේ නවකතාවේ ප්‍රධාන චරිතය ස්ක්‍රෙටා නම් වූ වෛද්‍යවරයෙකි. ඔහු සෞඛ්‍ය ශෝභාගාරයකදී වඳ ස්ත්‍රීන්ට ප්‍රතිකාර කරණ විට රහසින් ඔවුන්ට තමන්ගේම ශුක්‍රාණු විශේෂ සිරින්ජරයකින් විදි. මෙය කියවූ මහාචාර්යවරයා කෘතිම සිංචනය (ARTIFICIAL INSEMINATION) පිළිබඳ සම්මන්ත්‍රණයකට පැමිණෙන්නැයි කුන්දේරාට ආරාධනා කරයි.

 

kunderaකුන්දේරා
එහිදී මහාචාර්යවරයා කුන්දේරාගේ නවකතාව පිළිබඳව තමාට ඇති විවේචනයක් විදියට පෙන්වා දෙන්නේ ශුක්‍රාණුවක් පරිත්‍යාග කිරීමේ පවතින සදාචාරමය අලංකාරවත් බව ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට කුන්දේරා සමත් වී නැති බවයි. එවිට කුන්දේරා කියා සිටින්නේ තමාගේ නවකතාව විහිලු නවකතාවක් (COMIC NOVEL) පමණක් බවත් එය බරපතල ලෙස නොගන්නා ලෙසත් ය. ඒ කතාව ඇසූ මහාචාර් යවරයා වික්ෂිප්ත භාවයට පත් වෙයි.

අර කුන්දේරාගේ මහාචාර්‍යවරයා මෙන් LACANIAN EYE ලියූ ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ ද සල්මන් රුෂ්ඩිව එලෙස සැහැල්ලුවෙන් නොගනී. ඇය රුෂ්ඩිව ලැකානියානු මනෝ විශ්ලේෂණ ප්‍රවාද ඇසුරු කොට ගනිමින් ගැඹුරු කියවීමක යෙදෙන්නීය. ඇත්තටම නම් සල්මන් රුෂ්ඩිගේ නවකතා, කෙටිකතා සහ යොවුන් කතා (හරූන් වැනි) ගත් විට ඒවා කතා සරිත් සාගරය. ඒ හැම ග්‍රන්ථයක්ම අතිශය රමණීය කතාන්තර වලින් අනූනය.

සල්මාන් රුෂ්ඩිගේ MIDNIGHT’S CHILDREN (මැදියම් රැයේ දරුවෝ) නමැති නවකතාව ඇරඹෙන්නේ ඉන්දියාවට නිදහස ලැබුණ මැදියම් රැයෙනි. නවකතාවේ ආරම්භයම අපූර්ව සිදුවීමකි. ඉන්දියාවට නිදහස ලැබීමට ආසන්නව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ අපූරු දැන්වීමක් පළ වෙයි. ඉන් කියවුනේ නිදසස ලැබෙන මධ්‍යම රාත්‍රී 12 ට කිසියම් ස්ත්‍රියක ට දරුවකු ලැබුණොත් ඇයට ත්‍යාගයක් හිමි වන බවය. අමිනා සිනායි නම් ස්ත්‍රිය හරියටම රෑ12 ට දරුවකු ප්‍රසූත කරයි. ඇය කෑ ගසා මෙසේ කියයි.

“පත්තරවලට කියාපල්ල. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත්තරේට පලයල්ල. මං කිව්වෙ නැද්ද උඹලට. මං දිනුම්”

එහෙත් සැබවින්ම සිදුවන්නේ ඒ දරුවාව ඊට පැයකට පසු උපන් වෙනත් දරුවකුට මේරි පෙරෙයිරා නම් පරදේසක්කාර ස්ත්‍රියක විසින් මාරු කරනු ලැබීමය. ඉන්පසු ජාතියේ දරුවා වන්නේ මේ මාරු කරනු ලැබූ දරුවාය. සලීම් සිනායි නම් වූ මේ දරුවා  මෙහි කතාව කියන්නාය. ඔහු හරිම අපූරු පුවතක් තමාගේ සීයා සම්බන්ධයෙන් එළි දරව් කරයි. සලීම් ගේ සීයා වූ අසීස් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන ජර්මනියේ සිට පැමිණි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු විවාහ වන්නේ තමාගෙන් ප්‍රතිකාර ලබාගත් තරුණියක සමගය.

