The Leader News
BREAKING
Top Ad
Opinion

නීතිය ගැන දැනුමක් නැති බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත්වරු | සරෝජ් පතිරණ

T

The Leader Desk

March 31, 2025 • 8:28 AM

නීතිය ගැන දැනුමක් නැති බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත්වරු  | සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරක් ඔබාමා මෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුම ජූරි සේවයට කැඳවා තිබුණු බවත් වාර්තාවල දැක්විණ.
  • මුලින්ම 2015 අගෝස්තු මාසයේ ජූරි සේවය සඳහා මට කැඳවීමක් ලැබුණු නමුත් ඒ දිනවල ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය වාර්තා කළ යුතු බැවින් පසුව මා කැඳවන මෙන් ඒ අවස්ථාවේ මම අප වාසය කරන ප්‍රදේශයේ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළෙමි.
  • රාත්‍රී සමාජ ශාලාවකට තනිව ඇතුළු වූ තරුණියක් ඇය කලින් යාන්තමින් හඳුනාගෙන සිටි තරුණයකු සමග සමාජ ශාලාවේදී රාගය අවුස්සන සුළු ආකාරයේ නර්තනයක යෙදෙයි.
  • එහිදී ප්‍රසිද්ධියේ කිහිප වරක්ම ඔහු සිප වැළඳ ගන්නා ඇය, සිහි විකල්වන තරමට තදින් බීමත් වූ බැවින් ඔහුගේ මෝටර් රථයෙන් තමන් නිවසට ඇරලවන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි බව පොලිසියට දුන් කටඋත්තරයේ මෙන්ම අධිකරණය ඉදිරියේ ද සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


බරක් ඔබාමා මෙන්ම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුම ජූරි සේවයට කැඳවා තිබුණු බවත් වාර්තාවල දැක්විණ.

 

Saroj 250331
2016 පෙබරවාරි මාසයේ මා ද ජූරි සභාවක සේවයට කැඳවා තිබුණි. මුලින්ම 2015 අගෝස්තු මාසයේ ජූරි සේවය සඳහා මට කැඳවීමක් ලැබුණු නමුත් ඒ දිනවල ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය වාර්තා කළ යුතු බැවින් පසුව මා කැඳවන මෙන් ඒ අවස්ථාවේ මම අප වාසය කරන ප්‍රදේශයේ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළෙමි.

බ්‍රිතාන්‍යයේ නීතිය ප්‍රකාර කිසිවකු දෙවැනි වතාවේත් ජූරි සේවයට කැඳවනු ලැබුවහොත් අනිවාර්යයෙන්ම එයට සහභාගි විය යුතුය. ඔහු හෝ ඇය ජූරි සේවය පිණිස නිදහස් කිරීමට සේවා ස්ථානය නීතියෙන් බැඳී සිටියි.

දිගු කලක් බ්‍රිතාන්‍යයේ වාසය කරන නමුත් දෙසතියක ජූරි සේවය තුළ බ්‍රිතාන්‍යයේ අධිකරණ ක්‍රමය පිළිබඳව එතෙක් නොදැන සිටි බොහෝ දේ ඉගෙනීමට මට අවස්ථාව ලැබිණ. එය අපූරු අත්දැකීමකි.

ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධ නඩුවක් සහ සොරකම් පිළිබඳ නඩු කිහිපයක් පිළිබඳ විභාගවලට සහභාගි වීමට අපට අවස්තාව සැලසිණ. ඒ අතරින් ස්ත්‍රී දූෂණ නඩුව, කාන්තා හිමිකම් පිළිබඳ බ්‍රිතාන්‍ය සමාජයේ ආකල්ප පැහැදිලි කරන කැඩපතක් වැනි යයි මට සිතේ.  

 

g45y7456
රාත්‍රී සමාජ ශාලාවකට තනිව ඇතුළු වූ තරුණියක් ඇය කලින් යාන්තමින් හඳුනාගෙන සිටි තරුණයකු සමග සමාජ ශාලාවේදී රාගය අවුස්සන සුළු ආකාරයේ නර්තනයක යෙදෙයි. එහිදී ප්‍රසිද්ධියේ කිහිප වරක්ම ඔහු සිප වැළඳ ගන්නා ඇය, සිහි විකල්වන තරමට තදින් බීමත් වූ බැවින් ඔහුගේ මෝටර් රථයෙන් තමන් නිවසට ඇරලවන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි බව පොලිසියට දුන් කටඋත්තරයේ මෙන්ම අධිකරණය ඉදිරියේ ද සඳහන් කළාය. එහෙත් නිවසට ඇරලවනු වෙනුවට ඔහු තමන් ඔහුගේ මිතුරෙකුගේ නවාතැනකට රැගෙන ගිය බව තරුණිය පවසයි.

