චීනයේ ලාබෙට හදන ෆෝන් එක ඇපල් ලෝගෝව සහිත පෙට්ටියක දමා විශාල ලාබයකට විකිණීමේ සිට අඳුරු ගුබ්බෑයම් අස්සේ කරන දෙය පාට පාට රටා සහිත වීදුරු ගෙවල් ඇතුළට දමා ස්පා සිලෝන් ලෙස විකිණීම දක්වා සුක්ෂ්ම වෙළඳුන් කරන්නේ එක ම දෙයකි. අනුර කුමාර යනු එම වෙළඳුන් අතර ලංකාවේ සිටින වඩාත් ම ශූර වෙළෙන්දා ය.

ජවිපෙ නමැති පරණ ක්‍රීම් බෝතල් මාලිමාව නමැති අලුත් රෝස පාට පෙට්ටියේ දමා ලක්ෂ හැට අටකට විකිණීම සුපිරි වෙළඳාමකි. ඊනියා ජාතිකවාදී ක්‍රීම් සර්වජන බලයේ පෙට්ටියට දමා විකිණීමට දිලිත් දරන අනුකම්පා සහගත උත්සාහය හා සසඳන විට අනුර යනු දිලිත් ට වඩා අති දක්ෂ වෙළෙන්දෙකි. පියුමිගේ දක්ෂතාවය වන්නේ වෙළඳපොළේ අවශ්‍යතාවය නිවැරදිව හඳුනා ගැනීම ය. කළු කැත පාරිභෝගිකයන්ට සුදු වෙන්න අවශ්‍ය ය. ඒ සඳහා මසකට ලක්ෂ ගණනක් වුවත් ගෙවීමට සූදානම් පාරිභෝගික ඛණ්ඩයක් (Market Segmant) සිටී. ඔවුන් දාහේ දෙදාහේ ඒවා මිල දී ගැනීමට වඩා තිස් හතලිස් දාහේ ඒවා මිල දී ගැනීමට කැමති ය.

ලංකාවේ දේශපාලන පාරිභෝගිකයන් අතර ද මෙවැනි පිරිසක් සිටී. 2014 විශාල මුදලකට යහපාලනය මිලට ගත්තේ ඔවුන් ය. 2019 ඊටත් වඩා විශාල මුදලකට පොහොට්ටුව මිලට ගත්තේ ද ඔවුන් ය. 2024 මාලිමාව මිලට ගත්තේ ද ඔවුන් ය. මෙන්න මේ වෙළඳපොළ ඛණ්ඩයේ නොසිඳෙන ආසාවට පරණ ක්‍රීම් වුවත් අලුත් පෙට්ටියක දමා පහසුවෙන් වැඩි මිලට විකිණිය හැකි ය. විකුණා විශාල බලයක් සහ ධනයක් උපයා ගත හැකි ය.

ආචාර්ය උපාධි නැති ක්‍රීම් වුවත් අලුත් පෙට්ටියක දමා විකිණිය හැකි ය. ඉංජිනේරුවන් නොවන ක්‍රීම් වුවත් අලුත් පෙට්ටියක දමා විකිණිය හැකි ය. NGO කාරයන් වුවත් අලුත් පෙට්ටියක දමා විකිණිය හැකි ය. සූදු අන්තුවන්, බේබද්දන්, අනාචාරයේ හැසිරෙන්නන්, සොරුන්, සාහසිකයන් ආදි සෑම වර්ගයක ම ක්‍රීම් අලුත් පෙට්ටියක දමා විකුණා තිබේ. මාලිමාවේ 159 දෙනා ම දාහේ දෙදාහේ ක්‍රීම් පැකට් ය. ඔවුන් සහ මෙයට පෙර පාර්ලිමේන්තුවට පත් වූ බොහෝ දෙනා අතර වෙනසක් නොමැත. නමුත් ජනතාව ඒවා ඇඟේ ගාගන්නේ තිස් හතලිස් දහසේ ක්‍රීම් කියා සිතමිනි. ඒවා ඒ ආකාරයට මාර්කට් කිරීමේ ගෞරවය සම්පූර්ණයෙන් ම හිමි විය යුත්තේ අනුර කුමාරට ය.

මෙහි වරදක් නැත. දාහේ දෙදාහේ බඩුවක් තිස් හතලිස් දහසකට ගන්නා මෝඩයන් සිටී නම් කිසිවෙකු ඒ ගැන කරදර විය යුතු නැත. එය ඔවුන්ගේ කැමැත්ත ය. ඒවා ගාගෙන තම්බපු ඉස්සන් මෙන් සුදු වෙනවාට කිසිවෙකු ඉරිසියා නොකළ යුතු ය. මහේෂ් හපුගොඩ ලියා ඇත්තේ ජනතාව මාලිමාවට ඡන්දය දී ඇත්තේ ක්‍රම වෙනසකට කියා ය. කොහොමත් ලාංකිකයා යනු සත්‍යයට වඩා බොරුව ම පිළිගන්නා පිරිසකි. බොරුවෙන් ම ජීවත් වෙන පිරිසකි. බොරුව හඹා යන පිරිසකි. එබැවින් ලංකාවේ දේශපාලනය කළ යුත්තේ පියුමි හංසමාලි ක්‍රීම් විකුණනවා වගේ ය. දිස් ඉස් පොලිටික්ස්.
(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
උපුටා ගැනීම : ගිනිහුළ