තරුණියගේ පියා විශාල ධනවතෙකි. ඔහු නසීස් ගානි නම් වූ තම දියණියට ප්‍රතිකාර කිරීමට අසීස්ව කැඳවයි.. අසීස් මේ විශාල මන්දිරයේ රෝගියා රඳවා සිටින කුටියට යයි. එහෙත් එහි රෝගියකු නැත. ඒ වෙනුවට ඔහුට දකින්නට ලැබෙන්නේ තරමක් විශාල සිදුරක් සහිත තිරයක් කාමරය හරහා ඇද තිබෙන බවයි. රෝගියා සිටින්නේ තිරයෙන් එහා පැත්තේය. ඔහු විපිලිසරව වට පිට බලන විට නසිස් ගානිගේ පියා කියන්නේ මෙනන මෙබඳු වචනය.  

“හහ් මට තේරෙනව තමුසෙගෙ පටලැවිල්ල. යුරෝපෙ ඉඳල ආපු තමුසෙල වගේ ගැටයින්ට සමහර දේවල් මතක නැහැ. ඩොක්ටර් සහීබ්, මගේ දුව හැදිච්ච කෙල්ලක්. ඇය ආගන්තුක පිරිමින්ට ඇගේ ඇඟ පෙන්නනෙ නැහැ. එයා අර එහා පැත්තෙ හැදිච්ච කෙල්ලක් වගේ හිටගෙන ඉන්නවා”

රෝගියා පරීක්ෂා කර නොබලා ප්‍රතිකාර කිරීම කළ නොහැක. තිරය මැද වූ විශාල සිදුර ඒ සඳහා වූවකි. එදින ඇයට වැළඳී තිබුණේ උදරා බාධයකි. ඇගේ උදරය පරීක්ෂා කර බලමින් වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම අරඹයි. මින් පසුව ශරීරයේ නොයෙක් ස්ථාන වල හටගත් විවිධ රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීම සඳහා ඔහු විසි තිස් වතාවක් කැඳවනු ලබන අතර ඇගේ ශරීරය සමග අංග ප්‍රත්‍යංග වශයෙන් ප්‍රේමයෙන් බැඳෙයි. වරක් ඇගේ තට්ටම් වල වූ ආබාධයක් පරීක්ෂා කර බලන අසීස් කියන්නේ ඇගේ පශ්චාත් භාගය විලියෙන් රතු වූ බවය. විවහයෙන් පසු ඇගේ සිරුර සම්පූර්ණයෙන් දකින ඔහු තුළ ඇය කෙරේ වූ තම ප්‍රේමය නැතිවී යයි.

rushdieරුෂ්ඩි
මේ අපූර්ව සිදුවීම ක්‍රිෂාන්ති දකින්නේ දෘෂ්ටාන්තයක් ලෙසිනි. ඇය එය ඉන්දියානු නිදහස් සටනට සමාන කරයි. සම්පූර්ණත්වය පිළිබඳ ඩොක්ටර් අසීස් තුළ වූ ෆැන්ටසිය යථමය වූ මායාවක් (ILLUSION) පමණක් වන බව ඇය පවසයි.  ඇය මෙසේ ලියයි

  “DR. AZIZ’S FANTASY FOR THE WHOLE…. IS AN ILLUSION IN THE REAL, FOR HE LATER FINDS THAT PARTS DO NOT NECESSARILY COMPOSE OF THE WHOLE IT IS A FAILURE: HE IS NOT HAPPY WITH NASSIM LATER ON IN HIS LIFE. THIS NOT ONLY ASSERTS LACAN’S NOTION THAT THE “BIG OTHER DOES NOT EXIST” (ZIZEK 2008A, P67) BUT ALSO RAISES INTELLECTUAL PROBLEMS (ALLEGORICALLY) AS TO WHETHER WHAT IS OBSERVED IN FRAGMENTS OR ‘PARTS’ CAN ACTUALLY RETAIN THEIR CONSISTENCY AS A UNIVERSAL WHOLE: THE METAPHORICAL QUESTION EXTENDS TO INDIAN NATIONALISM IN THE AFTERMATH OF COLONIAL RULE”(ඇය උපුටා දක්වන්නේ ජිජැක්ගේ FOR THEY KNOW NOT WHAT THEY DO: ENJOYMENT AS A POLITICAL FACTOR නමැති වියමනෙනි)