ඇය ඔහු තදින් වැලඳගෙන නර්තනයේ යෙදුන බවත්, දෙතොල් සිප ගත් බවත් දෙදෙනාම පිළිගනිති. නමුත් පුරුෂයා පවසන්නේ ඔහුගේ නවාතැනට රැගෙන යන මෙන් ඇය ඔහුගෙන් ඉල්ලා සිටි බවය. තදින් බීමත්ව සිටි තමන්ට ඔහුගේ නවාතැනට පැමිණි මොහොතේම නින්ද ගිය බව ඇය පවසන නමුත්, ඔහු පවසන්නේ ලිංගික පහස අවශ්‍ය යයි නිදි යහනේදී ඇය ඉල්ලා සිටි බවය. එහෙත් එය තරයේ ප්‍රතික්ෂේප කරන තරුණිය පවසන්නේ නිවසට ඇතුළු වූ අවස්ථාවේ පටන් රාත්‍රියේ සිදු වූ කිසිවක් පිළිබඳව තමන්ට මතකයක් නැති බවය. උදෑසන අවදි වූ අවස්ථාවේ සිය ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් දැනුන බව පවසන ඇය, තද නින්දේ සිටියදී ඔහු තමන් දූෂණය කර ඇතැයි ඒ අවස්ථාවේ වැටහුන බවත් පවසන්නීය.

Judge holding gavel in court courtroom at trial giving verdict background

 

එහෙත් ස්ව කැමැත්තෙන් තමන් හා ලිංගිකව එක් වූ ඇය පසුව මුදල් අපේක්ෂාවෙන් තමන්ට එරෙහිව දූෂණ චෝදනාවක් එල්ල කරන බව ඔහුගේ තර්කය වී තිබුණි. එදින රාත්‍රියේ ලිංගික පහස ලැබූ බව දෙදෙනාම පිළිගනිති. ඊට පෙර එකිනෙකා දැන සිටි බවත් දෙදෙනාම පිළිගනිති.

සීසීටීවී දර්ශන ඇතුළු සියලු සාක්ෂි විමසා බැලූ ජූරි සභාවේ බහුතර තීන්දුව වූයේ ඇය දූෂණය කර ඇතැයි යන්න සැකයෙන් තොරව සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බවය. ඇත්තෙන්ම තරුණිය එල්ල කළ චෝදනාව සත්‍ය විය හැකිය. එහෙත් සැකයේ වාසිය සැකකරුට හිමිවිය යුතු බව ජූරියේ තීන්දුව විය.  (ජූරි සභාවේ අභ්‍යන්තර සාකච්ඡා හෙළි නොකිරීමට අපි නීතියෙන් බැඳී සිටින්නෙමු.)

සැබවින්ම එය සනාථ කිරීමට ඉතා දුෂ්කර චෝදනාවකි. ජූරි සභාව සිය තීන්දුව දෙන තුරුම ඒ තරුණියට සාධාරණය ඉටු කිරීමට බ්‍රිතාන්‍ය නීති බලධාරීහු උපරිම උනන්දුවෙන් කටයුතු කළහ.

මෙවැනි සිදුවීමකදී ලංකාවේදී නම් නීතිය පසිඳලන ආයතන හෝ සමස්ත සමාජය තරුණිය දෙස එතරම් සානුකම්පිත ආකල්පයක් පළ කරනු ඇතැයි මට නොසිතේ.  

අනෙක් නඩුවේදී සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තරුණයකුගේ ගැබ්බර පෙම්වතිය නඩුව විභාග වූ සෑම දිනකම අධිකරණයට පැමිණ සිටියාය.

magistratescourt xl
විභාගය අවසානයේ ඔහු වැරදිකරු බව ජූරි සභාව තීන්දු කළ අවස්ථාවේ විත්තිකරුගේ පෙම්වතිය විවෘත අධිකරණයේදී ජූරි සභාවට පරුෂ වචනයෙන් බැන වැදුනාය.

ඇයගේ එම බැන වැදීමට විනිසුරුවරයාගේ ප්‍රතිචාරය වූයේ ජූරි සභාවට විශේෂ ස්තුතියක් පුද කොට අප සියළු දෙනාට සමුදීමය. අධිකරණයේ කරුණු දක්වන අතරවාරයේ “උස් හඬින් කතා කළ” බවට චෝදනා කොට පැමිණිලිකරුවෙකු බරපතල වැඩ සහිතව වසරකට සිරගත කළ ශ්‍රී ලංකාවේ අධිකරණය ඒ අවස්ථාවේ මට සිහිපත් විය.