මෙහිදී ක්‍රිෂාන්ති නවකතා විචාරයේදී දෘෂ්ටාන්ත උපක්‍රමයක් (DEVICE)  ලෙස ගැනීම අගය කළ යුතු දෙයක් බැව් සැබෑය. හැබැයි මට ඇති ගැටලුව මේ ග්‍රන්ථය පුරාම පශ්චාත් යටත් විජිත වාදය (POST- COLONIALISM) අධි නිශ්චය වී තිබීමය. ඒ ගැන මම පසුව කතා කරමි. දෘෂ්ටාන්ත ගැන යමක් කතා කිරීමට පෙර අර සිදුර සහ සම්පූර්ණත්වය අතර ප්‍රතිපක්ෂය ලැකානියානු ප්‍රවාද තුළ විසං‍යෝජනය වන සැටි විමසීම වටනේය.

 

rr4534

ලැකානියානු ප්‍රවාද වලට අනුව මනුෂ්‍ය ආත්මීයතාව රෙජිස්තර තුනකට ගැට ගැසෙයි. එය හැදින්වෙන්නේ ලැකානියානු ත්‍රිවේධය (LACANIAN TRIAD) යනුවෙනි. ක්‍රිෂාන්තිගේ ග්‍රන්ථයේ පිට කවරයෙහි ඇඳ ඇති BORROWMEAN KNOT මගින් පෙන්නුම් කරන්නේ එම රෙජිස්තර තුන අතර පවතින සම්බන්ධතාවයයි. මේ රෙජිස්තර තුන නම් පරිකල්පනීය (IMAGINARY) සංකේතික(SYMBOLIC) සහ යථ ය(REAL). මින් පරිකල්පනීය අවදියේදී ලෝකය සංජානනය කරන්නේ අප දකින රූප අනුවය. සංකේතිකය යනු භාෂාවට ප්‍රවිෂ්ට වීමයි. පරිකල්පනීය අවදියේදී අප අපේ ශරීරය පවා සංජානනය කරන්නේ පාර්ශවීය වස්තූන් (PARTIAL OBJECTS) ලෙසය. එහෙත් කිසියම් අවස්ථවක අපට එය සම්පූර්ණ රූපයක් ලෙස දකින්නට ලැබෙයි.

මාස 18 ක දරුවෙක් කැඩපතක් ඉදිරිපිටදී තමාගේ රූපය දැකීම එබඳු අවස්ථාවක්ය. මෙතෙක් කොටස් වශයෙන් සංජානනය කළ තම ශරීරය පළමු වතාවට සම්පූර්ණ එකක් ලෙස ඔහු දකී. ඔහු වහාම තමා දකින රූපය සමග අනන්‍ය වෙයි. අනතුරුව එහි සිටින්නේ තමා නොව තම රූපය පමණක් බව වටහා ගැනීමෙන් කලකිරීමට පත් වන ඔහු තම ආත්මීයතාව ගොඩ නැගීම අරඹන්නේ දෙකඩ වූ ආත්මයක් (SPLIT SUBJECT) ලෙසය. සල්මාන් රුෂ්ඩිගේ නවකතාවේ කියවෙන සිදුර රූපකමය භාවිතයකි. ක්‍රිෂාන්ති පවසන්නේ එම සිදුර දෘෂ්ටාන්තමය ලෙස එක අතෙකින් ඉන්දියානු නිදහස් සටනේ හිස් බව සේම ඩොක්ටර් අසීස්ගේ ආත්මීය හිස් බව පිළිබඳ රූපකයක් වන බවය.

 

thumb 8DDE349D 3FE0 43FA B851 B29436A6E7B7
ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන්ගේ GEOPOLITICAL AESTHETIC සහ POLITICAL UNCONSCIOUS නමැති ග්‍රන්ථ දෙක මගින් දෘටාන්තමය කියවීම් පිළිබඳ අපූර්ව සොයා ගැනීම් කීපයක් කරයි. එහිදී ඔහු GOD FATHER නවකතාව මෙන්ම සිනමා කෘතියද සලකන්නේ දෘටාන්තයක් ලෙසය. ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් (FREDRIC JAMESON) අර යට කී දේශපාලන අවිඥානය (POLITICAL UNCONSCIOUS) සහ භූ දේශපාලනික සෞන්දර්‍යය(GEOPOLITICAL AESTHETIC) නමැති කෘති මගින් සම්ප්‍රදායික ලෙස සාහිත්‍ය හෝ සිනමා ඉතිහාසය කියවන ආකාරයට වෙනස්, ඊට වඩා වූ අර්ථ කථනයක් ඉල්ලා සිටීමට යෝජනා කරයි.

අප විචාරයට ලක් කරණ (නැවත කියවන) කෘතිය දේශපාලනික හෝ සංස්කෘතික සමාජයක පරාවර්තනයක් ලෙස දැකිය හැකි වන්නේ එවිටය. ජෙම්සන් ඒ විදිහට ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ GOD FATHER සිනමා නිර්මාණය (ඇත්තටම නම් සිනමා ත්‍රිත්වයේ මුල් නිර්මාණ දෙක) දෘෂ්ටාන්තයක් ලෙස ගෙන කියවයි. ජෙම්සන්ගේ එකී විචාර සත්කාරය තුළ අපි ගෝඩ් ෆාදර් සමකාලීන සමාජ හා දේශපාලන කතිකාවේ පරාවර්තනයක් ලෙස දකින්නෙමු. කොටින්ම සමාජය තුළ බහු ජාතික සමාගම් වල ආධිපත්‍ය පිළිබඳ විවරණයක් කොපෝලා දෘෂ්ටාන්තමය ලෙස මාෆියා පුරාණෝක්තියක් බවට රූපාන්තරණය කර ඇති ආකාරය ජෙම්සන් විස්තර කරයි.

මින් අදහස් වන්නේ යම් කලා නිර්මාණයක් (සිනමා කෘතියක් හෝ නවකතාවක්) නැවත කියවීම තුළ එම නිර්මාණය  ඊට වඩා වූ කිසිවක් බවට පත් වන ආකාරයයි. හැබැයි ඒ සඳහා වූ විභවයක් අදාල නිර්මාණය වෙතින් පළ විය යුතු වීම නිර්මාණ කරුවාගේ නිර්මාණ හැකියාව මත පරායත්ත වන්නකි. ඉතාම මෑතකදී සමීක්ෂණ කාර්‍යයකදී මා දුටු එක්තරා කෙටි චිත්‍රපටයක කතා පුවත පා පැදියක් පැදගෙන යන අවුරුදු දහයක පමණ වයසැති දරුවකු වටා ගෙතී තිබිණි. අතරමගදී පා පැදිය ඔහු අතින් පෙරලෙයි. මහත් වෙහෙසක්  දරා උපක්‍රමශීලී ලෙස  එය ඔහු කෙලින් කර ගෙන නැවත පැද යයි. මෙම චිත්‍රපටය දරුවකු පා පැදියක් පැදීමෙන් ලබන හුදු අත් දැකීමක් ලෙසට සිල්ලරට ගැනීමට මෙහි කතා වින්‍යාසය (PLOT)   ඉඩ නොදෙයි. මේ නිසා මා එය කියවූයේ මේ මොහොතේ ඇද වැටී තිබෙන  අප රටට අත් වී තිබෙන ඉරණම පිළිබඳ දෘෂ්ටාන්තයක් (ALLEGORY) ලෙසිනි. එමගින් අප ලබන උපදේශය නම් ජෙම්සන් විස්තර කරණ උපාය ශීලී විස්ථාපනයක් (STRATEGIC DISPLACEMENT) මගින් රටක ඛේද වාචකයට තුඩු දුන් හේතු විවේචනය කිරීමේ සදාචාර භාෂාවක් අපට නිර්මාණය කර ගත හැකි බවය.