මහේස්ත්‍රාත්වරයෙකු ලෙසින් සේවය කිරීමට කැමති දැයි විමසන පත්‍රිකාවක් ජූරි සභාවේ සේවය කළ දිනවල අධිකරණයේදී මගේ ඇස ගැටින. ඒ සඳහා නීතිය පිළිබඳව කිසිදු දැනුමක් අවශ්‍ය නොවන බවත් එහි සඳහන් කොට තිබුණි. මම විශ්මය පත්වූයෙමි. ජූරි සභාවේ සේවය කළ දෙසතියේදීත්, ඉන්පසුවත් මම ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමසා බැලුවෙමි.

බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමව්දයට අනුව මහේස්ත්‍රාත්වරයෙකු බවට පත්වීමක් ලැබීම සඳහා නීතිය හදාරා තිබීම කිසිසේත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ඔබත්, මමත් ඇතුළු (නීතිය පසිඳලීමේ ක්‍රියාදාමයට සම්බන්ධ නැති) සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට - කම්කරුවකුට, සමාගමක සුළු සේවකයකුට, ගෘහණියකට ඇතුළු ඕනෑම කෙනෙකුට - ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

s960 IMG 9497
එසේ ඉල්ලුම් කළ හැකි වුවත් මහේස්ත්‍රාත් පදවිවලට සුදුස්සන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇතැයි සිතමි. ඉල්ලුම්පත් සලකා බලා පවතින පුරප්පාඩු සඳහා නව මහේස්ත්‍රාත්වරුන්  බඳවාගනු ලබන්නේ ස්වාධීන ප්‍රාදේශීය කමිටුවක් විසිනි. ඉන් අනතුරුව ඔවුන්ට සති කිහිපයක පුහුණුවක් ලබාදෙන අතර, මහේස්ත්‍රාත් පදවිය ලංකාවේදී මෙන් කිසිදු ලෙසකින් පූර්ණ කාලීන රැකියාවක්ද නොවේ.

බඳවාගනු ලබන මහේස්ත්‍රාත්වරුන් වසරකට සීමිත දින කිහිපයක් පමණක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතු අතර, ඒ සඳහා වැයවන වියදම් සහ සීමිත දීමනාවක් පමණක් ඔවුන්ට ගෙවනු ලැබේ. මහේස්ත්‍රාත්වරුන්ට නීතිය පිළිබඳව දැනුමක් නොමැති බැවින් අධිකරණයේදී ඔවුන්ට සහාය දීම පිණිස නීති නිලධාරියෙකු/ නිලධාරිනියක සිටී. නඩු විභාගය අතරතුර මහේස්ත්‍රාත්වරුන් අදාළ නීති ප්‍රශ්න යොමුකරන්නේ එම නිලධාරියාටය.

විශේෂයෙන්ම කිසියම් නඩුවක් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය තිබෙන්නේ දැයි නීතිය විමසා බලා මහේස්ත්‍රාත්වරුන්ට උපදෙස් දෙනු ලබන්නේත් එම නිලධාරියා හෝ නිලධාරිනියය.

 

6jsrZKeA
බොහෝ අවස්ථාවල මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු නඩු විභාගයකට සහභාගි වන අතර, එක් මහේස්ත්‍රාත්වරයෙක් පමණක් අසුන් ගන්නේ ඔහු/ඇය අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු නම් පමණය.

සොරකමක් වැනි ඉතා සුළු වරදක් පිළිබඳව හැරුණු විට වරදකට දඬුවම් දීමේ බලයක් බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත්වරුන්ට නැත. ඔවුන් එවැනි චෝදනා ඉහල අධිකරණයට යොමු කළ යුතුය.

ඉතා කෙටි කලෙකට සිරදඬුවම් නියම කිරීමේ බලය තිබෙන නමුත් මහේස්ත්‍රාත්වරුන් බොහෝ විට නියම කරන්නේ අත්හිට වූ සිරදඬුවම් හෝ කිසියම් පැය කිහිපයක් සිය සමාජයට සේවය කිරීම වැනි බරපතල නොවන දඬුවම්ය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ බ්‍රිතාන්‍යයේ ක්‍රමය අතර බොහෝ සමානතා පවතින නමුදු, බ්‍රිතාන්‍යයේ පහළ අධිකරණය ක්‍රියාත්මක වන මේ අපූරු ක්‍රමවේදය මෙන්ම යුක්තිය පසිඳලීම පිණිස දැරෙන සාධාරණ උත්සාහය ද සැබවින්ම මට අපූරු, අලුත් අත්දැකීමක් විය.


(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන් ..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීතිය ගැන දැනුමක් නැති බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත්වරු | සරෝජ් පතිරණ | The Leader