මේ පොත තුළ ඒ ආකාරයේ දෘෂ්ටාන්තමය එළඹුමක් අපට දකින්නට පිළිවන. ඒ ඇසුරෙන් ක්‍රිෂාන්ති කියන්නේ අමිනා සිනායි, ඩොක්ටර් අසීස්, සලීම්ගේ සිනායි ආදින්ගේ “අසමත්වීම” ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් කර ඇති බවත් එය අප වටහා ගත යුත්තේ යථෙහි විභවතාවය වටහා නොගැනීම ලෙසත් ය. කුන්දේරා හුදු හාස්‍ය පමණක් ලෙසට ඌනනය කරණ ඉන්ද්‍රජාලික සිදුවීම් එම යථෙහි ප්‍රකාශමානවීමක් ලෙස දැක්වීමට කතුවරිය දැඩි ප්‍රයත්නයක යෙදෙයි. එහිදී ඇගේ පදනම මූලික වශයෙන් මනෝ විශ්ලේෂණයයි. හැබැයි ඇගේ එළඹුම පශ්චාත් යටත් විජිතවාදී ආස්ථානයක්. ෆ්‍රාන්ට්ස් ෆැනොන්, හෝමි බාබා, අජාස් අහමඩ්, ගයත්‍රි ස්පිවැක් වැනි පශ්චාත් යටත් විජිත වාදී ලේඛකයින් ගේ ප්‍රවාද ඇය මෙහිදී භාවිතා කරන සැටි අපට පෙනී යයි.

එහෙත් මා අර යට සඳහන් කළ පරිදි මනෝ විශ්ලේෂණය, පශ්චාත් යටත් විජිත වාදය සමග ගැට ගැසීම මට අනුව ප්‍රශ්න කාරීය. මක්නිසාද යත් මනෝ විශ්ලේෂණය සහ පශ්චාත් යටත් විජිතවාදය බොහෝ තැන්වලදි පසමිතුරු බැවිනි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් සුවිශේෂය (PARTICULARITY) අනුදන්නා දහමක් වූ පශ්චාත් යටත්විජිත වාදය ලැකානියානු වන්නේ කෙසේද? යන්නයි.

ලැකානියානු වීම (BEING LACANIAN) යන්නෙන් අඟවන්නේ සුවිශේෂයෙන් මිදී සාර්වත්‍රිකය (UNIVERSALITY) පැත්ත ගැනීමයි. බොහෝ කොටම පශ්චාත් යටත් විජිත වාදය සංකේතිකයට බරය. මේ නිසා කෙනෙකු යෝජනා කළ යුතු දේ තමයි ගෝලීය බවට අනුකූලව සිටිමට,  පශ්චාත් යටත් විජිත හැදෑරීම් සංකේතික වෙනසට අදාල ප්‍රශ්න කිරීමෙන් මිදී අනෙකාගේ අතිරික්තිය (OTHER’S SURPLUS) ගවේෂණය කිරීම කළයුතු බවයි.

පශ්චාත් යටත් විජිත තත්ත්වය (POST- COLONIAL CONDITION) තුළ යටත් විජිත වාදීව සිටීමෙන් මිදීමට, යම් විමුක්තියක් (EMANCIPATION) ලබා ගැනීමට පශ්චාත් යටත් විජිතවාදය යෝජනා කරයි. මනෝ විශ්ලේෂණය යනු ගැලවීමක් පිළිබඳ දේශනා කරණ දහමක් නොවේය. මනෝ විශ්ලේෂණය අනුව ගැලවීමක් නිවීමක් නැත.මේ නිසා මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය සමග ගැට ගැසීම විකාරයක් කරයි.

(සටහන  | සමන් වික්‍රමාරච්චි)

උපුටා ගැනීම - 3mana.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...